Thursday, November 18, 2021

පික්චර් පිස්සුව

 





21 වන සියවසේ මුල් භාගය පමණ වන තෙක් කුරුණෑගල නගරයේ තිබූ අවශේෂ සිනමා හල් වූ මොඩර්න්, නිව් සිනමා පසු කාලයක පාඩු ලබන මට්ටමේ පැවතිණි. මින් මොඩර්න් හි අවසන් කාලයේ පෙන්වූයේ සොෆට් ‌කෝ පෝන් චිත්‍රපට පමණි. හිටපු විශේෂඥ ‌වෛද්‍ය ජුපිටර් මූණමලේ මහතාට අයත් ජුපිටර් සිනමා ශාලාව තවමත් ක්‍රියාකාරි දැයි නොදනිමි. කුරුණෑගල ප්‍රධාන සිනමා ශාලා දෙක වූයේ කුරුණෑගල - නුවර පාර ආරම්භක ස්ථානයේ පිහිටි ඉම්පීරියල් සිනමා ශාලාවත් කුරුණෑගල පොළ හා වෛද්‍ය  නාවින්නගේ පුද්ගලික  රෝහල අසල පිහිටි  සිනෙක්ස්පෝ යන සිනමා ශාලාය. මගේ පික්චර් පිස්සුවේ ආරම්භය මේ සිනමා ශාලා දෙක හා බැඳී තිබේ. 

මා නැරඹූ මුල්ම චිත්‍රපටය මතකයක් නැතත් Sergio Leone ගේ For a Few Dollars More හා ‌ ෂෝන් කොනරි රැඟූ මුල්ම James Bond චිත්‍රපටය වන Dr No නම් පැරණි චිත්‍රපට නව පිටපත් මේ සිනමා  හල් දෙකෙන් එකක පෙන්වූ අවස්ථාවේ නැරඹූ බවට අතිශය දුර්වල මතකයක් තිබේ. සිනෙක්ස්පෝ සිනමා ශාලාවේ පෙන් වූ Indiana Jones and the Temple of Doom චිත්‍රපටය නරඹන්නට ගොස් දෙනවක හාමිනේ ඉන්නා ජවනිකාවක් නිසා බියට පත් ව චිත්‍රපටය මැදින් ආපසු ඒ්මට සිදු වූ බව තාත්තා පසු කාලයක නිතර මතක් කළේය. ඉන් පසුව මගේ මතකයේ රැනේනේ Rambo First Blood චිත්‍රපටයයි. ඉම්පීරියල් සිනමා ශාලාවේ ඉදිරිපස සිල්වර් ස්ටැලෝන් උඩුකය නිරුවත්ව  රොකට් ලෝන්චරයක් දෑතින් අල්ලා ගෙන සිටින දැවැන්ත කටවුට් එක අදද මගේ මතකයට එන්නේ නිරායාසයෙනි. ඒ් රෑපයම රැගත් විශාල ප්‍රමාණයේ පෝස්ටරයක් අපේ ගෙදර සෑහෙන කාලයක් තිබිණි. 




1960 හා 70 දශකවල සිය ගැටවර හා තරුණ විය ගත කළ තාත්තා එකල ජනප්‍රිය වූ ක්ලින්ට් ඊස්ට්වුඩ්, ෆ්‍රැන්කො නීරෝ රඟ පෑ spaghetti Western චිත්‍රපට නැරඹීමට අතිශයින් ප්‍රිය කළේය. ඒ් හැරුණු විට ක්‍රියාදාම චිත්‍රපට ද ඔහු ම ඟ නොහැර නැරඹීය. 1980 අග භාගයේ සිට 1990 මුල් භාගය දක්වා මා තාත්තා සමඟ නැරඹූ චිත්‍රපටවලින් මතකයට එන්නේ තිමති ‌ඩෝල්ටන් සිටි  Living Daylights, කෙවින් කොස්නර් හා රොබට් ඩි නීරො රඟ පෑ Untouchables, Indiana Jones Last Crusade, Punisher BMX Bandits හා ෆ්‍රෑන්ක් සිනාට්‍රා රඟ පෑ දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගත් Von Ryan's Express, Paul Verhoeven ගේ Robo Cop, Robin Hood Prince of Thieves පියාත් සමඟ සිනමා තිරයේ නැරඹු මතකයේ රැඳෙන චිත්‍රපට සමහරකි. 

