Wednesday, May 31, 2017

ලෝකයේ වඩාත්ම බියජනක චිත්‍රපටය නැරඹීමි The Scariest Horror Film in the World




උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණයේ බිල්බෝඩ් පුවරුව මා දකින්නේ බොරැල්ලේ ලි‍ඩෝ සිනමා ශාලාව පසු කර යද්දීය. එය දුටු වනම ඒ සඳහා ආභාශය ලබා ඇත්තේ කොතනින්දැයි නිච්චියක් ලැබිණි. මගේ අනුමානය සනාථ වූ‍යේ පසුව "බන්ධනය" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය යූ ටියුබ් ඔස්සේ නැරඹීමෙනි. ඒ අනුව "බන්ධනය" යනු විලියම් පීටර් බ්ලැටීගේ  ජනප්‍රිය භීෂණාත්මක නවකතාව ඇසුරින් විලියම් ෆ්‍රයිඩ්කින් අධ්‍යක්ෂණය කරන ලද 1973 දී තිරගතවූ ආන්දෝලනාත්මක Exorcist (යකැදුරා) චිත්‍රපටයේ ලාංකීය අනුවර්තනයක් බව මට පසක් විය.  සාමාන්‍යයෙන් එක්සෝසිස්ට් චිත්‍රපටය හැඳින්වෙන්නේ "ලොව වඩාත් බියජනක චිත්‍රපටය" ලෙසය. එම චිත්‍රපටය නිෂ්පාදනය කෙරුනු සමයේ තාක්ෂණය හා එහි මනා හැසිරවීම නිසාම එවක එය නැරඹූ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරයන් උද්වේගකර විය. සිනමා ශාලා තුළ ක්ලාන්ත වීම්, වමනය දැමීම් ආදිය වාර්තා විය. පහත යූ ටියුබ් වීඩියෝවෙන් එය මනාව පැහැදිලි වනු ඇත. 



මගේ පියාගේ පුස්තකාලයේ මුල් නවකතාවේ පිටපතක් තිබිනි. එහෙත් කුඩා කල සිටම එහි අඳුරු වර්ණ පිටකවරයේ මුද්‍රිත අපැහැදිලි මුහුණ මා හට ගෙන ආවේ බියජනක හැඟීමකි. එය වඩාත් තීව්‍ර වූයේ පාසලේ දෙක වසරේ පමණ සිටියදී අපේ පවුලේ හිතවතියක් වූ මගේ පංති භාර ගුරුතුමිගේ නිවසේ පැවති නත්තල් සාදයකදී ඇගේ පුත්‍රයා විසින් එක්සෝසිස්ට් චිත්‍රපටයේ වී සී ආර් පිටපතක් අප හට ප්‍රදර්ශනය කළ පසුය. ඒ ඉතා සුලු වේලාවක් සඳහා පමණක් වුවද මා තුළ ඇති කලේ ‍නොමැකෙන මතකයකි. නවකතාව කියවීමට තරම් ඉංගිරිසි දැනුමක් ලැබූ ගැටවර වියේදී එය කියවූ විට මා බියට පත් කිරීමට සමත් තරම් විය - ඒ අතරම යමක් අලුතින් හිතන්නට පෙළඹවූ නවකතාවක්ද විය - කෙසේ වුවත් ඒ අවදියේ මම දැඩි ආගම් භක්තිකයෙක් වීමි. විලියම් පීටර් බ්ලැටී එය ඊනියා "සැබෑ" සිදුවීමක් ඇසුරින් නවකතාවට නැගූ බව පැවසුවද අද වන විට එය විවාදාත්මක වේ. එය කතෝලික/ක්‍රිස්තියානි මිත්‍යා විශ්වාස අනුව නම් "සැබෑ" සිදුවීමක් විය හැක. චිත්‍රපටයේ තිර රචනය ලියන්නේද  විලියම් පීටර් බ්ලැටීම ය. 

