Monday, September 23, 2019

යාපනයේ දෙමළ ජනතාවගේ ඉතිහාසය History of the Tamil People of Jaffna


යාපනය අර්ධද්වීපය පෘතුගීසි සමයේ පවා සිංහල බහුතරයක් සිටි ප්‍රදේශයක් බවත් එය දෙමළ බහුතරයක් සිටින ප්‍රදේශයක් බවට පත්වූයේ ලන්දේසි පාලන සමයේ ඔවුන් විසින් දුම්කොළ වගාවට ගෙන එනු ලැබූ දකුණු ඉන්දීය වැසියන් නිසා බව ආචාර්ය නලින් ද සිල්වා  නිතරම පවසන කරුණක් - ඔහුට අනුව වෙල්ලාල නම් යාපනයේ ඉහළම කුලය බිහිවන්නේ මේ දුම්කොළ වගාවට ලන්දේසින් ගෙන් ආ පුද්ගලයන්ගෙන්. මේ වෙල්ලාලයන් විසින් එ‍තෙක් යාපනයේ සිටි සිංහලයන් පහත් කුලයක් බවට විස්ථාපනය කළ බවත් මේ ප්‍රවාදයට ඇතුළත් - කෙසේ වුවත් මේ ප්‍රවාද‍යේ නිර්මාතෘවරයා නලින් නම් නොවේ. ජනවාර්ගික ගැටළු සම්බන්ධ පර්යේෂිකාවක් වූ සෙරීනා තෙන්නකෝන් ලංකා ගාඩියන් පුවත්පතේ සඳහන් කර ඇති පරිදි මේ  කතාව මුලින්ම පවසන්නේ ගාමිණි ඊරියගොල්ල මහතා විසින් 1984 දී. පසුගිය යුද්ධ සමයේ එල් ටී ටී ඊ ප්‍රචාරකවාදීන් පතුරුවා හළ ව්‍යාජ ඉතිහාස කතාවලට පිළිතුරු දීමට මේ කතාවෙන් යම් පිටුවහලක් ලැබුනු බව සත්‍ය්‍යක් - එසේ වුවත් මේ ප්‍රවාදයේ විශ්වාසනීය බව කෙබඳුද ? ඉතිහාසය සම්බන්ධ කරුණක් අපට 60%කවත් නිරවද්‍යතාවයෙන් කිව හැකිනම් ලොකු දෙයක් - අප සතුව දැනට ඇති විශ්වාසවන්තම මූලාශ්‍ර වන්නේ 17වන සියවසේ මැද භාගය පමණ වන තෙක් ලංකාවේ සිටි හා යාපනය ප්‍රදේශය ගැන දැනුමක් ඇති විදේශීය පුද්ගලයන් විසින් ලියන ලද සටහන් වල පරිවර්තන. ලංකා‍වේ සිටි අයෙක් වීම වැදගත් සාධයකයක් - උදාහරණයකට ලංකාවට නොපැමිණි නමුත් ඉන්දියාවේ ජීවත් වූ ලංකාවෙන් ඉන්දියාවට පැමිණි පෘතුගීසි කපිතාන්වරයෙක් ඇතුළු මූලාශ්‍ර අනුව The Temporal and Spiritual Conquest of Ceylon ලියූ ක්වේරෝස් පියතුමාගේ ග්‍රන්ථයේ විශ්වාසනීත්වය අඩුයි.

එම නිසා මුලින්ම ලංකාවේ සිටි පෘතුගීසි හමුදා කපිතාන්වරයෙක් හා කන්ද උඩරට රාජධානිය සමඟ මෙන්ම ලන්දේසීන් සමඟද දරුණු සටන්වලට කෙලින්ම සම්බන්ධවූ කපිතාන් රොබෙයිරෝගේ විස්තරය විමසා බැලූ විට ඔහු පැහැදිලිවම සඳහන් කරන්නේ යාපනය ප්‍රදේශය දෙමළ ජනතාව වාසය කරන වෙනම ප්‍රදේශයක් ලෙස පවතින බවත් එය දැනට පාලනය කරන පෘතුගීසි පරිපාලකයා පවා කොළඹ ප්‍රධාන පරිපාලකවරයාගෙන් විශාල නිදහසක් භුක්ති විඳින බවත්. (පෝල් ඊ පීරිස් මහතාගේ පරිවර්තනය අනුව)

පෘතුගීසි පාලනය යටතේ 1645 වසරේ  යාපනය ප්‍රදේශයේ පරිපාලන සංවිධානය පිළිබඳ පෘතුගීසි ලේඛනාගාර උප‍යෝගි කොටගෙන් පෝල් ඊ පීරිස් මහතා ලියූ The Kingdom of Jafanapatam 1645 ග්‍රන්ථය - වෙල්ලාල නම් කුලය සම්බන්ධව එහි කිහිප තැනකම සඳහන් වනවා - අදාළ කුලයේ අය ඉහළ තනතුරු වලට පත් කර ඇති බවද සඳහන් වනවා. එනම් අදාළ කුලය ඇතිවූවායැයි නලින් ද සිල්වා පවසන ලන්දේසි පාලන සමයේ මැද භාගයට අඩ සියවසකට පෙර සිටම වෙල්ලාල කුලය ඉහළ කුලයක් ‍ලෙස පැවතුනු බවට සාධකයක්.

