Friday, February 16, 2024

Three Body Problem

 





මම විද්‍යා ප්‍රබන්ධ කතාවල රසිකයෙක් නොවෙයි.  ළමා වියේ කියවූ 2001 සිංහල පරිවර්තනය හා ආතර් සී ක්ලාක්ගේ පාරාදීසයේ උල්පත් වැනි ප්‍රබන්ධ කිහිපයකට මගේ කියවීම සීමා වනවා. එය මා සොයා ගෙන කියවන genre එකක් ද නොවේ. එසේ තිබියදී බැරැක් ඔබාමාගේ සිට මුහුණු පොතේ යහළුවන් කිහිප දෙනෙකු දක්වා ඉහළින්ම නිර්දේශ කළ මෙම විද්‍යා ප්‍රබන්ධ නවකතාව මා කියවන්නේ හුදු විද්‍යා ප්‍රබන්ධයකට වඩා යමක් ඇතිදැයි කුතුහලයෙන්. විද්‍යා ප්‍රබන්ධ නවකතා සඳහා ලබන ඉහළම අන්තර්ජාතික ත්‍යාගය වන හියුගෝ ත්‍යාගයෙන් පිදුම් ලැබූ Three Body Problem 2023 චීන රූපවාහිනී මාලාවකටද 2024 මාර්තු නව නෙට්ෆ්ලික්ස් කතාමාලාවකටද පදනම් වනවා. කතුවරයා වන සික්ෂින් ලියූ චීන ජාතිකයෙක් නිසාම   මෙම නවකතාව තුළ ප්‍රධාන චරිත මෙන්ම දෘෂ්ඨිකෝණයද චීන සංස්කෘතියට වඩාත් සමපාත වන බැවින් ඇතැම් විට බටහිර විද්‍යා ප්‍රබන්ධවලට වඩා අපට නුහුරු බවක් දැනිය හැකියි. Three Body Problem අයත් වන්නේ hard sci-fi ශානරයටයි - එබැවින් ඇතැම් භෞතික විද්‍යා සංකල්ප ගැන මූලික දැනුමක් තිබීම ප්‍රෙයාජනවත් විය හැකියි. නවකතාව එක කාල රේඛාවක් ගමන් නොකරන අතර අතීතය හා වර්තමානය අතර දෝලනය වනවා.

සික්ෂින් ලියූ


නවකතාව ඇරඹෙන්නේ 1968 වසරේ චීනයේ සංස්කෘතික විප්ලවය තදින්ම ක්‍රියාත්මක වූ අවදියක. යේ වෙන්ජී  ෂිංගුවා විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාව හදාරන දීප්තිමත් ශිෂ්‍යාවක්. ඇගේ පියා එම විශ්වවිද්‍යාලයේම භෞතික විද්‍යා මහාචාර්යවරයක් වූවත් සංස්කෘතික විප්ලවය යටතේ “බටහිර විද්‍යාව“ ප්‍රතික්ෂේප නොකරීම නිසා තරුණ විප්ලවවාදීන්ගේ උදහසට ලක්වී අවසන ඇය  ඉදිරිපිටදීම මරණයට පත් කරනු ලබනවා. ද්‍රෝහියෙකුගේ දියණියක් වශයෙන් ඇයව කම්කරු කණ්ඩායමකටත් පසුව සිරගෙටත් නියම කරනු ලබනවා. මේ නිසා හා Silent Spring වැනි පොත් කියවීම නිසා වෙන්ජි මානව වර්ගයා ගැන කෙමෙන් දැඩි කළකිරීමට පත් වනවා. කෙසේ වුවත් ඇගේ පියාගේ පැරණි ගෝලයෙක් නිසා ඇයට චීන රජයේ අභිරහස් රේඩියෝ තරංග මධ්‍යස්ථානයක් වෙත සම්බන්ධ කෙරෙනවා. අභ්‍යවකාශයට රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කිරීමට  ඉතා බලගතු ඇන්ටනාවක් එම මධ්‍යස්ථානය සතු වනවා. ඒ ඇන්ටනාව ආශ්‍රිතව පර්යේෂණ පවත්වන යේ වෙන්ජි 1971 වසරේ යවන දෛවෝපගත රේඩියෝ තරංග සම්ප්‍රේෂනයක් සමස්ත මානව වර්ගයාගේම ඉරණමට ඉතා දැඩිව බලපාන බව ඒ මොහෙතේ ඇය නොසිතන්නට ඇති.

