Thursday, June 20, 2019

මහමත් නබි තුමාගේ අනාගතවක්තෘවර දිවිය ගැන අධ්‍යයනයක් Twenty Three Years: A Study of the Prophetic Life of Mohammed

සලාෆි ජිහාදි කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් පසු ඉස්ලාම් ධර්මයේ මූලාරම්භයන් හා කුරානය ගැන වැඩිදුරට අධ්‍යයනය කිරීමට යම් කැමැත්තක් ඇතිවුනා. ඒ අධ්‍යයනය සඳහා විවිධ මූලාශ්‍ර පරිශීලනය කිරීමේදී හැඟි ගිය දෙයක් වූයේ බොහෝ ඉංග්‍රීසි බසින් ඇති බටහිර ලේඛකයන්ගේ කෘතිවලින් මහමත් තුමා පිළිබඳ සෘණාත්මක ආකල්පයක් ජනනය කිරීමට  උත්සාහ ගන්නවා විනා එතුමාගේ ධර්ම සේවය පිළිබඳ විවෘත මනසකින් බැලීමට අපොහොසත් ව ඇති බවයි.  Twenty Three Years: A Study of the Prophetic Life of Mohammed හි පී ඩී එෆ් පිටපතක් අන්තර්ජාලයේ අහම්බයෙන් හමුවන්නේ මේ සොයා යාමේ ප්‍රතිඵලයක් ලෙසයි. ඉරාන ජාතික හේතුවාදියෙක්, විද්වතෙක් හා සෙනේට් සභිකයෙක්,මාධ්‍යවේදියෙක්, නවකතාකරුවෙක් වන අලි දෂ්ටි විසින් 1974 දී පාර්සි බසින් ලියන ලදුව එය ඩරම් හා මැක්ගිල් සරසවිවල පර්සියානු හා අරාබි භාෂා පිළිබඳ  මහාචාර්ය ෆ්‍රෑන්ක් බැග්ලි විසින් ඉංගිරිසියට පරිවර්තනය කොට පළ කොට ඇත්තේ 1985 වසරේදියි.


අලි දෂ්ටි ඉරානයේ වංශවත් පවුලක උපත ලැබුවෙක්. ඉන්පසුව ඔහු ඉරාකයේ නජාෆ් නගරයේ ආගමික පාසල් (මද්‍රාසා) වලින් ඉස්ලාමික ධර්මය, කුරානය,  අරාබි හා පර්සියානු භාෂා, තර්කනය ආදි බොහෝ දේ ගැන මනා අධ්‍යාපනයක් ලැබූ අයෙක්. පසුකාලීනව ඕමාර් ඛය්යාම් හැදෑරීමි නිසා හා  ප්‍රංස භාෂාව තනිවම හදාරා ආගම, සංස්කෘතිය හා කලාකෘති ගැන ප්‍රංශ පොත් හා ඉංග්‍රීසි හා රුසියානු ග්‍රන්ථ වල ප්‍රංශ පරිවර්තන  කියවීම තුළින්  ඔහු හේතුවාදී හා ලිබරල් අදහස් දරන්නෙකු බවට පත්වනවා. මහමත් නබි තුමාගේ ජීවිතය පිළිබඳව මැදිහත් ආස්තානයක සිට ‍හැදෑරීමට අලි දෂ්ටි මෙහෙයවන්නේ සමකාලීන බටහිර ලේඛකයන්ගේ පොත් තුළින් එතුමා නිග්‍රහයට ලක් කොට තිබීමත් ඉස්ලාමික ‍ ලේඛකයන් විසින් ආගමික ස්වරූපයකින්ම පමණක් එතුමාව හැදෑරීමට ලක් කොට ඇති බැවිනුත්. ඒ සඳහා වසර ගණනක් තුළ කුරානය හා හදීස්වල මුල කාලීන මූලාශ්‍ර හා නබිතුමා ගැන ඉස්ලාමික හා බටහිර විද්වතුන් ලියා ඇති  ග්‍රන්ථද ඔහු විසින් පරිශීලනය කොට ඇත. කෙසේ වුවත් 1974 දි මෙය පාර්සි බසින් පළ කෙරන්නේ ඔහුගේ නමින් ද නොවේ. ඉරානයේ පහ්ලවි ෂා රජුට සිය පාක්ෂිකත්වය හා හේතුවාදි අදහස් නිසා 1979 ඉරාන‍යේ බලයට පැමිණෙන අයොතොල්ලා කොමේනි රජයේ උදහසට ලක් වන අලි දෂ්ටි 1981 හෝ 1982 වර්ෂයේ අභිරහස් ලෙස මිය යනවා. 