ඉරාකයේ මෝසුල් නුවර හා ඇමරිකාවේ ‍වොෂිංටන් නගරය කේන්ද්‍ර කොට ගෙන රූගත කරන ලද මේ චිත්‍රපටයේ ප්‍රධාන තේමාවක් වන්නේ දෙවියන්වහන්සේගේ නිහඩතාව යන සංකල්පයයි. ‍ජෝජ්ටවුන් හි සිය චිත්‍රපට නිළි මව ක්‍රිස්  සමඟ ජීවත් වන 13 හැවිරිදි රීගන් මැක්නීල් එකවනම අතිශය බියජනක හැසිරීම් දැක්වීමට පටන් ගනියි - ඇගේ මුහුණ විරූප වී කටහඩ අමානුශික ස්වරයක් ගනී.. ඇය අතින් මනුශ්‍ය ඝාතනයක්ද සිදුවේ.  ඇය සුව කිරීමට වෛද්‍ය විද්‍යාව අසමත් වන විට ක්‍රිස් පිහිට පතන්නේ ප්‍රවීන ‍මනෝ වෛද්‍ය විශේෂඥයෙකු මෙන්ම ජෙසුයිට් පූජකවරයෙකුද වන ඩේමියන් කරාස් ගේය. තම මවගේ බේදජනක මරණය නිසා සිය ආගමික විශ්වාසයන් සමඟ  බිඳිමක් ඇතිකරගෙන සිටින කරාස් පියතුමා රීගන්ව පරීක්ෂාවට භාජනය කරන්නේ ඇය මනෝ ‍ව්‍යාධියකින් පෙළෙන බවට‍ විශ්වාසයකින් යුතුවයි. එසේ වුවද අවසානයේ ඩේමියන් කරාස් හට  කතෝලික පල්ලියට අයත් ප්‍රකට යකැදුරෙකු වන වයෝවෘද්ධ ලැන්කැස්ටර් මෙරීන්ගේ සහාය ලබා ගැනීමට සිදුවන්නේ එය සැබෑ "යක්ෂාවේශ වීමක්" ලෙස ඔහුටම පිලිගැනීමට බලකෙරෙන නිසාය. 

අද හා එදා දක්නට ලැබුනු/ ලැබෙන බොහෝ හොරර් මාදිලියේ චිත්‍රපටවලට පොදු ලක්ෂණයක් වන්නේ ප්‍රේක්ෂකයා විරූපී මුහුණු, බියජනක සංගීතය, හදිසි බියකරු සිදුවීම් ආදියෙන් බියට පත් කිරීමේ හැකියාවයි. මේ අනුව හොරර් චිත්‍රපටයක සාර්ථකත්වය මනිනු ලබන්නේ බියට පත් කිරීමේ හැකියාව අනුව විනා එහි චරිත නිරූපණය, මූලික තේමාවන් හා අධ්‍යක්ෂණය වැනි සාධක මත නොවේ. එසේ වුවද එක්සෝසිස්ට් චිත්‍රපටය මේ හොරර් වට්ට‍ෝරුවෙන් බොහෝ වෙනස් වූ චිත්‍රපටයකි. එහි සංගීතය භාවිතය අවමය. විරූපි මුහුණු ආදිය දක්නට ලැබුනද ඒ සියල්ලටම වඩා චිත්‍රපටය තුළ ප්‍රබල කතාවක් දක්නට ලැ‍බේ. අධ්‍යක්ෂණය, කැමරාකරණය මෙන්ම චරිත නිරූපණයද විශිෂ්ඨ මට්ටමක පවතී. 1974 ඇකඩමි සම්මාන සඳහාද චිත්‍රපටය නිර්දේශ වූයේ ඒ නිසා විය හැක. ඒ සියල්ල පරයමින් නැගෙන චිත්‍රපටයේ මූලික තේමාව ඇතැම් විට පොතේ කතුවරයා නොසිතූ දෙයක් වන්නට ඇත. එනම් ආගමික විශ්වාසයන් කෙපමණ තිබුනත්  ජීවිතයේ නැගෙන කරදර බාධක ජයගත හැක්කේ තමන්ගේම කැපවීමෙන් විනා නොපෙනෙන බලවේග පිළිබඳ විශ්වාසය තැබීමෙන් නොවන බවයි. 

