Tuesday, December 20, 2016

පැරඩි කලාව Parodies

ඉංගිරිසියෙන් පැරඩියක් (parody) ලෙස හඳුන්වන්නේ කිසියම් සත්‍ය පුද්ගලයෙකු, සිදුවීමක් හෝ නිර්මාණයක් උපහාසයට ලක්කිරීමකි.  මෙවැනි වූ පැරඩි සඳහා යුරෝපයේ පුනුරුද යුගය දක්වාම ඉතිහාසයක් තිබේ. ප්‍රාංසුවා රාබේල් ගේ “ගාර්ගැන්ටුවා හා ෆැන්ටා ගෘෘවල්“ වැනි ප්‍රබන්ධ මේ ගණයට උදාහරණ ලෙස දැක්විය හැකිය. කෙසේ වුවත් 20 වන සියවසේ ඉංගිරිසි බසින් ප්‍රකට වූ පැරඩි සඟරා කිහිපයක් ගැන සඳහන් කිරීම වටී. 

මුලින්ම මතකයට නැගෙන්නේ 1950 දශකයේ පමණ ආරම්භ වූ  MAD සඟරාවයි. ඇමරිකානු ජනප්‍රිය සංස්කෘතිය, දේශපාලනය මෙන්ම සමාජයද සදය උපහාසයට ලක්කළ MAD සඟරා දැඩි ජනප්‍රියත්වයක් ලැබීය. ඇතැම් අවස්ථාවල එකම පිටුවේ රිපබ්ලිකන් හා ඩිමෝක්‍රටික් යන ඇමරිකානු ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රතිපත්ති විචේචනය කරන මෑඩ් සඟරාව ඇමරිකාවේ සංස්කෘතික ගැටුම්වල (culture wars)  ලිබරල් හා කන්සර්වේටිව් යන දෙපාර්ශ්වයේම සීමාන්තිකකම් සරල උපහාසයට හසු කරගැනීමට සමත් විය. මෑඩ් සඟරාවේ ප්‍රධාන සංකේතය වන්නේ විසිළු මුග්ධ ගැටවරයෙකුගේ මුහුණෙන් නිරූපණය වූ ඇල්ෆ්‍රඩ් ඊ නිව්මන්ය 
2016 ඇමරිකානු ජනාධිපතිවරණය Mad Max: Fury Road චිත්‍රපටය ඇසුරින් උපහාසයට ලක්කළ අයුරු 
ඇල්ෆ්‍රඩ් ඊ නිවුමන් ඔබාමා ලෙස 

මෙලෙසම ඇමරිකානු දේශපාලනය හා සමාජය උපහාසයට ලක්කරන තවත් සඟරාවක් වූයේ Onionය. බොහෝ දුරට ලිබරල් ස්ථාවරයක් දැරූ අනියන් මඟින් විචේචනයට හසු කෙරුනේ දක්ෂිණාංශික දේශපාලන ධාරාවයි. එමෙන්ම ඇමරිකානු සමාජයේ රැලි ආදියද එමඟින් උපහාසයට ලක්විය. බොහෝ විට ඇසෝසියේටඩ් ප්‍රෙස් වැනි පුවත් සේවාවල ශෛලියට සමාන වන අයුරින් සැබෑ පුද්ගලයන්/සිදුවීම් පිළිබඳ උපහාසාත්මක පුවත් පළ කිරීම අනියන් හි තවත් උපක්‍රමයකි. 
09/11 ප්‍රහාරයෙන් පසු අනියන් පුවත්පතේ මුල් පිටුව 
පැරඩි චිත්‍රපට ගැනද හොලිවුඩයෙන් අසන්නට ලැබේ. උදාහරණයට රැම්බෝ වැනි ඒක පුද්ගල අැමරිකානු හමුදා උපහාසයට ලක්කළ චාලි ෂීන් රඟන හොට් ෂොට්ස් චිත්‍රපට හා හොරර් මාදිලියේ චිත්‍රපටවල පැරඩියක් වූ Scary Movie ගත හැක. 
ලංකාවේ සමාජ ජාල අවකාශයට පැරඩි එළඹෙන්නේ 2012 පමණ සමයේ සිට විය හැක. එම අවදියේ මූණු පොතේ දැඩි වර්ගවාදී රැල්ලක් පැතිර ගිය අවදියයි. ආදිවාසි වැද්දා නමින් යුතු මුණු පොත් පිටුවක් මඟින් මෙම වර්ගවාදී රැල්ලේ මූලික පදනමම උපහාසයට ලක්කිරීමට පටන්ගත්තේ පැරඩි ස්වරූපයෙනි. මුල් කාලයේ මෙය බෙහෙවින් සාර්ථක වූ බව වැද්දාට එරෙහි ව ජාතිකවාදි හා වර්ගවාදී පාර්ශ්වවලින් එල්ලවූ විචේචන මඟින් පැහැදිලි වේ. කෙසේ වුවත් මුල් කාලීන් ප්‍රමිතිය දිගටම පවත්වා ගැනීමට වැද්දා පිටුව සමත් වූයේ නැත - එයට හේතුව පිටු සංස්කාරකවරුන් වෙනස් වීම යැයි අනුමාන කරමි. එමෙන්ම එවක ආචාර්ය මිරැන්ඩෝ ගේ looney tunes නිසා ජනප්‍රිය වූ රාවණ මිත්‍යාව පැරඩිමය උපහාසයට ලක්කරමින් බිහිවූ “වර්ගපූර්ණිකාව“ එම කලාවේ පැහැදිලි උච්චස්ථානයක් පෙන්වන බව මගේ හැඟීමයි. 

