Tuesday, November 23, 2021

2001 ඡන්දය





මගේ කුළුඳුල් ඡන්දය භාවිතා කළේ 2001 දෙසැම්බර් පැවති මහමැතිවරණයේය. මේ ඒ ගැන ස්මරණයකි

2001 නොවැම්බර් මාසය වන විට ලංකාව තිබුනේ අවුල්ම අඩියක ය. පළමු වරට ආර්ථිකය සෘණ අගයක් ගත්තේය. කටුනායක ගුවන්තොටු පළට කොටි  පහර දුන්නෝය. කොටින්ගේ " නොනවතින රැල්ල" යම්තම් නවත්වා ගත්තත් රටේ යුද්ධය යන දිශානතිය ගැන කිසිවෙකුගේ කැමැත්තක් නොවීය. අවසන එස් බී දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු කිහිප දෙනෙක් රජයෙන් ඉවත් වීමත් සමඟ වසරක් ඇතුළත නව මහ මැතිවරණයක් කැඳවිමට චන්ද්‍රිකා බණ්ඩාරනායකට  සිදු විය. 

මැතිවරණය කැඳවීමත් සමඟ මංගල සමරවීර රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් සිය සුපුරුදු මඩ ව්‍යාපාරය පටන් ගත්තේය. කලින් චන්ද්‍රිකා සමඟ සභාගයකට ගිය සෝමවංශ අමරසිංහ, විමල් වීරවංශ ප්‍රමුඛ ජවිපෙ ජාතිකවාදී පිල සහයෝගය දුන්නේ පොදුජන එක්සත් පෙරමුණටයි. මේ අතර රවී වෙත්තසිංහගෙන් ලැබුණු කැම්පේන් බසයකට වී රනිල් වික්‍රමසිංහ සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේය. 

රාජ්‍ය මාධ්‍ය වල දැඩි ප්‍රචාරක කැම්පේන් එකට පිළීතුරු ලෙස යූ එන් පියට තිබුනේ ටි එන් එල් පමණි. එයිනුත්  චමුදිත සමරවික්‍රම මෙහෙයවූ ජන හඩ තුළින් ලසන්ත වික්‍රමතුංග ප්‍රහාරාත්මකව ඇතැම් විට ඉංග්‍රීසි සිංහල කලවමේ යොදා ගනිමින් රජය දැඩිව විවේචනය කළ ආකාරය අදද මගේ මතකයේ රැඳේ. එවක මංගල, විමල පිරිස විසින් "අලි කොටි ගිවිසුමක්" ගැන රාවයක් පතුරුවා හැර තිබිණි ( මිලේනියම් සිටි සිදුවීම ගැන බලන විට අද නම් එවැනි එකඟතාවයක් තිබෙන්නට ඇතැයි සාධාරණ සැකයක් පහළ වේ) ලසන්ත වික්‍රමතුංග මැතිවරණයට කලින් පැවතුණු අවසන් ජන හඩට එක් වෙමින් අනුර බණ්ඩාරනායක හා  ශ්‍රිලනිප ප්‍රබලයන් කොටි නායකයන් සමඟ ගන්නා ලද ඡායාරූපයක් පෙන්වමින් ගිවිසුම් කතාවට පහර දුන්නේය. 

මේ අතර කුරුණැගල ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ නැගිනි. මූලිකවම හිරියාල ආසනය නියෝජනය කළ සාලින්ද දිසානායක හා මුල් වරට පාර්ලිමේන්තුවට ඉල්ලන පළාත් සභා අමාත්‍ය ජොන්ස්ටන් "ජොනී" ප්‍රනාන්දු අතර ගැටුම උත්සන්න විය. ප්‍රදේශයේ එජාප සංවිධායකගේ නිවස තිබුනේ අපේ නිවස අසලමය. එක් සවසක මුහුණු ආවරණය කරගෙන පොලු ගත් මැරයන් පිරිසක් ඒ නිවසට පැමිණ නිවැසියන්ට තර්ජනය කළහ. ශ්‍රි ලංකාවේ මැතිවරණ ප්‍රචණ්ඩත්වය ගැන අසා තිබුනත් එතරම් සමීපයෙන් මා දුටුවේ එදාය. 