පසුකාලීනව එක්සෝසිස්ට් චිත්‍රපටයට තවත් කොටස් කිහිපයක් මෙන්ම එය අනුකරණයෙන් ඉන්දියානු චිත්‍රපට කිහිපයක්ද බිහිවිය. එහෙත් මුල් චිත්‍රපටයේ සිනමාරූපි බව ඒවාවල තිබිනිදැයි යන්න සැකසහිතය.

Tuesday, May 16, 2017

10,000 පසු කිරීමි

සිංහලෙන් බ්ලොග් එකක් කිරීමේ ආශාව මුල් වරට ඇතිවන්නේ 2011 පමන කාලයේය  එසේ වුවත් ලත් තැනම ලොප්වූ උත්සාහයන් කිහිපයකින් පසු වරින් වර ග්‍රවුන්ඩ්වීව්ස්, කළම්බු ටෙලිග්‍රාෆ් ආදි අඩවිවලට සැපයුනු ඉංගිරිසි ලිපි කිහිපයකට මගේ ලිවී‍මේ ව්‍යායාමය සීමා විය. ඉන් කිහිපයක් මනා පාඨක අවධානයට ලක්වූ බව කොමෙන්ටු අනුව පැහැදිලි වුවද තවදුරටත් උදාසීනතාව, කාර්යබහුලතාව ආදිය නිසා බ්ලොග් එක දියත් වූයේම නැත. එසේ වුවත් දැනට බ්ලොග් අවකාශයෙන් සමුගෙන සිටින මාලන් සමරවික්‍රම ගේ දිරිමත් කිරීමද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ අතර 2015 ජූලි මස මගේ උපන්දිනයෙන් හරියටම දවසකට පසු එතෙක් මගේ ජීවිතයට විශාල බලපෑමක් කළ, මගේ හොඳම මිතුරා ලෙස මා සලකන තාත්තා කෙටි කලක් අසනීපව සිට සඳහටම අප හැර යාම මා හට දරා ගැනීමට අපහසු විශාල පහරක් විය. එහෙත් යම් ආකාරයකින් මෙතෙක් මා කල් දමමින් සිටි කාර්යයක් ආරම්භ කිරීමටද එය එක්තරා ආකාරයකින් බලපෑවේය.  

මේ අනුව 2015 අගහරියේදී මා මෙතෙක් සිත තුළ සිරකර ගෙන සිටි දෑ වචන වලට කැටි කරන්නට පටන් ගතිමි. ආරම්භයේදි බ්ලොග් පෝස්ට් ඉතා කෙටි විය. පෝස්ට්වල හිට්ස් සොයා ගැනීම සඳහා මගේම හිට්ස් ට්‍රැක්වීම නිශ්ක්‍රීය කරදැමීමි. එහෙත් මුල් කාලයේ නම් හිට්ස් ගණන ඉතාම අඩු මට්ටමක පැවතිණි. මේ තත්ත්වයට හේතු වූයේ මගේ පෝස්ට් මසකට එකක් පමණ සීඝ්‍රතාවයකින් පළවීම හා ප්‍රචාරණය මඳ වීමත් විය හැක. ඒ තත්ත්වය වෙනස්වූ‍යේ මෞර්ය රාජ් ලබා දුන් ප්‍රචාරණයත් සමඟ බව සඳහන් කරන්නේ කෘතඥපූර්වකවය. 2015 සිට මේ දක්වා මා ලියා ඇති සමස්ත පෝස්ට් ගණන 32 කි. වසර 2ක් වැනි කාලයක් තුළ අවම සීඝ්‍රතාවයකින් ලියන ලද එවැනි අඩු පෝස්ටු ගනනක් සඳහා හිට්ස් 10,000 සීමාව පසු කිරීම බ්ලොග් ලෝක‍යේ දැවැන්තයන් හා සැලකූ විට ඉතාම සුලු කරුණක්  වූවත්, ඒ සඳහා දායක වූ පාඨකයන්ට උපහාරයක් ලෙස මේ කඩ ඉම මෙසේ සටහන් කරමි.  තවදුරටත් ඔබගේ අදහස් හා යෝජනා අගය කොට සලකමි.