Monday, October 28, 2019

Friday, October 11, 2019

සත්‍යෝදයේ සිට භික්ෂුවකගේ උරුමය දක්වා


අබෞද්ධයෙකු වශයෙන් බුදු දහම ගැන මුල් වරට පැහැදිලි වැටහීමක් ලබා ගැනීමට මා හට උපකාරී වූයේ  මහාචාර්ය වල්පොළ රාහුල හිමියන්ගේ What the Buddha Taught  පොත් පිංචයි. එසේ වුවත්  එම පොතේ එතුමා දැක්වූ අදහස් අනගාරික ධර්මපාලතුමා චිකාගෝවේ දැක්වූ අදහස් මෙන්ම සිය සැබෑම අදහස් නිරූපණය නොවන්නේදැයි කුකුසක් ඇති වූයේ එතුමා පසුකාලීනව සිදු කරන ලද පුවත්පත් සාකච්ඡා ආදිය කියවීම නිසාය. 1956 පෙරළියට පවා උත්තේජයක් සැපයූ “භික්ෂූවකගේ උරුමය” පොත කියවන්නේ මේ නිසාමය. එම පොතට පෙර වදනේ ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසන්නේ කෘතියේ සන්දර්භය ගැන පැහැදිලි අදහසක් ලබා ගැනීමට රාහුල හිමියන්ම රචිත “සත්යෝදය” ද කියවන ලෙසයි. එම නිසාම එකක් පසුවට අනෙක වශයෙන් අදාළ කෘති දෙකම කියවීමි.



සත්‍යෝදය යනු 1933 හා 1934 වසරවලදී වල්පොල රාහුල හිමියන් එවක ලංකාවේ බෞද්ධයන් අතර පවතින විවිධ මතවාදයන් සම්බන්ධයෙන් සිය අදහස් පළකරමින් නිකුත් කරන ලද පත්‍රිකා කිහිපයක් 1992 වසරේදි පොතක් ලෙස පළ කිරීමකි.  එසේ වුවත් බෞද්ධයන් අතර පවතින එම අදහස් එදත් අදත් වැඩි වෙනසක් නැති නිසා ඒ පොත අදටද එලෙසින්ම අදාළ කරගත හැකිය. උන්වහන්සේ පහත දැක්වෙන කරුණු (හා තවත් ඒවා ) මේ තුළින් මතු කරති. බුද්ධ ප්‍රතිමාවලට ආහාර පිලිගන්වමින් කරන බුද්ධ පූජා අනර්ථකාමි බවත් සැබෑ බුද්ධ පූජාවක් වන්නේ ඒ ආහාර අසරණයන්ට දුගීන්ට පූජා කිරීමෙන් බව, ආලෝක පූජා ආදි විවිධ ආමිස පූජාවන්ගේ ඇති නිරර්ථක බව, ලැබෙන ආනිශංස ගැන සිතමින් පින් කිරීමේ නිරර්ථක බව, නිර්වාණය ලැබෙන බවට “ප්‍රාර්ථනා” කිරීමම ආත්මාශාව නිසා නිර්වාණයෙන් ඈත් කරවන්නක් බව, බණ අවසානයේ පිරිකර පූජා කිරීම නිරර්ථක බව, සාම්ප්‍රදායිකව පැවතෙන සිරිත් ඒ නිසාම පිළිනොපැදිය යුතු බව සහ  තර්කාන්විත විය යුතු බව, ඇතැම් පුරාණ අටුවා හා අනෙකුත් ධර්ම ග්‍රන්ථ භීක්ෂූන්ට වාසි වන පරිදි  ලියැවීමේ හැකියාවක් ඇති බවින් තර්ක බුද්ධියෙන්ම එලෙස සාම්ප්‍රදායික කරුණු බුදුන් වහන්සේ දෙසූ ධර්මයට අනුකූලදැයි සොයා බැලිය යුතු බව හා ඉතාම විප්ලවකාරී ලෙස සංඝරත්නය යන්නට අදාළ වන්නේ භික්ෂූවක් වීම නිසා නොවන බවත් නිවැරදි මාර්ගයේ ගමන් කරන අට ආර්ය අවස්ථාවේ සිටින කවර හෝ පුද්ගලයෙකු මහා සංඝරත්නයට අයත් බවද එතුමා සඳහන් කරයි. එමෙන්ම භික්ෂූන් නොමැති විම හෝ දාගැබ් විහාර නොමැතිවීම නිසා බුද්ධ ශාසනය නොනැසෙන බවද කිසිම භික්ෂූවක්  හෝ විහාරස්ථානයක් නොමැතිවද බුදු දහම පවතින බවද එතුමාගේ අදහසයි.

