Friday, August 28, 2020

Salem's Lot

 


“ඩ්‍රැකියුලා 20 වැනි සියවසට ගෙනාවොත් මොනව  වේවිද?“ ප්‍රකට නවකතාකරු ස්ටීවන් කිං  ව සිය බිරිඳ තබීතා ගෙන් අසන්නේ රාත්‍රී භෝජනය අතරතුර. “අපොයි මිනිහ නිව්යෝක් ගිහින් අර ඇට්ලන්ටාවේ මාග්‍රට් මිචල් 
( ගෝන් විත් ද වින්ඩ් කතෘ) වගේ වාහනයකට යට වෙලා මැරිල යයි“ තබීතා පවසන්නේ විහිළුවක් ලෙසයි. කෙසේ වුවත් මේ අදහස ස්ටීවන් කිංගේ සිතේ බලපවත්වනවා. ‘ හොඳයි, මිනිහ නිව්යෝක් යන්නෙ නැතිව නව එංගලන්තයේ  මේන් ප්‍රාන්තයේ පිටිසර කුඩා ටවුමකට ගියොත්?“ මේ සිතුවිල්ල ඔස්සේ ගොස්    1975 වසරේ ප්‍රථම වරට පල කරන ලද සේලම්ස් ලොට් යනු ස්ටීවන් කිංගේ දෙවැනි නවකතාව මෙන්ම   බ්‍රැම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා නවකතාව 20 වන සියවසට යාවත්කාලීන  කිරීමට  ඔහු  දැරූ හොඳ උත්සාහයක්. ස්ටීවන් කිං මෙසේ පවසනවා. “ මගේ මව බ්‍රැම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා පොත මා වෙත ලබා දෙන විට මගේ වයස අවුරුදු 8ක් හෝ 9ක්. එමෙන්ම වැම්පයරයන් ගැන කොමික් පොත් කියවීමට මා බෙහෙවින් ප්‍රිය කලා. ඩ්‍රැකියුලා පොතේ සිටියේ වයින් තොල ගාන්නක් මෙන් ලේ උරා බොන වික්ටෝරියානු ඉහළ පැළැන්තියේ වැම්පයරන්. එහෙත් කොමික් පොත් වල තිබුනේ වර්තමාන සමාජයේ ජීවත් වන  කිසිඳු අනුකම්පාවකින් තොරව රුධිරය වගුරුවන බිහිසුණු වැම්පයර් චරිත. මට අවශ්‍ය වුනේ ඩ්‍රැකියුලා චරිතය ඒ විදිහේ කොමික් පොත් චරිතයක් විදිහට නැවතත් දකින නවකතාවක් තුළට  අතර මා ජීවත් වූ පශ්චාත් වියෙට්නාම් යුද්ධ සමයේ ඇමරිකන් සමාජයේ පොප් සංස්කෘතික හරයන්  ගැබ් කිරීමයි“ 

බ්‍රැම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා නවකතාවේ ඩ්‍රැකියලා නැමැති පෞරාණික පිශාච චරිතය පරාජය වන්නෙ නව නිපයීම්වලින් බලගැන්වුනු කාර්මික විප්ලවයෙන් සංවර්ධනය වූ පරිසරයක. එතනදි ඩ්‍රැකියුලාගේ පරාජය ගැන සැකයක් ඇති වන්නේ නැහැ - එය ශුභවාදි බලාපොරොත්තු සහිත නවකතාවක්. එසේ වුවත් විසිවන සියවසේ තාක්ෂණික දියුණු ලෝකයක  ස්ටීවන් කිං සේලම්ස් ලොට් නවකතාව තුළ දක්වන්නේ එවැනි ශුභවාදි හැඟිමක් නොවේ. එය ඉතා අඳුරු අවසානයක් ගැන ඉඟි කරවන්නක්. 

