Friday, May 13, 2022

ඔසී ගේ කඩේ

කුරුණෑගල -  රඹුක්කන  පාරේ (කටුපිටිය හරහා)  දම්බොක්කේ සිට කිලෝ මීටර් 8ක් පමණ ගිය විට මතව නම් කඩ මණ්ඩිය හමුවේ.  මීට අවුරුදු 30කට පමණ පෙර එය සිල්ලර කඩ කිහිපයක්, මුද්‍රණාලයක් හා කෑම කඩ කිහිපයක් පාරේ  එක් පසකින්ද ඉරිදා පොළ පවත්වන භූමිය අනෙක් පසින් ද පිහිටි ගමක් හා ප්‍රාදේශිය කුඩා නගරයක් අතර තත්ත්වයක පිහිටි ප්‍රදේශයක් විය. සෑම ඉරිදාවකම පවත්වන මතව පොළ අවට ගම්වල ජනයා එයට අද්දවන ප්‍රධාන අංගය විය. මේ හැරුණු විට කඩ මණ්ඩියට දකුණු දෙසින් කෙතේ ඇළ අවට වෙළ් යාය මැදින් දිවෙන ගම්සභා පාර පසෙකින් මතව ප්‍රදේශිය රෝහල හා සූතිකාගාරය පිහිටියේය. පසුකලෙක මහරගම පිළිකා රෝහලේ ප්‍රධානියෙක් බවට පත් වූ වෛද්‍ය මහේන්ද්‍ර එවක එහි වෛද්‍ය නිලධාරියා ලෙස සේවය කළ අතර ඊට අමතරව වෛද්‍ය සිවා ලෙස හැඳින්වුනු  ඇපොතිකරිවරයෙක්ද සේවය කළේය. මගේ තාත්තා මේ දෙදෙනාම සමඟ ඉතා සුහද වූ අතර මා කුඩා කල නිතරම ඇති වූ විවිධ අසනීපවලට ප්‍රතිකාර ගැනීමට ගියේ මේ දෙපළ ළඟටය. 

මේ වකවානුවේ ‌මතව නමක් දිනා සිටි චරිතයක් වූයේ ඔසී ය. ‌ටවුමේ පසෙක කුඩා ගරාජයක් පවත්වා ගෙන ගිය ඔහු මගේ පියා ගේ මිතුරෙකි. එමෙන්ම චණ්ඩියෙක් ලෙස ප්‍රසිද්ධ චරිතයකි. ඇතැම් විට පියා ගේ බෙන්ලි යතුරු පැදියේ විවිධ අලුත් වැඩියාවන් කරගත්තේ ඔසී මාර්ගයෙනි. 1991 පමණ ඔසී මතව කඩමණ්ඩියේ කුරුණෑගල පැත්තට වන්නට පිහිටි සිසිල්ගේ කඩයට යාබදව කෑම කඩයක් ආරම්භ කළේය. මේ සාමාන්‍ය කෑම කඩයකට වඩා හරක් මස් ආශ්‍රිත ආහාර වලට මුල් තැනක් දී ක්‍රියා කලේය. මගේ පියා නිතරම මේ කෑම කඩයට යෑම ප්‍රිය කලේ එහි ප්‍රණීත ආහාර ගැන කිහිප වරක් වරණනා කළේය. 

ඒ් මා පහේ ශිෂ්‍යත්වය ලියූ වසරයි. නෑකමින් මට ආච්චි කෙනෙක් හා අපේ විදුහලේ ආචාර්යවරියක් වූ පීරිස් ගුරුමහත්මිය පහේ ශිෂ්‍යත්වය සඳහා පවැත්වූ පංතියට මාවද ඇතුළත් කරගත්තාය. ඒ් පංතිය තිබුනේ ඉරිදා දිනවල පීරිස් මහත්මියගේ නිවස පිහිටි කුරුණෑගල  මල්කඩුවාව ප්‍රදේශයේය. ඉතින් සෑම ඉරිදාවකම උදේ පියාත් සමඟ යතුරු පැදියේ පිටුපස නැගී මල්කඩුවාවට යෑම සිදු කෙරිනි. මේ සෑම දිනකම මාත් පියාත් උදේ ආහාරය ගත්තේ ඔසී‌ගේ කඩයෙන් බව නොකිවමනාය. ඒ් වන විට ඔසීගේ සහායට සිටියේ තරමක් වයසක පුද්ගලයෙකි. 



කඩයට ‌ගොඩ වැදුනු විට උණු වතුුර වත් කළ පිඟන් දෙකක් ලැබේ. අපට අවශ්‍ය ඉඳි ආප්ප, පිට්ටු හෝ උණු උනු රෝස් පාන් යන ඔ්නෑම දෙයක් ඇණවුම් කළ හැක. මා වඩාත්ම ප්‍රිය කළේ දුම් දමන හරක් මස් හොද්ද සමඟ ලැබෙන ඒ් රෝස් පාන් කාල්වලටයි. ඇතැම් දිනක බාබත් සමඟ පිට්ටුද ආහාරයට ගතිමු. එකල අද මෙන් නොව කුකුළු මස් යනු සුඛෙෘ්පභෝගි ආහාරයකි. එහෙත් හරක් මස් සුලභ වූ අතර මස් හොද්ද සමඟ කෑලි විශාල ප්‍රමාණයක්ද ලැබනු බව මතකය.

 කෙසේ වුවත් අවාසනාවන්ත පරිදි ඔසීගේ ගරාජය මෙන්ම මේ කෑම කඩේද පැවතියේ සුළු කලක් පමණි. වසර කිහිපයකට පසු කිසියම් සිදුවීමක් නිසා ( දැන් මතක නැත) හෝ රෝගී වීම නිසා ඔසි ද අකාලයේ මරු වැළඳ ගත්තේය 

(Photos from internet) 


2 comments:

  1. බාබත් නැමති කෑම වර්ගය පිළිබඳ අසා තිබුනත් කෙදිනක දැක හෝ අනුභව කර හෝ නෑ. ඒවා සාදන්නේ හරකුන්ගේ බඩවැල් වලින්ද?

    ReplyDelete
  2. හරක් මස් සහ රෝස්ට් පාන් හ්ම්ම්

    ReplyDelete