සන්දර්භය සැලකූ විට මේ අදහස් පළ කරන විට එතුමා වයස අවුරුදු 26 ක හෝ 27ක තරුණ වියේ පසුවූ බව සැලකිය යුතුය. එමෙන්ම එකල ලංකාවේ වියතුන් අතර ප්‍රකටව තිබූ සමාජවාදී අදහස්වල බලපෑම රාහුල හිමියන්ටද දැනීම මේ සමහර රැඩිකල් අදහස් වලට හේතුවිනි දැයි සැකයක් මට ඇතිවිය.


භික්ෂූවකගේ උරුමය රාහුල හිමියන් ලියන්නේ ඊට දශකයකටත් පසුවය. ඒ වන විට මැදිවියට පැමිණ සිටි එතුමා  කෘතිය ලිවීමට මූලික හේතුව 1946 වසරේ එවක අග්‍රමාත්‍ය ඩී ඇස් සේනානායක මහතා හා එතුමාගේ අමාත්‍යවරුන් විසින් භික්ෂූන්ට දේශපාලනය අකපයැයි කරන ලද ප්‍රකාශ බව පෙනේ. එවක සිටි මහනායක හිමිවරුවන්ද සෙ‍්නානායක මහතාගේ ස්ථාවරයට වක්‍රව සහයෝගය දුන් බව පෙනේ.   එවකට ලංකා එක්සත් භික්ෂූ  බලමණ්ඩලයට සම්බන්ධව ජාතිකවාදි හා වාමවාදී දේශපාලනයක් සිදුකළ වල්පොළ රාහුල හිමියන් මේ ප්‍රකාශ අභියෝගයට ලක්කරමින් සිදුකළ ශාස්ත්‍රීය දේශන, පොතක් ලෙස පළ කරන ලද්දේ ලංකාවේ ඓතිහාසිකව භික්ෂුවට ඓතිහාසික භූමිකාවක් ඇති බවත් එය ආගමික මෙන්ම දේශපාලනිකවද දැඩි ලෙස වැදගත් බව තහවුරු කිරීම සඳහා විය යුතුය. අන්තර්ජාලය කෙසේ වෙතත් පාඨ ග්‍රන්ථ පවා සපයා ගන්නට අපහසු සමයක තම සියලුම නිගමනයන්ට ත්‍රිපිටකයෙන්, අටුවා ග්‍රන්ථවලින්, මහා වංසයෙන් පමණක් නොව ඉංගිරිසි ආණ්ඩුකාරයන් හා යටත් විජිත ලේකම් අතර හුවමාරු වූ රහස් ලිපි ලේඛන, දේශපාලනය ගැන විවිධ අර්ථ දැක්වීම් සඳහා හැරල්ඩ් ජේ ලැස්කි වැනි ප්‍රකට විද්වතුන්ගේ ග්‍රන්ථ ඉතිහාසයට අදාළ ව නේරු, ‍වෙල්ස් ආදීන් ලියූ කෘති පරිශිලනය කොට අදාළ කොටස් ද උප ග්‍රන්ථ හා අධෝ ලිපි ලෙස උපුටා දක්වා ඇත.
කෙසේ වුවත් දශකයකට කලින් භික්ෂුවගෙන් තොරව බුද්ධ ශාසනය පැවතිය හැකි බව පැවසූ රාහුල හිමියන් මෙහිදී පවසන්නේ භික්ෂූන් යනු සිංහල ජාතියත් ආගමත් රැකගන්නා බලවේගය ලෙස චිරාත් කාලයක් පටන් පවතින බවයි.  ක්‍රිපූ 2වන සියවසේ සිටම ලංකාවේ භික්ෂූ ශාසනය තුළ ප්‍රතිපත්ති පිරීමට වඩා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කොට ධර්මය පිළිබඳ ඉගෙනීමට මුල් තැනක් ලැබුනු බවත් භාවනායෝගි භික්ෂූන්ට වඩා අතීතයේ සිටම සමාජය සමඟ ගැටෙමින් ධර්මය උගැන්වූ භීක්ෂූන්ට තැනක් හා බලයක් තිබූ බවත් රාහුල හිමියන් අදහස් කරයි. එය බුදු දහමට පටහැනි වුවද භික්ෂූන්ගේ ඓතිහාසික භූමිකාව විය යුතුයැයි එතුමා පිළිගනී. තවද බුදු දහමට පටහැනී වුවද අතීතයේ පටන්ම විහාර සඳහා නින්දගම් මෙන්ම වහලුන් පවා රජවරුන් ලබා දුන් බවත් ඒ හරසර අනුව විශාල දේශපාලන බලයක් ඔවුන්ට හිමිව තිබූ බවත් පවසන්නේ රජවරුන් හා අනෙකුත් බලවතුන් කරන දේ බැහැර කළ යුතු යැයි සත්‍යෝදයේ පැවසූ රාහුල හිමියන්මය. එමෙන්ම රටේ සෛවරීත්වය විනාශ කිරීමට භික්ෂූන් හා ගිහි නායකයන් හා ජනතාව අතර බැඳීම දුර්වල කළ යුතුයැයි ඉංග්‍රීසි පාලකයන්ම ලියූ ලිපි සාක්ෂී ලෙස රාහුල හිමියන් සපයයි. එමෙන්ම 1815න් පසු ආණ්ඩුකාරවරයා මල්වතු මහා නායක පදවිය සඳහා දෙන සන්නසේ රජයට මහනාහිමි යටත් විජිත වාදින්ට විරුද්ධ කුමන්ත්‍රණ ගැන ගතු කිවයුතු යැයි අනියමින් පවසමින් මහනායකයන් නිවට ඔත්තු කරුවන් බවට පත් කොට ඇතැයි රාහුල හිමි පවසන්නේ භික්ෂූන් දේශපාලනයෙන් බැහැර විය යුතුයැයි එවක මහනාහිමිවරුන්ද අනියමින් පැවසූ නිසා විය යුතුය.

