Thursday, January 3, 2019

මිනිසෙකුගේ ඉරණම විසඳුන ඡායාරූපය

වියට්නාම් යුද්ධය හා සැබැඳි ඉතාමත් ප්‍රකට ඡායාරූපයක් වන්නේ පහත දැක්වෙන එකයි 


බැලූ බැල්මටම පෙනෙන පරිදි දකුණු වියට්නාම් ජෙනරල්වරයෙක්,  නිරායුධ හා දෙඅත් බැඳදමා සිටින සිරකරුවෙකුගේ ඔළුවට වෙඩි තබා ඔහුව ඝාතනය කරනවා. ඇමරිකානු මාධ්‍යවේදියෙක් නිපදවූ Hearts and Minds චිත්‍රපටයේ මෙම සිදුවීමේ වර්ණ වීඩියෝව දැකගන්නට පුලුවන්. මේ ඓතිහාසික ඡායාරූපය ගන්නේ ඇමරිකානු ඡායාරූප ශිල්පී එඩී ඇඩැම්ස් විසින් - ඒ සඳහා ඔහු පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලබනවා. මේ ඡායාරූපය ඇමරිකානු තරුණ පරපුර පුරා පැතිරුනු යුද්ධ විරෝධි ව්‍යාපාරයේ සංකේතයක් වනවා. හැබැයි ඡායාරූප ශිල්පී එඩී ඇඩැම්ස් 1998 වසරේදී ටයිම් සඟරාවට මෙහෙම ලියනවා. 
" ජෙනරාල්වරයා වියට්කොං ගරිල්ලෙක්ව මරා දැම්මා. මම මගේ කැමරාවෙන් ජෙනරාල්වරයාව මරා දැම්මා. නිශ්චල ඡායාරූප තමයි ලෝකයේ බලගතුම ආයුධ. මිනිසුන් ඒවා විශ්වාස කරනවා - නමුත් අමුතුවෙන් හැසිරවීමෙන් තොරව පවා  ඡායාරූප ව්‍යාජයක් ගෙන එන්නට පුළුවන්" එඩී ඇඩැම්ස් තමන්ට කීර්තිය ගෙන ආ ඡායාරූපය ගැන මෙසේ   කිව්වේ ඇයි?  ඒය සෙවීමට අපට 1968 පෙබරවාරි මාසයේ දකුණු වියට්නාමයේ සයිගොන් (අද හෝ චි මිං නගරය) වෙත යාමට සිදුවනවා. 

1968 වියට්නාම් ජාතිකයන්ගේ නව වසර එනම් ටෙට් උත්සව සමයේ එකවනම වියට්කොං ගරිල්ලන් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරනවා. උතුරු වියට්නාම් හමුදා සහායද සහිතව එල්ල කරන මේ පහර දීමට 80,000ක පමණ බල ඇණියක් සහභාගි වූ සඳහන්. මෙම ප්‍රහාරයට වියට්කොං වරු සූදානම් වන්නේ රහසේ. ප්‍රහාරයේ අරමුණ සතුරා විමතියට පත් කිරීමයි. හමුදා ඇඳුම් වෙනුවට සිවිල් ඇඳුමෙන් සැරසුනු ගරිල්ලන් දකුණු වියට්නාමයේ පාලන තන්ත්‍රයට සම්බන්ධ සාමාන්‍ය ජනතාව හා ඔවුන්ගේ පවුල්වල අයට පවා ප්‍රහාර එල්ල කිරීමට පසුබට වන්නේ නැහැ. ඇමරිකානු තානාපතිි කාර්යාලයට ප්‍රහාර එල්ල කිරීමට තරම් ටෙට් ආක්‍රමණය බිහිසුණු වනවා. මේ ප්‍රහාරක කණ්ඩායමේ සිටි එක් වියට්කොං කපිතාන් වරයෙක් වූයේ ගුවෙන් වන් ලේම්. සිවිල් ඇඳුමින් සැරසී සිටි ගුවෙන් විසින්  දකුණු වියට්නාම් හමුදාවේ ලුතිනන් කර්නල් ගුවෙන් තුවාන්, ඔහුගේ බිරිඳ, 80 හැවිරිදි මව සහ ඔවුන්ගේ දරුවන් සයදෙනා අමානුෂික ලෙස ඝාතනය කරන්නේ ගෙල සිඳ දැමීමෙන්.  ඔහුව අත්අඩංගුවට පත්වූ පසු මෙතනට පැමිණෙන දකුණු වියට්නාම් හමුදාවේ දක්ෂතම ජෙනරල්වරයෙක් වන ගුවෙන්  ඥක් ලුවන් මේ අපරාධය දැක එකවනම ගුවෙන් වන් ලේම්ගේ හිසට පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කරනවා. එඩී ඇඩැම්ස් කැමරා කාචයේ සටහන් කරගත්තේ එම අවස්ථාවයි. 