වර්තමාන ලාංකික සමාජ ජාල අවකාශයේ මා දුටු හොඳම පැරඩි අඩවිය Newscurry විය හැක. ඉංගිරිසි බව නිර්මාණාත්මකව යොදා ගනිමින්  කාලීන දේශපාලනික හා සමාජ ප්‍රවාහයන් පැරඩිමය උපහාසයට ලක්කරන Newscurry අනියන් හෝ මෑඩ් වැනි අන්තර්ජාතික පැරඩි අඩවි සමඟ සලකා බැලුවද විශිෂ්ඨ බව මගේ හැඟීමයි. 
http://newscurry.co/

මේ අතර මූණු පොතේ විවිධ දේශපාලනමය අරමුණු සහිත පැරඩි පිටුද බහුලව දක්නට ලැබේ. මේවා ඇතැමක් පැරඩි පිටු පැරඩියට ලක්කරන ඒවා වීම විශේෂයකි ! මුදල් ලබන පක්ෂ ක්‍රියාකාරීන් විසින් මෙහෙයවන බවට සැක කළ හැකි මේවා සමහරක් සිංහල බොදුනුවා, ග්‍රීන් බ්ලඩ් ආදි ලෙස වේ. ප්‍රතිවාදී පිළට පක්ෂපාත බවක් මුලදී පෙන්වන මෙම පිටු සියුම් ලෙස එම ප්‍රතිවාදී පිළේ දේශපාලන නායකයන්ගේ ප්‍රතිරූප බිඳ හෙලීමට ක්‍රියාකරන අයුරු අපූරුය. අවාසනාවකට මෙන් සිංහල මූණු පොත් පරිශීලනය කරන්නන් වැඩි විචාරයකින් තොරව තම ටයිම්ලයින් එකේ දක්නට ලැබෙන දේ ෂෙයා කරන බවට හොඳම ූඋදාහරණය වන්නේ මේ පැරඩි පිටුවල පෝස්ටුද සැබෑ ලෙස ගෙන ලැබී ඇති ෂෙයා ගණන දුටු විටය. 

18 comments:

  1. ජේම්ස් බොන්ඩ් වර්ගයේ පැරඩි වන ඔස්ටින් පවර්ස් සහ ජොනී ඉංග්ලිෂ් මෙයට එකතු විය යුතුයි!

    ReplyDelete
    Replies
    1. ඒක අමතක වුනා - කොහොමත් මගේ අවධානය යොමු වුනේ දේශපාලනය හෝ සමාජ ප්‍රවාහයන් පැරඩියට ලක්කරන අවස්ථා

      Delete
  2. New Sinhala Buddhist මා කැමති ෆේස්බුක් පැරඩියක්

    ReplyDelete
  3. පසුගිය ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වුණු ආර් ඩී සිරිසේන නම් පුද්ගලයාත් මිනිස් පැරඩියක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් - මෛත්‍රීපාලව සිනහවට ලක්කිරීම ඔහුගේ පරමාර්ථයයි - ඒ සමඟ යෙදූ පුවත්පත් දැන්වීම් අනුවත් මෙය පැහැදිලියි

      Delete
  4. "පැරඩි"ගැන කරපු මේ පැහැදිලි කිරීම ගැන ස්තුතියි.සිංහල බ්ලොග් වලත් කමෙන්ට් කරන ඇතැම් අය පැරඩි විය හැකි යැයි කියනවා මා දැක තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇතැම් බ්ලොග් කොමෙන්ට්කරුවන්ගේ මේ ලක්ෂණය දැකිය හැකියි - විශේෂයෙන්ම නිර්නාමික කොමෙන්ට්කරුවන් - පැරාගේ රසිකගේ බ්ලොග්වල

      Delete
  5. මම දැකපු හොඳම සිංහල දේශපාලනික පැරඬිය තමයි රාවයෙ පළවුණු විමලෙගෙ කොලම

    ReplyDelete
  6. //මෙවැනි වූ පැරඩි සඳහා යුරෝපයේ පුනුරුද යුගය දක්වාම ඉතිහාසයක් තිබේ.//
    අපොයි මම හිතන්නෙ ඊටත් හුඟක් එහාට යනවා.. "ඇරිස්ටොෆානිස්" මේ වගේ පැරඩියකින් සොක්‍රටීස් ව උපහාසයට ලක් කරල තියෙනව මම හිතන්නෙ..ක්‍රි පූ 400 ගනන් වල ..

