Saturday, April 8, 2017

උපන්දින ඡායාරූප තුළින් මතුවූ මරණයේ සෙවණැල්ල Shadow of Death seen through the Lenses of Birthday Photography

මා පළමුවරට  මේ ඡායාරූප දුටුවේ මීට වසර 25කට පමණ පෙර නිව්ස්වීක් සඟරාවකිනුයි. ඇඩොල්ෆ් හිට්ලර්ගේ "අවසන් විසඳුම" ගැන අසා තිබුනත් යුරෝපීය යුදෙව්වන් මුහුණ දුන් ඛේදවාචකය එතරම් ප්‍රබල ආකාරයකින් මා ඊට පෙර දැක තිබුනේ නැහැ. ස්පීල්බර්ග් ෂීන්ඩ්ලර්ස් ලිස්ට් නිර්මාණය කරන්නටද පෙර දුටු මේ ඡායාරූප හොලෝකෝස්ට් ගැන නොමැකෙන මතකයක් මා තුළ රැඳවීමට සමත් වුනා. 

වීදි කොනක කුසගින්නේ මිය යමින් සිටින කුඩා දැරියක් 
ඒ 1941 වසරයි. පෝලන්තයේ  වර්සාවා හි රාජකාරියේ නියුතු ජර්මානු භටයෙකු වූ හයින්ස් ජෝස්ට් තම උපන්දිනය සැමරීම සඳහා අපූර්ව කාර්යයකට අත ගැසුවා. එනම් ඒ වනවිට නට්සි හමුදා මඟින් පෝලන්ත යුදෙව්වන් 50,000 ක් පමණ ගාල් කර තිබූ වර්සාවා මුඩුක්කුවට ගොස් එහි ඡායාරූප ගැනීමයි. ඔහු ඒ සඳහා පෙළඹුනේ කුමක් නිසාද යන්න අද දක්වාත් අනාවරණය වී නැහැ. එහෙත් ඔහුගේ හද කම්පාකරවන ඡායාරූප නට්සීන් යටතේ යුදෙව්වන් මුහුණ දුන් ඛේදවාචකය කාලයේ බාධකයන් පරයමින් අප වෙත දක්වනවා.