Wednesday, October 26, 2016

ලංකාවේ ද්‍රවිඩ ජනාවාස හා යාපනය රාජධානියේ ආරම්භය - කාර්තිගේසු ඉන්ද්‍රපාල Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna

 කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා ගැන මම මුල්වරට ඇසුවේ මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපි තුළින්.  ඉන්ද්‍රපාල මහතා තම ආචාර්ය උපාධිය සඳහා වයස අවුරුදු 27 ක ශිෂ්‍යයෙක් වශයෙන් 1965 දී ලන්ඩන් සරසවියට ඉදිරිපත් කළ මුද්‍රිත පිටු 562 ක් සහිත  නිබන්ධනය වන Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna මා කියවීමට පෙළඹවූයේ ලංකාවේ ජනවාර්ගික ගැටළුව හා බැඳුනු සුවිශේෂ කරුණුවලට යම් පිළිතුරක් එමඟින් ලබා ගැනීමට හැකියැයි සිතුනු බැවින්. 
කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා

ඉන්ද්‍රපාල මහතාගේ නිබන්ධනයේ මා දුටු විශේෂත්වය වන්නේ ඉතාම තර්කාණුකූල කරුණු පැහැදිලි කිරීමයි. මෙහිදී මූලාශ්‍ර ලෙස සිංහලයන්ට සම්බන්ධ ‍ මහාවංස,ථූපවංසය,පූජාවලිය වැනි ග්‍රන්ථ මෙන්ම දෙමළ මූලාශ්‍ර ලෙස යාල්පාන වයිපමාලෙයි, Ancient Jaffna හා නැගෙනහිර පළාතට අදාළ ග්‍රන්ථද ඔහු යොදාගන්නවා - එසේ වුවත් මේ මූලාශ්‍ර පිළිබඳවද විචාරාත්මක විශ්ලේෂණයක් කිරීමෙන් පසු වඩාත් විශ්වාසදායි කොටස් පමණක් තම නිගමන සඳහා යොදාගැනීම ඔහුගේ වෘත්තීමයභාවය ගැන හොඳ ඉඟියක් සපයනවා. 
ලක්දිව මුල් කාලීන ද්‍රවිඩ ජනාවාස පිළිබඳ සාධක ඇති ස්ථාන 

සිය නිබන්ධනයේ ඉන්ද්‍රපාල මහතා ඉදිරිපත් කරන මූලික කරුණු හා නිගමන සැකෙවින් මෙසේයි : 

  • අනුරාධපුරයේ සිටම නගරබදව හා වරාය ආශ්‍රිතව කුඩා ද්‍රවිඩ ජනාවාස පැවත තිබෙනවා - බොහෝ විට දකුණු ඉන්දියානු දෙමළ සංගම් වලට අයත් පවුල්, සිංහල රජවරුන්ට සේවය කළ ද්‍රවිඩ කුලී ‍හේවායන්, ද්‍රවිඩ පූජකයන් ආදීන් මේවායේ වාසය කොට තිබෙනවා. කෙසේ වුනත්‍ මොවුන් සලකා ඇත්තේ විදේශිකයන් ලෙස බව විවිධ සෙල්ලිපි ආදියෙන් පැහැදිලි වෙනවා. 
  • තරමක් හෝ දුරට ස්ථිර ද්‍රවිඩ ජනාවාස ඇතිවීමට පදනම ඇතිවන්නේ 11 වන සියවසේ රාජ රාජ හා රාජේන්ද්‍ර චෝළ යන නරපතීන්ගේ ආක්‍රමණත් සමඟයි. මේ ජනාවාස මන්නාරම, ත්‍රිකුණාමලය හා රජරට අවට බිහිවුවත් යාපනය අර්ධද්වීපයේ ඒ වන විටත් තිබී ඇත්තේ සිංහල බහුතරයක්. 
  • පොළොන්නරු යුගය වන විට තව තවත් මේ ද්‍රවිඩ ජනාවාස පුළුල් වනවා - කුලී හේවායන් හා විවිධ වෘත්තිකයන් වෙළඳුන් මේවාවල ජීවත් වනවා. දාගැබ්, විහාර ආදිය කරවීම සඳහා විවිධ නිර්මාණ ශිල්පීන්ද දකුණු ඉන්දියා‍වෙන් ගෙන් වීමේ ප්‍රවණතාවක් තිබී ඇතිබව පැවසෙනවා. එමෙන්ම මුල් වර‍ට පරාක්‍රමබාහු රජු විසින් කයිට්ස් (ඌරාතොට) වරාය ආශ්‍රිතව වරාය නිලධාරීන්ට ආමන්ත්‍රණය කළ  සෙල්ලිපියක් ද්‍රවිඩ බසින් එම ප්‍රදේශයන් හමුවූ පැරණිතම අවස්ථාවක් ලෙස සැලකෙනවා. ඒ අනුව 12 වන සියවසේ මැද භාගය පමණ වන විට එම ප්‍රදේශයේ දෙමළ වෙළඳුන් මෙන්ම වරාය නිලධාරීන්ද සහිත දෙමළ ගහණයක් සිටි බව අනුමාන කළ හැකියි. එමෙන්ම ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම ආශ්‍රිතව ජනාවාස ඇතිවී තිබෙනවා. 
  • ලාංකිය ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන්නේ දෙමළ හා කේරළ කුලී හේවායන් 24000 ක් සමඟ කාලිංග මාඝ ගේ අාක්‍රමණයයි. මෙය පෙර ආක්‍රමණවලට වඩා වෙනස් වන්නේ සිංහල ජනතාවට හා බෞද්ධ විහාරස්ථාන, භීක්ෂූන්ට කරන ලද දැඩි හානිය නිසා. මේ ආක්‍රමණයත් සමඟ සිංහලයන් කෙමෙන් රජරට අත්හැර විශාල ලෙස දකුණට සංක්‍රමණය වීමත් සමඟ එවක සිංහල ප්‍රදේශවූ වර්තමාන වව්නියා, මුලතිව් ආදි දිස්ත්‍රික්කවල මාඝ සමඟ පැමිණි ද්‍රවිඩ කුලී හේවායන් මෙන්ම පසුව පැමිණි දකුණු ඉන්දියානු සංක්‍රමණිකයන් පදිංචි වීම ඇරඹීම මෙරට ස්ථිර හා විශාල දෙමළ ජනාවාස ඇතිවීමේ ආරම්භය ලෙස සැලකිය හැකියි. මෙහිදී සිංහලයන් සතුව තිබූ ඉඩම්,ගම්මාන බලහත්කාරයෙන්ම ද්‍රවිඩ ගම්බිම් බවට පත් වූ බව පැවසෙනවා. 
  • කෙසේ වුවත් යාපනය අර්ධද්වීපයේ තිබී ඇත්තේ මීට තරමක් වෙනස් ස්වභාවයක් - කාලාන්තරයක් තිස්සේ යාපනයට දෙමළ සංක්‍රමණියකයන් පැමිණියත් ඉහත කී ප්‍රදේශවල මෙන් නොව සාමකාමී සහජීවනයක් දෙමළ හා සිංහල ජනතාව අතර තිබෙන්නට ඇතැයි සැලකෙනවා - ඉන්පසු සිංහල ජනතාව යාපනයෙන් විස්ථාපනය එකවරම වාර්ගික සංහාරයක ස්වරූපයෙන් නොව ක්‍රමක්‍රමයෙන් - මේ සිංහලයන් බොහෝ විට දෙමළ ජනගහනයටම අන්තර්ග්‍රහණය වූවා විය හැකියි කාලයත් සමඟ. 
  • ඉහත කී ලෙස යාපනය අර්ධද්වීපයේ සාමකාමී ලෙස සිදුවූ ජන විස්ථාපනයට සාධක වන්නේ  උදාහරණයක් ලෙස දෙන්නේ යාපනය ප්‍රදේශයේ ස්ථාන නාම වල පරිණාමය. බොහෝ විට සිදුවී ඇත්තේ සිංහල ස්ථාන නාමයම එහි දෙමළ ස්වරූපයට පරිණාමය වීමයි - මෙය වන්නි හා උතුරු මැද ප්‍රදේශවල දෙමළ ස්ථාන නාම ලැබීමට වෙනස් ව සිදුවූ දෙයක් - 
  • ක්‍රිව 1236 න් පසු කාලිංග මාඝ ගැන විස්තරයක් ලැබෙන්නේ නැහැ . නමුත් ඉන්ද්‍රපාල මහතා මූලාශ්‍ර ඉදිරිපත් කරමින් පවසන්නේ දඹදෙණිය රාජධානියේ සිට සිංහල හමුදාවන්ගේ ප්‍රහාර නිසා පසුබසින කාලිංග මාඝ යාපනය කේන්ද්‍ර කොටගත් රාජධානිය පිහිටුවීමට මුල් වූ බවයි.  එහෙත්  මේ යාපනය රාජධානියට දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණිකයන් විවිධ ආකාරවලින් පැමිණි බවද පැවසෙනවා. 
  • 13 වන සියවසෙන් පසු සිංහල ජනතාව රජරටින් දකුණට විස්ථාපනය වීමත් එම ප්‍රදේශ වල් බිහිවීමත් නිසා යාපනය කේන්ද්‍ර කොටගත් දෙමළ රාජධානියකුත් දකුණු කොටසේ සිංහල රාජධානියකුත් වෙන වෙනම වර්ධනය වීම කාලිංග මාඝගේ ආක්‍රමණයේ ප්‍රධාන ප්‍රතිඵලයක් වූවා. කෝට්ටේ පාලන යුගයේ සපුමල් කුමාරයා යාපාපටුන ජයගත්තද එය පාලනය වූයේ වෙනම ප්‍රදේශයක් ලෙසයි. පෘතුගීසි සමය වන විට යාපනයේ සිටි සිංහලයන් බොහෝ දුරට දෙමළ ජනගහණයට අන්තර්ග්‍රහණය වීමත් සමඟ බොහෝ දුරට අද දකින ස්වරූපයට අති බහුතරයක් දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශයක් බවට යාපනය පත්වූ පත්වූ බවත් නිගමනය කෙරෙනවා. 

