Monday, September 26, 2016

ලංකාවේ හැදූ "මිනී කන්නන්ගේ දේශය" The Further Adventures of a Tennessee Buck

මා කියවීමට හුරුවූ කාලයේ එනම්  1989 දී පමණ ඉරිදා දිවයින පුවත්පතේ මුල් පිටුවේ පුවතක් අදත් මගේ මතකයේ නොමැකී රැඳි තිබෙනවා. චිත්‍රපටයක වීඩියෝ පටයකින් උපුටා ගත් අපැහැදිලි ඡායාරූප කිහිපයකුත් සමඟ ලංකාවේ රූගත කළ, ලාංකික නළු නිළියන්ද චරිත නිරූපණය කළ  “ මිනී කන්නන්ගේ දේශය“ නමින් දිවයින පුවත්පත හැඳින්වූ සිනමා පටයක් පිළිබඳවයි ඒ මුල් පිටුව.  

 දිවයින පුවත්පත එවක එජාප රජයට එරෙහි වාමාංශික ජාතිකවාදී මතවාදයක් නිරූපණය කළ නිසා රට තුළ රජයේ විවෘත ආර්ථික ක්‍රමයේ අයුතු ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ලංකාව ගැන ලෝකයාට විකෘති ප්‍රතිරූපයක් මවන සිංහල කතා කරන වනචාරි ගෝත්‍රියකයන් සිටින චිත්‍රපටයක් තැනීමට ඉඩ දීම ගැන දැඩි දෝෂාරෝපණයක්ද ලිපියේ අන්තර්ගත වුනා විය හැකියි. 

ඒ දිනවල මේ චිත්‍රපටය ගැන දැඩි ආණ්දෝලනයක් ඇති වූවත් පසුකාලීනව Land of Cannibals නමින් චිත්‍රපටයක් අන්තර්ජාලයේ සෙව්වත් හමුවූයේ නැහැ. පසුව අහම්බයෙන් මා සොයාගත් පරිදි මේ චිත්‍රපටයේ සැබෑ නම The Further Adventures of a Tennessee Buck. 1980 දශකයේ මුල් භාගයේ ස්ටීවන් ස්පීල්බර්ග් හා ජෝජ් ලූකස් යන ප්‍රකට සිනමාවේදී සුසංයෝගයෙන් ඇරඹූනු හැරිසන් ෆෝඩ් රඟන ඉන්දියානා ජෝන්ස් චිත්‍රපට පෙළට සමාන ආකාරයකින් නිෂ්පාදනය කළ එහි බාල අනුකරණයක් මෙය - මෙවැනි චිත්‍රපට සාමාන්‍යෙයන් හැඳින්වෙන්නේ B grade චිත්‍රපට ලෙසයි. 

 චිත්‍රපටය ආරම්භයේම දැක්වෙන්නේ මෙය ලංකාවේ රූගත කළ බවයි. එසේ වුවත් එයට පාදක වන්නේ බෝර්නියෝ රටයි. එහි චාරිකාවකට යන සුදු යුවළක් මුහුණ වනචාරී ගෝත්‍රිකයන්ට හසු වීමෙන් මුහුණ පාන බිහිසුණු අත්දැකීම චිත්‍රපටය තුලින් දැක්වෙනවා. ඉතාම ප්‍රාථමික මට්ටමේ රඟපෑම් හා නිල් චිත්‍රපටවල රඟපෑ සුදු නිළියක් (කේති ෂවර් ) මඟින්  ලිංගිකත්වයද උලුප්පා දැක්වීමට තැත්කරන මෙය ඉන්දියානා ජෝන්ස් කතාමාලාවට ලඟින්වත් තැබිය නොහැකියි. සිංහල කතා කරන සරම් අඳින “වනචාරීන්“ මෙන්ම ඒ  දිනවල සිංහල සිනමාවේ දුෂ්ටයා ලෙස රඟපෑමෙන් ප්‍රසිද්දියට පත් නලුවෙක්ද මෙහි දැකිය හැකියි. කෙසේ වුවත් සිංහල සිනමාවේ A ශ්‍රේනියේ නලු නිළියන් නම් මෙහි දක්නට නෑ. 

