Monday, February 3, 2020

රහස් ඔත්තු සේවා පිලිබඳ ප්‍රබන්ධ සාහිත්‍ය නව මානයකට රැගෙන ගිය Tinker Taylor Soldier Spy






අද අප මෙන්ම ඔත්තු සේවාද සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන ඇතැම් වචන පවා හඳුන්වා දුන් රහස් ඔත්තු සේවා පිළිබඳ ප්‍රබන්ධ සාහිත්‍යයේ‍ මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍යයේද හොඳම නවකතාවක් ලෙස සැලකෙන ජෝන් ල කාරේ ගේ Tinker Taylor Soldier Spy ගැන විචාරය කිරීමට පළමුව එය බිහිවූ පසුබිම ගැන සලකා බලමු.  1950 සහ 1960 දශකවල MI6 ලෙස ජනප්‍රියව හැඳින්වෙන බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය (Secret Intelligence Service (SIS))  දැඩි පසුබෑමකට ලක්වුනා. එයට ප්‍රධානතම හේතුව වූයේ වංශවත් පවුල් පසුබිමක් සහිත හා   කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ  අධ්‍යාපනය ලබන සමයේ සෝවියට් කේජීබී ඔත්තු සේවයට සම්බන්ධ වූ කිහිප දෙනෙක් පසුව බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට බැඳී  ද්විත්ව ඒජන්තයන් ලෙස  එහි මර්මස්ථානවල සිටිමින් අභ්‍යන්තර තොරතරු සෝවියට් රුසියාවට ලබා දීම නිසා.   මින් සුප්‍රකටම හා වඩාත් බරපතල හානියක් කරපු පුද්ගලයා වූයේ හැරල්ඩ් ඒඩ්‍රියන් “කිම්” ෆිල්බි නම් රහස් ඔත්තු කරුවා. කිම් ෆිල්බි බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නියුතු නිලධාරීන්ගේ තොරතුරු කේජීබී සංවිධානයට ලබා දීම නිසා සේවයෙන් ඉවත් වීමට සිදුවූ එක් රහස් ඔත්තු ‍නිලධාරියෙක් වූයේ ඩේවිඩ් කෝන්වෙල්. පසුව ලකාරේ ලෙස ජනප්‍රිය නවකතාකරුවෙක් වන ඩේවිඩ් කෝන්වෙල් තම රහස් ඔත්තු සේවා ජීවිතය අවසන් කිරීමට මුල්වුන මෙම කිම් ෆිල්බි පිළිබඳ සිදුවීම ප්‍රබන්ධ සාහිත්‍යයට ගෙන එන්නේ මේ නවකතාව තුළින්. විශේෂයෙන්ම පංති භේදය දැඩිව පවතින ඉංගිරිසි සමාජයේ ආයතන ගත ව්‍යුහයට අයත් වංශවත් හා බලවත් පුද්ගලයන් සිය ෆැන්ටසි වෙනුවෙන්  විසින් සමස්ත සමාජයම පාවා ‍දෙන ආකාරයත්  සාමාන්‍ය ජනතාව එම ක්‍රියාවන්ගේ ඉත්තන් බවට පත් වන අයුරුත් මෙහි දක්වනවා.

ඩේවිඩ් කෝන්වෙල් නොහොත් ජෝන් ලකාරේ 

නවකතාවේ ප්‍රධාන චරිතය වන විශ්‍රාමික රහස් ඔත්තු සේවා නිලධාරී ජෝර්ජ් ස්මයිලි. ස්මයිලි ජේම්ස් බොන්ඩ් වගේ චරිතයක් නම් නොවේ. ඔහු පමණට වඩා විශාල ඇඳුම් අදින ගෙම්‍බෙකුගේ වැනි පෙනුමක් සහිත කුඩා ප්‍රමාණයේ පුද්ගලයෙක්. ස්මයිලි අති දක්ෂ රහස් ඔත්තු සේවා නිලධාරියෙක්. එහෙත් සිය පුද්ගලික ජීවිතයේදී දැඩි පසුබෑමට ලක් වූ අයෙක්. ස්මයිලි වැඩි කතාවක් සහිත පුද්ගලයෙක් නොවේ. ඔහුගේ හැඟීම් කියවීම අපහසුයි. එහෙත් ඔහු ඉතාම ආචාරශීලී අයෙක්. එමෙන් ඔහුගේ හැසිරීම සිහිගන්වන්නේ පරිපූර්ණ ඉංගිරිසි මහාත්මයෙකුගේ ගති ලක්ෂණ.
 ප්‍රවීන නළු ශ්‍රීමත් ඇලෙක් ගිනස් ජෝර්ජ් ස්මයිලි ලෙස