අවසාන වශයෙන් ලන්දේසි පාලනය ආරම්භ වූ මුල් අවදියේම යාපනයට පැමිණි ෆිලිප් බල්දියස් නම් ලන්දේසි පූජකතුමාගේ සටහන්ද වැදගත්. යාපන අර්ධද්වීපය ගැන පැහැදිලි විස්තරයක් දෙන බල්දියස් එහි ජනතාව හා දිවයිනේ අනෙක් ප්‍රදේශවල ජනතාව අතර වාර්ගික වෙනසක් දකිනවා. එනම් යාපනය අර්ධද්වීපයේ ජනතාව දෙමළ (මලබාර්වරු) බව පැහැදිලිවම දක්වනවා. එහෙත් සිංහල අනන්‍යතාවයක් ඇති කිසිවෙක් සිටින පවසන්නේ නැහැ. අනෙක් අතට ලන්දේසි පාලනයේ මුල්ම කාලය වන ඒ සමයේ පවා හින්දු බ්‍රාහ්මණයන් සමඟ ඉහළම කුලය වෙල්ලාලයන් බව පවසනවා. වෙල්ලාල කුලය සම්බන්ධයෙන් සැලකිය යුතු විස්තරයක් ද ඔහු සපයනවා. එම නිසා නලින් ද සිල්වා පවසන අයුරු ලන්දේසින් විසින් කෘතිමව වෙල්ලාල කුලය නිර්මාණය කළ අයුරු පිළිගන්න අපහසුයි.

එම නිසා ගාමිණී ඊරියගොල්ල/ නලින් ද සිල්වා මහත්වරුන් ඉදිරිපත් කරන ප්‍රවාදයේ විශ්වාසනීත්වය අඩු බවක් දක්නට ලැබෙනවා.


Friday, September 6, 2019

රොබට් මුගා‍බේ හා ඉයන් ස්මිත්



රොබට් මුගාබේ මියගොස් ඇතැයි යන ආරංචිය බොහෝ සිම්බාබ්වේ වැසියන්ට අස්වැසිල්ලක් වනු ඇත. 1965 ඒකපාර්ශ්වියකව බ්‍රිතාන්‍යයෙන් නිදහස ප්‍රකාශ කරමින් රොඩේෂියා ජනරජය ප්‍රකාශයට පත් කළ ඉයන් ඩග්ලස් ස්මිත් තරම්වත් රොබට් මුගාබේ යහපත් පාලකයෙක් නොවීය. සුදු වර්ගවාදියෙකු වූ ඉයන් ස්මිත් යට‍තේ කළු ජනතාව සිටියාට වඩා රොබට් මුගාබේ යටතේ දුක්විඳිමට ලැබිනි. 1980 දශකයේ මුල් භාගයේ තමාට විරුද්ධව කැරලි ගැසූ සිට සටන් සගයා වූ  ජෝෂුවා න්කෝමෝගේ මතබෙලේ ජනතාව උතුරු කොරියාවේ පුහුණුව ලැබූ සිය සේනාංක යොදවා වාර්ගික සංහාරයකට ලක් කළේ මුගාබේය. වර්ගවාදී ඉයන් ස්මිත් කිසි දිනක එවැනි මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රියාවල නියුතු වූ‍‍යේ නැත. මුගාබේ ඩොලර් මිලියන ගණනින් මහජන ධනය සොරකම් කොට තමා වටා සිටි ස‍සෙු ZANU පක්ෂයේ හොරුන්ටද හොරකම් කිරීමට ඉඩදී 1930 දශකයේ ජර්මනිය මෙන් ආර්ථික නාරවළකට සිම්බාබ්වේ රට තල්ලු කළේය. අදත් ඉන් ගොඩ ඊමට එරට අසමත් ව ඇත. එහෙත් ඉයන් ස්මිත් යුද්ධයෙන් පසු සිය ගොවිපළට ගොස් සුපුරුදු අබලන් ජීප්රියෙන්ම ගමන් බිමන් ගියේය. රාජ්‍ය පාලන සමයේ මහජන මුදල් සොරකම් නොකළේය.  2000 වස‍රේදී තමන් අත්අඩංගුවට ගන්නා බවට මුගාබේ ගේ තර්ජන ගර්ජන තුට්ටුවකට මායිම් නොකරමින් නැවත සිම්බාබ්වේ රටට පැමිණියේය. ඉයන් ස්මිත් දැඩි ආර්ථික සම්බාධක හමුවේ ස්වයංපෝෂි ආර්ථිකයක්  අසීරුවෙන් ගොඩනැංවීය. මුගා‍බේ ආර්ථිකය විනාශ කොට සුර සැප වින්දේය - ඉතින් දුක ඕකා ඔතරම් කල් ආයුෂ වින්ද එක ගැනය