1993 වසරේ ස්ටීවන් ස්පිල්බර්ග් තම ප්‍රකටම චිත්‍රපටය වන Jurrassic Park නිර්මාණය කළේය. ලංකාවට එය පැමිණියේ 1994 දී වූ අතර එවක චිත්‍රපටයේ හඩ පටය ප්‍රශස්තව ප්ලේ කිරීමට හඩ පද්ධතියක් තිබුනේ කොළඹ ලිබර්ටි මැජස්ටික් වැනි ප්‍රධාන පෙළේ සිනමා ශාලාවල හා කටුගස්තොට ඕඩියන් සිනමා ශාලාවේත් පමණකි. කුරුණෑගල ඉම්පීරියල්  සිනමා ශාලාවේ තිරගත වූ ජුරාසික පාක් චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂකයන් පැමිණියේ  වැල නොකැඩී පෝලිම් ගැසීය. එක් දර්ශන වාරයක් අවසන් වන තෙක් පිටත පෝලිමක් විය. කෙසේ වුවත් ඉම්පිරියල් සිනමා ශාලාවේ ගැලපෙන හඩ පද්ධතියක් නොතිබුනු නිසා ඔවුන් සිදු කලේ අර දෙමළ චිත්‍රපටලට මෙන් ශබ්දය උපරිමෙන් වැඩි කිරිමයි. ඩයිනෝසරයන් මහ හඩින් කෑ ගසන ඇති වන අමිහිරි නාදය ගැන අමුතුවෙන් කියන්න අනවශ්‍යයයැයි සිතමි. 

1995 පමණ තාත්තා වි සි ආර් යන්ත්‍රයක් මිල දි ගත් අතර එතැන් සිට විඩියෝ පට කුලියට ගන්නා තැන්වලින් දින පතා චිත්‍රපට ගෙනැවිත් බැලීමට හැකිවිය. ඒ සමඟම සිනමා ශාලාව තරමක් ඈත් විය. එවක කුරුණෑගල නගරයේ පොදු වෙළඳ සංකීර්ණය අසල හා පේෂකාර්මික ගොඩනැගිල්ලේ මෙන්ම රෝහල අසලත් එවැනි විඩියෝපට කුලියට දෙන ස්ථාන කිහිපයක් තිබුනි. කෙසේ වුවත් Gladiator, Mission Impossible වැනි කතා බහට ලක් වූ චිත්‍රපට අප සිනමා ශාලාවේ නැරඹීමු. ඒ හැරුනු විට උසස් පෙළ පංතියේ සිටියදී ඉස්කෝලේ කට් කර නැරඹූ එකම චිත්‍රපටය වන දිනේෂ් ප්‍රියසාද්ගේ "කොළම්පූර්" නිව් සිනමා හිදි නැරඹීමි.  

අවුරුදු ගණනකට පසු අද දවසේ අපහසුවකින් තොරව චිත්‍රපට නැරඹීමට මාර්ග සුලභ වීම නිසා දෝ එදා තරම් "පිස්සුවක්" නම් නැතත් තවමත් සිනමා ශාලාවේ චිත්‍රපටයක් නරඹන විට ඇති වන හැඟිමට මම කැමැත්තෙමි. අවසන් වරට මා  සිනමා ශාලාවක් වෙත රැගෙන ගිය චිත්‍රපටය වන ටැරන්ටිනෝ ගේ Once Upon a Time in Hollywood නැරඹීමේදි එය නැවතත් පසක් විය. 

18 comments:

  1. සුභ උදෑසනක් "සිතක සටහන්"
    අද මම එක.
    මම කුරුණෑගලට ප්‍රථමයෙන් ගියෙ 1957. ඒ කාලෙ තිබුනෙ ඉම්පීරියල්, ජුපිටර් සහ නිව්සිනමා පමනයි. මම ජීවිතේ දෙවනි වරට නැරඹූ "පතිවත" (දෙමල හෝ හින්දි ඩබින්) චිත්‍රපටය නැරඹුවෙ කුරුණෑගල නිව්සිනමා එකේදි 1957.
    පසුව පාසැල් නිවාඩුවලදි කුරුණෑගල මගේ පුන්චි අම්මාගේ නිවසට යන්න පුලුවන් උනා. ඒ නිවස තිබුනෙ ඉම්පීරියල් සහ ජුපිටර් සිනමා සාලාවල ඉදල ඇවිදින දුරින්. ඒ නිසා එම සිනමා ශාලාවලින් නැරඹූ චිත්‍රපට ගනන අසීමිතයි. ඊට පස්සෙ වැඩි කාලයක් රැකියාවටත් ස්තිර පදින්චියටත් කුරුණෑගල තෝරා ගැනීම ද්‍යයිවෝප ගතයි. ඔය කාලෙ හැම සිනමා සාලාවකටම තිබුනා ගොන් කරත්තයක්. ඒක ත්‍රිකෝනාකාර අමුතු වහලක් එක්ක(දෙපැත්තේ පෝස්ටර් අලවන්න පුලුවන්). ප්‍රචාරක කටයුතු වලට යන්නෙ සහ ස්ටේෂන් එකේ ඉදල චිත්‍රපට අරන් එන්නෙ ආදී සියලු ප්‍රවාහන කටයුතු කරන්නෙ මේ ගොන්කරත්ත වලින්. හැම චිත්‍රපටයක්ම ස්ටේෂන් එකේ එදල හෝල්වලට යන්නෙ නුවර පාරෙ අපේ පුන්චි අම්මලගෙ ගෙදර ඉස්සරහින්. එතකොට අපේ අල්ලපු ගෙදර හිටිය මගේ වයසෙ සරත් (සරත් විජේසේකර. දැන් ඇමරිකාවේ) ස්ටේෂන් එකේ ඉදල එන කරත්තෙ පස්සෙන් ගිහින් ෆිල්ම් එක මොකක්ද කියල අහගෙන එන සිරිතක් තිබුන. මොඩර්න් සහ සිනෙක්ස්පෝ සිනමාසාලාවල් පසුව හැදුවෙ. දැනටත් නිවාඩුවට ලන්කාවට ගියහම සන්කේතයක් ලෙසින්වත් ඉම්පීරියල් හෝ සිනෙක්ස්පෝ එකෙන් චිත්‍රපටයක් බලල තමයි එන්නෙ.

    ස්තුතියි සිතක සටහන්
    මම YMBA හිටිය හාදය

    ReplyDelete
    Replies
    1. සුබ උදෑසනක් YMBA හිටිය හාදය,

      ඔය ගොන් කරත්තවල දෙපැත්තේ චිත්‍රපට පෝස්ටර් අලවන එක 1990 දශකයේ මුල දක්වාම තිබුනා වගේ මතකයි

      Delete
  2. ස්තුතියි.
    පොඩිම කාලෙ ආස Crazy Boys සීරීස් එක. 3 -4 ක් ආව මට මතක විදිහට.

    ඒලෙවල් කාලෙ තමයි හුගක් බලන්න ගත්තෙ. එතකොට චාල්ස් බ්‍රොන්සන්ගෙ Death Wish සීරීස් එක, The Outlaw Josey Wales, Dirty Harry මූවීස්, වියට්නාම් යුද්ධය ගැන මූවීස්, Dirty Dozen සහ වෙනත් ලෝක යුද්ධ මූවීස්. ඊස්ට්වුඩ්ගෙ කව්බෝයි මූවීස් නම් බැලුවෙ විඩියෝ ප්ලේයර් එකක් ගත්තාම.
    Untouchables තාමත් ප්‍රියතම චිත්‍රපටියක්.

    ReplyDelete
    Replies
    1. Pra Jay,

      Crazy Boys නම් නරඹා නෑ. Dirty Dozen ටීවී සීරිස් එකක් 1994 පමණ අයි ටී එන් එකේ ගියා ඔබට සමහර විට මතක ඇති

      Delete
  3. මම තවමත් සයන්ස් ෆික්ෂන් චිත්‍රපට සිනමා ශාලාවක බලන්න කැමතියි . ලොකු තිරයක. ඊළඟට එයිද දන්නේ නැහැ සිනමා රැල්ලක්

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් එනවා නං, ඩ්‍රැකියාගෙන් තමයි. එයැයි පිචෑර් පිස්සා.😂

      Delete
    2. සයන්ස් ෆික්ෂන් නම් ලොකු තිරේ බලා නෑ

      Delete
  4. නියමයි. හිත අතීතයට ගෙන යන සොඳුරු මතකයක්.🙏👌😊

    ReplyDelete
  5. ප්‍රාජේ පාර පෙන්නුවෙ. ආපහු එන්නං. අර උඩ බල්ලෙක් කියල තිබ්බ වගේ, මං පිචැර් ගැන සටහන් වගයක් ලිව්වා. මේ අර උඩ කියල තියෙන රොබින් හුඩ් ෆිල්ම් එක ගැන. අපි ඒක බැලුවෙ ගම්පහ පබ්ලික් හෝල් එකේ හයයි තිහේ ෂෝ එක.