වසර 40කට පසු වර්තමානයේ   බීජිං හි නැනෝතාක්ෂණය පිළිබඳ මහාචාර්ය වැං මියාඕ හට කැඳවීමක් ලැබෙන්නේ ලොව පුරා ඉහළ පෙලේ විද්‍යාඥයන් රැසක් මෑත කාලයේ සිය දිවි නසා ගෙන මරණයට පත් වීම සොයා බැලීමටයි. මොවුන් වැඩි දෙනෙක් සංකල්පීය භෞතික විද්‍යාවට සම්බන්ධ අය මෙන්ම Frontiers of Science නම් සංවිධානයේ සාමාජිකයන්. තමාටත් ඒ සංවිධානයට සම්බන්ද වන ලෙස ආරාධනයක් ඇති චීන රජයේ එහි ඔත්තු බැලීමට වැං මියාඕ යවනු ලබනවා. එහිදී Three Body නම් පරිගණක ක්‍රීඩාවක් ලෝකයේ ජනප්‍රිය වී ඇති බව ඔහු දැකගන්නවා. සූර්යයන් තුනක බලපෑමකට යටත් වූ ලෝකයක ඉරණම මේ පරිගණක ක්‍රිඩාවෙන් විස්තර කෙරෙන්නේ මානව ඉතිහාසයේ ප්‍රකට චරිත ක්‍රීඩාවේ චරිත බවට පත් කිරීමෙන්. සූර්යයන් තුන්දෙනෙකුගේ බලපෑම නිසා මේ ලෝකයේ ස්වභාවට ඉතාම අස්ථායි - මාරුවෙන් මාරුවට ස්ථායි යුගයක් හා අධි උෂ්ණත්වය හා අධි සීතල සහිත යුගයන් හටගන්නවා. මේ ආන්තික වෙනස් වීම් නිසා මේ ලෝකයේ ශිෂ්ටාචාරයන් ඇති වී නැති වී යනවා. මෙයට එකම පිළියම වස්තූන් 3ක බලපෑමට යටත් වන වස්තුවක හැසිරීම ගැන ගැටළුව එනම් Three Body Problem නිරාකරණය කිරීමයි.

මේ අතර ලෝකයේ සියලු ප්‍රබල රටවල්, ඇමරිකාව හා චීනය පවා, සතුරුකම් අමතකර කර කිසියම් බාහිර බිහිසුණු අනතුරකට මුහුණ දීමට එක්ව ක්‍රියා කරන බවත් වැං මියාඕ නිරීක්ෂණය කරනවා.

යේ වෙන්ජිගේ රේඩියෝ තරංග සම්ප්‍රේෂණය, වර්තමානයේ විද්‍යාඥයන්ගේ සිය දිවි නසාගැනීම් හා Three Body පරිගණක ක්‍රීඩාව අතර සම්බන්ධය කුමක් ද? ලෝකයේ බලගතු රටවල් ත්‍රස්ත කරන අනතුර කුමක්ද? Frontiers of Science සංවිධානයට මෙහෙවන අභිරහස් මානව විරෝධී සංවිධානයේ අරමුණ කුමක්ද?  මේක දැනගන්න ඔබ නවකතාව කියවන්නම ඕන.

චරිත නිර්මාණය අතින් දුබලතා තිබුනත් අනික් සෑම අතින්ම මා කියවූ විශිෂඨතම හා මානව වර්ගයාගේ පැවැත්ම සම්බන්ධ විවිධ පැතිකඩවල් ඔස්සෙ සිතීමට පොළඹවන ඉතාම උසස් මට්ටමේ හා ඉතාම සංකීර්ණ තුන් ඈදුතු නවකතාවක ආරම්භය මෙමඟින් සනිටුහන් කෙරෙනවා.

Thursday, February 1, 2024

MTV ආගමනය

 





මා ළමා විය ගත කළ 1980 දශකයේ අගභාගයේ කුරුණෑගල ප්‍රෙද්ශයෙට නැරඹීමට ලැබුනේ ශ්‍රී ලංකා රූපවාහිනිය පමණි. එවක තාත්තා සමඟ නැරඹූ  ඒ ටීම්, වී, මයාමි වයිස්, මැගයිවර් වැනි ටී වී සීරිස් අදත් මතකයට නැගේ. 1988 -89 භීෂණ සමයේ වුවද රූපවාහිනියේ මේ බටහිර සීරිස් අඩු වූයේ නැත. එවක මට නැරඹීමට නොලැබුනේ “වඩාත් සුදුසු වැඩිහිටියන්ට“ ලෙස විකාශය වූ “ධනවත් බලවත් කැරිංටන් පවුලේ කතාව“ නොහොත් ඩිනාස්ටි පමණි. රැවුල කපාගත්  රෝහණ විජේවීර අප්‍රසන්න හඩකින් රූපවාහිනියේ කතා කළ රාත්‍රියෙන් පසුව රට තරමක් යහපත් අතට හැරුනත් අලුත් ජනාධිපති ප්‍රේමදාස යටතේ රූපවාහිනිය කෙමෙන්  අප්‍රසන්න වන්නට ගත්තේය.  සාමාන්‍යෙයන් එක්සත් ජාතික පක්ෂයට හිතැති අය පවා ඔහුව හැඳින්වූයේ එක්කෝ “පුෂ්පකුමාර“ නොහොත් “සත පහ“ යනුවෙනි. පුෂ්පකුමාර වූයේ හැමවිටම මල්වට්ටියක් ගෙන පන්සල් යන ආකාරය රූපවාහිනි ප්‍රවෘත්ති වල පෙන්වූ නිසා විය යුතුය. ඒ හැරුණු විට ප්‍රවෘත්ති ප්‍රකාශයේ “ අතිගරු ජනාධිපතිතුමා අවධාරණය කරයි“ ලෙස බොහෝ නිවුස් අයිටම් අවසානයේ ප්‍රකාශය කිරීම තාත්තාගේ උසුළු විසිළුවට ලක් විය. 

