1917
ජනවාරි මාසයේදී ලෙනින් සිටියේ ස්විට්සර්ලන්තයේ
සුරික් නුවරයි. තමාගේ ජීවිත කාලය තුළ රුසියාවේ විප්ලවය දැකීමට නොලැබෙනු ඇතැයි ඔහු
දැඩි කම්පාවකින් යුතුව පැවසීය. ඔහුගේ සහචරයා වූ ට්‍රොට්ස්කි එම අවස්ථාවේදී පදිංචිව
සිටියේ නිව්යෝක් නගරයේය. එවකට බොල්ෂෙවික් පක්ෂයේ සමස්ත සාමාජික සංඛ්‍යාව 24,000 ක් වූ කුඩා අන්තගාමි
සංවිධානයක් විය. එහෙත් ඉන් මාස හයකට පසු ඔවුහු රුසියාවේ පාලන බලය අත්පත් කරගත්හ.
එය සිදුවූයේ කෙසේද?
ව්ලැදිමීර් ඉලයිච් උලයානොව් — හෙවත්
ලෙනින් — නොසිටින්නට කාල් මාක්ස්ගේ න්‍යාය බොහෝ දුරට හුදු න්‍යායක් පමණක්ම වීමට ඉඩ
තිබුණි.
සාර් පාලනයට විරුද්ධ වූ ප්‍රධානතම පක්ෂය
වන 'රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු
පක්ෂය' විශ්වාස කළේ පළමුව ධනවාදී පාර්ලිමේන්තු
ප්‍රජාතන්ත්‍රවාදයකට අවතීර්ණ වී,
දෙවනුව නිර්ධන පන්තියේ ඒකාධිපතිත්වය (Dictatorship of the Proletariat) කරා යොමු විය යුතු බවයි. ඒ සඳහා නිර්ධන පන්තිය
සටන් හා අරගල තුළින් ස්වාභාවිකව
විප්ලවවාදී විඥානයක් කරා ළඟාවනු ඇතැයි පක්ෂය අපේක්ෂා කළේය. එහෙත් එම පක්ෂයේ ප්‍රධාන
පෙළේ ක්‍රියාකාරිකයෙකු වූ ලෙනින් මෙම මතය අනුමත කළේ නැත. ඔහු විශ්වාස කළේ නිර්ධන
පංතියට තනිවම සැබෑ විප්ලවවාදී විඥානයක් කරා ළඟාවිය නොහැකි බවයි — නිර්ධන පංතිය
තනිව ක්‍රියා කළහොත් ඔවුන් ළඟාවන්නේ වැටුප් හා වැඩ කොන්දේසි වෙනුවෙන් පෙනී සිටින
වෘත්තීය සමිති සංවිධානයකට මිස සැබෑ
විප්ලවීය දේශපාලන විඥානයකට නොවන බව ලෙනින්ගේ තර්කය විය.
මෙම
පසුබිම තුළ 1902-1903
වකවානුවේදී ලෙනින් සිය දේශපාලන මතවාදය ඇතුළත් කරමින්, පසුකාලීනව ලෝක දේශපාලනයට දැවැන්තම
බලපෑමක් ඇති කළ "කළ යුත්තේ කුමක්ද?" (What Is to Be Done?) නමැති ප්‍රසිද්ධ
දේශපාලන පත්‍රිකාව ප්‍රකාශයට පත් කළේය. ඇත්ත වශයෙන්ම, ලෙනින් පවා එවකට එයින් සිදුවිය හැකි
ආන්දෝලනාත්මක බලපෑම පිළිබඳව සිතන්නට නැතුවා විය හැකිය.ඔහුගේ තර්කය සරලය; එනම් නිර්ධන පන්තියට
තනිවම විප්ලවවාදී විඥානයක් කරා ළඟා විය නොහැක. එම නිසා, දැඩි කැපවීමකින් යුත් පූර්ණකාලීන
විප්ලවවාදීන්ගෙන් සමන්විත කුඩා "පෙරටුගාමී පක්ෂයක්" විසින් නිර්ධන
පන්තිය සංවිධානය කරමින් විප්ලවය වෙත මෙහෙයවිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම
මතභේදය හේතුවෙන් 1903
දී ලන්ඩනයේ පැවති පක්ෂ සම්මේලනයේදී පක්ෂය දෙකඩ විය (ඇත්ත වශයෙන්ම ඉස්ක්‍රා (
ගිනිපුපුර) නම් පක්ෂ පුවත්පතේ සංස්කාරක මණ්ඩල සම්බන්ධයෙන් වූ ඡන්දයකදී). එහිදී සිදුවූ ඡන්ද
ගණන් කිරීමේදී ලෙනින්ගේ පාර්ශ්වය ඡන්ද කිහිපයකින් ජයග්‍රහණය කළ බැවින්, ඔවුහු
"බොල්ෂෙවික්" (බහුතරය) නමින් හැඳින්වුණහ. විරුද්ධ පාර්ශ්වය
"මෙන්ෂෙවික්" (සුළුතරය) බවට පත් විය. නමුත් බිම්මට්ටමේ සැබෑ යථාර්ථය ඊට
සපුරා වෙනස් විය. මෙන්ෂෙවික්වරුන්ට 100,000 කට ආසන්න සාමාජික පිරිසක් සිටි නමුත්
බොල්ෂෙවික්වරුන්ට සිටියේ 24,000
ක් වැනි සුළු පිරිසකි. පසුව ලෙනින් සමඟ එක්වූ ට්‍රොට්ස්කි ද මුල් කාලයේදී
මෙන්ෂෙවික් පාක්ෂිකයෙකු වීම සුවිශේෂී වේ.