    ජුරාසික් පාක් ලංකාවට ආවෙ 94 දි තමයි. ඒක වෙනුවෙන් ම ලිබර්ටියෙ ‌ඩොල්බි ඩිජිටල් සවුන්ඩ් සිස්ටම් එකක් හයි කළා.

    ReplyDelete
    Replies
    1. මමත් ආසාවෙන් බලපු ෆිලුම් එකක්

      Delete
  6. Pra Jay මහත්තයාගේ ඔත්තුවකින් මෙහාට ගොඩ වැදුණේ. මම චිත්රපට රසිකයෙක්ය කියනවට වැඩිය ගැළපෙනවා එහෙම පිටින්ම film එකක් කියන එක.

    ලිපිය රසවත්....

    ඉස්සෙල්ලාම මං කුරුණෑගලට ආවේ පළමු වට වන්දනා ගමනේදී. ඇත්කඳ විහාර පන්සලේ බණ මඩුවේ අපි රැයක් හිටියා.

    ඊළඟට මට කුරුණෑගල ගැන මතක තියෙන්නේ (කොළඹ ඉඳල එනකොට ප්‍රධාන පාරේ වම පැත්තෙ තිබුණු) හෝටලයක් ගැනයි. තේ බිව්වේ එහෙන්... මතක හැටියට ටවුම පටන් ගන්න හරියේ- නම මතකෙට එන්නේ නෑ. දවල්ට නම් film හෝල් එකක් කිට්ටුවම ටවුමේ අනිත් කොනේ තිබුණු චීන අවන් හල. රෑ නවතිනවා නං රන්තාලිය තානායම.

    එහෙම හිටි දවස්වල රෑට ඇතුගල මුඳුනට ගිහින් වීදුලි ආලෝකයෙන් බබළන කුරුණෑගලට 'අනිමිස ලෝචන පූජා' පැවැත්තුවා.

    83 ජුලි කලබල පටන් ගනිද්දී අපි හිටියේ අනුරාධපුරේ ගිහින්. ආරංචිය ලැබුණු ගමන්ම ආපහු එන්න පිටත් වුණා. අමාරුවෙන් කුරුණෑගල පොලීසියට ඇවිත් ඇඳිරි නීති බලපත්‍රයක් ගන්න බැලුවා. බැහැයි කිව්වා. පුළුවනි නම් අතුරු පාරවලින් කොළඹ යන්නයි කිව්වා risk එකක් අරං. ඔව්වා තමයි හොඳම මතක ටිකක්, කුරුණෑගලට අදාලව....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි - රන්තලියෙ ඩ්‍රින්ක් එකක් දාන්න අපූරු තැන - මහ රෑ ඇතුගලේ යන්න බය නැති වුන එකත් හොඳයි

      Delete
  7. කුරුණෑගල මට හොඳටම මතක මම රිදීීගම telecom exchange එක පිලෑන් කරන්න ආපු ගමනයි.
    එදා ජීවිතේට අමතක නොවෙන සිද්ධියක් වුණේ. අපි නැවතුනේ කාර්යාලෙටම ආඳා සකසා තිබුණු නැවතුම් කාමරයකයි. අපි කෑම ගත්තෙ ටවුමෙ හෝටලයකින්. කෑමකාලා නවාතැනට එන අතර හොඳටම බීපු මනුස්සයෙක් මං ඉදිරියෙම වැටිලා බිම දිග ඇදුනේ වැඳගෙන වගේ. මං හිතුවෙම හෘදයාබාධයක් වගේ දෙයක් කියලයි. මං අපේ රියදුරාව වාහනේ ගේන්න පිටත් කළේ ඔහුව රෝහලට යවන්නයි. ඇඟපත මහත ඔහුව නැගිටවාගන්න අපට ලොකු ධෛර්‍යයක් ගන්න වුණා. මිනිහා නැගිටලා කීවෙ වලගම්බා රජතුමාට පස්සෙ හරි හතරරියන් කෙනෙක්ව දැක්කා. වැන්දෙ ඒකයි කියලයි.

    ReplyDelete
  8. /* ස්ටීවන් ස්පිල්බර්ග් තම ප්‍රකටම චිත්‍රපටය වන Jurrassic Park */

    මං හිතාගෙන ඉන්නේ ET කියායි.

    ReplyDelete