පහත සැබැඳිය මඟින් අන්තර්ජාලය තුළින් මේ චිත්‍රපටය නැරඹිය හැකියි. කෙසේ වුවත් ලංකාව හා සම්බන්ධය විනා  ඩේටා වැය කරගෙන නැරඹීමට තරම් වෙනත් කිසිඳු වටිනාකමක් මේ තුල නැති බවද සඳහන් කළ යුතුයි. 

http://fmovies.to/film/the-further-adventures-of-tennessee-buck.orz4/29vzk2

Monday, September 19, 2016

වල්පොළ රාහුල හිමියන්ගේ “බුදුන් වදාළ ධර්මය“ What the Buddha Taught by by the Ven. Walpola Rahula

ප්‍රධාන කොටම පුද්ගලික හේතූන් මත ආගම් ඇදහීම අත්හැර දැම්මත්,  රටේ ප්‍රධානම ආගම වන බුදු දහම පිළිබඳ උගෙනීමට සෑහෙන කලක සිට මට ආශාවක් ඇතිව තිබුනා.  මා බෞද්ධයෙක් ලෙස කුඩා කල සිට හැදුනු වැඩුනු අයෙක් නොවන නිසා  දැනටමත් බුදු දහම අදහන්නන් වෙත ලියවුනු බහුල වූ පොත් පත් කියවීමට මා තුළ වූයේ දැඩි කුසීත බවක්.   මගේ මිතුරියක් වල්පොළ රාහුල හිමියන් විසින් රචිත What the Buddha Taught පොත් පිංච මා වෙත ලබා දෙන්නේ මේ නිසායි. 


 වල්පොළ රාහුල හිමියන් මේ කෘතිය ලියන්නේ පැරීසියේදී. මුල් වරට ප්‍රකාශයට පත් කෙරෙන්නේ 1959 වසරේදී. මෙහි  ඉලක්ක ගත පාඨක පිරිස එතුමාම පෙරවදනේ සඳහන් කරන පරිදි ඉංගිරිසි කියවන බුදු දහම ගැන දැනුමක් නැති අය, එනම් බොහෝ දුරට බටහිර ජනතාව. සරලව විස්තර කර දීමට රාහුල හිමියන් උත්සාහ දැරුවත් බුදු දහමේ සංකීර්ණත්වය පිළිඹිඹු වන පරිදි තමන් විසින්ම උත්සාහයෙන් වටහා ගැනීමට ඉඩ ලබා දී තිබෙනවා. පරිච්ඡේද බෙදා ඇති පරිදි පළමුව බුදුන් වහන්සේ ගැන මූලික හැඳින්වීමක් කර ඉන්පසුව බුදුදහමේ පදනම වන චතුරාර්ය සත්‍යයන් පිළිබඳව හැඳින්වීමක් කරනවා . ඊළඟ පරිච්ඡේදයන් හතරේ මේ එක් එක් චතුරාර්ය සත්‍යය විස්තර කරන්නේ ඒවා අතර බැඳිමද අවබෝධ කරමින්. 

මෙහිදී බුදු දහමේ එන නිර්වාණය යනු කුමක්දැයි මොනොවට පැහැදිලි කරනවා. නිර්වාණය යනු සරලවම පංචස්කන්ධයේ සත්‍ය ස්වරූපය දැකීම එනම් පරම සත්‍ය අවබෝධ කරගැනීම බවත් මෙලෙස සත්‍ය ඇති සැටියෙන් අවබෝධ කරගැනීම නිසා සංසාරය දිගු කරන බලවේගයන්ගේ මායාව අවබෝධ වීම නිසා   සංසාර චක්‍රයෙන් ගැලවීමට ලැබෙන බවත් විස්තර කෙරෙනවා. එමෙන්ම මේ පරම සත්‍යය අවබෝධ කරගැනීම සඳහා ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමන කළ යුතු බවත් පැවසෙනවා. .  මට හැඟෙන ආකාරයට නිර්වාණය පිළිබඳව ලැබුනු හොඳම වැටහීම මෙයයි. ඉන් පසුව අනාත්ම බව පිළිබඳ පැහැදිලි කිරීමක්ද එමෙන්ම පටිච්ච සමුප්පාදය පිළිබඳව කෙටි හැඳින්වීමක් ද ඇතුළත් වෙනවා.  