අලි දේස්ති 

අලි දෂ්ටිට අනුව මහමත් තුමා යනු ලෝකයේ බිහිවූ අති සුවිශේෂීම පුද්ගලයා ලෙස හැඳින් විය හැකිය. ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා හෝ ජුලියස් සීසර් වැනි නායකයන් හට ඒ සඳහා හමුදාවන් හා පවුල් පසුබිමක් උපකාරී වුනා. එහෙත් දෙමව්පියන් නොමැති අනාථයෙකු වූ මහමත් තුමා වසර 23ක් වැනි කෙටි කාලයක් තුළ ඉතාම පසුගාමී කෲර ජනකොටසක් වූ අරාබි ජාතිකයන් විශාල සමාජ පරිවර්තනයකට ලක් කර විශාල ප්‍රදේශයක් තුළ සිය ආගමික රාජ්‍යය පිහිටුවීම සැබවින්ම විස්මිත ක්‍රියාවක්.  කුරානය හා හදීස වි‍වේචනාත්මකව විශ්ලේෂණය කරන අලි දෂ්ටි මහමත් තුමාගේ දේව ධාර්මික පණිවිඩ‍යේ පැහැදිලිව හඳුනාගත හැකි යුග දෙකක් දකිනවා. එනම් එතුමා මක්ක‍ෙමේ ගත කළ වසර 13ක කාලය හා පසුව මෙදීනා නගරයේ ගත කළ දශකය. මක්කමේදී සාමයට ලැදි යුද්ධ විරෝධී නායකයෙකු වූ මහමත් තුමා හිජ්රාව නොහොත් මෙදීනා නගරයට පැමිණ වසරකින් පමණ පසුව දැඩි යුද්ධකාමී නායකයෙක් බවට පත්වනවා. කුරානයේ දක්නට ලැබෙන හිංසාවට අනුබල දෙන පාඨයන් සියල්ලම පාහේ මෙදීනා‍හිදී සිය බලය ව්‍යාප්ත වූ සමයේ එතුමාට "හෙළි කරන ලද" ඒවායි. මේ අනුව අලි දෂ්ටි නිගමනය කරන්නේ බලය අහිමිව මක්කමේ බහුදේවවාදීන්ගේ නිග්‍රහයට පත්ව සිටි සමයේ හා මෙදීනා නගරයට පැමිණි පසු බලවත් යුද්ධ නායකයෙක් වීම අතර මහමත් තුමාගේ මානසික ස්වභාවයේ වෙනස නිසා කුරානයේ මේ වෙනස දක්නට ලැබෙන බවයි. එමෙන්ම මෙදීනාවට පැමිණිම නොහොත් හිජ්රාවට ප්‍රධානතම හේතුව මක්ක‍මේ කුරේෂි ගෝත්‍රය හා මෙදීනාහි අරාබි ගෝත්‍රය අතර ආරාවුල් නිසා කුරේෂි ගෝත්‍රයට අයත් මහමත් තුමා තම පාර්ශ්වයට ගැනීමට ඔහු සමඟ එම ගෝත්‍ර ගිවිසුමකට එළැඹීම බව අලි දේස්ති සඳහන් කරනවා. 


මෙහිදී අලි දෂ්ටි තවත් වැදගත් හා විවාදාත්මක නිගමනයක් සිදුකරනවා. එනම් කුරානය යනු දේව වචනය නොව මහමත් තුමාගේම අභ්‍යන්තර චෛතිසිකයේ පිළිඹිඹුවක් විය හැකි බවයි. එමෙන්ම මහමත් තුමා සිය වෙළඳ ගමන් වලදී දමස්කය වැනි නුවරලදී හමුවූ යුදෙව්වන් හා ක්‍රිස්තියානින්ගේ ආශ්‍රයෙන් දැනගත් කතාද කුරානයට මුසුවී ඇති බවත් අලි දෂ්ටි අනුමාන කරනවා.  මේ සඳහා උදාහරණ ගණනාවක් ඔහු කුරානය, හදීස් හා පසුකාලීන අටුවා ආශ්‍රිතව සපයනවා. එමෙන්ම අරාබි ජාතිකයන් අතර අලුත් ආගම ජනප්‍රිය කරලීම සඳහා අරාබීන්ගේ සාම්ප්‍රාදායික් ඉතා වැදගත් ආගමික සිරිත් ඉස්ලාම් ආගමට බද්ධ කොට තිබෙනවා. මක්කම පූර්ව ඉස්ලාමික අවදියේදි අරාබි ජාතිකයන්ට ඉතා වැදගත් ස්ථානයක් වුනා. එහි කුරේෂි ගෝත්‍රය විසින් ක අබා නම් අදටත් ශුද්ධවූ ස්ථානය පාලනය කළ අතර වාර්ෂිකව ආරාබියේ සතරදිගින් වන්දනාකරුවන් එහි පැමිණියේ ක අබා වන්දනා කිරීමටයි. තවද එහිදී වන්දනාකරුවන් විසින් ක අබා ගල සිඹීම  එය වටා ස්තෝත්‍ර කියමින් ගමන් කිරීම  බොරළුවලින් ගැසීම ඒ අවට කඳු ගැට දෙකක් අතර දිවීම ආදි චාරිත්‍ර වාර්ෂිකව ඉටු කළා. ඉස්ලාම් ආගමේ හජ් වන්දනාව හා ඒ ආශ්‍රිත සාතන්ට ගල් ගැසීම ආදි ආගමික චාරිත්‍ර බවට රූපාන්තරණය වන්නේ ‍ මේ පූර්ව ඉස්ලාමික ඇදහීම්මයි. 

මෙලෙස කරුණු ගණනාවක් විශ්ල‍ේෂණාත්මක්ව ඉදිරිපත් කරන මේ කෘතිය මහමත් තුමා හා ඉස්ලාමය පිළිබඳ මැදිහත්ව සිතීමට පොළඹවන්නක් බව සඳහන් කළ යුතුයි. බුදුන් වහන්සේගේ ධර්ම සේවය හා උගැන්වීම් සම්බන්ධයෙන්ද මේ ආකාර සන්දර්භය මත පදනම් වූ  විශ්ලේෂණාත්මක් විග්‍රහයක් සිදුකිරීමට හැකි නම් අගනේය.