කෙසේ වුවත් තරුණ වි‍යේ සමාජවාදී අදහස් වල බලපෑම නිසා ස‍ත්‍යෝදයේ රැඩිකල් අදහස් දැරූ රාහුල හිමියන් කෙමෙන් ජාතිකවාදි හා සංරක්ෂණවාදී අදහස්වලට යොමු වීම නිසා සිය මැදිවියේදී ඉඳුරා වෙනස් ස්ථාවරයකට යොමුවූ බව මේ පොත් දෙක ඇසුරින් පෙනී යන කාරණයයි.


Monday, September 23, 2019

යාපනයේ දෙමළ ජනතාවගේ ඉතිහාසය History of the Tamil People of Jaffna


යාපනය අර්ධද්වීපය පෘතුගීසි සමයේ පවා සිංහල බහුතරයක් සිටි ප්‍රදේශයක් බවත් එය දෙමළ බහුතරයක් සිටින ප්‍රදේශයක් බවට පත්වූයේ ලන්දේසි පාලන සමයේ ඔවුන් විසින් දුම්කොළ වගාවට ගෙන එනු ලැබූ දකුණු ඉන්දීය වැසියන් නිසා බව ආචාර්ය නලින් ද සිල්වා  නිතරම පවසන කරුණක් - ඔහුට අනුව වෙල්ලාල නම් යාපනයේ ඉහළම කුලය බිහිවන්නේ මේ දුම්කොළ වගාවට ලන්දේසින් ගෙන් ආ පුද්ගලයන්ගෙන්. මේ වෙල්ලාලයන් විසින් එ‍තෙක් යාපනයේ සිටි සිංහලයන් පහත් කුලයක් බවට විස්ථාපනය කළ බවත් මේ ප්‍රවාදයට ඇතුළත් - කෙසේ වුවත් මේ ප්‍රවාද‍යේ නිර්මාතෘවරයා නලින් නම් නොවේ. ජනවාර්ගික ගැටළු සම්බන්ධ පර්යේෂිකාවක් වූ සෙරීනා තෙන්නකෝන් ලංකා ගාඩියන් පුවත්පතේ සඳහන් කර ඇති පරිදි මේ  කතාව මුලින්ම පවසන්නේ ගාමිණි ඊරියගොල්ල මහතා විසින් 1984 දී. පසුගිය යුද්ධ සමයේ එල් ටී ටී ඊ ප්‍රචාරකවාදීන් පතුරුවා හළ ව්‍යාජ ඉතිහාස කතාවලට පිළිතුරු දීමට මේ කතාවෙන් යම් පිටුවහලක් ලැබුනු බව සත්‍ය්‍යක් - එසේ වුවත් මේ ප්‍රවාදයේ විශ්වාසනීය බව කෙබඳුද ? ඉතිහාසය සම්බන්ධ කරුණක් අපට 60%කවත් නිරවද්‍යතාවයෙන් කිව හැකිනම් ලොකු දෙයක් - අප සතුව දැනට ඇති විශ්වාසවන්තම මූලාශ්‍ර වන්නේ 17වන සියවසේ මැද භාගය පමණ වන තෙක් ලංකාවේ සිටි හා යාපනය ප්‍රදේශය ගැන දැනුමක් ඇති විදේශීය පුද්ගලයන් විසින් ලියන ලද සටහන් වල පරිවර්තන. ලංකා‍වේ සිටි අයෙක් වීම වැදගත් සාධයකයක් - උදාහරණයකට ලංකාවට නොපැමිණි නමුත් ඉන්දියාවේ ජීවත් වූ ලංකාවෙන් ඉන්දියාවට පැමිණි පෘතුගීසි කපිතාන්වරයෙක් ඇතුළු මූලාශ්‍ර අනුව The Temporal and Spiritual Conquest of Ceylon ලියූ ක්වේරෝස් පියතුමාගේ ග්‍රන්ථයේ විශ්වාසනීත්වය අඩුයි.