කෙමෙන් ඡන්ද දිනය උදාවිය. එදාද ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙතැයි අනුමාන කර තිබුනත් අපේ ප්‍රදේශයේ නම් එවැන්නක් සිදු නොවීය. උදේ පාන්දරම  ගොස් අලියා ඉදිරියේ කතිරය ගසා ජොනීට පළමු මනාපය දීමෙන් මගේ පළමු ඡන්ද ය අවසන් විය. සවස් වන විට ඡන්දයේ සැබෑ ස්වරූපය හෙළිදරව් විය. රත්වත්තේගේ පුතුන් දෙදෙනා කුප්‍රකට උඩුතලවින්න ඝාතන සිදු කළ අතර මැතිවරණ ඉතිහාසයේ වැඩිම පිරිසක් මිය ගිය මැතිවරණයක් විය. එදා හවස දයානනන්ද දිශානායක දැඩි ආතතියකින් පෙළෙන ස්වරූපයකින් කතා කොට මෙහෙම ගියොත් පුරවැසියන් ඡන්දය දීමෙන් වළකිනු ඇතැයි කළකිරීමෙන් පැවසිය. කෙසේ වුවත් මමත් තාත්තාත් පවුලේ අනික් අයත් දැඩි ප්‍රීතියට පත් කරමින් එජාපෙ ප්‍රබල ජයග්‍රහණයක් ලැබීය. 

එසේ වුවත් ජයග්‍රහණයෙන් කෙටි කලකින්ම මිලේනියම් සිටි සිදුවීම, කොටින් සමඟ අත්සන් කළ සාම ගිවිසුම, ආදියෙන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහුනේය. රනිල් හැම දාම මෙන් ආණ්ඩු බලය ලබා ගත් පසු පිස්සු කෙළින්නට විය. අවසන වසර 2කට පසු ත්‍රිකුණාමල වරාය අවට කොටින් කඳවුරු ගසා ගෙන සිටින අයුරු සන්ඩේ ටයිම්ස් හි ඉක්බාල් අතාස් සිටුවේෂන් රිපෝට් හි පළ කර සතියක් ඇතුළත චන්ද්‍රිකා ආරක්ෂක හා මාධ්‍ය ආමාත්‍යාංශ ආපසු පවරා ගත්තාය. ඉන්පසු 2004 දී මංගල හා විමල් එක්ව තවත් පිරිසකගේ සහයෝගයෙන් තැනූ එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් ජාතිකවාදී පක්ෂය එජාජය මහමැතිවරණයේදී බරපතල පරාජයකට ලක් කළේය. 

Thursday, November 18, 2021

පික්චර් පිස්සුව

 





21 වන සියවසේ මුල් භාගය පමණ වන තෙක් කුරුණෑගල නගරයේ තිබූ අවශේෂ සිනමා හල් වූ මොඩර්න්, නිව් සිනමා පසු කාලයක පාඩු ලබන මට්ටමේ පැවතිණි. මින් මොඩර්න් හි අවසන් කාලයේ පෙන්වූයේ සොෆට් ‌කෝ පෝන් චිත්‍රපට පමණි. හිටපු විශේෂඥ ‌වෛද්‍ය ජුපිටර් මූණමලේ මහතාට අයත් ජුපිටර් සිනමා ශාලාව තවමත් ක්‍රියාකාරි දැයි නොදනිමි. කුරුණෑගල ප්‍රධාන සිනමා ශාලා දෙක වූයේ කුරුණෑගල - නුවර පාර ආරම්භක ස්ථානයේ පිහිටි ඉම්පීරියල් සිනමා ශාලාවත් කුරුණෑගල පොළ හා වෛද්‍ය  නාවින්නගේ පුද්ගලික  රෝහල අසල පිහිටි  සිනෙක්ස්පෝ යන සිනමා ශාලාය. මගේ පික්චර් පිස්සුවේ ආරම්භය මේ සිනමා ශාලා දෙක හා බැඳී තිබේ. 