බෙන් මියර්ස් කුඩා කල වසර කිහිපයක් ජීවත් වූයේ මේන් ප්‍රාන්තවේ ජෙරුසලම්ස් ලොට් නොහොත් සේලම්ස් ලොට් කුඩා නගරයේ. එහි සිදුවූ බිහිසුණු සිදුවීමකින් පසු වසර ගණනක් අත් හැර දමන ලද, නගරයටම පෙනෙන කුඩා කඳු ගැටයක පිහිටි මාර්ස්ටන් මන්දිරය නම් අබලන් සුවිසල් නිවසේදි නව හැවිරිදි බෙන් මියර්ස් ඉතා භීෂණකාරී අත්දැකීමක් ලබනවා. එය ඔහුගේ සමස්ත ජීවිතයටම බලපාන්නක්. දැන් බෙන් තරමක් සාර්ථක නවකතාකාරුවෙක්. ඔහු නැවතත් සේලම්ස් ලොට් වෙත පැමිණෙන්නේ සිය බිරිඳගේ ඛේදජනක මරණයෙන් පසුව. ඒ මාර්ස්ටන් මන්දිරය හා එහි සියදිවි නසාගත් අයිතිකරු ගැන නවකතාවක් ලිවීමටයි. ඔහුට නැවතත් ආලය හමුවන්නේ සූසන් නෝට්න් තුළින්. ජීවිතය ගැන නැවතත් ශුභදායි බලාපොරෛාත්තු ඇති කරගන්නා විටම බිහිසුණු පෞරාණික අමානුශික බලවේගයක් මේ කුඩා නගරය කෙමෙන් ආක්‍රමණය කරමින් නගර වැසියන් එකිනෙකා අමනුෂ්‍යයන් බවට පත් කරනවා. ඒ අමනුෂ්‍ය බලවේගය සිය මධ්‍යස්ථානය කරගන්නේත් බෙන් භීතියට පත් කළ මාර්ස්ටන් මන්දිරයමයි.  එකම පවුලේම එකිනෙකා සිය ගොදුරු බවට පත් කරගැනීමට ඒ අමුනෂ්‍ය බලවේගය මෙහෙයනවා. කිං සුපුරුදු පරිදි එක් එක් චරිතය ගැන පසුබිම් විස්තර තුළින් ඒ ඒ චරිතය ගැන අපේ සහකම්පනයක් ඇති කරන බැවින් ඒ චරිත ගොදුරු බවට පත් වන අපටත් එය දැනෙන්නට වන්නේ භිතිය ජනිත කරමින්. විශේෂයෙන් මා කම්පනයට පත් කළේ දස මසැති රැන්ඩි බිළිඳාගේ මරණයත් , උදෑසන දෑස් නොහරින සිය බිළිඳු පුතුට චොකලට් සිරප්  කවමින් ඔහු පණ ගන්වන්නට තැත් කරන ඔහුගේ උමතුවට පත්වන මවගේත් ඛේදවාචකයයි. සේලම්ස් ලොට් සැබවින්ම මා භීතියට පත් කළ ස්ටීවන් කිංගේ නවකතා අතරින් ඉහළින්ම නිර්දේශ කළ හැකි නවකතාවක්



Monday, February 3, 2020

රහස් ඔත්තු සේවා පිලිබඳ ප්‍රබන්ධ සාහිත්‍ය නව මානයකට රැගෙන ගිය Tinker Taylor Soldier Spy