මෙහිදී පැවසිය යුතු වැදගත් කරුණක් වන්නේ නලින් ද සිල්වා මහතා ගාමිණී ඊරියගොල්ල මහතාගේ මතයක් ඇසුරින් ඉදිරිපත් කරන 17 වන සියවසේ ලන්දේසීන් විසින් කෘෂිකාර්මික කම්කරුවන් ලෙස දුම්කොළ වගාවට යාපනයට ගෙන්වන ලද දෙමළ ජාතිකයන් නිසා යාපනයේ ජන සංයුතිය වෙනස් වී එතෙක් කල් සිංහල බහුතරයක්ව සිටි ප්‍රදේශයේ දෙමළ බහුතරයක් වූ බව කියන කතාවට නම් මේ නිබන්ධනය මඟින් පිටුවහලක් ලැබෙන්නේ නැති බවයි. බැලූ බැල්මටම පෙනෙන පරිදි එය පිළිගැනීමට අපහසු  අන්තගාමි අදහසක්. අනිත් අතට උතුරු නැගෙනහිර දෙපළාත ලංකාවේ දෙමළ ජනතාවගේ නිජභූමිය බවට දෙමළ බෙදුම්වාදී පිරිස් කාලාන්තරයක් ගෙන යන මතයටද මෙමඟින් අනුබලයක් ලැබෙන්නේ නැහැ. 

අවසාන වශයෙන් පැවසිය යුත්තේ ආචාර්ය නිබන්ධනය සඳහා ශිෂ්‍යයෙක් ලෙස ඉන්ද්‍රපාල මහතා ඉදිරිපත් කළ නිබන්ධනයෙන් ‍එවකටත් දළුලමින් තිබූ දෙමළ ‍බෙදුම්වාදී මතවාදයන්ට අනුබලයක් නොලැබීම නිසා දෙමළ විද්වත් සමාජය අතර ඒ මහතා ට දැඩි විරෝධයක් පලවූ බවයි. ඔහුගේ සමකාලියෙක් වන මහාචාර්ය මයිකල් රොබට්ස් පවසන්නේ මේ නිසාම ඔහු හුදකලා තත්ත්වයට පත්වූ බවයි. පසුකාලීනව ඉන්ද්‍රපාල මහතා ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට යනවා. තම ආචාර්ය උපාධි නිබන්ධනයෙන් වසර 40කට පසු හා අවුරුදු 30 ක විශ්වවිද්‍යාල සේවයකින් පසු  2005 දී ඔහු තවත් පොතක් පළ කරනවා. ඒ The Evolution of an Ethnic Identity: The Tamils of Sri Lanka C. 300 BCE to C. 1200 CE . තමන් මුලදී පළ කර මතවාදයන්ට හාත්පසින් වෙනස් නිගමනයන්ට ‍ මේ පොත මඟින් එළැඹ ඇති බව පෙනෙන්නට තිබෙනවා. සිංහල හා දෙමළ යන වාර්ගිකයන් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ලංකාවේ ජීවත් වූ එකම පූර්වජ පරම්පරාවකින් පැවතෙන බවත් ඔවුන් වසර දෙදෙහසක් පමණ එක්ව ජීවත් වූ බවත් පසුව භාෂා ආදේශනයක් නිසා උතුරු ඉන්දියානු ප්‍රාකෘති භාෂාවක් සමස්ත ජනගහනයෙන් විශාල පිරිසක් අතර පැතිර යාම නිසා සිංහල අනන්‍යතාවද දෙමළ බස සෙසු පිරිස් අතර පැතිරයාමද සිදුවූ අතර  අතර ක්‍රිව 1200 පමණ චෝල ආක්‍රමන නිසා මුලදී දෙපිරිසම අනුගමනය කළ බුදු දහම වෙනුවට දෙමළ කතාකරන පිරිස් අතර ‍ ශෛව ආගමද පැතිර ගොස් දෙමළ අනන්‍යතාව බිහිවූ බවත් එම පොත මඟින් නිගමනය කර තිබෙනවා. මහාචාර්ය මයිකල් රොබට්ස් නම් පවසන්නේ ඉන්ද්‍රපාල මහතාගේ මේ අදහස් පෙරළිය නව අධ්‍යනයන් නිසා හෙළිවූ අලුත් කරුණු නිසා ඇතිවූවකට වඩා තමන්ගේ මුල් මතයන් නිසා දෙමළ ජනතාවගෙන්ම තමන් කොන්වීම නිසාම ජීවිතයේ සැඳෑ සමයේ හෝ තම දෙමළ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ව්‍යායාමයක් විය හැකි බවයි. 

කෙසේ වුවත් ඉතිහාසය දෘෂ්ඨිවාදයෙන් තොරව  අපක්ෂපාතීව හැදෑරීම සඳහා උදාහරණයක් ලෙස කාර්තිගේසු මහතාගේ මුල් නිබන්ධනය සැලකිය හැකියි. 

Saturday, October 1, 2016

යුද්ධය හා සාමය ( 1965) War and Peace ( Voyna i mir ) (1965)

ලියෝ තෝල්ස්තෝයිගේ “යුද්ධය හා සාමය“ නවකතාව මා අද වෙන තෙක් කියවා නැහැ. කියවා ඇත්තේ ජිනදාස ලේල්වල නම් අයෙක් විසින් 1960 දශකයේ මැද භාගයේ කරන ලදැයි සැලකිය හැකි ඉතාම අසාර්ථක ඡායානුවාදයක් පමණයි. පසුකාලයේ මෙම කෘතියේ සම්පූර්ණ ඉංගිලිසි පරිවර්තනය ලැබුනත් එහි විසාලත්වය නිසාම කියවීමට සිත් දුන්නේ නැහැ. එම නිසා නවකතාවේ විස්තර කියවූයේ අන්තර්ජාලයෙන්. එය සැලකෙන්නේ ලෝක සාහිත්‍යෙය් විශිෂ්ඨතම කෘතියක් ලෙසයි. මෙම කෘතිය සිනමාවට නැගීමට හොලිවුඩය 1956 දී සමත් වුනත් එය එතරම් සාර්ථක උත්සාහයක් ලෙස සැලකෙන්නේ නැහැ. 