මා නැරඹූ මුල්ම චිත්‍රපටය මතකයක් නැතත් Sergio Leone ගේ For a Few Dollars More හා ‌ ෂෝන් කොනරි රැඟූ මුල්ම James Bond චිත්‍රපටය වන Dr No නම් පැරණි චිත්‍රපට නව පිටපත් මේ සිනමා  හල් දෙකෙන් එකක පෙන්වූ අවස්ථාවේ නැරඹූ බවට අතිශය දුර්වල මතකයක් තිබේ. සිනෙක්ස්පෝ සිනමා ශාලාවේ පෙන් වූ Indiana Jones and the Temple of Doom චිත්‍රපටය නරඹන්නට ගොස් දෙනවක හාමිනේ ඉන්නා ජවනිකාවක් නිසා බියට පත් ව චිත්‍රපටය මැදින් ආපසු ඒ්මට සිදු වූ බව තාත්තා පසු කාලයක නිතර මතක් කළේය. ඉන් පසුව මගේ මතකයේ රැනේනේ Rambo First Blood චිත්‍රපටයයි. ඉම්පීරියල් සිනමා ශාලාවේ ඉදිරිපස සිල්වර් ස්ටැලෝන් උඩුකය නිරුවත්ව  රොකට් ලෝන්චරයක් දෑතින් අල්ලා ගෙන සිටින දැවැන්ත කටවුට් එක අදද මගේ මතකයට එන්නේ නිරායාසයෙනි. ඒ් රෑපයම රැගත් විශාල ප්‍රමාණයේ පෝස්ටරයක් අපේ ගෙදර සෑහෙන කාලයක් තිබිණි. 




1960 හා 70 දශකවල සිය ගැටවර හා තරුණ විය ගත කළ තාත්තා එකල ජනප්‍රිය වූ ක්ලින්ට් ඊස්ට්වුඩ්, ෆ්‍රැන්කො නීරෝ රඟ පෑ spaghetti Western චිත්‍රපට නැරඹීමට අතිශයින් ප්‍රිය කළේය. ඒ් හැරුණු විට ක්‍රියාදාම චිත්‍රපට ද ඔහු ම ඟ නොහැර නැරඹීය. 1980 අග භාගයේ සිට 1990 මුල් භාගය දක්වා මා තාත්තා සමඟ නැරඹූ චිත්‍රපටවලින් මතකයට එන්නේ තිමති ‌ඩෝල්ටන් සිටි  Living Daylights, කෙවින් කොස්නර් හා රොබට් ඩි නීරො රඟ පෑ Untouchables, Indiana Jones Last Crusade, Punisher BMX Bandits හා ෆ්‍රෑන්ක් සිනාට්‍රා රඟ පෑ දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගත් Von Ryan's Express, Paul Verhoeven ගේ Robo Cop, Robin Hood Prince of Thieves පියාත් සමඟ සිනමා තිරයේ නැරඹු මතකයේ රැඳෙන චිත්‍රපට සමහරකි. 

1993 වසරේ ස්ටීවන් ස්පිල්බර්ග් තම ප්‍රකටම චිත්‍රපටය වන Jurrassic Park නිර්මාණය කළේය. ලංකාවට එය පැමිණියේ 1994 දී වූ අතර එවක චිත්‍රපටයේ හඩ පටය ප්‍රශස්තව ප්ලේ කිරීමට හඩ පද්ධතියක් තිබුනේ කොළඹ ලිබර්ටි මැජස්ටික් වැනි ප්‍රධාන පෙළේ සිනමා ශාලාවල හා කටුගස්තොට ඕඩියන් සිනමා ශාලාවේත් පමණකි. කුරුණෑගල ඉම්පීරියල්  සිනමා ශාලාවේ තිරගත වූ ජුරාසික පාක් චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂකයන් පැමිණියේ  වැල නොකැඩී පෝලිම් ගැසීය. එක් දර්ශන වාරයක් අවසන් වන තෙක් පිටත පෝලිමක් විය. කෙසේ වුවත් ඉම්පිරියල් සිනමා ශාලාවේ ගැලපෙන හඩ පද්ධතියක් නොතිබුනු නිසා ඔවුන් සිදු කලේ අර දෙමළ චිත්‍රපටලට මෙන් ශබ්දය උපරිමෙන් වැඩි කිරිමයි. ඩයිනෝසරයන් මහ හඩින් කෑ ගසන ඇති වන අමිහිරි නාදය ගැන අමුතුවෙන් කියන්න අනවශ්‍යයයැයි සිතමි. 

