බොරිස් පැස්ටර්නැක් නැමැති රුසියානු සංකේතවාදී කවියා ( symbolist) විසින් ලියන ලද මෙම නවකතාව විසිවන සියවසේ මුල් භාගයේ සිට රුසියානු විප්ලවය හා සිවිල් යුද්ධය මධ්යයයේ යූරි ෂිවාගෝ නම් ඉහළ මධ්යම පාංතික වෛද්යවරයෙකු මුුහුණ දෙන හැලහැප්පීම් තුළින් සෝවියට් දෘෂ්ඨිවාදය පිළිබඳ සියුම් විවේචනයක් ඉදිරිපත් කිරීමක් ලෙස සැලකිය හැක. විශේෂයෙන්ම ස්ටාලින් සමයේ මක්සිම් ගෝර්කි වැනි සාහිත්යකරුවන්ගේ බලපෑමද මත සෝවියට් දේශයේ නිල සාහිත්යමය කතිකාව වූ සමාජවාදි යථාර්තවාදී (socialist realism) ශෛලයෙන් බැහැරව පැස්ටර්නැක් රචනා කළ මෙම සාහිත්ය කෘතිය එවක රුසියාව තුළ දැඩි විවාදයට ලක්වී තහනම් විය. නවකතාව නිසා පැස්ටර්නැක් හට නොබෙල් ත්යාගය පිරිනැමුනද (රාජ්ය බලපෑම් හේතුවෙන් ඔහු එම ත්යාගය ප්රතික්ෂේප කළේය) කෙතරම් දුරට ඒ නවකතාවේ ශ්රෙෂ්ඨත්වය නිසාද නැතහොත් නිරවි යුද්ධ සමයේ දේශපාලනය නිසාද යන්න අදටත් විවාදාත්මකය.
නවකතාව කියවීමට ප්රථමව මම ඩේවිඩ් ලීන්ගේ ජනප්රිය චිත්රපටය නැරඹීමි. සිනමාත්මක බවින් පරිපූර්ණ උසස් සංගීතයකින් යුත් චිත්රපටයක් වුවද චිත්රපටයේ සමස්ත දිශානතිය හා ඕමාර් ෂෙරිෆ් හා ජූලි ක්රිස්ටිගේ රංගනයද එතරම් මා සිත්ගත්තේ නැත. මනරම් ප්රේම කතාවක් ලෙස බොහෝ විචාරයකයන් පැවසූවද සංගීතයෙන් ස්වායත්තව ගත් ඔවුන්ගේ හැසිරීම් ප්රාණවත් නොවන බව මගේ හැඟීම විය. රොඩ් ස්ටීගර්ගේ රංගනය පමණක් චිත්රපටයේ කැපී පෙනෙයි. කෙසේ වූවත් චිත්රපටයේ මෙම ස්වභාවයට හේතුව නවකතාවම බවත් ඩේවිඩ් ලීන්ගේ අධ්යක්ෂණයේ හෝ රංගනයන්ගේ අවුලක් නොවන බවත් මට වැටහුණේ නවකතාව කියවූ පසුවයි.
නවකතාව 19වැනි සියවසේ ප්රකට රුසියානු නවකතාකරුවන් වන ලියෝ ටෝල්ස්ටොයි හෝ දොස්තොව්ස්කිගේ හෝ එවැනි සියලු කතුවරුන්ගේ ශෛලියට වඩා හාත්පසින් වෙනස් ආකාරයට ලියවුනක්. දොස්තොව්ස්කි කියවීම කෙතරම් වෙහෙසකරද යන්න ඇතැම් විට ඔබට අවබෝධයක් ඇති. එසේ වූවත් නොකඩවා කියවා යාමට පොළඹවන ප්රබල (dramatic) සිදුවීම් හා ක්රියාකාරි, සංකීර්ණ චරිත, නැවත නැවතත් සිතන්නට බලකෙරෙන ප්රබල සංවාද ඔහුගේ ප්රධාන කෘතීන්වල ගහණය. එහෙත් සංකේතවාදි කවියෙක් වන පැස්ටර්නැක් තම කෘතිය රචනා කරන්නේ කාව්යමය ගද්ය ශෛලියකින් (poetic prose). මේ නිසා සෑම වාක්යයකටම පාහේ යටි අර්ථයක් සහිත සංකීර්ණ උපමා යෙදීම නිසා කියවීම අතිශය වෙහෙසකර කාර්යයක් වනවා. මා කියවූ මාන්යා හරාරි හා මැක්ස් හේවර්ඩ් පරිවර්තනය සාමාන්යෙයන් ඉංගිරිසි කියවන පාඨකයාට ගැලපෙන අයුරින් සිදු කළ පරිවර්තනයක් ලෙස හැඳින්වූවත් කියවීම දුෂ්කර වීමෙන් මෙය වටහා ගත හැකියි.