එදිනෙදා ජීවිතයේදී ප්‍රාෙයා්ගික ආකාරයෙන් භාවනා කරන්නේ කෙලෙසද යන්න ඊළඟට විස්තර වෙනවා- විශේෂයෙන් නිරන්තරවම සම්මා සතිය පවත්වා ගන්නා අයුරුද උදාහරණ ඇසුරින් වටහා දෙනවා. අවසාන වශයෙන් වර්තමාන ලෝකය තුළ බුදු දහමේ ප්‍රාෙයා්ගික භාවිතය ගැන විස්තර කෙරෙනවා. දහම ගැන ඇති මිත්‍යාවන් දුරලීම සිදුකරනවා.  බුුදු දහම තුළින් විමුක්තිය ලබා ගත හැක්කේ සියලු දේ අත්හැර කැලයකට ගොස් භාවනා කිරීම තුළින් නොවන බවත් ධාර්මික ගිහි  ජීවිතයක් ගත කරමින් සිය පවුලට සමාජයට යුතුකම් ඉටුකරමින් නිර්වාණය වටහා ගත හැකි බවත් දැක්වෙනවා. මේ අනුව සංඝ සංස්ථාව ඇති කොට ඇත්තෙ මෙවැනි ගිහියන්ට මඟපෙන්වීමට බවද රාහුල හිමියන් පෙන්වා දෙනවා. මෙහිදී උපහැරණ ලෙස සිගාලෝවාද සූත්‍රය ගෙනහැර දක්වනවා. එමෙන්ම රාෂ්ට්‍ර පාලනයේදී බුදු දහම උපයෝගි වන ආකාරයද මෙහි විස්තර වෙනවා. දසරාජ ධර්මය ගැනද රටක ආර්ථිකය නැංවීම මඟින් දිළිදු බව තුරන් වීම නිසා අපරාධ අඩුවන බවට බුදුන් වහන්සේ පැවසූ අයුරුත් සඳහන් වෙනවා. 

අවසාන වශයෙන් බුදුදහම “යුද්ධය“ සම්පූර්ණයෙන් පිළිකෙව් කරන බවත් කිසිඳු යුද්ධයක් බුදු දහම අනුව “ සාධාරණ යුද්ධයක්“ ලෙස නොසැලකිය හැකි බවත් රාහුල හිමියන් පවසනවා. එතුමා මෙලෙස පවසන්නේ ධනවාදී හා කොමියුනිසට් කඳවුරු අතර සීතල යුද්ධය ඇවිලී ගිය වකවානුවක න්‍යෂ්ඨික ප්‍රහාරයන් ගැන බටහිර වාසීන් අතර බියක් පැතිර ගිය වකවානුවක බව අප අමතක කළ යුතු නැහැ. කෙසේ වුවත් රාහුල හිමියන් මීට කලින් පළ කළ “භික්ෂූවකගේ උරුමය“ කෘතියේත් ඉන්පසුවත් උන්වහන්සේ මෙවැනිම වූ ස්ථාවරයක් පිළිපැද්දාද යන්න අපැහැදිලියි. 1997 එතුමා අපවත් වීමෙන් පසු  සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියන රොෂාන් පීරිස් ලංකාවේ සිවිල් යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡාමය විසඳුමකට එතුමා එකඟ නොවූ බව පවසනවා. එතුමාගේ වදන්වලින්ම පවසනවා නම් “ ''you are talking of peace and maithri. What maithri and peace is there when the terrorists in the North and East are trying to divide our country asking for Eelam.''

රාහුල හිමියන්ගේ මෙම කෘතිය අන්තර්ජාලය ඔස්සේද පහත ලිංකුවෙන් ඔබට කියවීමට හැකියි https://sites.google.com/site/rahulawhatthebuddha/

Monday, September 5, 2016

ජෝන්ස්ටවුන්හිදී මරණයට පත් මාක්ස්වාදී උතෝපියාව The Marxist Utopia that died in Jonestown

වර්තමානයේ අප දන්නා පරිදි වැඩිම ඇමරිකානු සාමාන්‍ය වැසියන් පිරිසක් එකවරකදී මිය ගිය අවස්ථාව වන්නේ 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරයි. එසේ වුවත් ඊට පෙර එම ස්ථානය හිමිවූයේ 1978 නොවැම්බර් 18 වැනි දින ඇමරිකානුවන් 900කට අධික ප්‍රමාණයක් ගුයානාවේ පිටිසරබද පෙදෙසක පිහිටි ජෝන්ස්ටවුන් නමින් හැඳින්වූ කෘෂිකාර්මික ජනාවාසයක් තුළදී  සිය දිවි නසාගැනීමේ අවස්ථාවටයි. සමූහ සිය දිවි නසාගැනීමක් ලෙස හැඳින්විය හැකි මෙම අවස්ථාවේදී කිරිදරුවන් පවා  සිය දෙමව්පියන් අතින්ම මරණයට පත්වූ බව සඳහන් වනවා. මෙම ජෝන්ස්ටවුන් ජනාවාසයෙහි සිටි සියලු දෙනා "පීපල්ස් ටෙම්පල් (මහජන දෙවොල) " නම් ආගමික සංවිධානයක සාමාජිකයන්. මෙහි නායකයා වූයේ ජිම් ජෝන්ස් නම් හිටපු පාස්ටර්වරයා (ජනාවාසය හැඳින්වූයේ ඔහුගේ නමින්) . මේ සිදුවීම්වලින් පසු ජනමාධ්‍ය මඟින් People's Temple යනු ඇදහිලි කල්ලියක් (religious cult)  ලෙස හැඳින්වූවත් එවක හා වර්තමානයේ පැවති හා පවතින ඇදහිලි කල්ලිවලට වඩා මහජන දෙවොල බෙහෙවින් වෙනස් වන්නේ එය දේශපාලනික ඇදහිලි සංවිධානයක් වීමයි (political cult) . එම සංවිධානයේ මේ සංකීර්ණතාව එහි නිර්මාතෘවරයා හා බැඳී පවතිනවා. 
මහජන දෙවොල ගැන ටයිම් සඟරාවේ මුල් පිටුව 