1995 පමණ තාත්තා වි සි ආර් යන්ත්‍රයක් මිල දි ගත් අතර එතැන් සිට විඩියෝ පට කුලියට ගන්නා තැන්වලින් දින පතා චිත්‍රපට ගෙනැවිත් බැලීමට හැකිවිය. ඒ සමඟම සිනමා ශාලාව තරමක් ඈත් විය. එවක කුරුණෑගල නගරයේ පොදු වෙළඳ සංකීර්ණය අසල හා පේෂකාර්මික ගොඩනැගිල්ලේ මෙන්ම රෝහල අසලත් එවැනි විඩියෝපට කුලියට දෙන ස්ථාන කිහිපයක් තිබුනි. කෙසේ වුවත් Gladiator, Mission Impossible වැනි කතා බහට ලක් වූ චිත්‍රපට අප සිනමා ශාලාවේ නැරඹීමු. ඒ හැරුනු විට උසස් පෙළ පංතියේ සිටියදී ඉස්කෝලේ කට් කර නැරඹූ එකම චිත්‍රපටය වන දිනේෂ් ප්‍රියසාද්ගේ "කොළම්පූර්" නිව් සිනමා හිදි නැරඹීමි.  

අවුරුදු ගණනකට පසු අද දවසේ අපහසුවකින් තොරව චිත්‍රපට නැරඹීමට මාර්ග සුලභ වීම නිසා දෝ එදා තරම් "පිස්සුවක්" නම් නැතත් තවමත් සිනමා ශාලාවේ චිත්‍රපටයක් නරඹන විට ඇති වන හැඟිමට මම කැමැත්තෙමි. අවසන් වරට මා  සිනමා ශාලාවක් වෙත රැගෙන ගිය චිත්‍රපටය වන ටැරන්ටිනෝ ගේ Once Upon a Time in Hollywood නැරඹීමේදි එය නැවතත් පසක් විය. 

Thursday, November 11, 2021

කුරුණෑගල මුල්ම චීන අවන්හල - චයිනීස් කැෆේ

 

මින් දශක 3කට පමණ පෙර , ඉම්පීරියල් සිනමා ශාලාව ඉදිරි පිට එනම් වත්හිමි පාර ආරම්භ වන ස්ථානයේ හා වර්තමානයේ කමර්ෂල් බැංකුවේ ශාඛාවක් තිබෙන ස්ථානයේ පිහිටියේ කුරුණෑගල පැරණිතම චයිනීස් අවන්හලයි. එය ආරම්භ කරන ලද්දේ මාඕ සේතුංගේ පාලනයෙන් පලා ආ චීන ජාතිකයෙක් විසින් බව මා අසා තිබේ. එහෙත් එම තොරතුරුවල සත්‍යසත්‍යතාවය  නම් නොදනිමි. මේ “මහ චීනා“ වරක් දෙවරක් මා දැක තිබේ. 