රුසියානු සාහිත්‍යෙය් මේ ශ්‍රේෂ්ඨතම කෘතිය සෝවියට් රජයේ අනුග්‍රහයෙන් චිත්‍රපටයක් බවට පත්වන්නේ 1965 වසරේදියි. එහි අධ්‍යක්ෂණය සර්ජි බොන්දර්චුක්.  දැවැන්ත සිනමා නිර්මාණය නළු නිළියන් 12000 ක් යොදා ගත් අතර ඒ සඳහා ගිය වියදම වර්තමානයේ ඩොලර් මිලියන 67 සමාන බව ගණන් බලා තිබේ . එකිනෙකට සම්බන්ධිත චිත්‍රපට 4 ක එකතුවක් වන මෙහි සමස්ත ධාවන කාලය පැය 6 ½ කි .



සිනමා කෘතියට පසුබිම් වන්නේ නැපෝලියානු යුද්ධ සමයේ රුසියානු රදළ පවුල් දෙකක් මුහුණ දෙන අත්දැකීම් වේ . 1805 Aurelitz සංග්‍රාමය හා 1812 නැපෝලියන් රුසියාව ආක්‍රමණය , බිහිසුණු බොරෝදිනෝ සංග්‍රාමය , ‍මොස්කව් නගරය ගිණි තැබීම ආදි සිදුවීම් මෙම චිත්‍රපටයේ මොනොවට නිරූපිත වේ . මෙහි ප්‍රධානම චරිතය වන්නේ අධ්‍යක්ෂවරයාම පණ පොවන සිටුවර පියෙරේ බෙකුසොව් ය . බොහෝ විට චිත්‍රපටයේ මූලික දෘෂ්ඨිය පදනම් වන්නේ ඔහුගේ දෘෂ්ඨී කෝනයෙනි . යුධ විරෝධියෙක් හා බුද්ධීමතෙක් වන පියෙරෙ , තම හොඳම මිතුරා වන මුලදී යුදකාමියෙක්ව සිට පසුව ඉතා දුඛිත ඉරණමකය මුහුණ දුන් ඇන්ඩ්‍රේ කුමාරයා හා තමන්ද රහසින් පෙම් කරන නතාෂා රොස්තෝවා අතර ආලය උපේක්ෂාවෙන් ඉවසයි . එසේවුවත් නතාෂා හා ඇන්ඩ්‍රේ අතර සබඳතාව බිඳී ගිය පසු ඇගේ පිහිටට එන්නේ ද ඔහුය. මේ සියල්ල පසුබිමින් නැපෝලියන් ගේ ආක්‍රමණය සිදුවේ . යුද්ධයේ බිහිසුණු හා නිශ්ඵල බව ද මෙහි ප්‍රධාන තේමාවක් වේ . යුධ විරුවෙකු වීම මඟින් අමරණීත්වයට පත් වීමට අපේක්ෂා කරන ඇන්ඩ්‍රේ , යුද බිමේදී බරපතල තුවාල ලැබීමෙන් හා තම නැති අතර දරු ප්‍රසූතියේදී මරණාසන්න වන තම බිරිඳ‍ගේ මරණයත් නිසා දැඩි සෘණාත්මක අදහස් දරන අයෙකු වේ -නැපෝලියන් අධිරාජ්‍යයා තම කීර්තිය අ‍පේක්ෂා කළද බොරෝදිනොවේ දහස් ගණන් මළ සිරුරු අතර ඒ සිහිනයේ හිස් බව දකී .

සිනමා උපක්‍රම අතින් චිත්‍රපටය සෑහෙන ඉදිරිගාමි ප්‍රයත්නයක් වේ - චිත්‍රපටයේ එන ප්‍රධාන බාල් රංගනයන් ආදිය නිරූපනය කිරීමේදී ට්‍රැකින් කැමරා චලනයන් ( tracking shot) යොදා ගැනීම යුද සිදුවීම් නිරූපණයේදී අතින් ගෙන යන කැමරා චලනයන් ( hand held cameras) මෙන්ම ක්‍රේන් චලනයන් (Crane shots) යොදා ගැනීම විශේෂිත වේ . ප්‍රේක්ෂකයාට එම අත්දැකීම් විඳීමට සැලැස්වීමක් ඉන් අපේක්ෂා කෙරේ . එපික් වර්‍ගයේ සිනමා පටයක් නිසාදෝ සමීප රූප මෙහි සාපේක්ෂව අඩුය . ක්ෂුද්‍ර චිත්‍රයට වඩා සමස්ත පසුබිම ප්‍රේක්ෂකයාට දැකීමට සැලැස්වීමක් ඉන් අදහස් කළා විය හැක .එමෙන්ම පසුකාලීන හොලිවුඩ් සිනමා කරුවන් මේ චිත්‍රපටයෙන් උගෙන ඇති බවට දක්වන අවස්ථා ද වේ . උදාහරණයකට චිත්‍රපටයේ ආරම්භකම ජවනිකාව එකවරම සිහිගන්වන්නේ ඩේවිඩ් ලින්ච් ගේ Blue Velvet හි ආරම්භක ජවනිකාවයි. එමෙන්ම බොරෝදි‍නෝ සංග්‍රාමයේ එක් ජවනිකාවක් ස්පීල්බර්ග්ගේ Saving Private Ryan හි ප්‍රකට ජවනිකාවක් සිහිගන්වයි . එමෙන්ම CGI වලින් තොරව සිදු කරන ලද දැවැන්ත සංග්‍රාමයන් යථාර්තවාදී බවින් පරිපූරණ වේ . එම සමයට අදාළ ඇඳුම් පැළදුම් , පරිසරය ප්‍රතිනිර්මාණය කිරීමේදී මෙන්ම සෑම නළුනිළියෙකුගෙන්ම මනා රඟපෑමක් ලබා දීමට අධ්‍යක්ෂවරයා ක්‍රියා කර ඇති ආකාරය නිර්මාණයේ දැවැන්ත බව හා සැසැඳීමේ දී පුදුම එලවන සුළුය .









1968 හොඳම විදේශීය චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ඇතුලු තවත් ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගත් මේ සෝවියට් චිත්‍රපටය ප්‍රකට සිනමා විචාරක රොජර් ඊබට් පවසන පරිදි ලෝකයේ මෙතෙක් පහළවු විශිෂඨතම එපික් වර්ගයේ චිත්‍රපටය වේ .

ඉංගිරිසි උපසිරැසි සහිතව පහත ලින්කුවෙන් ඔබට මේ චිත්‍රපටය නැරඹිය හැකියි 




Monday, September 26, 2016

ලංකාවේ හැදූ "මිනී කන්නන්ගේ දේශය" The Further Adventures of a Tennessee Buck

මා කියවීමට හුරුවූ කාලයේ එනම්  1989 දී පමණ ඉරිදා දිවයින පුවත්පතේ මුල් පිටුවේ පුවතක් අදත් මගේ මතකයේ නොමැකී රැඳි තිබෙනවා. චිත්‍රපටයක වීඩියෝ පටයකින් උපුටා ගත් අපැහැදිලි ඡායාරූප කිහිපයකුත් සමඟ ලංකාවේ රූගත කළ, ලාංකික නළු නිළියන්ද චරිත නිරූපණය කළ  “ මිනී කන්නන්ගේ දේශය“ නමින් දිවයින පුවත්පත හැඳින්වූ සිනමා පටයක් පිළිබඳවයි ඒ මුල් පිටුව.  

 දිවයින පුවත්පත එවක එජාප රජයට එරෙහි වාමාංශික ජාතිකවාදී මතවාදයක් නිරූපණය කළ නිසා රට තුළ රජයේ විවෘත ආර්ථික ක්‍රමයේ අයුතු ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ලංකාව ගැන ලෝකයාට විකෘති ප්‍රතිරූපයක් මවන සිංහල කතා කරන වනචාරි ගෝත්‍රියකයන් සිටින චිත්‍රපටයක් තැනීමට ඉඩ දීම ගැන දැඩි දෝෂාරෝපණයක්ද ලිපියේ අන්තර්ගත වුනා විය හැකියි. 