එම නිසා මුලින්ම ලංකාවේ සිටි පෘතුගීසි හමුදා කපිතාන්වරයෙක් හා කන්ද උඩරට රාජධානිය සමඟ මෙන්ම ලන්දේසීන් සමඟද දරුණු සටන්වලට කෙලින්ම සම්බන්ධවූ කපිතාන් රොබෙයිරෝගේ විස්තරය විමසා බැලූ විට ඔහු පැහැදිලිවම සඳහන් කරන්නේ යාපනය ප්‍රදේශය දෙමළ ජනතාව වාසය කරන වෙනම ප්‍රදේශයක් ලෙස පවතින බවත් එය දැනට පාලනය කරන පෘතුගීසි පරිපාලකයා පවා කොළඹ ප්‍රධාන පරිපාලකවරයාගෙන් විශාල නිදහසක් භුක්ති විඳින බවත්. (පෝල් ඊ පීරිස් මහතාගේ පරිවර්තනය අනුව)

පෘතුගීසි පාලනය යටතේ 1645 වසරේ  යාපනය ප්‍රදේශයේ පරිපාලන සංවිධානය පිළිබඳ පෘතුගීසි ලේඛනාගාර උප‍යෝගි කොටගෙන් පෝල් ඊ පීරිස් මහතා ලියූ The Kingdom of Jafanapatam 1645 ග්‍රන්ථය - වෙල්ලාල නම් කුලය සම්බන්ධව එහි කිහිප තැනකම සඳහන් වනවා - අදාළ කුලයේ අය ඉහළ තනතුරු වලට පත් කර ඇති බවද සඳහන් වනවා. එනම් අදාළ කුලය ඇතිවූවායැයි නලින් ද සිල්වා පවසන ලන්දේසි පාලන සමයේ මැද භාගයට අඩ සියවසකට පෙර සිටම වෙල්ලාල කුලය ඉහළ කුලයක් ‍ලෙස පැවතුනු බවට සාධකයක්.

අවසාන වශයෙන් ලන්දේසි පාලනය ආරම්භ වූ මුල් අවදියේම යාපනයට පැමිණි ෆිලිප් බල්දියස් නම් ලන්දේසි පූජකතුමාගේ සටහන්ද වැදගත්. යාපන අර්ධද්වීපය ගැන පැහැදිලි විස්තරයක් දෙන බල්දියස් එහි ජනතාව හා දිවයිනේ අනෙක් ප්‍රදේශවල ජනතාව අතර වාර්ගික වෙනසක් දකිනවා. එනම් යාපනය අර්ධද්වීපයේ ජනතාව දෙමළ (මලබාර්වරු) බව පැහැදිලිවම දක්වනවා. එහෙත් සිංහල අනන්‍යතාවයක් ඇති කිසිවෙක් සිටින පවසන්නේ නැහැ. අනෙක් අතට ලන්දේසි පාලනයේ මුල්ම කාලය වන ඒ සමයේ පවා හින්දු බ්‍රාහ්මණයන් සමඟ ඉහළම කුලය වෙල්ලාලයන් බව පවසනවා. වෙල්ලාල කුලය සම්බන්ධයෙන් සැලකිය යුතු විස්තරයක් ද ඔහු සපයනවා. එම නිසා නලින් ද සිල්වා පවසන අයුරු ලන්දේසින් විසින් කෘතිමව වෙල්ලාල කුලය නිර්මාණය කළ අයුරු පිළිගන්න අපහසුයි.

එම නිසා ගාමිණී ඊරියගොල්ල/ නලින් ද සිල්වා මහත්වරුන් ඉදිරිපත් කරන ප්‍රවාදයේ විශ්වාසනීත්වය අඩු බවක් දක්නට ලැබෙනවා.


