Tuesday, December 18, 2018

බුකියෙන් ගැලවෙන්නේ කෙසේද? Facebook Addiction








සාමාන්‍යයෙන් බුකිය කිව්ව විට අපට කලින් පරම්පරාවන්ට නම් මතකයට එන්නේ රේස් බුකිය විය යුතුයි. එංගලන්තයේ අශ්ව රේස්වලට ලංකාවේ ඇති රේස් බුකි හරහා ඔට්ටු දැමීමට අබ්බැහි වීම නිසා තම ධනය, දේපළ අහිමි කරගත් අය ගැන අපට එකල අසන්නට ලැබුනා. ජනප්‍රිය ගීත පවා මේ ගැන බිහිවී තිබීම එම කාර්යයයේ සමාජ බලපෑම ගැන හොඳ මිම්මක්. කෙසේ වුවත් වර්තමාන පරපුර "බුකිය" ලෙස හඳුන්වන ෆේස්බුක් වෙබ් අඩවියද එවැනිම වූ අබ්බැහි වන සුළු ස්වභාවයක් ආකාරයක් ගන්නා බවට ඔබ වැඩි දෙනෙක් එකඟ වනවා ඇති. 

පසුගිය කාලයේ පුද්ගලිකත්වයට සම්බන්ධ විවිධ හේතූන් මත ෆේස්බුක් සමාගම විශාල විවේචනයකට භාජනය වුනා වගේම විශාල පිරිසක් බුකියෙන් ඉවත් වීමද දක්නට ලැබුනා. කෙසේ වුවත් ලංකාවේ දැනුවත්ව තවමත් එවැනි ප්‍රවණතාවයක් විශාල පරිමාණයෙන් දක්නට ලැබෙන්නේ නැහැ. ‍ මෑතක සිට ෆේස්බුක් අඩවිය මඟින් අදාළ පරිශීලකයා එම අඩවියේ ගත කරන කාලය මැනීම‍ට අවස්ථාව උදාකර දී තිබෙනවා. ඒ අනුව මා නිරීක්ෂණය කළේ දළ වශයෙන් පැය 2ක‍ට ආසන්න කාලයක් බුකියේ මා ගත කරන බවයි. මෙය විශාල කාල නාස්තියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. 

සැබවින්ම මෙලෙස අබ්බැහි වන්නේ ඇයි? ප්‍රධානම හේතුව වන්නේ විවිධ දෑ ගැන මගේ අදහස් අනෙකුන් හා බෙදා ගැනීමත් ඒ වටා බැඳුනු සංවාදත් නිසා ලැබෙන නාසිස්මය ආශ්වාදයි. සැබෑ ලෝකයේ මා ප්‍රිය කරන කරුණු ගැන කතා කිරීමට මිතුරෙක් හෝ අැත්තේම නැති තරම් (සිටි එකම පුද්ගලයා වූ මගේ පියාද දැනට ජීවිතුන් අතර නැහැ) එමෙන්ම එවැනි මාතෘකා කතා කිරීම සැබෑ ලෝකයේ මිතුරන්ට ඉතාම නීරස වනවාත් විය හැකියි. එම නිසාම අතත්‍ය  ලෝකයේ එවැනි අදහස්වලට යම් පිළිගැනීමක් ලැබීම බුකියට අබ්බැහි වීම තීව්‍ර කරන කරුණක්. එමෙන්ම බුකිය ඔස්සේ මා ප්‍රිය කරන ආගම, දර්ශනය, දේශපාලනය වැනි මාතෘකා සම්බන්ධයෙන් අලුත් කරුණු දැනගැනීමට ලැබීම, සංවාද කරන්නට ලැබීමත් මීට සම්බන්ධයි. කෙසේ වුවත් සැබෑ ලෝකයේ ඇතැම් මූලික වගකීම් පැහැර හැරීමටද මේ අබ්බැහිය හේතු කාරක වන බව මට වැටහුනේ වරක් දෙවරක් නොවේ. 

එබැවින් බුකියෙන් සම්පූර්ණයෙන් මිදීම කෙසේ වෙතත් යම් ප්‍රමාණයකට සීමා කිරීමට පියවර කිහිපයක් ගැනීමට තීරණය කළා. බුකි ගිණුම සම්පූර්ණයෙන් මකා දැමීම අපහසුයි. මන්ද නිරතුරු මුණ නොගැසෙන මගේ පුද්ගලික මිතුරන් මෙන්ම ඥාතීන් යම් ප්‍රමාණයක් ද එමෙන්ම විවිධ කරුණු සම්බන්ධයෙන් වටිනාකමක් අැති  ගිණුම් එහි තිබීමයි. එම නිසා තීරණය කළේ බුකියේ ජනප්‍රියම ගිණුම් කිහිපයක් අන්ෆලෝ කිරීමටයි. එසේ කරන ලද්දේ එම පුද්ගලයන් සමඟ කිසිඳු ප්‍රශ්නයක් නිසා නොව ඔවුන්ගේ දෛනික ලියවිලි දකින විට බුකියේ ගතකරන කාලය වැඩි වන නිසායි. මීට අමතරව විදේශීය පුවත් අඩවි විශාල ප්‍රමාණයක්ද අන්ෆලෝ කළෙමි. ඊළඟ පියවර වූයේ තාවකාලිකව ගිණුම අක්‍රිය කිරීමයි.  දැන්ම අනාවැකි කීම අපහසු වෙතත් බුකි ඇබ්බැහියෙන් යම් සහනයක් මේ පියවර නිසා ලැබේයැයි සිතනවා. හැබැයි තව සතියක් යන්නට පළමු නැවතත් බුකියේ පෙර පරිදිම ක්‍රියාකාරි වුවහොත් එයද අරුමයක් නොවනු ඇති.  

4 comments:

  1. //Facebook needs three buttons, "Like", "Dislike" and "Stop being stupid." //

    ReplyDelete
  2. මගේ අදහසත් ඕකමයි. සැහෙන්න අඩු කරගෙන යනවා භාවිතාව සහ ජනප්‍රිය අයට ලයික් කිරීම (ඔය ප්‍රා වගේ)

    ReplyDelete
  3. මේ ලිපියට ඉතා ස්තුතියි. මගේ ෆේස්බුක් භාවිතය පිළිබඳව සොයා බලන විට
    දිනකට සාමාන්‍ය වශයෙන් පැය තුනක් පමණ කල් ගත කර ඇති බව පෙනුනා.

    මූලික පියවරක් ලෙස අද සිට එය පැය දෙකකට සීමා කරන්න යන්නේ.

    ReplyDelete
  4. "සැබෑ ලෝකයේ මා ප්‍රිය කරන කරුණු ගැන කතා කිරීමට මිතුරෙක් හෝ ඇත්තේම නැති තරම් (සිටි එකම පුද්ගලයා වූ මගේ පියාද දැනට ජීවිතුන් අතර නැහැ)"
    :(
    ඇත්තටම කණගාටුයි.
    මේ තත්ත්වය අපි බොහොමයක් අයට පොදුයි.
    අපට අපගෙන්ම සෑහීමටපත් වෙන්නත්, තමා සමඟ තමාටම අතෘප්ත්තියෙන් තොරව ඉන්න හැකියාව ලැබෙන තුරුත් මේ ගැටළුව හරිම සාංකාකූලයි.

    ReplyDelete