ඒ දිනවල මේ චිත්‍රපටය ගැන දැඩි ආණ්දෝලනයක් ඇති වූවත් පසුකාලීනව Land of Cannibals නමින් චිත්‍රපටයක් අන්තර්ජාලයේ සෙව්වත් හමුවූයේ නැහැ. පසුව අහම්බයෙන් මා සොයාගත් පරිදි මේ චිත්‍රපටයේ සැබෑ නම The Further Adventures of a Tennessee Buck. 1980 දශකයේ මුල් භාගයේ ස්ටීවන් ස්පීල්බර්ග් හා ජෝජ් ලූකස් යන ප්‍රකට සිනමාවේදී සුසංයෝගයෙන් ඇරඹූනු හැරිසන් ෆෝඩ් රඟන ඉන්දියානා ජෝන්ස් චිත්‍රපට පෙළට සමාන ආකාරයකින් නිෂ්පාදනය කළ එහි බාල අනුකරණයක් මෙය - මෙවැනි චිත්‍රපට සාමාන්‍යෙයන් හැඳින්වෙන්නේ B grade චිත්‍රපට ලෙසයි. 

 චිත්‍රපටය ආරම්භයේම දැක්වෙන්නේ මෙය ලංකාවේ රූගත කළ බවයි. එසේ වුවත් එයට පාදක වන්නේ බෝර්නියෝ රටයි. එහි චාරිකාවකට යන සුදු යුවළක් මුහුණ වනචාරී ගෝත්‍රිකයන්ට හසු වීමෙන් මුහුණ පාන බිහිසුණු අත්දැකීම චිත්‍රපටය තුලින් දැක්වෙනවා. ඉතාම ප්‍රාථමික මට්ටමේ රඟපෑම් හා නිල් චිත්‍රපටවල රඟපෑ සුදු නිළියක් (කේති ෂවර් ) මඟින්  ලිංගිකත්වයද උලුප්පා දැක්වීමට තැත්කරන මෙය ඉන්දියානා ජෝන්ස් කතාමාලාවට ලඟින්වත් තැබිය නොහැකියි. සිංහල කතා කරන සරම් අඳින “වනචාරීන්“ මෙන්ම ඒ  දිනවල සිංහල සිනමාවේ දුෂ්ටයා ලෙස රඟපෑමෙන් ප්‍රසිද්දියට පත් නලුවෙක්ද මෙහි දැකිය හැකියි. කෙසේ වුවත් සිංහල සිනමාවේ A ශ්‍රේනියේ නලු නිළියන් නම් මෙහි දක්නට නෑ. 

පහත සැබැඳිය මඟින් අන්තර්ජාලය තුළින් මේ චිත්‍රපටය නැරඹිය හැකියි. කෙසේ වුවත් ලංකාව හා සම්බන්ධය විනා  ඩේටා වැය කරගෙන නැරඹීමට තරම් වෙනත් කිසිඳු වටිනාකමක් මේ තුල නැති බවද සඳහන් කළ යුතුයි. 

http://fmovies.to/film/the-further-adventures-of-tennessee-buck.orz4/29vzk2

Monday, September 19, 2016

වල්පොළ රාහුල හිමියන්ගේ “බුදුන් වදාළ ධර්මය“ What the Buddha Taught by by the Ven. Walpola Rahula

ප්‍රධාන කොටම පුද්ගලික හේතූන් මත ආගම් ඇදහීම අත්හැර දැම්මත්,  රටේ ප්‍රධානම ආගම වන බුදු දහම පිළිබඳ උගෙනීමට සෑහෙන කලක සිට මට ආශාවක් ඇතිව තිබුනා.  මා බෞද්ධයෙක් ලෙස කුඩා කල සිට හැදුනු වැඩුනු අයෙක් නොවන නිසා  දැනටමත් බුදු දහම අදහන්නන් වෙත ලියවුනු බහුල වූ පොත් පත් කියවීමට මා තුළ වූයේ දැඩි කුසීත බවක්.   මගේ මිතුරියක් වල්පොළ රාහුල හිමියන් විසින් රචිත What the Buddha Taught පොත් පිංච මා වෙත ලබා දෙන්නේ මේ නිසායි. 


 වල්පොළ රාහුල හිමියන් මේ කෘතිය ලියන්නේ පැරීසියේදී. මුල් වරට ප්‍රකාශයට පත් කෙරෙන්නේ 1959 වසරේදී. මෙහි  ඉලක්ක ගත පාඨක පිරිස එතුමාම පෙරවදනේ සඳහන් කරන පරිදි ඉංගිරිසි කියවන බුදු දහම ගැන දැනුමක් නැති අය, එනම් බොහෝ දුරට බටහිර ජනතාව. සරලව විස්තර කර දීමට රාහුල හිමියන් උත්සාහ දැරුවත් බුදු දහමේ සංකීර්ණත්වය පිළිඹිඹු වන පරිදි තමන් විසින්ම උත්සාහයෙන් වටහා ගැනීමට ඉඩ ලබා දී තිබෙනවා. පරිච්ඡේද බෙදා ඇති පරිදි පළමුව බුදුන් වහන්සේ ගැන මූලික හැඳින්වීමක් කර ඉන්පසුව බුදුදහමේ පදනම වන චතුරාර්ය සත්‍යයන් පිළිබඳව හැඳින්වීමක් කරනවා . ඊළඟ පරිච්ඡේදයන් හතරේ මේ එක් එක් චතුරාර්ය සත්‍යය විස්තර කරන්නේ ඒවා අතර බැඳිමද අවබෝධ කරමින්. 

මෙහිදී බුදු දහමේ එන නිර්වාණය යනු කුමක්දැයි මොනොවට පැහැදිලි කරනවා. නිර්වාණය යනු සරලවම පංචස්කන්ධයේ සත්‍ය ස්වරූපය දැකීම එනම් පරම සත්‍ය අවබෝධ කරගැනීම බවත් මෙලෙස සත්‍ය ඇති සැටියෙන් අවබෝධ කරගැනීම නිසා සංසාරය දිගු කරන බලවේගයන්ගේ මායාව අවබෝධ වීම නිසා   සංසාර චක්‍රයෙන් ගැලවීමට ලැබෙන බවත් විස්තර කෙරෙනවා. එමෙන්ම මේ පරම සත්‍යය අවබෝධ කරගැනීම සඳහා ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමන කළ යුතු බවත් පැවසෙනවා. .  මට හැඟෙන ආකාරයට නිර්වාණය පිළිබඳව ලැබුනු හොඳම වැටහීම මෙයයි. ඉන් පසුව අනාත්ම බව පිළිබඳ පැහැදිලි කිරීමක්ද එමෙන්ම පටිච්ච සමුප්පාදය පිළිබඳව කෙටි හැඳින්වීමක් ද ඇතුළත් වෙනවා.  

එදිනෙදා ජීවිතයේදී ප්‍රාෙයා්ගික ආකාරයෙන් භාවනා කරන්නේ කෙලෙසද යන්න ඊළඟට විස්තර වෙනවා- විශේෂයෙන් නිරන්තරවම සම්මා සතිය පවත්වා ගන්නා අයුරුද උදාහරණ ඇසුරින් වටහා දෙනවා. අවසාන වශයෙන් වර්තමාන ලෝකය තුළ බුදු දහමේ ප්‍රාෙයා්ගික භාවිතය ගැන විස්තර කෙරෙනවා. දහම ගැන ඇති මිත්‍යාවන් දුරලීම සිදුකරනවා.  බුුදු දහම තුළින් විමුක්තිය ලබා ගත හැක්කේ සියලු දේ අත්හැර කැලයකට ගොස් භාවනා කිරීම තුළින් නොවන බවත් ධාර්මික ගිහි  ජීවිතයක් ගත කරමින් සිය පවුලට සමාජයට යුතුකම් ඉටුකරමින් නිර්වාණය වටහා ගත හැකි බවත් දැක්වෙනවා. මේ අනුව සංඝ සංස්ථාව ඇති කොට ඇත්තෙ මෙවැනි ගිහියන්ට මඟපෙන්වීමට බවද රාහුල හිමියන් පෙන්වා දෙනවා. මෙහිදී උපහැරණ ලෙස සිගාලෝවාද සූත්‍රය ගෙනහැර දක්වනවා. එමෙන්ම රාෂ්ට්‍ර පාලනයේදී බුදු දහම උපයෝගි වන ආකාරයද මෙහි විස්තර වෙනවා. දසරාජ ධර්මය ගැනද රටක ආර්ථිකය නැංවීම මඟින් දිළිදු බව තුරන් වීම නිසා අපරාධ අඩුවන බවට බුදුන් වහන්සේ පැවසූ අයුරුත් සඳහන් වෙනවා. 