අද අප මෙන්ම ඔත්තු සේවාද සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන ඇතැම් වචන පවා හඳුන්වා දුන් රහස් ඔත්තු සේවා පිළිබඳ ප්‍රබන්ධ සාහිත්‍යයේ‍ මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍යයේද හොඳම නවකතාවක් ලෙස සැලකෙන ජෝන් ල කාරේ ගේ Tinker Taylor Soldier Spy ගැන විචාරය කිරීමට පළමුව එය බිහිවූ පසුබිම ගැන සලකා බලමු.  1950 සහ 1960 දශකවල MI6 ලෙස ජනප්‍රියව හැඳින්වෙන බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය (Secret Intelligence Service (SIS))  දැඩි පසුබෑමකට ලක්වුනා. එයට ප්‍රධානතම හේතුව වූයේ වංශවත් පවුල් පසුබිමක් සහිත හා   කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ  අධ්‍යාපනය ලබන සමයේ සෝවියට් කේජීබී ඔත්තු සේවයට සම්බන්ධ වූ කිහිප දෙනෙක් පසුව බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට බැඳී  ද්විත්ව ඒජන්තයන් ලෙස  එහි මර්මස්ථානවල සිටිමින් අභ්‍යන්තර තොරතරු සෝවියට් රුසියාවට ලබා දීම නිසා.   මින් සුප්‍රකටම හා වඩාත් බරපතල හානියක් කරපු පුද්ගලයා වූයේ හැරල්ඩ් ඒඩ්‍රියන් “කිම්” ෆිල්බි නම් රහස් ඔත්තු කරුවා. කිම් ෆිල්බි බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නියුතු නිලධාරීන්ගේ තොරතුරු කේජීබී සංවිධානයට ලබා දීම නිසා සේවයෙන් ඉවත් වීමට සිදුවූ එක් රහස් ඔත්තු ‍නිලධාරියෙක් වූයේ ඩේවිඩ් කෝන්වෙල්. පසුව ලකාරේ ලෙස ජනප්‍රිය නවකතාකරුවෙක් වන ඩේවිඩ් කෝන්වෙල් තම රහස් ඔත්තු සේවා ජීවිතය අවසන් කිරීමට මුල්වුන මෙම කිම් ෆිල්බි පිළිබඳ සිදුවීම ප්‍රබන්ධ සාහිත්‍යයට ගෙන එන්නේ මේ නවකතාව තුළින්. විශේෂයෙන්ම පංති භේදය දැඩිව පවතින ඉංගිරිසි සමාජයේ ආයතන ගත ව්‍යුහයට අයත් වංශවත් හා බලවත් පුද්ගලයන් සිය ෆැන්ටසි වෙනුවෙන්  විසින් සමස්ත සමාජයම පාවා ‍දෙන ආකාරයත්  සාමාන්‍ය ජනතාව එම ක්‍රියාවන්ගේ ඉත්තන් බවට පත් වන අයුරුත් මෙහි දක්වනවා.

ඩේවිඩ් කෝන්වෙල් නොහොත් ජෝන් ලකාරේ 

නවකතාවේ ප්‍රධාන චරිතය වන විශ්‍රාමික රහස් ඔත්තු සේවා නිලධාරී ජෝර්ජ් ස්මයිලි. ස්මයිලි ජේම්ස් බොන්ඩ් වගේ චරිතයක් නම් නොවේ. ඔහු පමණට වඩා විශාල ඇඳුම් අදින ගෙම්‍බෙකුගේ වැනි පෙනුමක් සහිත කුඩා ප්‍රමාණයේ පුද්ගලයෙක්. ස්මයිලි අති දක්ෂ රහස් ඔත්තු සේවා නිලධාරියෙක්. එහෙත් සිය පුද්ගලික ජීවිතයේදී දැඩි පසුබෑමට ලක් වූ අයෙක්. ස්මයිලි වැඩි කතාවක් සහිත පුද්ගලයෙක් නොවේ. ඔහුගේ හැඟීම් කියවීම අපහසුයි. එහෙත් ඔහු ඉතාම ආචාරශීලී අයෙක්. එමෙන් ඔහුගේ හැසිරීම සිහිගන්වන්නේ පරිපූර්ණ ඉංගිරිසි මහාත්මයෙකුගේ ගති ලක්ෂණ.
 ප්‍රවීන නළු ශ්‍රීමත් ඇලෙක් ගිනස් ජෝර්ජ් ස්මයිලි ලෙස