අප කුඩා කල චයිනීස් කැෆේ ප්‍රසිද්ධව තිබුනේ ඇණවුම ඉදිරිපත් කළ පසු ඒ වෙලේම පිළියෙල කරන උණු උණු චයිනීස් රෝල්ස්,කට්ලට් හා ප්‍රණිත සෝස් සඳහාය. එමෙන්ම ප්‍රනීත නූඩ්ල්ස් සුප් එකද එහි ප්‍රධාන ආහාරයක් විය. එමෙන්ම අද මෙන් උත්සව ශාලා නොතිබුනු ඒ සමයේ මගේ ඥාතියෙකුගේ විවාහ උත්සවය පැවතියේද ඒ අවන්හලේදීමය. මේ හැරුණු විට අද සෑම තැනකම දක්නට ලැබෙන රයිස් ආදිය මෙනුවට ඒම ආරම්භ වූයේ මෙවැනි මුල් චීන අවන්හල් වලින් යැයි විශ්වාස කරමි. කෙසේ වුවත් අද ඊනියා චීන අවන්හල්වල ආහාරවලට වඩා නම් චයිනීස් කැෆේ එකේ කෑම අතිශය රසවත් විය. එමෙන්ම අවන්හල ඉතා පිරිසිදු ව පවත්වා ගෙන යන ලදී. 

කෙසේ වුවත් 1990 දශකයේ මුල් භාගය වන විට චයිනීස් කැෆේ වැසී ගියේය. ඒ අවාසනාවන්ත තත්ත්වයට හේතුවුූයේ අවන්හලේ මුල් හිමිකරුගේ පුත්‍රයා මත්ද්‍රව්‍යවලට අබ්බැහි වී සියලු දේ නැති නාස්ති කරගැනීම බව වැඩිහිටියන් කතා කරනු මා අසා තිබේ. 

Sunday, November 7, 2021

කුරුණෑගල Asi House

 මින් අවුරුදු 35 කට පමණ පෙර කුරණෑගල ක්‍රිස්ත්‍ර රජිඳු මුල් දෙව් මැඳුර ඉදිරිපිට කඩ පෙළියේ පැරණි පොත් සාප්පුවක් විය . Asi House නම් වූ එහි වැඩිපුරම තිබුනේ 1960 -70 දශකවල නිකුත් වූ  ජනප්‍රිය ඉංග්‍රීසි ත්‍රිලර් නවකතා, සඟරා හා මාවල් ඩී සී කොමික්ස් යනාදියයි. පොත්පත් මිලට ගැනීම මෙන්ම සුළු මුදලකට පොත් බැහැර ගෙනයාමටද මෙහි හැකියාව තිබිණි. සෑහෙන කාලයක පටන් මගේ පියා මේ පොත්හලේ උද්යෝගිමත් සාමාජිකයෙක් විය. ඇතැම් විටක මම ද ඔහු සමඟ මේ පොත් හලට ගොඩ වැදී එහි පොත් පත් ආසාවෙන් බැලූ බව දැනුදු මතකයේ තිබේ. 

එවක ඉංග්‍රීිසි කියවීමේ හැකියාවක් නොතිබූ බැවින් මගේ වඩාත්ම සිත් ගත්තේ දෙවැනි ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය කමාන්ඩෝ සේනාංකයන්ගේ වික්‍රම රැගත් පැරණි බ්‍රිතාන්‍ය කොමික් වේ. ඒ හැරුනු විට ඩික් ස්ටයිවර්ස් නම් ඇමරිකානු ලේඛකයෙක් ලියන ලද Able Team නවකතාවක්ද මගේ මතකය් රැඳෙන්නේ එහි මුල් කවරය නිසා විය හැක. කෙසේ වුවත් 1990 දශකයේ මුල් භාගය වන විට පොත් වෙළඳාම පාඩු වූ නිසා ආසි හවුස් හිමිකරු ආපසු සිය ගම් පළාත වූ බදුල්ලට ගිය බව අසන්නට ලැබිණි.  කෙසේ වුවත් ඒ වන විටත් කොළඹ හැර රටේ අනිත් පළාත්වලින් පැරණි පොත් බැහැරට දෙන ස්ථාන ඉවත් වෙමින් පැවතිනි. මහනුවර බස් නැවතුම් පළ අසල පැවති Cindy's නම් පොත් හල 1990 දශකයේ මැද භාගය වෙන තෙක්ම පැවති බව මතකයට නැගේ.