Friday, February 16, 2024

Three Body Problem

 





මම විද්‍යා ප්‍රබන්ධ කතාවල රසිකයෙක් නොවෙයි.  ළමා වියේ කියවූ 2001 සිංහල පරිවර්තනය හා ආතර් සී ක්ලාක්ගේ පාරාදීසයේ උල්පත් වැනි ප්‍රබන්ධ කිහිපයකට මගේ කියවීම සීමා වනවා. එය මා සොයා ගෙන කියවන genre එකක් ද නොවේ. එසේ තිබියදී බැරැක් ඔබාමාගේ සිට මුහුණු පොතේ යහළුවන් කිහිප දෙනෙකු දක්වා ඉහළින්ම නිර්දේශ කළ මෙම විද්‍යා ප්‍රබන්ධ නවකතාව මා කියවන්නේ හුදු විද්‍යා ප්‍රබන්ධයකට වඩා යමක් ඇතිදැයි කුතුහලයෙන්. විද්‍යා ප්‍රබන්ධ නවකතා සඳහා ලබන ඉහළම අන්තර්ජාතික ත්‍යාගය වන හියුගෝ ත්‍යාගයෙන් පිදුම් ලැබූ Three Body Problem 2023 චීන රූපවාහිනී මාලාවකටද 2024 මාර්තු නව නෙට්ෆ්ලික්ස් කතාමාලාවකටද පදනම් වනවා. කතුවරයා වන සික්ෂින් ලියූ චීන ජාතිකයෙක් නිසාම   මෙම නවකතාව තුළ ප්‍රධාන චරිත මෙන්ම දෘෂ්ඨිකෝණයද චීන සංස්කෘතියට වඩාත් සමපාත වන බැවින් ඇතැම් විට බටහිර විද්‍යා ප්‍රබන්ධවලට වඩා අපට නුහුරු බවක් දැනිය හැකියි. Three Body Problem අයත් වන්නේ hard sci-fi ශානරයටයි - එබැවින් ඇතැම් භෞතික විද්‍යා සංකල්ප ගැන මූලික දැනුමක් තිබීම ප්‍රෙයාජනවත් විය හැකියි. නවකතාව එක කාල රේඛාවක් ගමන් නොකරන අතර අතීතය හා වර්තමානය අතර දෝලනය වනවා.

සික්ෂින් ලියූ


නවකතාව ඇරඹෙන්නේ 1968 වසරේ චීනයේ සංස්කෘතික විප්ලවය තදින්ම ක්‍රියාත්මක වූ අවදියක. යේ වෙන්ජී  ෂිංගුවා විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාව හදාරන දීප්තිමත් ශිෂ්‍යාවක්. ඇගේ පියා එම විශ්වවිද්‍යාලයේම භෞතික විද්‍යා මහාචාර්යවරයක් වූවත් සංස්කෘතික විප්ලවය යටතේ “බටහිර විද්‍යාව“ ප්‍රතික්ෂේප නොකරීම නිසා තරුණ විප්ලවවාදීන්ගේ උදහසට ලක්වී අවසන ඇය  ඉදිරිපිටදීම මරණයට පත් කරනු ලබනවා. ද්‍රෝහියෙකුගේ දියණියක් වශයෙන් ඇයව කම්කරු කණ්ඩායමකටත් පසුව සිරගෙටත් නියම කරනු ලබනවා. මේ නිසා හා Silent Spring වැනි පොත් කියවීම නිසා වෙන්ජි මානව වර්ගයා ගැන කෙමෙන් දැඩි කළකිරීමට පත් වනවා. කෙසේ වුවත් ඇගේ පියාගේ පැරණි ගෝලයෙක් නිසා ඇයට චීන රජයේ අභිරහස් රේඩියෝ තරංග මධ්‍යස්ථානයක් වෙත සම්බන්ධ කෙරෙනවා. අභ්‍යවකාශයට රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කිරීමට  ඉතා බලගතු ඇන්ටනාවක් එම මධ්‍යස්ථානය සතු වනවා. ඒ ඇන්ටනාව ආශ්‍රිතව පර්යේෂණ පවත්වන යේ වෙන්ජි 1971 වසරේ යවන දෛවෝපගත රේඩියෝ තරංග සම්ප්‍රේෂනයක් සමස්ත මානව වර්ගයාගේම ඉරණමට ඉතා දැඩිව බලපාන බව ඒ මොහෙතේ ඇය නොසිතන්නට ඇති.