අතිශය අසාර්ථක රහස් ඔත්තු සේවා මෙහෙයුමක් නිසා ඔත්තු සේවා ප්‍රධානියාත් ඔහුගේ ළඟම ගෝලයා වන ස්මයිලිත් ඒ වන විට බලෙන්ම මෙන් විශ්‍රාම ගන්වා ඇත්තේ. එසේ වුවත් රහස් ඔත්තු සේවය හා මුදල් අමාත්‍යාංශය අතර සම්බන්ධීකාරක වන ඔලිවර් ලැකොන්ගෙන්  ස්මයිලි වෙත කැඳවීමක් ලැබෙන්නේ ඊට මාස කිහිපයකට පෙර “අතුරුදන්” වී සිට නැවත රහසේ එංගලන්තයට පැමිනි රහස් ඔත්තු සේවා නියෝජිත රිකී ටාර් හමුවීම සඳහායි. රිකී ටාර්ගේ අවසන් මෙහෙයුම සිදුවූ  හොංකොං හිදී ඔහුට හමුවන රුසියානු ඔත්තු නියෝජිතවරියක පවසන්නේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ ඉහළම ස්ථරයේ ජෙරල්ඩ් ලෙස හැඳින්වෙන සෝවියට් කේජීබී  ද්විත්ව ඒජන්තයෙකු ක්‍රියා කරන බවත් දශක ගණනක් තිස්සේ ජෙරල්ඩ් විසින් අතිශය වැදගත් තොරතුරු සෝවියට් රුසියාවට ලබා දෙන බවත් . තව දුරටත් මෙම ද්‍රෝහියා ගැන තොරතුරු ලබා දීමට නම් තමන්ට බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ ආරක්ෂාව යටතේ එරට පදිංචි වීමට අවස්තාව ‍ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටිනවා. එහෙත් රිකී ටාර් මෙය ලන්ඩනයේ මූලස්ථානයට දැන්වූ පසුදිනම රුසියානු නිලධාරිනිය විශේෂ ගුවන්යානයකින් බලහත්කාරයෙන් මොස්කව් වෙත ගෙන යාමට රුසියානු බලධාරීන් ක්‍රියා කරනවා. මේ නිසා බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ රුසියානු ද්විත්ව නියෝජිතයෙක් සිටින බවට තහවුරු වනවා. බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ ඉහළම ස්ථරයේ සතර දෙනෙකු සිටිනවා. එනම් ප්‍රධානී පර්සි ඇලලයින්, ස්මයිලිගේ බිරිඳගේ ඥාතියෙක් හා අති දක්ෂ නිලධාරියෙක් වන බිල් හේඩ්න්, ටෝබි එස්ටර්හේසි, රෝයි බ්ලෑන්ඩ් - ද්විත්ව ඒජන්තයා මින් එක් අයෙකු විය යුතුයි.ඔලිවර් ලැකොන් ජෝර්ජ් ස්මයිලිගෙන් ඉල්ලා සිටින්නේ මෙම ද්විත්ව නියෝජිතයා සොයා ගන්නා ලෙසයි. එම නිසා ස්මයිලි ඉතාම ස්වල්ප දෙනෙකුගේ සහයෝගය ඇතුව අභිරහස් මෙහෙයුමක් අරඹනවා..
මෙම නවකතාව ගලා යන්නෙ ඉතාම සෙමෙන්. සෑහෙන ඉවසීමකින් තොරව ඔබට මෙය කියවිය නොහැකියි. එමෙන්ම  ලකාරේ කිසිවක් හැන්දකින් කවන්න යන්නේ නැහැ. චරිතවල සිතුවිලි, ක්‍රියාකාරකම් හා කතා බහ තුළින් සිදු වී ඇති දේවල් පාඨකයාටම නිගමනය කර ගැනීමට සිදුවනවා. මෙය හුදු රහස් ඔත්තු සේවා නවකතාවක්ම නොවීම එයට හේතුව විය හැකියි. එම නිසා ඉයන් ෆ්ලෙමින්, ටොම් ක්ලැන්සි, ෆෙඩ්රික් ෆෝසයිත්, ජැක් හිගින්ස් හෝ රොබට් ලුඩ්ලම් වැනි රහස් ඔත්තු සේවා පිළිබඳ ප්‍රබන්ධ ලියූ අන් සියලු කතුවරුන්ට වඩා ජෝන් ලකාරේ වෙනම පංතියකට අයත් වනවා. එනම් පෙර සඳහන් කළ කතුවරුන් හුදු කතන්දර කියන්නන් වන විට ජෝන් ලකාරේ යනු පරිපූර්ණ හා විශිෂ්ට නවකතාකරුවෙක් වීමයි.

1 comment:

  1. ජොන් ල කාරේ ගේ නවකතා හොඳ නමුත් ඒවා කියවීමට නම් වෙනම කෝස් එකක් කරන්න වෙනවා. මට මතකයි කතාව මං තුන් හතරපාරක් අයින් කරලා ඊට පස්සෙයි පටන් අරගෙන දිගටම කියවන් ගියේ. අති විශිෂ්ඨයි නමුත් අරක තමයි දුර්වලතාව!

    ReplyDelete