අවසාන වශයෙන් බුදුදහම “යුද්ධය“ සම්පූර්ණයෙන් පිළිකෙව් කරන බවත් කිසිඳු යුද්ධයක් බුදු දහම අනුව “ සාධාරණ යුද්ධයක්“ ලෙස නොසැලකිය හැකි බවත් රාහුල හිමියන් පවසනවා. එතුමා මෙලෙස පවසන්නේ ධනවාදී හා කොමියුනිසට් කඳවුරු අතර සීතල යුද්ධය ඇවිලී ගිය වකවානුවක න්‍යෂ්ඨික ප්‍රහාරයන් ගැන බටහිර වාසීන් අතර බියක් පැතිර ගිය වකවානුවක බව අප අමතක කළ යුතු නැහැ. කෙසේ වුවත් රාහුල හිමියන් මීට කලින් පළ කළ “භික්ෂූවකගේ උරුමය“ කෘතියේත් ඉන්පසුවත් උන්වහන්සේ මෙවැනිම වූ ස්ථාවරයක් පිළිපැද්දාද යන්න අපැහැදිලියි. 1997 එතුමා අපවත් වීමෙන් පසු  සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියන රොෂාන් පීරිස් ලංකාවේ සිවිල් යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡාමය විසඳුමකට එතුමා එකඟ නොවූ බව පවසනවා. එතුමාගේ වදන්වලින්ම පවසනවා නම් “ ''you are talking of peace and maithri. What maithri and peace is there when the terrorists in the North and East are trying to divide our country asking for Eelam.''

රාහුල හිමියන්ගේ මෙම කෘතිය අන්තර්ජාලය ඔස්සේද පහත ලිංකුවෙන් ඔබට කියවීමට හැකියි https://sites.google.com/site/rahulawhatthebuddha/

Monday, September 5, 2016

ජෝන්ස්ටවුන්හිදී මරණයට පත් මාක්ස්වාදී උතෝපියාව The Marxist Utopia that died in Jonestown

වර්තමානයේ අප දන්නා පරිදි වැඩිම ඇමරිකානු සාමාන්‍ය වැසියන් පිරිසක් එකවරකදී මිය ගිය අවස්ථාව වන්නේ 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරයි. එසේ වුවත් ඊට පෙර එම ස්ථානය හිමිවූයේ 1978 නොවැම්බර් 18 වැනි දින ඇමරිකානුවන් 900කට අධික ප්‍රමාණයක් ගුයානාවේ පිටිසරබද පෙදෙසක පිහිටි ජෝන්ස්ටවුන් නමින් හැඳින්වූ කෘෂිකාර්මික ජනාවාසයක් තුළදී  සිය දිවි නසාගැනීමේ අවස්ථාවටයි. සමූහ සිය දිවි නසාගැනීමක් ලෙස හැඳින්විය හැකි මෙම අවස්ථාවේදී කිරිදරුවන් පවා  සිය දෙමව්පියන් අතින්ම මරණයට පත්වූ බව සඳහන් වනවා. මෙම ජෝන්ස්ටවුන් ජනාවාසයෙහි සිටි සියලු දෙනා "පීපල්ස් ටෙම්පල් (මහජන දෙවොල) " නම් ආගමික සංවිධානයක සාමාජිකයන්. මෙහි නායකයා වූයේ ජිම් ජෝන්ස් නම් හිටපු පාස්ටර්වරයා (ජනාවාසය හැඳින්වූයේ ඔහුගේ නමින්) . මේ සිදුවීම්වලින් පසු ජනමාධ්‍ය මඟින් People's Temple යනු ඇදහිලි කල්ලියක් (religious cult)  ලෙස හැඳින්වූවත් එවක හා වර්තමානයේ පැවති හා පවතින ඇදහිලි කල්ලිවලට වඩා මහජන දෙවොල බෙහෙවින් වෙනස් වන්නේ එය දේශපාලනික ඇදහිලි සංවිධානයක් වීමයි (political cult) . එම සංවිධානයේ මේ සංකීර්ණතාව එහි නිර්මාතෘවරයා හා බැඳී පවතිනවා. 
මහජන දෙවොල ගැන ටයිම් සඟරාවේ මුල් පිටුව 

ජිම් ජෝන්ස් 

ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ දිළිඳු පවුලක උපත ලබන ජෝන්ස් සිය ළමා විය ගතකරන්නේ ඇමරිකාවේ මහා ආර්ථික අවමනය (Great Depression) නිසා ඇතිවන ද්‍රරිද්‍රතාවයෙන්. තම ළමාවියේ ගෙවූ ඒ දිළිඳු ජීවිතය නිසා කුඩා කල සිටම ජෝන්ස් ඇමරිකාවේ වර්ගවාදයේ ගොදුරු බවට පත් ව සිටි කළු ජාතිකයන් කෙරෙහි සානුකම්පිත දැක්මක් සහිතව සිටි බව පැවසෙනවා. එමෙන්ම ඔහු දැඩිව කියවීමට ඇබ්බැහි වූයෙක්. සියලුම ජාතීන් හා පංතීන්ට එකට සලකන බව පැවසෙන කමියුනිස්ට්වාදය මේ මුල් අවදියේ සිටම ජෝන්ස්ගේ ආකර්ෂණයට ලක්වුනා. මේ සඳහා ඔහුට සිය මවගේ අනුබලයද ලැබුනා. 
ජිම් ජෝන්ස්
දේශපාලනය හා ආගම

කෙසේ වුවත් 1950 දශකය වන විට සීතල යුද්ධය තුළ කමියුනිස්ට් විරෝධී හැඟීම් උත්සන්නව පැවතුනා. ඇමරිකානු සමාජය තුළ කමියුනිස්ට්වාදයට තිබුනු දැඩි විරෝධය නිසා ජෝන්ස් මුලින්ම තම දැඩි වාමාංශික අදහස් පිරිස් වෙත පැතිරවීම සඳහා යොදා ගත්තේ ආගමයි. 1930 දශකයේ සිටම ඇමරිකාව තුළ මූලධාර්මික කිතුණු නිකායන්  වර්ධනය වෙමින් පැවතුනා. සුවකීරීමේ මෙහෙයන්, සමූහ ගායනා ආදි නවමු අංග රැගත් මේ දේව මෙහෙයන් ඇමරිකා‍වේ බයිබල් තීරුවේ හා මැද බටහිර ප්‍රදේශවල ජනප්‍රියව පැවතුනා. 

මෙවැනි කිතුණු නිකායක් ආරම්භ කිරීම මඟින් අනුගාමිකයන් පිරිසක් තනාගෙන සියුම්ව තම දේශපාලනික මතවාදයන් සම්ප්‍රේෂණය කරවීම ජෝන්ස්ගේ උපක්‍රමය වුනා. මේ සඳහා ඔහු මුලින්ම මෙතොදිස්ත පල්ලියක දෙවැනියා ලෙස පත්වුනා. එහෙත් එවකට වර්ගවාදී ලෙස කළු සුදු ජාතීන් වෙන්කෙරුනු (Segregation) ඇමරිකාවේ කළු ජාතිකයන්ද දේව මෙහෙයන්ට එක් කරගැනීමට ඔහු පියවර ගැනීම නිසා කෙටිකලක් ඇතුළත එම පල්ලියෙන් ඔහු ඉවත් කෙරෙනවා. පසුව 1956 දී තම සිහිනය සැබෑ කරගනිමින් සුදු හා කළු ජාතිකයන් එක්ව දේව මෙහෙයේ යෙදෙන මහජන දෙවොල ඉන්දියානාපොලිස්හි ආරම්භ කරනවා. ජෝන්ස්ගේ ප්‍රගතිශීලි මතවාදයන්ට එවකට එම පෙදෙසේ සුදු ජාතිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූවත් ඔහු එය නැවැත්වූ‍යේ නැහැ. 