වසර 40කට පසු වර්තමානයේ   බීජිං හි නැනෝතාක්ෂණය පිළිබඳ මහාචාර්ය වැං මියාඕ හට කැඳවීමක් ලැබෙන්නේ ලොව පුරා ඉහළ පෙලේ විද්‍යාඥයන් රැසක් මෑත කාලයේ සිය දිවි නසා ගෙන මරණයට පත් වීම සොයා බැලීමටයි. මොවුන් වැඩි දෙනෙක් සංකල්පීය භෞතික විද්‍යාවට සම්බන්ධ අය මෙන්ම Frontiers of Science නම් සංවිධානයේ සාමාජිකයන්. තමාටත් ඒ සංවිධානයට සම්බන්ද වන ලෙස ආරාධනයක් ඇති චීන රජයේ එහි ඔත්තු බැලීමට වැං මියාඕ යවනු ලබනවා. එහිදී Three Body නම් පරිගණක ක්‍රීඩාවක් ලෝකයේ ජනප්‍රිය වී ඇති බව ඔහු දැකගන්නවා. සූර්යයන් තුනක බලපෑමකට යටත් වූ ලෝකයක ඉරණම මේ පරිගණක ක්‍රිඩාවෙන් විස්තර කෙරෙන්නේ මානව ඉතිහාසයේ ප්‍රකට චරිත ක්‍රීඩාවේ චරිත බවට පත් කිරීමෙන්. සූර්යයන් තුන්දෙනෙකුගේ බලපෑම නිසා මේ ලෝකයේ ස්වභාවට ඉතාම අස්ථායි - මාරුවෙන් මාරුවට ස්ථායි යුගයක් හා අධි උෂ්ණත්වය හා අධි සීතල සහිත යුගයන් හටගන්නවා. මේ ආන්තික වෙනස් වීම් නිසා මේ ලෝකයේ ශිෂ්ටාචාරයන් ඇති වී නැති වී යනවා. මෙයට එකම පිළියම වස්තූන් 3ක බලපෑමට යටත් වන වස්තුවක හැසිරීම ගැන ගැටළුව එනම් Three Body Problem නිරාකරණය කිරීමයි.

මේ අතර ලෝකයේ සියලු ප්‍රබල රටවල්, ඇමරිකාව හා චීනය පවා, සතුරුකම් අමතකර කර කිසියම් බාහිර බිහිසුණු අනතුරකට මුහුණ දීමට එක්ව ක්‍රියා කරන බවත් වැං මියාඕ නිරීක්ෂණය කරනවා.

යේ වෙන්ජිගේ රේඩියෝ තරංග සම්ප්‍රේෂණය, වර්තමානයේ විද්‍යාඥයන්ගේ සිය දිවි නසාගැනීම් හා Three Body පරිගණක ක්‍රීඩාව අතර සම්බන්ධය කුමක් ද? ලෝකයේ බලගතු රටවල් ත්‍රස්ත කරන අනතුර කුමක්ද? Frontiers of Science සංවිධානයට මෙහෙවන අභිරහස් මානව විරෝධී සංවිධානයේ අරමුණ කුමක්ද?  මේක දැනගන්න ඔබ නවකතාව කියවන්නම ඕන.

චරිත නිර්මාණය අතින් දුබලතා තිබුනත් අනික් සෑම අතින්ම මා කියවූ විශිෂඨතම හා මානව වර්ගයාගේ පැවැත්ම සම්බන්ධ විවිධ පැතිකඩවල් ඔස්සෙ සිතීමට පොළඹවන ඉතාම උසස් මට්ටමේ හා ඉතාම සංකීර්ණ තුන් ඈදුතු නවකතාවක ආරම්භය මෙමඟින් සනිටුහන් කෙරෙනවා.

4 comments:

  1. මට හිතෙන්නේ මමත් ඔබ වගේ කියලා...

    ඒත් මේ කතාව කියවන්න ආස වෙන විදිහට ඔබ ඒ ගැන හදුන්වා දීලා තියෙනවා.

    ඉස්සර ආතර් සී ක්ලාක් ගේ විද්‍යා ප්‍රබන්ධ 2010, තුන් ඈදූනු පොත් ටික, විදුසර පත්තරේ ගිය විද්‍යා ප්‍රබන්ධ කෙටිකථා ටික පිස්සුවෙන් වගේ කියෙව්වෙ...ඒත් පස්සෙ කාලේ වෙනකොට විද්‍යා ප්‍රබන්ධ කියවන්න කම්මැලි ගතියක් එන්න ගත්තා..

    මං හිතන්නේ ඒ අසාව නැති වෙන්නෙ හේතු උනේ සමහර විද්‍යා ප්‍රබන්ධ හින්දම තමයි..
    ගොඩක් විද්‍යා ප්‍රබන්ධවල ඉන්නේ ෆ්ලැට් චරිත..ඒ චරිත හරියට ගොඩ නගලා නෑ...සමහර චරිත වල අදාලත්වයක් නෑ...

    සමහට ප්‍රබන්ධ වල කතා සැකිල්ලා සහ ගලා ගෙන යන වේගය අවුල්...

    තවත් සමහර එවාගේ කිසි ගැඹුරක් නෑ...ඕය වගේ හේතු හින්දා මට ඉස්සර පිස්සුවෙන් වගේ කියවපු විද්‍යා ප්‍රබන්ධ කියවන එක එපාම වෙලා ගිහින් තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මේක බටහිර විද්‍යා ප්‍රබන්ධ වලත් නුුදුටු සංකීර්ණ බවක් සමඟම හිතන්න පොළඹවන කතාවක්

      Delete
  2. චයිනා ටවුන් ගිය වෙලේ කඩේක තිබිල අවුරුද්දකට කලින් මේ පොත ගන්න හදල පිටු දෙක තුනක් කියවල තිබ්බ. දැන් ගන්නම හිතෙනවා. ත්‍රි බොඩි ප්‍රොබ්ලම් එක ගැන තාරකා විද්‍යව උගන්වනකොට උගන්වනවනේ https://en.wikipedia.org/wiki/Three-body_problem#:~:text=n%2Dbody%20problem-,The%20three%2Dbody%20problem%20is%20a%20special%20case%20of%20the,was%20proven%20by%20Karl%20F.

    ReplyDelete
    Replies
    1. මේක මමත් කල් දමමින් හිටපු එකක් - ඒත් කියවන්න ගත්තම හරිම ඉන්ටරස්ටින්

      Delete