Thursday, February 1, 2024

MTV ආගමනය

 





මා ළමා විය ගත කළ 1980 දශකයේ අගභාගයේ කුරුණෑගල ප්‍රෙද්ශයෙට නැරඹීමට ලැබුනේ ශ්‍රී ලංකා රූපවාහිනිය පමණි. එවක තාත්තා සමඟ නැරඹූ  ඒ ටීම්, වී, මයාමි වයිස්, මැගයිවර් වැනි ටී වී සීරිස් අදත් මතකයට නැගේ. 1988 -89 භීෂණ සමයේ වුවද රූපවාහිනියේ මේ බටහිර සීරිස් අඩු වූයේ නැත. එවක මට නැරඹීමට නොලැබුනේ “වඩාත් සුදුසු වැඩිහිටියන්ට“ ලෙස විකාශය වූ “ධනවත් බලවත් කැරිංටන් පවුලේ කතාව“ නොහොත් ඩිනාස්ටි පමණි. රැවුල කපාගත්  රෝහණ විජේවීර අප්‍රසන්න හඩකින් රූපවාහිනියේ කතා කළ රාත්‍රියෙන් පසුව රට තරමක් යහපත් අතට හැරුනත් අලුත් ජනාධිපති ප්‍රේමදාස යටතේ රූපවාහිනිය කෙමෙන්  අප්‍රසන්න වන්නට ගත්තේය.  සාමාන්‍යෙයන් එක්සත් ජාතික පක්ෂයට හිතැති අය පවා ඔහුව හැඳින්වූයේ එක්කෝ “පුෂ්පකුමාර“ නොහොත් “සත පහ“ යනුවෙනි. පුෂ්පකුමාර වූයේ හැමවිටම මල්වට්ටියක් ගෙන පන්සල් යන ආකාරය රූපවාහිනි ප්‍රවෘත්ති වල පෙන්වූ නිසා විය යුතුය. ඒ හැරුණු විට ප්‍රවෘත්ති ප්‍රකාශයේ “ අතිගරු ජනාධිපතිතුමා අවධාරණය කරයි“ ලෙස බොහෝ නිවුස් අයිටම් අවසානයේ ප්‍රකාශය කිරීම තාත්තාගේ උසුළු විසිළුවට ලක් විය. 

“වැවයි දාගැබයි ගමයි පන්සලයි“ යනුවෙන් කවුදෝ අන්තේවාසිකයෙකුගේ පිස්සු ස්ලෝගන් එකක් කරේතබාගත් හීනමාන පුෂ්පකුමාර තුමා රූපවාහිනිය සම්පූර්ණයෙන්ම කෑවේය. එනම් ඔලිවර් ක්‍රොම්වෙල් එංගලන්තයේ නත්තල තහනම් කර පිස්සුවක් කෙලියා මෙන් ඊනියා බොදු සංස්කෘතියක් උලුප්පා දක්වමින් රූපවාහිනියේ බටහිර ක්‍රියාදාම සීරිස් හා වැඩසටහන් මෙන්ම චිත්‍රපටද නැත්තටම නැති කළේය. ඒ අතින් සරත් අමුණුගම කියන රූපවාහිනියට අත නොපෙවූ  පරිදි ජේ ආර් ලොක්කා දාහකින් සම්පතය. 1994 චන්ද්‍රිකා ජනාධිපති වුවද තත්ත්වයේ වෙනසක් සිදු නොවීය. රූපවාහිනිය මෙලෙස පට්ට බෝරිං වී ඇති කාලයකය මහරාජා සමූහ ව්‍යාපාරයෙන් MTV රටටම නැරඹිය හැකි පරිදි UHF තරංග ඔස්සේ බෙදා හරින්නට පටන් ගත්තේ.  ඊටත් කලින් කිංස්ලිලා, නිමල් ලක්ෂපතිආරච්චිලා  සිරස ගුවන් විදුලියෙන් විප්ලවයක් සිදු කළත් රූපවාහිනී ක්ෂේත්‍රයට එන්නෙ තරමක් කල් පසුවීය. මට මතක හැටියට මුල් වරට මා එම් ටී වී තුළින් නැරඹූයේ ටාර්සන් කතා මාලාවකි. ඒ 1994 පමණදීය. එවක ලොකු ප්‍රශ්නයක් වූයේ තරංග මාලා අසුවන පරිදි ඇන්ටනව කරකවන්නට සිදු වීමයි. එම් ටී වී පැත්තට හැරවූ පසු රූපවාහිනිය නොපෙනී යයි. 