“වැවයි දාගැබයි ගමයි පන්සලයි“ යනුවෙන් කවුදෝ අන්තේවාසිකයෙකුගේ පිස්සු ස්ලෝගන් එකක් කරේතබාගත් හීනමාන පුෂ්පකුමාර තුමා රූපවාහිනිය සම්පූර්ණයෙන්ම කෑවේය. එනම් ඔලිවර් ක්‍රොම්වෙල් එංගලන්තයේ නත්තල තහනම් කර පිස්සුවක් කෙලියා මෙන් ඊනියා බොදු සංස්කෘතියක් උලුප්පා දක්වමින් රූපවාහිනියේ බටහිර ක්‍රියාදාම සීරිස් හා වැඩසටහන් මෙන්ම චිත්‍රපටද නැත්තටම නැති කළේය. ඒ අතින් සරත් අමුණුගම කියන රූපවාහිනියට අත නොපෙවූ  පරිදි ජේ ආර් ලොක්කා දාහකින් සම්පතය. 1994 චන්ද්‍රිකා ජනාධිපති වුවද තත්ත්වයේ වෙනසක් සිදු නොවීය. රූපවාහිනිය මෙලෙස පට්ට බෝරිං වී ඇති කාලයකය මහරාජා සමූහ ව්‍යාපාරයෙන් MTV රටටම නැරඹිය හැකි පරිදි UHF තරංග ඔස්සේ බෙදා හරින්නට පටන් ගත්තේ.  ඊටත් කලින් කිංස්ලිලා, නිමල් ලක්ෂපතිආරච්චිලා  සිරස ගුවන් විදුලියෙන් විප්ලවයක් සිදු කළත් රූපවාහිනී ක්ෂේත්‍රයට එන්නෙ තරමක් කල් පසුවීය. මට මතක හැටියට මුල් වරට මා එම් ටී වී තුළින් නැරඹූයේ ටාර්සන් කතා මාලාවකි. ඒ 1994 පමණදීය. එවක ලොකු ප්‍රශ්නයක් වූයේ තරංග මාලා අසුවන පරිදි ඇන්ටනව කරකවන්නට සිදු වීමයි. එම් ටී වී පැත්තට හැරවූ පසු රූපවාහිනිය නොපෙනී යයි. 

කෙසේ වුවත් එසමයේ හොඳම චිත්‍රපට රැසක් නැරඹීමට ලැබුනේ MTV වලට පින්සිදු වන්නටය. D Day එකේ පනස් වැනි සංවත්සරයට සමපාතව විකාශය වූ Longest Day අදත් මගේ මතකයේ රැඳේ. ඒ හැරුනු විට Godfather, Hatari, Aliens, Terminator, Cobra, Rambo වැනි චිත්‍රපටද Time Trax, Kung Fu Legend Continues, Wizard ආදි ටී වී සිරිස් ද එම් ටී වී මඟින් එකල විකාශය කළේ ඉඩෝරයට දිය දෝතක් මෙනි. කෙසේ වුවත් 1996 පමණ විට රූපවාහිනියද X Files ආදි සිරිස විකාශය කරමින් තරමක් යහපත් අතට හැරුනි. 1996 පමණ මුල් වරට වී එච් එස් යන්ත්‍රයක් මිලට ගත් බැවින් චිත්‍රපට සඳහා ටීවී බැලීම තරමක් අඩු විය. 

මේ හැරුනු විට තාත්තාගේ පාසල් මිතුරෙක් වූ සැමී දොස්තර මහතා එම්ටී වී එකේ යන චිත්‍රපට වී එච් එස් කැසට්වල පටිගත කළ අතර ඔහු සතුව එවැනි කැසට් පටි විශාල එකතුවක් විය. එසේ පටි ගත කෙරුනු චිත්‍රපට පසුකාලීනව ද නැරඹිමට හැකි විය.