නවකතාවේ මා දකින තවත් ගැටළුවක් නම් යූරි සෑම විටම උදාසීන නිරීක්ෂකයෙකු විනා දෛවෝපගත සිදුවීම්වලට සහභාගි වන්නෙක් නොවීමයි. චිත්රපටයේ මෙය තරමක් දුරට වෙනස් කිරීමට ඩේවිඩ් ලීන් කටයුතු කළත් ( කොසැක් හමුදාවේ ප්රහාරයට ලක්වූ සිවිල් වැසියන්ට ප්රතිකාර කිරීමට ෂිවාගෝ ඉදිරිපත් වීම) යූරි සාර් පාලනය කෙරෙහි කළකිරීමට හේතු හෝ බොල්ෂෙවික්වරුන් පිළිබඳව මුලදී පැහැදීමට හේතු අපට නවකතාව තුළින් හමු නොවේ. අප ඒවා දකින්නෙ හරබල ප්රකාශ ලෙස පමණි. එමෙන්ම යූරි බොල්ෂෙවික්වරුන් කෙරෙහි කලකිරීමත් ඔහුගේ ප්රකාශ තුළින්ම නැගෙනවා විනා ඓන්ද්රීයව සිදුවූයේ කෙසේද යන්න අපට පැහැදිලි නොවේ. නවකතාවේ අනෙක් ගැටළුව අහඹූ සිදුවීම් අතිවිශාල ගණනක් පැවතීමයි. එය ඇතැම් අවස්ථාවල විශ්වසනීත්වය බිඳවට්ටයි.
යූරි හා ලාරා අතර ආලයද මෙලෙසින්ම කිසිදු ඒත්තු ගැන්වීමකින් තොරව ඉදිරිපත් කර ඇත. ඔවුන්ගේ ආලය විශ්වීය යැයි උදාර ප්රකාශයක් විනා පාඨකයාට එවැනි කිසිදු බැඳීමක් හැඟී යන්නේ නැත. එබැවින් මෙම කෘතිය ශ්රෙෂ්ඨ ප්රේම කතාවක් යැයි ඇතැමුන් හැඳින්වීම උත්ප්රාසජනකය. කෙසේ වූවත් ඇතැම් විචාරක මතය වන්නේ ලාරා තුළින් සංකේතවත් වන්නේ රුසියාව බවයි. බාල කාලයේ පටන් ඇයව අපයෝජනය කළ කොල්ලකාරි ධනපති පංතිය නියෝජනය කරන කොමරොව්ස්කි හා පසුව ඇය හා විවාහවූ බොල්ෂෙවික් ඒකාධිපතිත්වය නියෝජනය කරන පාෂා ඇන්ටිපොව් අතරට ඇය මැදිවී ඇති බවක් එමඟින් සංකේතවත් කරන බව විචාරක මතයයි.
කෙසේ වූවත් පැස්ටර්නැක්ගේ කෘතියට සෝවියට් රාජ්යෙයන් විරෝධයක් ඒමට ප්රබලම හේතුව වන්නේ මාක්ස්වාදි ඓතිහාසික භෞතිකවාදයේ (historical materialism) හරය ඔහු ප්රතික්ෂේප කිරීමයි. ප්රතිවිරුද්ධ බලවේගයන්ගේ ගැටීමෙන් එනම් සමාජ හා ආර්ථික තත්ත්වයන් හා පංති අරගලය තුළින් මිනිස් ඉතිහාසය නිර්මාණය වන බව මාක්ස්වාදයේ කියවෙන නමුත් පැස්ටර්නැක් මෙම යාන්ත්රික ඉතිහාස දැක්ම ප්රතික්ෂේප කරමින්, ඉතිහාසය යනු තනි පුද්ගලයන්ගේ අධ්යාත්මික නිදහස, ආදරය, ආගමික හැඟීම් සහ ස්වභාවධර්මය සමඟ පවතින සබඳතාවයේ එකතුවක් බව පෙන්වා දෙයි. පක්ෂයට හෝ රාජ්යයේ දෘෂ්ඨිවාදයට වඩා තනි මිනිසාගේ අධ්යාත්මික පැවැත්ම සහ ආත්මප්රකාශනය උසස් කොට සැලකූ මෙම මානවවාදී ප්රවේශය, යූරි ෂිවාගෝගේ ජීවිතය තුළින් පැස්ටර්නැක් දක්වයි. ෂිවාගෝ ගේ ප්රකාශ තුළින්ම මේ බව පැහැදිලිවම දැක්වමින් ‘මිනිසා ජීවත් විය යුත්තේ සංකල්ප හෝ දෘෂ්ඨිවාද වෙනුවෙන් නොව, තමාගේම ආත්මයේ හා ස්වභාවධර්මයේ සත්යතාවය උදෙසා බව’ ඔහු පවසයි.
Hmmm
ReplyDelete