අතිශය අසාර්ථක රහස් ඔත්තු සේවා මෙහෙයුමක් නිසා ඔත්තු සේවා ප්‍රධානියාත් ඔහුගේ ළඟම ගෝලයා වන ස්මයිලිත් ඒ වන විට බලෙන්ම මෙන් විශ්‍රාම ගන්වා ඇත්තේ. එසේ වුවත් රහස් ඔත්තු සේවය හා මුදල් අමාත්‍යාංශය අතර සම්බන්ධීකාරක වන ඔලිවර් ලැකොන්ගෙන්  ස්මයිලි වෙත කැඳවීමක් ලැබෙන්නේ ඊට මාස කිහිපයකට පෙර “අතුරුදන්” වී සිට නැවත රහසේ එංගලන්තයට පැමිනි රහස් ඔත්තු සේවා නියෝජිත රිකී ටාර් හමුවීම සඳහායි. රිකී ටාර්ගේ අවසන් මෙහෙයුම සිදුවූ  හොංකොං හිදී ඔහුට හමුවන රුසියානු ඔත්තු නියෝජිතවරියක පවසන්නේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ ඉහළම ස්ථරයේ ජෙරල්ඩ් ලෙස හැඳින්වෙන සෝවියට් කේජීබී  ද්විත්ව ඒජන්තයෙකු ක්‍රියා කරන බවත් දශක ගණනක් තිස්සේ ජෙරල්ඩ් විසින් අතිශය වැදගත් තොරතුරු සෝවියට් රුසියාවට ලබා දෙන බවත් . තව දුරටත් මෙම ද්‍රෝහියා ගැන තොරතුරු ලබා දීමට නම් තමන්ට බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ ආරක්ෂාව යටතේ එරට පදිංචි වීමට අවස්තාව ‍ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටිනවා. එහෙත් රිකී ටාර් මෙය ලන්ඩනයේ මූලස්ථානයට දැන්වූ පසුදිනම රුසියානු නිලධාරිනිය විශේෂ ගුවන්යානයකින් බලහත්කාරයෙන් මොස්කව් වෙත ගෙන යාමට රුසියානු බලධාරීන් ක්‍රියා කරනවා. මේ නිසා බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ රුසියානු ද්විත්ව නියෝජිතයෙක් සිටින බවට තහවුරු වනවා. බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ ඉහළම ස්ථරයේ සතර දෙනෙකු සිටිනවා. එනම් ප්‍රධානී පර්සි ඇලලයින්, ස්මයිලිගේ බිරිඳගේ ඥාතියෙක් හා අති දක්ෂ නිලධාරියෙක් වන බිල් හේඩ්න්, ටෝබි එස්ටර්හේසි, රෝයි බ්ලෑන්ඩ් - ද්විත්ව ඒජන්තයා මින් එක් අයෙකු විය යුතුයි.ඔලිවර් ලැකොන් ජෝර්ජ් ස්මයිලිගෙන් ඉල්ලා සිටින්නේ මෙම ද්විත්ව නියෝජිතයා සොයා ගන්නා ලෙසයි. එම නිසා ස්මයිලි ඉතාම ස්වල්ප දෙනෙකුගේ සහයෝගය ඇතුව අභිරහස් මෙහෙයුමක් අරඹනවා..
මෙම නවකතාව ගලා යන්නෙ ඉතාම සෙමෙන්. සෑහෙන ඉවසීමකින් තොරව ඔබට මෙය කියවිය නොහැකියි. එමෙන්ම  ලකාරේ කිසිවක් හැන්දකින් කවන්න යන්නේ නැහැ. චරිතවල සිතුවිලි, ක්‍රියාකාරකම් හා කතා බහ තුළින් සිදු වී ඇති දේවල් පාඨකයාටම නිගමනය කර ගැනීමට සිදුවනවා. මෙය හුදු රහස් ඔත්තු සේවා නවකතාවක්ම නොවීම එයට හේතුව විය හැකියි. එම නිසා ඉයන් ෆ්ලෙමින්, ටොම් ක්ලැන්සි, ෆෙඩ්රික් ෆෝසයිත්, ජැක් හිගින්ස් හෝ රොබට් ලුඩ්ලම් වැනි රහස් ඔත්තු සේවා පිළිබඳ ප්‍රබන්ධ ලියූ අන් සියලු කතුවරුන්ට වඩා ජෝන් ලකාරේ වෙනම පංතියකට අයත් වනවා. එනම් පෙර සඳහන් කළ කතුවරුන් හුදු කතන්දර කියන්නන් වන විට ජෝන් ලකාරේ යනු පරිපූර්ණ හා විශිෂ්ට නවකතාකරුවෙක් වීමයි.