1905 දී රුසියාවේ ප්‍රථම විප්ලවීය තත්ත්වය
මතු වුවද එය අසාර්ථක විය. ඉන් පසු ලෙනින් වසර ගණනාවක් තිස්සේ ජිනීවා, පැරිස්, ක්‍රකව් සහ අවසානයේ
සුරික් ආදී විදේශීය නගරවල පිටුවහල්ව ජීවත් විය. 1917 ජනවාරි වන විට ඔහු දැඩි ලෙස අධෛර්යයට
පත්ව සිටියේ මේ නිසාය.
එහෙත් පළමු ලෝක යුද්ධය ඇවිලී ගොස් 1917 පෙබරවාරි මාසයේදී
සාර් පාලනය හදිසියේම බිඳ වැටුණේ ලෙනින් රුසියාවේ නොසිටි, එමෙන්ම ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවූ
මොහොතකය. ලෙනින් රුසියාවට ආපසු යාමට
සැලැස් වූවොත් එරට දේශපාලනිකව අස්ථාවර වනු ඇතැයි ජර්මනිය නිවැරදිව ගණනය කළ අතර,
ඒ අනුව ඔහුව රුසියාවට
යැවීම සඳහා ජර්මන් රජය විසින් විශේෂ ආරක්ෂිත (සීල් තැබූ) දුම්රියක් ලබා දෙන ලදී.
ජර්මානුවන් තමා ව රුසියාවට එරෙහිවම භාවිත කරන බව ලෙනින් ද දැන සිටියද, ඔහු ඒ පිළිබඳව
තැකීමක් නොකළේය. අනතුරුව ඉතා සූක්ෂම ක්‍රියාමාර්ග
ඔස්සේ පෙට්‍රොගාඩ් සෝවියට් සභාවේ බලය තහවුරු කරගත් ලෙනින් ඇතුළු බොල්ෂෙවික්වරු
ඔක්තෝබර් විප්ලවය මඟින් ආණ්ඩු බලය අත්පත් කරගත්හ. එහෙත්, ඔවුන්ට සැබෑ රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ
අභියෝගයට මුහුණ දීමට සිදු විය. එවකට සිටි බහුතරයක් රාජ්‍ය සේවකයන්
බොල්ෂෙවික්වරුන්ට සේවය කිරීම සහ ඔවුන්ගේ නියෝග පිළිපැදීම ප්‍රතික්ෂේප කළහ.
මෙම
අභියෝග සහ විරෝධතාවලින් පාලනය බේරාගැනීම සඳහා ලෙනින් විසින් "රක්ත
භීෂණය" (Red
Terror) රාජ්‍ය
ප්‍රතිපත්තියක් ලෙස නිල වශයෙන් දියත් කරන ලදී. ඒ යටතේ බොල්ෂෙවික්වරුන් විසින්
"පන්ති සතුරන්" (Class
Enemies) ලෙස
ලේබල් කරන ලද ඕනෑම පුද්ගලයෙකු අනුකම්පාවකින් තොරව ඝාතනය කිරීම ආරම්භ විය. ලෙනින්ගේ
ආරක්ෂක අමාත්‍යවරයා වූ ලියොන් ට්‍රොට්ස්කි මෙම මර්දනය සාධාරණීකරණය කරමින් පැවසුවේ
"බිත්තර නොකඩා ඔම්ලට් සෑදිය නොහැකි" බවයි. ලෙනින් මේ භීෂණය ක්‍රියාත්මක
කිරීම සඳහා යොදා ගත්තේ අනුකම්පා විරහිත කොමියුනිස්ට්වාදියෙකු වූ ෆිලික්ස්
සෙර්සින්ස්කි විසින් පිහිටුවන ලද 'චේකා' (Cheka) නමැති රහස් පොලිසියයි. ලෙනින් සහ
බොල්ෂෙවික්වරුන් දියත් කළ මෙම අමානුෂික මර්දනය දුටු ලෙනින්ගේ සමීප මිතුරෙකු වූ ප්‍රකට
ලේඛක මැක්සිම් ගෝර්කි දැඩි කම්පාවට පත් විය. බොල්ෂෙවික්වරුන් විසින් සමස්ත
රුසියානු ජනතාව රසායනාගාර මීයන් බවට පත් කරමින් ඔවුන් මත කෲර පරීක්ෂණයක් සිදු
කරමින් පවතින බව ගෝර්කි විවෘතවම ප්‍රකාශ කළේය. ලෙනින්ගේ මෙම භීෂණය හේතුවෙන් අවම
වශයෙන් රුසියානුවන් 50,000 ක් පමණ ඝාතනය කරනු ලැබූහ.
වර්තමාන වාමාංශිකයන් බොහෝ විට ප්‍රකාශ කරන්නේ ලෙනින් සැමවිටම
"ජාතීන්ගේ ස්වයං-නිර්ණ අයිතිය" වෙනුවෙන් පෙනී සිටි නායකයෙකු බවයි. එහෙත්
සැබෑ ඓතිහාසික යථාර්ථය ඊට වෙනස් විය. පැරණි රුසියානු අධිරාජ්‍යයෙන් වෙන්වී ස්වාධීන
වීමට උත්සාහ කළ යුක්රේනය, ජෝර්ජියාව,
බෙලරුසියාව සහ පෝලන්තය වැනි රාජ්‍යයන්
මර්දනය කර නැවත තම ග්‍රහණයට ගැනීම සඳහා රතු හමුදාව යොදා ගැනීමට ලෙනින් කිසිසේත් පසුබට වූයේ නැත.