    ReplyDelete
    Replies
    1. මම තරමක් ඉක්මණින් කරපු පෝස්ට් එකක් නිසා මේ ගැන වැඩි දුරටත් හොයන්න වෙලාවක් තිබුනේ නැහැ - ස්තූතියි මේ ගැන දැනුවත් කළාට

      Delete
    2. සුනන්ද මහේන්ද්‍රය න් ගෙ සොක්‍රටීස් නාට්යය ලංකාවට ලැබුනු අපූරු නාට්ය අත්දැකීමක්.. ඒ නාට්යය ඇතුලෙ අර පැරඩි නාට්යයත් පෙන්නනවා.. පැරඩියෙ ඉන්නෙත් ඒ ඒ චරිත වලට ප්‍රධාන නාට්ටියෙ ඉන්න අයමයි ..

      Delete
  7. වැඩේ කියන්නෙ පැරඩි පෝස්ට් ෂෙයාර් කරන එවුන්ට මේ වගේ පෝස්ට් කියවන්න හම්බෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. පැරඩි පෝස්ටු ෂෙයා කරන්නේ බොහෝ දුරට බුකි දේශපාලනය ආදියේ ක්‍රියාකාරි සංවාදවල නිරත වන අය නෙවේ -

      Delete
  8. [[ලංකාවේ සමාජ ජාල අවකාශයට පැරඩි එළඹෙන්නේ 2012]]

    මට මතක පරණම සීන් එක වෙන්නේ යුද්ධේ කාලේ ඩිෆෙන්ස් සයිට් වල. මහේන් වගේ නමකින් කොටි සපෝටර් කෙනෙක් හිටියා. මාස හයක් පමන ඔහු කොටි සංවිධානයේ කෙනෙක් ලෙස පෙනී සිටියා. යුද්ධයේ තීරණාත්මක මොහොතක ඔහු කොටිසන්විධානයේ අභ්‍යන්තර බෙදුමක් වුන බවත් කොටසක් වෙන්වෙලා හමුදාවේ පැත්ත අරගෙන බවත් මේ පිරිසට පොට්ටු අම්මාන් නායකත්වය දෙන බවත් කිව්වා. මේක ඒ වෙද්දී යුද්ධය කොටි දිනයි කියල හිතපු සයිබර ප්‍රජාවට විශාල බලපෑමක් කළා මොකද ඔවුන් ඒ වෙද්දී ඔහුව විශ්වාස කල නිසා.

    පස්සේ තමයි දැන ගත්තේ ඔහු ඇත්තෙන්ම ඔවුන්ගේ ප්‍රතිවාදියෙක් කියලා. ඒ සිදුවීම දැන් ඒ හැටි නොදැනෙන්නේ අවුට් ඔෆ් කොන්ටෙක්ස්ට් හින්දා. එහෙත් එවකට ඒවාට සහබාගි වෙච්ච සයිබර සමාජයට විශාල බලපෑමක් වෙච්ච සිදුවීමක්.

    නිව්ස් කරී වගේ එකක් 2009 ට පෙර තිබ්බ. නම මතක නැහැ.

    2012 ට බොහෝ පෙර 2010 විතර තමා වර්ගපුර්නිකාව ලියවෙන්නේ.

    කෙසේ නමුත් දැන් වෙද්දී පැරඩි තමන්ගේ කාර්යභාරය හුදෙක් විනෝදය සැපයීම දක්වා පහතට දාල තියෙනවා. ඉස්සර පැරඩි වල මම දැක්කේ ප්‍රතිවාදී මතයකට වැටෙන්න ගහන්න හදපු එකක් කියල. දැන් තියෙන්නේ මොකක් හරි ගොන් ආතල් එකක් දීම පමණයි කියල හිතෙනවා. පහුගිය වසර දෙක තුනේ පැරඩි කරන ප්‍රමාණය වැඩි වුන එක ඊට හේතුවක් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දැන් පැරඩි ගැන ඔ ෙබ් මතය සමඟ ඒකඟයි

      Delete
  9. ස්තූතියි මෙවැනි දැනුවත් කිරීම් වලට

    ReplyDelete