Friday, September 6, 2019

රොබට් මුගා‍බේ හා ඉයන් ස්මිත්



රොබට් මුගාබේ මියගොස් ඇතැයි යන ආරංචිය බොහෝ සිම්බාබ්වේ වැසියන්ට අස්වැසිල්ලක් වනු ඇත. 1965 ඒකපාර්ශ්වියකව බ්‍රිතාන්‍යයෙන් නිදහස ප්‍රකාශ කරමින් රොඩේෂියා ජනරජය ප්‍රකාශයට පත් කළ ඉයන් ඩග්ලස් ස්මිත් තරම්වත් රොබට් මුගාබේ යහපත් පාලකයෙක් නොවීය. සුදු වර්ගවාදියෙකු වූ ඉයන් ස්මිත් යට‍තේ කළු ජනතාව සිටියාට වඩා රොබට් මුගාබේ යටතේ දුක්විඳිමට ලැබිනි. 1980 දශකයේ මුල් භාගයේ තමාට විරුද්ධව කැරලි ගැසූ සිට සටන් සගයා වූ  ජෝෂුවා න්කෝමෝගේ මතබෙලේ ජනතාව උතුරු කොරියාවේ පුහුණුව ලැබූ සිය සේනාංක යොදවා වාර්ගික සංහාරයකට ලක් කළේ මුගාබේය. වර්ගවාදී ඉයන් ස්මිත් කිසි දිනක එවැනි මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රියාවල නියුතු වූ‍‍යේ නැත. මුගාබේ ඩොලර් මිලියන ගණනින් මහජන ධනය සොරකම් කොට තමා වටා සිටි ස‍සෙු ZANU පක්ෂයේ හොරුන්ටද හොරකම් කිරීමට ඉඩදී 1930 දශකයේ ජර්මනිය මෙන් ආර්ථික නාරවළකට සිම්බාබ්වේ රට තල්ලු කළේය. අදත් ඉන් ගොඩ ඊමට එරට අසමත් ව ඇත. එහෙත් ඉයන් ස්මිත් යුද්ධයෙන් පසු සිය ගොවිපළට ගොස් සුපුරුදු අබලන් ජීප්රියෙන්ම ගමන් බිමන් ගියේය. රාජ්‍ය පාලන සමයේ මහජන මුදල් සොරකම් නොකළේය.  2000 වස‍රේදී තමන් අත්අඩංගුවට ගන්නා බවට මුගාබේ ගේ තර්ජන ගර්ජන තුට්ටුවකට මායිම් නොකරමින් නැවත සිම්බාබ්වේ රටට පැමිණියේය. ඉයන් ස්මිත් දැඩි ආර්ථික සම්බාධක හමුවේ ස්වයංපෝෂි ආර්ථිකයක්  අසීරුවෙන් ගොඩනැංවීය. මුගා‍බේ ආර්ථිකය විනාශ කොට සුර සැප වින්දේය - ඉතින් දුක ඕකා ඔතරම් කල් ආයුෂ වින්ද එක ගැනය 

Thursday, June 20, 2019

මහමත් නබි තුමාගේ අනාගතවක්තෘවර දිවිය ගැන අධ්‍යයනයක් Twenty Three Years: A Study of the Prophetic Life of Mohammed

සලාෆි ජිහාදි කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් පසු ඉස්ලාම් ධර්මයේ මූලාරම්භයන් හා කුරානය ගැන වැඩිදුරට අධ්‍යයනය කිරීමට යම් කැමැත්තක් ඇතිවුනා. ඒ අධ්‍යයනය සඳහා විවිධ මූලාශ්‍ර පරිශීලනය කිරීමේදී හැඟි ගිය දෙයක් වූයේ බොහෝ ඉංග්‍රීසි බසින් ඇති බටහිර ලේඛකයන්ගේ කෘතිවලින් මහමත් තුමා පිළිබඳ සෘණාත්මක ආකල්පයක් ජනනය කිරීමට  උත්සාහ ගන්නවා විනා එතුමාගේ ධර්ම සේවය පිළිබඳ විවෘත මනසකින් බැලීමට අපොහොසත් ව ඇති බවයි.  Twenty Three Years: A Study of the Prophetic Life of Mohammed හි පී ඩී එෆ් පිටපතක් අන්තර්ජාලයේ අහම්බයෙන් හමුවන්නේ මේ සොයා යාමේ ප්‍රතිඵලයක් ලෙසයි. ඉරාන ජාතික හේතුවාදියෙක්, විද්වතෙක් හා සෙනේට් සභිකයෙක්,මාධ්‍යවේදියෙක්, නවකතාකරුවෙක් වන අලි දෂ්ටි විසින් 1974 දී පාර්සි බසින් ලියන ලදුව එය ඩරම් හා මැක්ගිල් සරසවිවල පර්සියානු හා අරාබි භාෂා පිළිබඳ  මහාචාර්ය ෆ්‍රෑන්ක් බැග්ලි විසින් ඉංගිරිසියට පරිවර්තනය කොට පළ කොට ඇත්තේ 1985 වසරේදියි.


