“ඩ්‍රැකියුලා 20 වැනි සියවසට ගෙනාවොත් මොනව වේවිද?“ ප්‍රකට නවකතාකරු ස්ටීවන් කිං ව සිය බිරිඳ තබීතා ගෙන් අසන්නේ රාත්‍රී භෝජනය අතරතුර. “අපොයි මිනිහ නිව්යෝක් ගිහින් අර ඇට්ලන්ටාවේ මාග්‍රට් මිචල් ( ගෝන් විත් ද වින්ඩ් කතෘ) වගේ වාහනයකට යට වෙලා මැරිල යයි“ තබීතා පවසන්නේ විහිළුවක් ලෙසයි. කෙසේ වුවත් මේ අදහස ස්ටීවන් කිංගේ සිතේ බලපවත්වනවා. ‘ හොඳයි, මිනිහ නිව්යෝක් යන්නෙ නැතිව නව එංගලන්තයේ මේන් ප්‍රාන්තයේ පිටිසර කුඩා ටවුමකට ගියොත්?“ මේ සිතුවිල්ල ඔස්සේ ගොස් 1975 වසරේ ප්‍රථම වරට පල කරන ලද සේලම්ස් ලොට් යනු ස්ටීවන් කිංගේ දෙවැනි නවකතාව මෙන්ම බ්‍රැම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා නවකතාව 20 වන සියවසට යාවත්කාලීන කිරීමට ඔහු දැරූ හොඳ උත්සාහයක්. ස්ටීවන් කිං මෙසේ පවසනවා. “ මගේ මව බ්‍රැම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා පොත මා වෙත ලබා දෙන විට මගේ වයස අවුරුදු 8ක් හෝ 9ක්. එමෙන්ම වැම්පයරයන් ගැන කොමික් පොත් කියවීමට මා බෙහෙවින් ප්‍රිය කලා. ඩ්‍රැකියුලා පොතේ සිටියේ වයින් තොල ගාන්නක් මෙන් ලේ උරා බොන වික්ටෝරියානු ඉහළ පැළැන්තියේ වැම්පයරන්. එහෙත් කොමික් පොත් වල තිබුනේ වර්තමාන සමාජයේ ජීවත් වන කිසිඳු අනුකම්පාවකින් තොරව රුධිරය වගුරුවන බිහිසුණු වැම්පයර් චරිත. මට අවශ්‍ය වුනේ ඩ්‍රැකියුලා චරිතය ඒ විදිහේ කොමික් පොත් චරිතයක් විදිහට නැවතත් දකින නවකතාවක් තුළට අතර මා ජීවත් වූ පශ්චාත් වියෙට්නාම් යුද්ධ සමයේ ඇමරිකන් සමාජයේ පොප් සංස්කෘතික හරයන් ගැබ් කිරීමයි“
බ්‍රැම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා නවකතාවේ ඩ්‍රැකියලා නැමැති පෞරාණික පිශාච චරිතය පරාජය වන්නෙ නව නිපයීම්වලින් බලගැන්වුනු කාර්මික විප්ලවයෙන් සංවර්ධනය වූ පරිසරයක. එතනදි ඩ්‍රැකියුලාගේ පරාජය ගැන සැකයක් ඇති වන්නේ නැහැ - එය ශුභවාදි බලාපොරොත්තු සහිත නවකතාවක්. එසේ වුවත් විසිවන සියවසේ තාක්ෂණික දියුණු ලෝකයක ස්ටීවන් කිං සේලම්ස් ලොට් නවකතාව තුළ දක්වන්නේ එවැනි ශුභවාදි හැඟිමක් නොවේ. එය ඉතා අඳුරු අවසානයක් ගැන ඉඟි කරවන්නක්.
බෙන් මියර්ස් කුඩා කල වසර කිහිපයක් ජීවත් වූයේ මේන් ප්‍රාන්තවේ ජෙරුසලම්ස් ලොට් නොහොත් සේලම්ස් ලොට් කුඩා නගරයේ. එහි සිදුවූ බිහිසුණු සිදුවීමකින් පසු වසර ගණනක් අත් හැර දමන ලද, නගරයටම පෙනෙන කුඩා කඳු ගැටයක පිහිටි මාර්ස්ටන් මන්දිරය නම් අබලන් සුවිසල් නිවසේදි නව හැවිරිදි බෙන් මියර්ස් ඉතා භීෂණකාරී අත්දැකීමක් ලබනවා. එය ඔහුගේ සමස්ත ජීවිතයටම බලපාන්නක්. දැන් බෙන් තරමක් සාර්ථක නවකතාකාරුවෙක්. ඔහු නැවතත් සේලම්ස් ලොට් වෙත පැමිණෙන්නේ සිය බිරිඳගේ ඛේදජනක මරණයෙන් පසුව. ඒ මාර්ස්ටන් මන්දිරය හා එහි සියදිවි නසාගත් අයිතිකරු ගැන නවකතාවක් ලිවීමටයි. ඔහුට නැවතත් ආලය හමුවන්නේ සූසන් නෝට්න් තුළින්. ජීවිතය ගැන නැවතත් ශුභදායි බලාපොරෛාත්තු ඇති කරගන්නා විටම බිහිසුණු පෞරාණික අමානුශික බලවේගයක් මේ කුඩා නගරය කෙමෙන් ආක්‍රමණය කරමින් නගර වැසියන් එකිනෙකා අමනුෂ්‍යයන් බවට පත් කරනවා. ඒ අමනුෂ්‍ය බලවේගය සිය මධ්‍යස්ථානය කරගන්නේත් බෙන් භීතියට පත් කළ මාර්ස්ටන් මන්දිරයමයි. එකම පවුලේම එකිනෙකා සිය ගොදුරු බවට පත් කරගැනීමට ඒ අමුනෂ්‍ය බලවේගය මෙහෙයනවා. කිං සුපුරුදු පරිදි එක් එක් චරිතය ගැන පසුබිම් විස්තර තුළින් ඒ ඒ චරිතය ගැන අපේ සහකම්පනයක් ඇති කරන බැවින් ඒ චරිත ගොදුරු බවට පත් වන අපටත් එය දැනෙන්නට වන්නේ භිතිය ජනිත කරමින්. විශේෂයෙන් මා කම්පනයට පත් කළේ දස මසැති රැන්ඩි බිළිඳාගේ මරණයත් , උදෑසන දෑස් නොහරින සිය බිළිඳු පුතුට චොකලට් සිරප් කවමින් ඔහු පණ ගන්වන්නට තැත් කරන ඔහුගේ උමතුවට පත්වන මවගේත් ඛේදවාචකයයි. සේලම්ස් ලොට් සැබවින්ම මා භීතියට පත් කළ ස්ටීවන් කිංගේ නවකතා අතරින් ඉහළින්ම නිර්දේශ කළ හැකි නවකතාවක්
No comments:
Post a Comment