ජිම් ජෝන්ස් 

ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ දිළිඳු පවුලක උපත ලබන ජෝන්ස් සිය ළමා විය ගතකරන්නේ ඇමරිකාවේ මහා ආර්ථික අවමනය (Great Depression) නිසා ඇතිවන ද්‍රරිද්‍රතාවයෙන්. තම ළමාවියේ ගෙවූ ඒ දිළිඳු ජීවිතය නිසා කුඩා කල සිටම ජෝන්ස් ඇමරිකාවේ වර්ගවාදයේ ගොදුරු බවට පත් ව සිටි කළු ජාතිකයන් කෙරෙහි සානුකම්පිත දැක්මක් සහිතව සිටි බව පැවසෙනවා. එමෙන්ම ඔහු දැඩිව කියවීමට ඇබ්බැහි වූයෙක්. සියලුම ජාතීන් හා පංතීන්ට එකට සලකන බව පැවසෙන කමියුනිස්ට්වාදය මේ මුල් අවදියේ සිටම ජෝන්ස්ගේ ආකර්ෂණයට ලක්වුනා. මේ සඳහා ඔහුට සිය මවගේ අනුබලයද ලැබුනා. 
ජිම් ජෝන්ස්
දේශපාලනය හා ආගම

කෙසේ වුවත් 1950 දශකය වන විට සීතල යුද්ධය තුළ කමියුනිස්ට් විරෝධී හැඟීම් උත්සන්නව පැවතුනා. ඇමරිකානු සමාජය තුළ කමියුනිස්ට්වාදයට තිබුනු දැඩි විරෝධය නිසා ජෝන්ස් මුලින්ම තම දැඩි වාමාංශික අදහස් පිරිස් වෙත පැතිරවීම සඳහා යොදා ගත්තේ ආගමයි. 1930 දශකයේ සිටම ඇමරිකාව තුළ මූලධාර්මික කිතුණු නිකායන්  වර්ධනය වෙමින් පැවතුනා. සුවකීරීමේ මෙහෙයන්, සමූහ ගායනා ආදි නවමු අංග රැගත් මේ දේව මෙහෙයන් ඇමරිකා‍වේ බයිබල් තීරුවේ හා මැද බටහිර ප්‍රදේශවල ජනප්‍රියව පැවතුනා. 

මෙවැනි කිතුණු නිකායක් ආරම්භ කිරීම මඟින් අනුගාමිකයන් පිරිසක් තනාගෙන සියුම්ව තම දේශපාලනික මතවාදයන් සම්ප්‍රේෂණය කරවීම ජෝන්ස්ගේ උපක්‍රමය වුනා. මේ සඳහා ඔහු මුලින්ම මෙතොදිස්ත පල්ලියක දෙවැනියා ලෙස පත්වුනා. එහෙත් එවකට වර්ගවාදී ලෙස කළු සුදු ජාතීන් වෙන්කෙරුනු (Segregation) ඇමරිකාවේ කළු ජාතිකයන්ද දේව මෙහෙයන්ට එක් කරගැනීමට ඔහු පියවර ගැනීම නිසා කෙටිකලක් ඇතුළත එම පල්ලියෙන් ඔහු ඉවත් කෙරෙනවා. පසුව 1956 දී තම සිහිනය සැබෑ කරගනිමින් සුදු හා කළු ජාතිකයන් එක්ව දේව මෙහෙයේ යෙදෙන මහජන දෙවොල ඉන්දියානාපොලිස්හි ආරම්භ කරනවා. ජෝන්ස්ගේ ප්‍රගතිශීලි මතවාදයන්ට එවකට එම පෙදෙසේ සුදු ජාතිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූවත් ඔහු එය නැවැත්වූ‍යේ නැහැ. 