Wednesday, January 29, 2020

Raging Bull (1980)



1970 දශකයේ හොලිවුඩ් සිනමාවේ නව පරපුරේ ප්‍රමුඛතම අධ්‍යක්ෂකවයෙක් වූ මාර්ටින් ස්කොසෙසි වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ “ ටැක්සි ඩ්‍රයිවර්” චිත්‍රපටය නිසා. එහෙත් 1970 දශකයේ අගභාගය වන විට ඔහු සිය පුද්ගලික ජීවිතයේ අසාර්ථකත්වයන් නිසා දැඩි ලෙස කොකේන් මත්ද්‍රව්‍යට අබ්බැහිව සිටියා. අවසානයේ අභ්‍යන්තර රුධිර ගලනය නිසා ඔහු රෝහල් ගතවන්නේ සිය ඇදුම රෝගය සඳහා ගන්නා ඖෂධ කොකේන් සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් දැඩිලෙස රෝගාතුරව. මරණයේ ඉස්මත්තේ සිටින සිය මිතුරා ගලවා ගත හැක්කේ තවත් එක් සාර්ථක සිනමාපටයකින් බව අව‍බෝධ කරගන්නා  ප්‍රවීන නළු රොබට් ඩි නීරෝ ඔහු‍ට කියවීමට ලබා දෙන්නේ 1950 දශකයේ මධ්‍යම පංති බොක්සිං ශූරයෙක් වූ ජේක් ල මෝටාගේ ස්වයංචරිතාපදනය. සාර්ථකත්වයේ හිණිපෙත්තේ සිටි මිනිසෙක් තමාගේම ක්‍රියාකලාපය නිසා ඒ සියල්ල අහිමි කරගන්නා ආකාරය දැක්වෙන ඒ පොත ස්කෝසෙසි ඒ වන විට සිටි තත්ත්වයට මනාව ගැලපුනා. සුවය ලැබූ වහාම ස්කෝසෙසි සිය චිත්‍රපටයේ වැඩ ආරම්භ කළා. ඔහු සිටි සෞඛ්‍ය තත්ත්වය නිසා ඔහු එය නිර්මාණය කළේ සිය අවසාන චිත්‍රපටය ලෙස සලකා බව පැවසෙනවා.
ජේක් ල මෝටා විවාහ වන්නේ ලාබාල රූමත් තරුණියක්වන විකී සමඟයි. එසේ වුවත් ඔහු ඇය පිළිබඳව දැඩි ලිංගික ඊර්ෂ්‍යාවකින් පසුවනවා. බොක්සිං වළළ්ල තුළදී දැඩි ප්‍රහාරාත්මක බවක් ගන්නා ඔහු ඒ ක්ෂණික කෝපය සිය පුද්ගලික ජීවිතයටත් ගෙන එනවා. වරක් ඔහුගේ බිරිඳ විකී ලමෝටාගේ ඊළඟ ප්‍රතිවාදියා වන ටෝනි ජැනීරෝ පිළිබඳව හුදු කතා බහකදී පවසන්නේ ඔහු කඩවසම් බවයි. මින් කෝපයට පත් වන ලමෝටා ඒ පිළිබඳව ඇගෙන් කිහිපවරක් ප්‍රශ්න කරනවා. ඉන්පසු අදාළ බොක්සිං තරඟයේදී ටෝනි ජැනෝ‍රෝට දැඩි ලෙස පහර දී