අලි දෂ්ටි ඉරානයේ වංශවත් පවුලක උපත ලැබුවෙක්. ඉන්පසුව ඔහු ඉරාකයේ නජාෆ් නගරයේ ආගමික පාසල් (මද්‍රාසා) වලින් ඉස්ලාමික ධර්මය, කුරානය,  අරාබි හා පර්සියානු භාෂා, තර්කනය ආදි බොහෝ දේ ගැන මනා අධ්‍යාපනයක් ලැබූ අයෙක්. පසුකාලීනව ඕමාර් ඛය්යාම් හැදෑරීමි නිසා හා  ප්‍රංස භාෂාව තනිවම හදාරා ආගම, සංස්කෘතිය හා කලාකෘති ගැන ප්‍රංශ පොත් හා ඉංග්‍රීසි හා රුසියානු ග්‍රන්ථ වල ප්‍රංශ පරිවර්තන  කියවීම තුළින්  ඔහු හේතුවාදී හා ලිබරල් අදහස් දරන්නෙකු බවට පත්වනවා. මහමත් නබි තුමාගේ ජීවිතය පිළිබඳව මැදිහත් ආස්තානයක සිට ‍හැදෑරීමට අලි දෂ්ටි මෙහෙයවන්නේ සමකාලීන බටහිර ලේඛකයන්ගේ පොත් තුළින් එතුමා නිග්‍රහයට ලක් කොට තිබීමත් ඉස්ලාමික ‍ ලේඛකයන් විසින් ආගමික ස්වරූපයකින්ම පමණක් එතුමාව හැදෑරීමට ලක් කොට ඇති බැවිනුත්. ඒ සඳහා වසර ගණනක් තුළ කුරානය හා හදීස්වල මුල කාලීන මූලාශ්‍ර හා නබිතුමා ගැන ඉස්ලාමික හා බටහිර විද්වතුන් ලියා ඇති  ග්‍රන්ථද ඔහු විසින් පරිශීලනය කොට ඇත. කෙසේ වුවත් 1974 දි මෙය පාර්සි බසින් පළ කෙරන්නේ ඔහුගේ නමින් ද නොවේ. ඉරානයේ පහ්ලවි ෂා රජුට සිය පාක්ෂිකත්වය හා හේතුවාදි අදහස් නිසා 1979 ඉරාන‍යේ බලයට පැමිණෙන අයොතොල්ලා කොමේනි රජයේ උදහසට ලක් වන අලි දෂ්ටි 1981 හෝ 1982 වර්ෂයේ අභිරහස් ලෙස මිය යනවා. 

අලි දේස්ති 

අලි දෂ්ටිට අනුව මහමත් තුමා යනු ලෝකයේ බිහිවූ අති සුවිශේෂීම පුද්ගලයා ලෙස හැඳින් විය හැකිය. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා හෝ ජුලියස් සීසර් වැනි නායකයන් හට ඒ සඳහා හමුදාවන් හා පවුල් පසුබිමක් උපකාරී වුනා. එහෙත් දෙමව්පියන් නොමැති අනාථයෙකු වූ මහමත් තුමා වසර 23ක් වැනි කෙටි කාලයක් තුළ ඉතාම පසුගාමී කෲර ජනකොටසක් වූ අරාබි ජාතිකයන් විශාල සමාජ පරිවර්තනයකට ලක් කර විශාල ප්‍රදේශයක් තුළ සිය ආගමික රාජ්‍යය පිහිටුවීම සැබවින්ම විස්මිත ක්‍රියාවක්.  කුරානය හා හදීස වි‍වේචනාත්මකව විශ්ලේෂණය කරන අලි දෂ්ටි මහමත් තුමාගේ දේව ධාර්මික පණිවිඩ‍යේ පැහැදිලිව හඳුනාගත හැකි යුග දෙකක් දකිනවා. එනම් එතුමා මක්ක‍ෙමේ ගත කළ වසර 13ක කාලය හා පසුව මෙදීනා නගරයේ ගත කළ දශකය. මක්කමේදී සාමයට ලැදි යුද්ධ විරෝධී නායකයෙකු වූ මහමත් තුමා හිජ්රාව නොහොත් මෙදීනා නගරයට පැමිණ වසරකින් පමණ පසුව දැඩි යුද්ධකාමී නායකයෙක් බවට පත්වනවා. කුරානයේ දක්නට ලැබෙන හිංසාවට අනුබල දෙන පාඨයන් සියල්ලම පාහේ මෙදීනා‍හිදී සිය බලය ව්‍යාප්ත වූ සමයේ එතුමාට "හෙළි කරන ලද" ඒවායි. මේ අනුව අලි දෂ්ටි නිගමනය කරන්නේ බලය අහිමිව මක්කමේ බහුදේවවාදීන්ගේ නිග්‍රහයට පත්ව සිටි සමයේ හා මෙදීනා නගරයට පැමිණි පසු බලවත් යුද්ධ නායකයෙක් වීම අතර මහමත් තුමාගේ මානසික ස්වභාවයේ වෙනස නිසා කුරානයේ මේ වෙනස දක්නට ලැබෙන බවයි. එමෙන්ම මෙදීනාවට පැමිණිම නොහොත් හිජ්රාවට ප්‍රධානතම හේතුව මක්ක‍මේ කුරේෂි ගෝත්‍රය හා මෙදීනාහි අරාබි ගෝත්‍රය අතර ආරාවුල් නිසා කුරේෂි ගෝත්‍රයට අයත් මහමත් තුමා තම පාර්ශ්වයට ගැනීමට ඔහු සමඟ එම ගෝත්‍ර ගිවිසුමකට එළැඹීම බව අලි දේස්ති සඳහන් කරනවා. 