කෙසේ වුවත් එසමයේ හොඳම චිත්‍රපට රැසක් නැරඹීමට ලැබුනේ MTV වලට පින්සිදු වන්නටය. D Day එකේ පනස් වැනි සංවත්සරයට සමපාතව විකාශය වූ Longest Day අදත් මගේ මතකයේ රැඳේ. ඒ හැරුනු විට Godfather, Hatari, Aliens, Terminator, Cobra, Rambo වැනි චිත්‍රපටද Time Trax, Kung Fu Legend Continues, Wizard ආදි ටී වී සිරිස් ද එම් ටී වී මඟින් එකල විකාශය කළේ ඉඩෝරයට දිය දෝතක් මෙනි. කෙසේ වුවත් 1996 පමණ විට රූපවාහිනියද X Files ආදි සිරිස විකාශය කරමින් තරමක් යහපත් අතට හැරුනි. 1996 පමණ මුල් වරට වී එච් එස් යන්ත්‍රයක් මිලට ගත් බැවින් චිත්‍රපට සඳහා ටීවී බැලීම තරමක් අඩු විය. 

මේ හැරුනු විට තාත්තාගේ පාසල් මිතුරෙක් වූ සැමී දොස්තර මහතා එම්ටී වී එකේ යන චිත්‍රපට වී එච් එස් කැසට්වල පටිගත කළ අතර ඔහු සතුව එවැනි කැසට් පටි විශාල එකතුවක් විය. එසේ පටි ගත කෙරුනු චිත්‍රපට පසුකාලීනව ද නැරඹිමට හැකි විය.  

5 comments:

  1. ඇත්තටම ඒ කාලේ රූපවාහිනියේ පෙන්නපු සමහර බටහිර වැඩසටහන් අද මතක් වෙනකොට පුදුම හිතෙනවා මේ චැනල් එකේම ද ඒවා පෙන්නුවේ කියලා.

    ReplyDelete
  2. මට මතකයි ලෝන් රේන්ජර්, බ්ලෙක්ස් 7 හෙම බලනවා ඒ කාලේ

    ReplyDelete
  3. ඔව් ප්‍රේමදාසගේ කාලෙ රූපවාහිනි ප්‍රවෘති කියන්න අප්පිරියම දෙයක් තමයි...හැමදාම මල්වට්ටියක් ඔලුව උඩ තියාගෙන පන්සල් වදින එක යනවමයි...ඕකම තමයි මහින්ද රාජපක්ශත් ඒ කාලේ කලේ...බෞද්ධ සිංහල නායකයා කියන එක පෙන්වන්න නේ..

    ReplyDelete
  4. ''වී'' කතාවේ සමහර තැන්වල බ්ලූ කාලි තිබුණා , තව හමුදා පුහුනුවෙන තැනක කතාවකුත් ගියා, නම අමතකයි, ඔබත් හැත්තෑවේ මුල් කාලයේ ඉපදුණු කෙනෙක් මම හිතන්නේ.....
    පේමදාස නම් වාතයක් උනා තමයි, අපිත් නිව්ස් බලන එක නැවැත්තුවා ..

    ReplyDelete
    Replies
    1. මම 1980 දශකයේ මුල් භාගයේ ඉපිද අවුරුදු 7 -8 තාත්තා සමඟ නැරඹූ කතා තමයි මේ - හමුදා පුහුණු වීමක් ගැන තිබුනේ Private Benjamin විය යුතුයි. V හි අඩ නිරුවත් ජවනිකා කලාතුරකින් තිබුනු බව ඇත්ත

      Delete