කෙසේ වෙතත් ඉන්පසුවත්  ජනරල්වරයා දැඩිව සටන් බිමේ ක්‍රියාන්විතයන්ට දායක වනවා. එක් අවස්ථාවකදී ඔහුගේ පාදයට බරපතල තුවාල පවා සිදුවන්නේ මැෂින් තුවක්කු ප්‍රහාරයකින්. ඒ අවස්ථාවේ ඔහුව බේරා ගන්නේ ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදියෙක් - කෙසේ වුවත් 1975 දී සයිගොන් නගරය යටත් වීමත් සමඟ ජෙනරල් ලුවන් ඇමරිකාවේ වර්ජිනියාවට සංක්‍රමණය වනවා. ඔහු එහි පීට්සා අවන්හලක් පවත්වා ගෙන යනවා. එසේ වුවත් එඩී ඇඩැම්ස්ගේ ඡායාරූපයේ ඉන්නේ ඔහු බව මාධ්‍යවේදීන් අනාවරණය කිරීම නිසා ලුවන් හට තම ව්‍යාපාරය නිදහසේ කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. ඔහු හට විවිධ පිරිස්වලින් අතවර සිදුවනවා. මේ අතර ඇමරිකානු කොංග්‍රසයෙන් යුද්ධ අපරාධ නිසා ඔහුගේ පුරවැසි බව අහෝසි කොට ආපසු වියට්නාමයට පිටුවාහල් කිරීමට සැරසුනත් ජනාධිපති ජිමී කාටර් මැදිහත්  වී එය නවත්වනවා. 


මේ අතර එඩී ඇඩැම්ස් ද ලුවන්ගේ පීට්සා අවන්හලට පැමිණෙවා. ඔහු පත්වී ඇති තත්ත්වය ගැනත් එයට වගකිව යුත්තේ තමා නිසාත් ඇඩැම්ස් පශ්චාත්තාපයට පත්වූ බව පැවසෙනවා. අවසානයේ විවිධ තර්ජන මධ්‍යයේ පීට්සා අවන්හල වසා දමන ලුවන් 1998 වසරේදී පිළිකා රෝගයෙන් මිය යනවා. ඔහුව අනුස්මරණය කරමින් ටයිම් සඟරාවට ලියන්නේ එඩී ඇඩැම්ස් ඉහත වදන් යොදා ගනිමින්. 

4 comments:

  1. මේ කතාව මම කියවල තියෙන්නේ අනිත් පැත්තට. නිදහස සඳහා සටන් කල වියට්නාම විමුක්තිවාදීන් ඝාතනය කල ඝාතකයෙකු හැටියට. වෙනත් පැත්තකින් කියවීමත් අපූරුයි

    ReplyDelete
    Replies
    1. සංක්‍රමික පරගැතියෝ ඉතිං කියවන්නේ කරන්නේ කොහොමත් අනික් පැත්තට මිසක් මොන පැත්තකටද උන්ට ඕනේ පැත්තට නැවෙන්න පුළුවන් ජාතියක් ජම්මයක් තියන් එවුන් නොවෙයිනේ

      Delete
  2. In the end Vietnam embraced the Yankees

    ReplyDelete
  3. ත්‍රස්තවාදියෙකු කොයි තරම් කුරිරු ලෙස මිනිසුන්ව මරා දැමුවාට හමුදාවට, රජයට, ජෙනරාල් වරයෙකුට මේ ආකාරයට මිනිසෙකුව මරා දමන්නට බැහැ. මෙය මිනීමැරුමක්.

    විජේවීර යනු මිනිසුන් විශාල සංඛ්‍යාවක් මරාදමන්නට අණ දී ඇති භයානක අපරාධ කරුවෙකු වුවද ඔහුව අත්අඩංගුවට ගත් පසු නඩු නොඅසා මරා දමා පුලුස්සා දමන්නට කිසිවෙකුට අයිතියක් නැහැ. එය ද මිනීමැරුමකි.

    ReplyDelete