මෙහිදී අලි දෂ්ටි තවත් වැදගත් හා විවාදාත්මක නිගමනයක් සිදුකරනවා. එනම් කුරානය යනු දේව වචනය නොව මහමත් තුමාගේම අභ්‍යන්තර චෛතිසිකයේ පිළිඹිඹුවක් විය හැකි බවයි. එමෙන්ම මහමත් තුමා සිය වෙළඳ ගමන් වලදී දමස්කය වැනි නුවරලදී හමුවූ යුදෙව්වන් හා ක්‍රිස්තියානින්ගේ ආශ්‍රයෙන් දැනගත් කතාද කුරානයට මුසුවී ඇති බවත් අලි දෂ්ටි අනුමාන කරනවා.  මේ සඳහා උදාහරණ ගණනාවක් ඔහු කුරානය, හදීස් හා පසුකාලීන අටුවා ආශ්‍රිතව සපයනවා. එමෙන්ම අරාබි ජාතිකයන් අතර අලුත් ආගම ජනප්‍රිය කරලීම සඳහා අරාබීන්ගේ සාම්ප්‍රාදායික් ඉතා වැදගත් ආගමික සිරිත් ඉස්ලාම් ආගමට බද්ධ කොට තිබෙනවා. මක්කම පූර්ව ඉස්ලාමික අවදියේදි අරාබි ජාතිකයන්ට ඉතා වැදගත් ස්ථානයක් වුනා. එහි කුරේෂි ගෝත්‍රය විසින් ක අබා නම් අදටත් ශුද්ධවූ ස්ථානය පාලනය කළ අතර වාර්ෂිකව ආරාබියේ සතරදිගින් වන්දනාකරුවන් එහි පැමිණියේ ක අබා වන්දනා කිරීමටයි. තවද එහිදී වන්දනාකරුවන් විසින් ක අබා ගල සිඹීම  එය වටා ස්තෝත්‍ර කියමින් ගමන් කිරීම  බොරළුවලින් ගැසීම ඒ අවට කඳු ගැට දෙකක් අතර දිවීම ආදි චාරිත්‍ර වාර්ෂිකව ඉටු කළා. ඉස්ලාම් ආගමේ හජ් වන්දනාව හා ඒ ආශ්‍රිත සාතන්ට ගල් ගැසීම ආදි ආගමික චාරිත්‍ර බවට රූපාන්තරණය වන්නේ ‍ මේ පූර්ව ඉස්ලාමික ඇදහීම්මයි. 

මෙලෙස කරුණු ගණනාවක් විශ්ල‍ේෂණාත්මක්ව ඉදිරිපත් කරන මේ කෘතිය මහමත් තුමා හා ඉස්ලාමය පිළිබඳ මැදිහත්ව සිතීමට පොළඹවන්නක් බව සඳහන් කළ යුතුයි. බුදුන් වහන්සේගේ ධර්ම සේවය හා උගැන්වීම් සම්බන්ධයෙන්ද මේ ආකාර සන්දර්භය මත පදනම් වූ  විශ්ලේෂණාත්මක් විග්‍රහයක් සිදුකිරීමට හැකි නම් අගනේය. 


Thursday, January 3, 2019

මිනිසෙකුගේ ඉරණම විසඳුන ඡායාරූපය

වියට්නාම් යුද්ධය හා සැබැඳි ඉතාමත් ප්‍රකට ඡායාරූපයක් වන්නේ පහත දැක්වෙන එකයි 


බැලූ බැල්මටම පෙනෙන පරිදි දකුණු වියට්නාම් ජෙනරල්වරයෙක්,  නිරායුධ හා දෙඅත් බැඳදමා සිටින සිරකරුවෙකුගේ ඔළුවට වෙඩි තබා ඔහුව ඝාතනය කරනවා. ඇමරිකානු මාධ්‍යවේදියෙක් නිපදවූ Hearts and Minds චිත්‍රපටයේ මෙම සිදුවීමේ වර්ණ වීඩියෝව දැකගන්නට පුලුවන්. මේ ඓතිහාසික ඡායාරූපය ගන්නේ ඇමරිකානු ඡායාරූප ශිල්පී එඩී ඇඩැම්ස් විසින් - ඒ සඳහා ඔහු පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලබනවා. මේ ඡායාරූපය ඇමරිකානු තරුණ පරපුර පුරා පැතිරුනු යුද්ධ විරෝධි ව්‍යාපාරයේ සංකේතයක් වනවා. හැබැයි ඡායාරූප ශිල්පී එඩී ඇඩැම්ස් 1998 වසරේදී ටයිම් සඟරාවට මෙහෙම ලියනවා. 
" ජෙනරාල්වරයා වියට්කොං ගරිල්ලෙක්ව මරා දැම්මා. මම මගේ කැමරාවෙන් ජෙනරාල්වරයාව මරා දැම්මා. නිශ්චල ඡායාරූප තමයි ලෝකයේ බලගතුම ආයුධ. මිනිසුන් ඒවා විශ්වාස කරනවා - නමුත් අමුතුවෙන් හැසිරවීමෙන් තොරව පවා  ඡායාරූප ව්‍යාජයක් ගෙන එන්නට පුළුවන්" එඩී ඇඩැම්ස් තමන්ට කීර්තිය ගෙන ආ ඡායාරූපය ගැන මෙසේ   කිව්වේ ඇයි?  ඒය සෙවීමට අපට 1968 පෙබරවාරි මාසයේ දකුණු වියට්නාමයේ සයිගොන් (අද හෝ චි මිං නගරය) වෙත යාමට සිදුවනවා. 

