Tuesday, November 23, 2021

2001 ඡන්දය





මගේ කුළුඳුල් ඡන්දය භාවිතා කළේ 2001 දෙසැම්බර් පැවති මහමැතිවරණයේය. මේ ඒ ගැන ස්මරණයකි

2001 නොවැම්බර් මාසය වන විට ලංකාව තිබුනේ අවුල්ම අඩියක ය. පළමු වරට ආර්ථිකය සෘණ අගයක් ගත්තේය. කටුනායක ගුවන්තොටු පළට කොටි  පහර දුන්නෝය. කොටින්ගේ " නොනවතින රැල්ල" යම්තම් නවත්වා ගත්තත් රටේ යුද්ධය යන දිශානතිය ගැන කිසිවෙකුගේ කැමැත්තක් නොවීය. අවසන එස් බී දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු කිහිප දෙනෙක් රජයෙන් ඉවත් වීමත් සමඟ වසරක් ඇතුළත නව මහ මැතිවරණයක් කැඳවිමට චන්ද්‍රිකා බණ්ඩාරනායකට  සිදු විය. 

මැතිවරණය කැඳවීමත් සමඟ මංගල සමරවීර රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් සිය සුපුරුදු මඩ ව්‍යාපාරය පටන් ගත්තේය. කලින් චන්ද්‍රිකා සමඟ සභාගයකට ගිය සෝමවංශ අමරසිංහ, විමල් වීරවංශ ප්‍රමුඛ ජවිපෙ ජාතිකවාදී පිල සහයෝගය දුන්නේ පොදුජන එක්සත් පෙරමුණටයි. මේ අතර රවී වෙත්තසිංහගෙන් ලැබුණු කැම්පේන් බසයකට වී රනිල් වික්‍රමසිංහ සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේය. 

රාජ්‍ය මාධ්‍ය වල දැඩි ප්‍රචාරක කැම්පේන් එකට පිළීතුරු ලෙස යූ එන් පියට තිබුනේ ටි එන් එල් පමණි. එයිනුත්  චමුදිත සමරවික්‍රම මෙහෙයවූ ජන හඩ තුළින් ලසන්ත වික්‍රමතුංග ප්‍රහාරාත්මකව ඇතැම් විට ඉංග්‍රීසි සිංහල කලවමේ යොදා ගනිමින් රජය දැඩිව විවේචනය කළ ආකාරය අදද මගේ මතකයේ රැඳේ. එවක මංගල, විමල පිරිස විසින් "අලි කොටි ගිවිසුමක්" ගැන රාවයක් පතුරුවා හැර තිබිණි ( මිලේනියම් සිටි සිදුවීම ගැන බලන විට අද නම් එවැනි එකඟතාවයක් තිබෙන්නට ඇතැයි සාධාරණ සැකයක් පහළ වේ) ලසන්ත වික්‍රමතුංග මැතිවරණයට කලින් පැවතුණු අවසන් ජන හඩට එක් වෙමින් අනුර බණ්ඩාරනායක හා  ශ්‍රිලනිප ප්‍රබලයන් කොටි නායකයන් සමඟ ගන්නා ලද ඡායාරූපයක් පෙන්වමින් ගිවිසුම් කතාවට පහර දුන්නේය. 

මේ අතර කුරුණැගල ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ නැගිනි. මූලිකවම හිරියාල ආසනය නියෝජනය කළ සාලින්ද දිසානායක හා මුල් වරට පාර්ලිමේන්තුවට ඉල්ලන පළාත් සභා අමාත්‍ය ජොන්ස්ටන් "ජොනී" ප්‍රනාන්දු අතර ගැටුම උත්සන්න විය. ප්‍රදේශයේ එජාප සංවිධායකගේ නිවස තිබුනේ අපේ නිවස අසලමය. එක් සවසක මුහුණු ආවරණය කරගෙන පොලු ගත් මැරයන් පිරිසක් ඒ නිවසට පැමිණ නිවැසියන්ට තර්ජනය කළහ. ශ්‍රි ලංකාවේ මැතිවරණ ප්‍රචණ්ඩත්වය ගැන අසා තිබුනත් එතරම් සමීපයෙන් මා දුටුවේ එදාය. 

කෙමෙන් ඡන්ද දිනය උදාවිය. එදාද ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙතැයි අනුමාන කර තිබුනත් අපේ ප්‍රදේශයේ නම් එවැන්නක් සිදු නොවීය. උදේ පාන්දරම  ගොස් අලියා ඉදිරියේ කතිරය ගසා ජොනීට පළමු මනාපය දීමෙන් මගේ පළමු ඡන්ද ය අවසන් විය. සවස් වන විට ඡන්දයේ සැබෑ ස්වරූපය හෙළිදරව් විය. රත්වත්තේගේ පුතුන් දෙදෙනා කුප්‍රකට උඩුතලවින්න ඝාතන සිදු කළ අතර මැතිවරණ ඉතිහාසයේ වැඩිම පිරිසක් මිය ගිය මැතිවරණයක් විය. එදා හවස දයානනන්ද දිශානායක දැඩි ආතතියකින් පෙළෙන ස්වරූපයකින් කතා කොට මෙහෙම ගියොත් පුරවැසියන් ඡන්දය දීමෙන් වළකිනු ඇතැයි කළකිරීමෙන් පැවසිය. කෙසේ වුවත් මමත් තාත්තාත් පවුලේ අනික් අයත් දැඩි ප්‍රීතියට පත් කරමින් එජාපෙ ප්‍රබල ජයග්‍රහණයක් ලැබීය. 

එසේ වුවත් ජයග්‍රහණයෙන් කෙටි කලකින්ම මිලේනියම් සිටි සිදුවීම, කොටින් සමඟ අත්සන් කළ සාම ගිවිසුම, ආදියෙන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහුනේය. රනිල් හැම දාම මෙන් ආණ්ඩු බලය ලබා ගත් පසු පිස්සු කෙළින්නට විය. අවසන වසර 2කට පසු ත්‍රිකුණාමල වරාය අවට කොටින් කඳවුරු ගසා ගෙන සිටින අයුරු සන්ඩේ ටයිම්ස් හි ඉක්බාල් අතාස් සිටුවේෂන් රිපෝට් හි පළ කර සතියක් ඇතුළත චන්ද්‍රිකා ආරක්ෂක හා මාධ්‍ය ආමාත්‍යාංශ ආපසු පවරා ගත්තාය. ඉන්පසු 2004 දී මංගල හා විමල් එක්ව තවත් පිරිසකගේ සහයෝගයෙන් තැනූ එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් ජාතිකවාදී පක්ෂය එජාජය මහමැතිවරණයේදී බරපතල පරාජයකට ලක් කළේය. 

3 comments:

  1. ඔබගේ බ්ලොගය මේ වන විට; බ්ලොග් අඩවි 930 කට පිවිසීමට හැකි අපගේ සිඩියට එක් කරගෙන ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩිය පිළිබඳ ඔබගේ ප්‍රචාරය අපට ඉමහත් ශක්තියකි!

    ReplyDelete
  2. /* උදේ පාන්දරම ගොස් අලියා ඉදිරියේ කතිරය ගසා ජොනීට පළමු මනාපය දීමෙන් මගේ පළමු ඡන්ද ය අවසන් විය. */

    ජොනී පනී!!!

    ReplyDelete