කෙසේ වුවත් සියලු වාර්ගිකයන් සාමයෙන් සිටින පොදු දේපළ සහිත කමියුනිස්ට් උතෝපියාවක් නිර්මාණය කිරීමේ සිහිනය ජෝන්ස් සිතින් ඉවත් කරගත්තේ නැහැ. මේ නිසාම 1960 දශකය වන විට වඩාත් ලිබරල් පරිසරයක් තිබූ කැලිෆෝනියාව‍ට ඔහු තම සංවිධානය රැගෙන ගියා. කැලිෆෝනියාවේදී මේ සංවිධානය කෙමෙන් වැඩෙන්න‍ට වූයේ සමකාලීන සමාජ දේශපාලනික තත්ත්වවල බලපෑමත් සමඟයි. එමෙන්ම කැලිෆෝනියාවේ ප්‍රබල ලිබරල් දේශපාලඥයන්ගේ අනුග්‍රහයද කෙමෙන් ජෝන්ස් හට ලැබුනා. මේ නිසා ප්‍රමාණාත්මක සිවිල් බලයක් ඔහු‍ වෙත පැවරුණා. 

කෙසේ වුවත් සංවිධානයේ විවිධ අයථා ක්‍රියා සම්බන්ධයෙන් කලින් එයට සම්බන්ධ වී පසුව ඉවත් වූ යම් කණ්ඩායම්වලින් චෝදනා එල්ල වන්නට වුනා. මේ නිසා තමන්‍ට එරෙහිය දක්ෂීණාංශික කුමන්ත්‍රණයක් ඇතිබවට පැරනොයියාවක් ජෝන්ස් තුළ ඇති වුනා. එබැවින් තම සමාජවාදී උතෝපියාව ඇමරිකාවෙන් බැහැර ව ඇති කිරීම සඳහා ජිම් ජෝන්ස් අවසන තෝරා ගත්තේ දකුණු ඇමරිකාවේ ගුයානාවයි. 

ජෝන්ස්ටවුන් ඛේදවාචකය
ජෝන්ස්ටවුන් හි දරුවන් පිරිසක් 

ගුයානා හි එවකට තිබුනේ සමාජවාදී රජයක්. එමඟින් පිටිසර බද ප්‍රෙද්ශයක විශාල බිම් කොටසක් බදුගෙන ජෝන්ස්ටවුන් නම් කෘෂිකාර්මික ජනාවාසයක් පිහිටුවීමට ජෝන්ස් කටයුතු කළා. තම මාක්ස්වාදී සිහිනය අනුව ස්වයංපෝෂී කොලනියක් මෙන් ජෝන්ස්ටවුන් ජනාවාසය නිර්මාණය කළා. එහි සියලු දෙනා වැඩෙහි නිරතවුනා. අවශ්‍ය එළවළු, මස් ආදිය ගොවිපළ තුළින්ම සපයා ගත්තා . එමෙන්ම කළු සුදු භේදය සම්පූර්ණයෙන්ම ඉවත් කොට ඔවුන් සහෝදරත්වයෙන් ජීවත් වුනා. කෙසේ වුවත් කොලණියේ ජනගහනයෙන් 90%ක් පමණම කළු ජාතිකයන් වුනා. ඔවුන් පවුල් ලෙස ජීවත් වූ අතර කුඩා දරුවන් හා බිළිදුන් විශාල ප්‍රමාණයක්ද වයෝවෘද්ධ විශ්‍රාමිකයන්ද මේ අතර වුනා. සියලු දෙනා සතුටින් ජිවත් වන බව පෙනුනත් ජෝන්ස් සතුව තුවක්කු ගත් සන්නන්ධ කණ්ඩායමක්ද තිබුනා. 

මේ අතර ඇමරිකාවේ මහජන දෙවොල ගැන විවාදය දිගටම පැවතුනා. එම සංවිධානය තුළ සිටින සිය දරුවන් නැවත ලබා දෙන ලෙස සංවිධානයෙන් ඉවත් වූ පිරිස් උද්ඝෝෂනය කළා. මේ නිසාම කැලිෆොනියාවේ කොන්ග්‍රස් සභිකයෙක් වූ ලියෝ රයන්, එම ඥාතීන් හා මාධ්‍යෙව්දීන් පිරිසක් සමඟ ජෝන්ස්ටවුන් වෙත පැමිනියා. මුලදි රයන් ඇතුළු පිරිස හොඳින් පිළිගැනුනත් ජෝන්ස්ටවුන් හි සිටි තවත් අනුගාමිකයන් පිරිසක් රයන් සමඟ ආපසු යාමට උත්සාහ කිරීම නිසා ගැටුම් කාරී තත්ත්වයක් පැන නැගුනා. අවසානයේ ජනවාසයෙන් එපිට නවතා තිබූ තම ගුවන්යානයට ගොඩවීමට සිටින මොහොතේදී ජෝන්ස්ටවුන් සිට පැමිණි සන්නන්ධ කණ්ඩායමක් මේ පිරිසට ප්‍රහාරයක් එල්ල කළා. එය අවසන් වූයේ කොන්ග්‍රස් සභික ලියෝ රයන්ගේ මරණයෙන්. තවත් මාධ්‍යෙව්දීන් කිහිප දෙනෙක්ද මේ ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත් වුනා. 

මේ සිදුවීමත් සමඟ තවදුරටත් තමාට හෝ සංවිධානයට ලෝකයෙන් වසං වී සිටිය නොහැකි බව ජෝන්ස් තේරුම් ගත්තා. එදින රාත්‍රිෙය්ම සමූහ සිය දිවි නසාගැනීම ඇරඹුනා. නෙක්ටෝ වලට සමාන ෆෙලේවර් ඒඩ් නම් සිසිල් බීම වර්ගය සහිත විශාල භාජනවලට පොටෑසියම් සයනයිඩ් කලවම් කර සියලු දෙනා පානය කළා. දරුවන්ට දෙමාපියන් ඒවා ලබාදුන්නා. ඉතාම කාලකණ්නි ලෙස කිරිදරුවන්ටද මේ විස පානය ලබා දී තිබුනා. ජිම් ජෝන්ස් ද සියතින්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගත්තා. පසු දින පහන් වන විට ජෝන්ස් ටවුන් සංකීර්ණයම එකම මළ කඳන් ගොඩක් බවට පත්ව තිබුනා. පසුව ඇමරිකානු හමුදාවන් මඟින් කුණුවී පිම්බී තිබූ මේ මළ සිරුරු ආපසු ඇමරිකාවට එවීමේ කාර්යය කරන ලද්දේ ඉතාම අසීරුවෙන්. 
ජෝන්ස්ටවුන් ජනාවාසය පුරා මළ සිරුරු විසිරී තිබූ අයුරු 

සමකාලීන ජනමාධ්‍යත් ඉන් පසුවත් මහජන දෙවොල හඳුන්වන්නේ ආගමික ඇදහිලි කල්ලියක් ලෙසයි. එසේවුවත් අදේවවාදියෙක් වූ ජිම් ජෝන්ස් ආගම මුවාවෙන් ඇති කරගත්තේ මාක්ස්වාදී ඇදහිලි කල්ලියක්. ලංකාවේද මාක්ස්වාදි/ සමාජවාදී මතයන් අනුගමනය කරන දේශපාලන පක්ෂ ඇදහිලි කල්ලි මෙන් ක්‍රියා කරන බව මගේ නිරීක්ෂණයක්. 