1968 වියට්නාම් ජාතිකයන්ගේ නව වසර එනම් ටෙට් උත්සව සමයේ එකවනම වියට්කොං ගරිල්ලන් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරනවා. උතුරු වියට්නාම් හමුදා සහායද සහිතව එල්ල කරන මේ පහර දීමට 80,000ක පමණ බල ඇණියක් සහභාගි වූ සඳහන්. මෙම ප්‍රහාරයට වියට්කොං වරු සූදානම් වන්නේ රහසේ. ප්‍රහාරයේ අරමුණ සතුරා විමතියට පත් කිරීමයි. හමුදා ඇඳුම් වෙනුවට සිවිල් ඇඳුමෙන් සැරසුනු ගරිල්ලන් දකුණු වියට්නාමයේ පාලන තන්ත්‍රයට සම්බන්ධ සාමාන්‍ය ජනතාව හා ඔවුන්ගේ පවුල්වල අයට පවා ප්‍රහාර එල්ල කිරීමට පසුබට වන්නේ නැහැ. ඇමරිකානු තානාපතිි කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීමට තරම් ටෙට් ආක්‍රමණය බිහිසුණු වනවා. මේ ප්‍රහාරක කණ්ඩායමේ සිටි එක් වියට්කොං කපිතාන් වරයෙක් වූයේ ගුවෙන් වන් ලේම්. සිවිල් ඇඳුමින් සැරසී සිටි ගුවෙන් විසින්  දකුණු වියට්නාම් හමුදාවේ ලුතිනන් කර්නල් ගුවෙන් තුවාන්, ඔහුගේ බිරිඳ, 80 හැවිරිදි මව සහ ඔවුන්ගේ දරුවන් සයදෙනා අමානුෂික ලෙස ඝාතනය කරන්නේ ගෙල සිඳ දැමීමෙන්.  ඔහුව අත්අඩංගුවට පත්වූ පසු මෙතනට පැමිණෙන දකුණු වියට්නාම් හමුදාවේ දක්ෂතම ජෙනරල්වරයෙක් වන ගුවෙන්  ඥක් ලුවන් මේ අපරාධය දැක එකවනම ගුවෙන් වන් ලේම්ගේ හිසට පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කරනවා. එඩී ඇඩැම්ස් කැමරා කාචයේ සටහන් කරගත්තේ එම අවස්ථාවයි. 

කෙසේ වෙතත් ඉන්පසුවත්  ජනරල්වරයා දැඩිව සටන් බිමේ ක්‍රියාන්විතයන්ට දායක වනවා. එක් අවස්ථාවකදී ඔහුගේ පාදයට බරපතල තුවාල පවා සිදුවන්නේ මැෂින් තුවක්කු ප්‍රහාරයකින්. ඒ අවස්ථාවේ ඔහුව බේරා ගන්නේ ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදියෙක් - කෙසේ වුවත් 1975 දී සයිගොන් නගරය යටත් වීමත් සමඟ ජෙනරල් ලුවන් ඇමරිකාවේ වර්ජිනියාවට සංක්‍රමණය වනවා. ඔහු එහි පීට්සා අවන්හලක් පවත්වා ගෙන යනවා. එසේ වුවත් එඩී ඇඩැම්ස්ගේ ඡායාරූපයේ ඉන්නේ ඔහු බව මාධ්‍යවේදීන් අනාවරණය කිරීම නිසා ලුවන් හට තම ව්‍යාපාරය නිදහසේ කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. ඔහු හට විවිධ පිරිස්වලින් අතවර සිදුවනවා. මේ අතර ඇමරිකානු කොංග්‍රසයෙන් යුද්ධ අපරාධ නිසා ඔහුගේ පුරවැසි බව අහෝසි කොට ආපසු වියට්නාමයට පිටුවාහල් කිරීමට සැරසුනත් ජනාධිපති ජිමී කාටර් මැදිහත්  වී එය නවත්වනවා. 


මේ අතර එඩී ඇඩැම්ස් ද ලුවන්ගේ පීට්සා අවන්හලට පැමිණෙවා. ඔහු පත්වී ඇති තත්ත්වය ගැනත් එයට වගකිව යුත්තේ තමා නිසාත් ඇඩැම්ස් පශ්චාත්තාපයට පත්වූ බව පැවසෙනවා. අවසානයේ විවිධ තර්ජන මධ්‍යයේ පීට්සා අවන්හල වසා දමන ලුවන් 1998 වසරේදී පිළිකා රෝගයෙන් මිය යනවා. ඔහුව අනුස්මරණය කරමින් ටයිම් සඟරාවට ලියන්නේ එඩී ඇඩැම්ස් ඉහත වදන් යොදා ගනිමින්.