රුධිරය වගුරුවා ඔහුගේ මුහුණ හප කරන දමන ලමෝටා ප්‍රේක්ෂකාගාරයේ බියෙන් ඇළලි බලා සිටින සිය බිරිඳ දෙස ජයග්‍රාහි බැල්මක් හෙලනවා. මේ අතර ලමෝටාගේ හොඳම මිතුරා හා කළමණාකරු ලෙස සේවය කරන ඔහුගේ සොහොයුරු ජොයේ ලමෝටා හට මැද බරපංති බොක්සිං ශූරතාවය ලබා දීම සඳහා ඔවුන්ගේ ප්‍රදේශ‍යේ මාෆියා නායකයන් සමඟ සාකච්ඡා කරනවා. කෙසේ වුවත් විකීව දිගින් දිගටම සැක කිරීම නිසා ලමෝටාගේ වෘත්තීය ජීවතයත් පුද්ගලික ජීවිතයත් අවුලෙන් අවුලට පත් වනවා. අවසානයේ සිය ‍සොහොයුරා සමඟ විකී ලිංගික සම්බන්ධයක් පවත්වන්නේ යැයි සැක කරන ල මෝටා ඔහුටද විකීටද දැඩි ලෙස පහර දෙන්නේ සිය හොඳම මිතුරා හා සහෝදරයා අහිමි කරගනිනිමින්.
ස්කෝසෙසි මේ චිත්‍රපටය රූගත කිරීමේදි මිට ඉහත හොලිවුඩ් බොක්සිං චිත්‍රපටවලට වඩා වෙනස් ලෙස බොක්සිං වළල්ල තුළ කැමරාව මෙහෙවීම මඟින් බොක්සිං ක්‍රීඩාවේ ත්‍රාසය හා බිහිසුණු බව ප්‍රේක්ෂකයා වෙත ගෙනඒමට සමත් වනවා. එමෙන්ම ලමෝටාගේ චෛතිසිකය නිරූපණය වන සමීප රූපද මෙහිදී වැදගත් වනවා. එමෙන්ම ස්කෝසෙසි යොදා ගන්නේ කළු සුදු මාධ්‍යයයි. ඔහුගේ දිගු කාලීන සංස්කාරකවරිය වන තෙල්මා ෂූන්මේකර්ගේ සංස්කරණ හැකියාවද කතාවේ තීව්‍ර බවට බලපානවා.
මෙම චිත්‍රපටයේ ලමෝටා නිරූපණය කරන රොබට් ඩි නීරෝ දැඩි කැපවීමක් සිදු කරනවා. සිය ජීවිතයේ මැද භාගයේ දී සිරු‍ර තරබාරු රාත්‍රී සමාජ ශාලාවල කවටයෙක් මෙන් සේවය කරන ලමෝටා නිරූපණය කිරීම සඳහා මාස කිහිපයකට චිත්‍රපට නිෂ්පාදනය නවත්වා විශාල ලෙස ආහාර ගැනීමෙන් සිය බර වැඩි කරගන්නා ලද බවත් එය දුටු චිත්‍රපටයේ නිෂ්පාදක අර්වින් වින්ක්ලර් දැඩි ලෙස බිය පත් වුනු පැවසෙනවා. සිය චරිතය වෙනුවෙන් දැඩි කැපවීමක් සිදු කර උපරිම සාධාරණයක් කළ රොබට් ඩි නීරෝ 1980 ඇකඩමි සම්මාන උළෙලේදි හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගන්නවා.