Saturday, September 3, 2016

ඉන්දිරා ගාන්ධි හා මොරාජි දේසායි Indira Gandhi and Moraji Desai

මෙම සටහන  මුල් වරට  පළ  කෙරෙන්නේ ෆේස්බුක්  සමූහයක 2015 ජනවාරි 14 දිනය. එනම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් සතියකට පමණ පසුවය. 


1971 ඉන්දීය මහ මැතිවරණයෙන් පත්වූ ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය ඥාති සංග්‍රහය, ජනතා අයිතිවාසිකම් සීමා කිරීමට හා දූෂණයට මුල් තැනක් දී කටයුතු කළේය . ඇගේ බාල පුතුණුවන් වූ සංජේ ගාන්ධිගේ ක්‍රියාකලාපය නීතිය ඉක්මවා යමින් රට වැසියන් පීඩාවට පත් කළේ ය. මෙහි උච්ඡ අවස්ථාව වන්නේ 1975 රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා පුවත්පත් නිදහස් මෙන්ම විපක්ෂයද තහනම් කරමින් හදිසි නීතිය යටතේ රට පාලනය කිරීමට ගාන්ධි මහත්මිය පෙළඹීමයි.

1971 සෝදාපාළු ජයග්‍රහනයක් ලබා ගත් ඇගේ රජයට එරෙහිව මේ නිස ප්‍රබල ජනතා විරෝධයක් ගොඩනැගිනි. මේ නිසා විපක්ෂ ව්‍යාපාරය විවිධ පක්ෂ එකතු වී කොන්ග්‍රස් පක්ෂයේ හිටපු ප්‍රබලයෙක් වූද නිදහස් සටන්කාමියක් වූ ද ගාන්ධි මූලධර්ම අනුව ඉතාම සරල දිවිපෙවතක් ගත කළ අයෙක් වූ ද මොරාජි දේසායි මහතාගේ නායකත්වයෙන් ඉක්මණින් අටවාගත් සංධානයක් මගින් 1977 මැතිවරණයට මුහුන දුන්හ. සාමාන්‍ය ජනතාව අතර තමන් ජනප්‍රියයැයි සිතූ ගාන්ධී මහත්මිය විමතියට පත්කරමින් ඇගේ පක්ෂය ඉන් අන්ත පරාජයට පත්වූහ.

මොරාජි දේසායි මහතා යටතේ පත්වූ සංධානය ඉන් පසූ රට කරවන්නට වූයෙ ඉන්දිරා මැතිණියගේ වැරදි නිවැරදි කරන බව පවසමිනි. එසේවුවද නව රජය වැරදි නිවැරදි කිරීමට වඩා උනන්දු වූයේ ගාන්ධි මැතිනියත් සංජේ ගාන්ධි නම් ඇගේ පුතාටත් එරෙහිව පළිගැනීමේ ක්‍රියාමාර්ගයක නිරත වීමටයි. කෙතරම් වැරදි කළද ස්ථාවර රජයක් තිබූ ඉන්දිරා හට ඉන්දිය සාමාන්‍ය ජනයා අතර තවමත් ගෞරවයක් තිබිනි. කෙමෙන් රාජ්‍ය පාලනයට වඩා ගාන්ධි පවුල හඹා යාමත් අස්ථාවර බවත් නිසා සංධානය කෙරෙහි ජන විශ්වාසය බිද වැටිනි . 1980 රජය බිද වැටුනු අතර එම වසරේ පවත්වන ලද මහ මැතිවරණයට මොරාජී දේසායි මහතාද ඉදිරිපත් නොවීය. ඔහුගේ සංධානයෙන් ඉතිරි වී සිටි කොටස් සමග කොන්ග්‍රස් පක්ෂය මැතිවරණයට මුහුණ දී ඉන්දිරා ගාන්ධී නැවතත් ප්‍රබල ජයග්‍රහණයක් ලබා අගමැතිණිය ලෙස තේරි පත්විනි.

Wednesday, August 31, 2016

ටැබූ සබ්ජෙක්ට්ස්ගේ පුරාවෘත්තය The Legend of Taboosubjects

 2009 දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ එතෙක් පැවති දෙමළ බෙදුම්වාදී අරගලය යටපත් කරන ලදී. ඒ සමඟම රට තුළ රජයේද අනුග්‍රහයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී රැල්ලක් පැන නැගිනි. සරත් ෆොන්සේකා මහතා 2010 ජනපතිවරණයට ඉදිරිපත් වන බව පැවසීමත් සමඟ මේ රැල්ල සමාජ ජාල හා බ්ලොග් අවකාශයටද  දැනී තිබුනේය. මේ අතර රාවය පුවත්පතේ එවකට විවිධ සිංහල බ්ලොග් අඩවිවල ලිපි පළ කිරීමේ කොලමක් විය. මේ කොලමේ පළවූ විවිද ලිපි අතරින් මා සිත් ගත්තේ taboosubjects නම් බ්ලොගයකින් ගත් ලිපි ය. එවකට තිබූ අනෙකුත් බ්ලොග් හා සලකන විට විශාල දේශපාලන පරිණතභාවයක් ඒ ලිපි තුළ දුටිමි. එවකට නිර්පාක්ෂික එහෙත් දැඩි සිංහල බෞද්ධ ජාතිකවාදී විරෝධී මතවාදයක සිටි මගේ දේශපාලනික මතයන් සමඟ ටැබූ ගේ ලිපි මැනවින් පෑහිණි. අන්තර්ජාලය ඔස්සේ ටැබූ පරිශීලනය කරන්නේ ඉන් පසුවය.



ටැබූ 



දේශපාලන ආර්ථික හා සමාජයීය මතවාද 

ටැබූ එවකට පෙනී සිටි‍යේ මට මතක විදිහට තරුණ ගණිත කථිකාචාර්යවරයෙක් ලෙසය. ඒ චරිතයේ ලිංගික අනන්‍යතාව සිතාමතාම නොපැහිදිලි (ambiguous)  කොට තබන ලදී. ප්ලැටොනික සමකාමි පෙමක් ගැන යම් ඉඟියක් ඇතැම් ‍පෝස්ටු තුළ විය. එමෙන්ම සමාජීයීය හා දේශපාලනික අතින් දැඩි ලිබරල් බවක් ද ආර්ථිකය සම්බන්ධ කාරණා වලදී මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ සිද්ධාන්ත සමඟ අනුගත වීමක් ද දක්නට ලැබිනි. මේ නිසාම ටැබූ සමාජවාදී මතවාදයන් දැරූ පුද්ගලයන් දැඩි උපහාසයට ලක් කළේය. අජිත් පැරකුම් ජයසිංහ සිය ඇඹේනියගේ කණකර උගස් කර "ශාස්තෲ" නම් නවකතාව පළ කිරීම දැඩිව උපහාසයකට ටැබූ ලක්කරන්නේ එවකට අජිත් සිටි සමාජවාදී දර්ශනය හා ඇති අරෝව නිසා වන්නට පුලුවන. මෙවැනි වූ ටැබූ, වික්‍රමබාහු කරුණාරත්නගේ දේශපාලනික භාවිතාව (අවංකකම) ගැන ප්‍රසාදයකින් කතා කළ නුමුදු එය හුදු වෙස්වළාවක්දැයි විටෙක සැක සිතේ. 

