Wednesday, February 5, 2025

ලසන්තගේ මිනීමරුවො‍්

ලසන්ත වික්‍රමතුංග ගැන 1997 පමණ සිට විටින් විට අසා තිබුනත් ඔහු මුල් වරට දකින්නට අසන්නට ලැබෙන්නේ 2001 ඡන්දයට කලින් චන්ද්‍රිකා/ මංගල  - ජවිපෙ පරිවාස රජය සමයේ ටී එන් එල් ජනහඩ වැඩසටහනකිනි. එවක අලි කොටි ගිවිසුම ආණ්ඩුවේ මාධ්‍ය වල ප්‍රධාන මාතෘකාවක් වූ අතර ලසන්ත ඉතා චතුර ලෙස සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම සම සමව භාවිතා කරමින් ආණ්ඩුවේ චෝදනා තර්කානුකූලව බිඳ හෙලීය. ඉන්පසුව බිහිවූ එජාප රජයේ වැරදි මුල් වරට විවේචනය කළේද ඔහුයි. මිලින්ද මොරගොඩ, ජයලත් ජයවර්ධන ආදි එජාප අමාත්‍යවරුන් ඔහුගේ නිර්දය විවේචනයට හසුවිය. සුරනිමිල නම් අනවර්ථ නාමයෙන් ඔහු ලියූ Inside Politics කොළම එකල මම කියවීමට ප්‍රිය කළෙමි. ලසන්ත කිසිවිටකත් අපක්ෂපාතී මාධ්‍යවේදියෙක් නොවීය. ඔහු එජාපයේ රනිල් පාර්ශ්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේය. රනිල්ට එරෙහි එජාප ජ්‍යෙෂ්ඨයන් හට දේශපාලනිකව හා අන් අයුරින්  පහර දීමට ඔහු නොපසුබට විය. එසේ වුවත් වැදගත් කරුණ වන්නේ ඔහු රනිල්ගේ ගොට්ටෙක් නොවීමයි. එවක රනිල් පාර්ශ්වය (නමට හෝ)  පෙනී සිටි ලිබරල් සමාජ මතවාදය හා  මධ්‍ය දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්ති හා ලසන්තගේ අදහස් සමානුපාත වීම එයට ප්‍රධාන හේතුව විය. ඔහු දේශපාලකයන් හමුවේ අදීන විය. ඔවුන් ඔහුට “සර් මැඩම්” නොව “ඔයා “ විය. මහින්ද රාජපක්ෂ සමඟ තිබූ පුද්ගලික මිත්‍රත්වය පවා පළුඳු කරගෙන 2005 ජනාධිපතිවරණයේදී හෙල්පින් හම්බන්තොට ගැන සොයා බැලූවේ ලසන්තයි. එල් ටී ටී ඊ සංවිධානයට මුදල් දී ජනාධිපතිවරණය ආපසු හැරවීම ගැන සෙව්වේය.

ලසන්ත හා ඔහුගේ බිරිඳ රේන් වික්‍රමතුංග 1980 දශකයේ සන්ඩේ ටයිම්ස් කාර්යාලයේදී 


ඉන්පසු මහින්ද ලසන්තගේ සතුරෙකු විය. ආණ්ඩු ප්‍රේමි සී ඒ චන්ද්‍රප්‍රේමට අනුව විපක්ෂය රනිල් නිසා දුර්වල වී ආණ්ඩු මර්ධනය නිසා බෙදී වෙන්වී සිටි අවදියක  ලසන්ත යනු එක් මිනිසෙකුගෙන් සැදුම්ලත් විපක්ෂයක් ( One Man Opposition) විය.  2006 හෝ 2007 මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස වරක් නොසරුප් බසින් ලසන්තට ගිගිරූ විට ලසන්තද නොසරුප් නොවන වචන යොදා ගෙන ආපසු ජනාධිපතිට බැන වැදී පසුව පුවත්පතේද පළ කළේය. සමාජ මාධ්‍ය, පැය 24 නිව්ස් සයිකල් නොතිබූ ඒ කාලෙයේ  ලංකාවේ බහුතරයක් වූ ජනමාධ්‍යවේදින් අතරින් ලසන්ත වෙනස් වූ‍යේ මේ දැඩි නිර්භීත බව නිසා ය.

ලසන්ත මරා දැමුවේ ඇයි?  මිග් ගණුදෙනුව ගැන හෙලි කිරීම හෝ උතුරේ යුද්ධ අපරාධ ගැන සෙවූ නිසා යැයි මම විශ්වාස නොකරමි. ලසන්තගේ බිරිඳ සමඟ පසුව පුවත් සේවයක් ආරම්භ කළ උවිඳු කුලකුලසූරිය කියන්නේ ලසන්ත විදේශ රහස් ඔත්තු සේවයකට සම්බන්ධ නිසා මරා දැමුනු සොනාලි සමරතුංග තමා හා පැවසූ බවයි. එහෙත් එයත් විශ්වාස කිරීමට අපහසුය. වඩාත් වීමට හැකි දේ ලසන්ත හා වෛරය සිතේ තබා ගත් මරා හා ඔහු‍ගේ  දේශපලනාධිකාරය, කිලිනොච්චිය බිඳ වැටී සිය ජනප්‍රියත්වය මුදුන් පෙත්තේ තිබෙන මොහොතේ තමන්ට සැමදා හිසරදයක් වූ මාධ්‍යවේදියෙක් මහ පාරේ සුනඛකයෙකු මෙන් අමානුෂික ලෙස මරා දැමූ බවයි. ඉන්පසු ඒ මිනීමරුවෝ තවත් ඝාතන දෙකක් සිදු කොට අහිංසක දෙමළ මිනිසුන් දෙදෙනෙක් මරා පරීක්ෂණ අන් අතනට යොමු කළහ.

සාක්ෂි යටපත් කිරීම හා දේශපාලන බලපෑම් නිසා අවුරුදු 16කට කලින් සිදුවූ මේ ඝාතනය ගැන තවදුරටත් සෙවීමේ හැකියාව ඇතැයි මම විශ්වාස නොකරමි. එහෙත් ලසන්තගේ ඝාතනය සම්බන්ධ පවුල දේශපාලනිකව අවලංගු වී අවසානයේ තමාවම හිස මුදුන් තබා ගත් ජනතාවගේ වෛරයෙන් දිවි ගලවා ගැනීමට හමුදාවේ පිහිට පැතීමට සිදු වීම දෛවයේ සරදමක් විය.  

No comments:

Post a Comment