පාඨකයා පෙලඹවන සිත් ගන්නා සුළු භාෂා ව්‍යවහාරයක් බ්ලොග් පෝස්‍ට් තුළ පැවතිනි. අද දක්නට ලැබෙන බොහෝ බ්ලොග් කරුවන්ට ආදර්ශයට ගත හැකි නිමාවක් එතුළ තිබිනි. එවකට තිබූ පාර්ශ්වික බ්ලොග් අඩවිවල කොමෙන්ටු  හා බලන විට ටැබූ ගේ තවත් ප්‍රධානම වෙනසක්  වූයේ සංවාද යි. මේ කොමෙන්ට් සංවාද ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු වීම අද ප්‍රසිද්ධ බ්ලොග් අඩවිවලත් මා නොදකින ලක්ෂණයකි. රසිකලොජි හෝ W3 සැලකුවත් සංවාදවල ඉහළ ප්‍රමිතියක් දක්නට නැත. එමෙන්ම සමාජයීය දේශපාලනික කරුණු ගැන හුදු මතුපිට ඉක්මවා යන ප්‍රබල විශ්ලේෂණයක් (ඇතැම් අවස්ථාවල දෘෂ්ඨියාත්මක හේතූන් මත අසාර්ථක වුවද) ඉදිරිපත් කිරීමට ටැබූ ප්‍රයත්න දැරුවේය. ඒ බව එකල ක්‍රියාකාරී අනෙකුත් ප්‍රකට බ්ලොග්කරුවෙක් වන Beyond Frame හා තවමත් බ්ලොග් අවකාශයේ වැජඹෙන W3 Lanka සඳහන් කරනු මතකය. උදාහරණයකට දඩුවම් මුදලාලිගේ මිනීමැරුම ආදි සිද්ධීන් වලදී ඔහු දැරුවේ සාමාන්‍ය සමාජයේ ජනප්‍රිය මතයට බෙහෙවින් වෙනස් මතවාදයකි. එමෙන්ම නත්තල් සමයේ ක්‍රිස්තුස්වහන්සේ ගැන පෝස්ටුව හා ඒ අදාළ සංවාදද මතක් කළ යුතුය. 

ජනවාර්ගික ගැටළුව සම්බන්ධයෙන් ටැබූ දැරුවේද සාම්ප්‍රදායික ලිබරල් මතවාදයයි. බලය බෙදා හැරීමට ඔහු පක්ෂ විය. එහෙත් එය ‍‍ කොයි ආකාර විය යුතුදැයි සවිස්තරාත්මක අදහස් දැක්වීමක් ඉදිරිපත් නොකළේය. දරුවන් දෙදෙනෙකු සිටින පවුලක වැඩිමහල් දරුවාට ලබා දුන් වැනිම බයිසිකලයක් බාල දරුවාද ඉල්ලීම හා දෙමව්පියන් එම ඉල්ලීම දිගින් දිගටම විවිධ හේතූ දක්වමින් මඟහැරීම පිළිබඳ උපමා කතාවක් මඟින් ලංකාවේ ආණ්ඩු මඟින් දිගින් දිගටම දෙන ලද පොරොන්දු කඩ කිරීම නිසා දෙමළ ජනතාව ප්‍රචණ්ඩත්වය තෝරාගත් බව ගෙන හැර දැක්වූ බව මතකය. යුද්ධය අවසාන භාගයේ දෙමළ සරණාගතයන් කඳවුුරු තුළ අවුෂ්විට්ස් වැනි දුක්ඛිත තත්ත්වයක ජීවත් වන බව "නොකෑ යුතු අවුුරුද්ද" නම් පෝස්ටුවෙන් පෙන්වා දුන් නමුත් එය හුදු විචාර බුද්ධියට හා සත්‍යයට වඩා දෘෂ්ඨීවාදයට තැන දුන් පෝස්ටුවක් බව පසුව පැහැදිලි විය. එමෙන්ම සිංහල බෞද්ධ ජාතිකවාදයට ඇති දැඩි විරෝධය දැක්වූ "සිංහයාට පාදස්ථලයක්" පෝස්ටුව ප්‍රතිවිරුද්ධ කඳවුරු අතර ගල උඩ සටනකට මඟ පාදන්නක් විය. කෙසේ වුවද සුළු ජාතීන්ගේ දේශපාලනික අයිතිවාසිකම් මහ ජාතියේ ජාතිකවාදය මඟින් යටපත් කිරීමට ටැබූ එරෙහි විය. 

එමෙන්ම කෙතරම් ආණ්ඩු විරෝධී ලිබරල්වාදීන්ගේ ආකර්ෂණයට ලක්වුවත් ටැබූ යනු හුදු ආණ්ඩු විරෝධීයෙක් නොවීය. ඔහු 2010 ජනපතිවරණයේදී ෆොන්සේකාට සහයෝගය නොදුන්නේය. ඔහු පරදින බව කලින්ම පැවසීය. ඔහු රනිල් වික්‍රමසිංහව තදින්ම අප්‍රිය කළේය. එවැනි නායකයෙකු ලවා මහින්ද රාජපක්ෂව රිප්ලේස් කරගැනීමට ඔහු කැමති නොවීය. මහින්ද රාජපක්ෂ ගැන ඔහු දැරූ ආකල්පය බොහෝ දුරට මධ්‍යස්ථ මතධාරී ප්‍රායෝගික මතවාදයක් විය. ඒ ගැන හොඳින්ම වැටහෙන්නේ "මහින්ද රාජපක්ෂගේ ලොකුම හතුරා" වැනි පෝස්ට් කියවීමෙනි. (මෙවැනි ආකල්ප සඳහා දේශපාලනයට එහා ගිය පුද්ගලික කාරණා බලපාන්නට ඇතැයි මම දැන් සැකකරමි. ) 


කෙසේ වුවත් හැරී බලන විට ටැබූ ගේ දැඩි දෘෂ්ඨිවාදය නිසාම තර්කානුකූල බව මඟ හැර ක්‍රියා කළ අවස්ථා තිබූ බව පැහැදිලිය. උදාහරණයකට වෛද්‍ය රංග වීරක්කොඩි අප හට කෙතරම් අප්‍රිය ජනක චරිතයක් වුවත් ටැබූ සමඟ විවාදයේදී ඔහු සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙල අනුමත ‍කළ නොහැක. එමෙන්ම නලින් ද සිල්වා ආදීන්ගේ මතවාද ගැන උඩින් පල්ලෙන් බලා කිසිඳු හරයක් නැති දෙඥඥම් බැටේ විචාරද  ප්‍රාථමික මට්ටමේ පැවතුනි.


ටැබූ හැක්වීම 

සෑම යහපත් දෙයක්ම අවසන් විය යුතු යැයි ඉංගිරිසි කියමනක් තිබේ. ටැබූ ලිබරල් වාදීන් අතර ජනප්‍රියත්වයේ හිණිපෙත්තට නැගී තිබූ හා සිංහල බෞද්ධ ජාතිකවාදී පිරිසගේ දැඩි වෛරයටත් භාජනය වී තිබූ 2011 මුල් භාගයේ හිටි හැටියේ ටැබූ අඩවිය "හැක් වීමකට" ලක් විය. ඒ ගැන සැකය යොමු වූයේ එවක ජනප්‍රිය තිබූ පෙරමුණේ රාළ බ්ලොගයට සම්බන්ධ පිරිසක් ගැනය. එය රජයේ මාධ්‍ය මර්ධනයේ තවත් පියවරක් යැයි සිඟිති ආතල් ගත් පිරිසක් ද වූහ - හතරවැනි රයිකය ආදි කොපි කැට් බ්ලොග් බිහිවූයේ මේ නිසාය. එමෙන්ම ටැබූ අඩවියට සම්බන්ධ යැයි කියමින් එවකට බුකියේ නමක් දිනා ගෙන සිටි ලිබරල් කථිකාචාර්යවරු දෙදෙනෙකුගේ නම් ද පා කරන (floated) ලදී . 

කෙසේ වුවත් සැබෑ ටැබූ උවමනාවෙන්ම බ්ලොගය අවසන් කොට හැක්වීමේ රංගනයක යෙදුනාද යන්න අදටද ‍ ප්‍රෙහේළිකාවකි. පසුකාලීන නිරීක්ෂණ අනුව ටැබූ ලෙස වඩාත්ම සැක කළ හැක්කේ අවුරුදු ගණනක් ජනමාධ්‍යට සම්බන්ධව සිටි පුද්ගලයෙකි. ඇතැම් විට පේරාදෙණිය සරසවියේ කලා උපාධීධාරියෙකු වූ දැන් දරුණු වර්ගවාදියෙක් බවට පත් ව සිටින වෘත්තීයවේදියෙකු ඔහුට සහාය වුනා විය හැකිය. 

කෙසේ වුවත් වඩාත් පරිණත බ්ලොග් කලාවකට අත් පොත් තැබූ ටැබූ නික්ම යාම සිංහල බ්ලොග් අවකාශයට නම් ලොකු පාඩුවකි.