කෙසේ වුවත් සියලු වාර්ගිකයන් සාමයෙන් සිටින පොදු දේපළ සහිත කමියුනිස්ට් උතෝපියාවක් නිර්මාණය කිරීමේ සිහිනය ජෝන්ස් සිතින් ඉවත් කරගත්තේ නැහැ. මේ නිසාම 1960 දශකය වන විට වඩාත් ලිබරල් පරිසරයක් තිබූ කැලිෆෝනියාව‍ට ඔහු තම සංවිධානය රැගෙන ගියා. කැලිෆෝනියාවේදී මේ සංවිධානය කෙමෙන් වැඩෙන්න‍ට වූයේ සමකාලීන සමාජ දේශපාලනික තත්ත්වවල බලපෑමත් සමඟයි. එමෙන්ම කැලිෆෝනියාවේ ප්‍රබල ලිබරල් දේශපාලඥයන්ගේ අනුග්‍රහයද කෙමෙන් ජෝන්ස් හට ලැබුනා. මේ නිසා ප්‍රමාණාත්මක සිවිල් බලයක් ඔහු‍ වෙත පැවරුණා. 

කෙසේ වුවත් සංවිධානයේ විවිධ අයථා ක්‍රියා සම්බන්ධයෙන් කලින් එයට සම්බන්ධ වී පසුව ඉවත් වූ යම් කණ්ඩායම්වලින් චෝදනා එල්ල වන්නට වුනා. මේ නිසා තමන්‍ට එරෙහිය දක්ෂීණාංශික කුමන්ත්‍රණයක් ඇතිබවට පැරනොයියාවක් ජෝන්ස් තුළ ඇති වුනා. එබැවින් තම සමාජවාදී උතෝපියාව ඇමරිකාවෙන් බැහැර ව ඇති කිරීම සඳහා ජිම් ජෝන්ස් අවසන තෝරා ගත්තේ දකුණු ඇමරිකාවේ ගුයානාවයි. 

ජෝන්ස්ටවුන් ඛේදවාචකය
ජෝන්ස්ටවුන් හි දරුවන් පිරිසක් 

ගුයානා හි එවකට තිබුනේ සමාජවාදී රජයක්. එමඟින් පිටිසර බද ප්‍රෙද්ශයක විශාල බිම් කොටසක් බදුගෙන ජෝන්ස්ටවුන් නම් කෘෂිකාර්මික ජනාවාසයක් පිහිටුවීමට ජෝන්ස් කටයුතු කළා. තම මාක්ස්වාදී සිහිනය අනුව ස්වයංපෝෂී කොලනියක් මෙන් ජෝන්ස්ටවුන් ජනාවාසය නිර්මාණය කළා. එහි සියලු දෙනා වැඩෙහි නිරතවුනා. අවශ්‍ය එළවළු, මස් ආදිය ගොවිපළ තුළින්ම සපයා ගත්තා . එමෙන්ම කළු සුදු භේදය සම්පූර්ණයෙන්ම ඉවත් කොට ඔවුන් සහෝදරත්වයෙන් ජීවත් වුනා. කෙසේ වුවත් කොලණියේ ජනගහනයෙන් 90%ක් පමණම කළු ජාතිකයන් වුනා. ඔවුන් පවුල් ලෙස ජීවත් වූ අතර කුඩා දරුවන් හා බිළිදුන් විශාල ප්‍රමාණයක්ද වයෝවෘද්ධ විශ්‍රාමිකයන්ද මේ අතර වුනා. සියලු දෙනා සතුටින් ජිවත් වන බව පෙනුනත් ජෝන්ස් සතුව තුවක්කු ගත් සන්නන්ධ කණ්ඩායමක්ද තිබුනා. 

මේ අතර ඇමරිකාවේ මහජන දෙවොල ගැන විවාදය දිගටම පැවතුනා. එම සංවිධානය තුළ සිටින සිය දරුවන් නැවත ලබා දෙන ලෙස සංවිධානයෙන් ඉවත් වූ පිරිස් උද්ඝෝෂනය කළා. මේ නිසාම කැලිෆොනියාවේ කොන්ග්‍රස් සභිකයෙක් වූ ලියෝ රයන්, එම ඥාතීන් හා මාධ්‍යෙව්දීන් පිරිසක් සමඟ ජෝන්ස්ටවුන් වෙත පැමිනියා. මුලදි රයන් ඇතුළු පිරිස හොඳින් පිළිගැනුනත් ජෝන්ස්ටවුන් හි සිටි තවත් අනුගාමිකයන් පිරිසක් රයන් සමඟ ආපසු යාමට උත්සාහ කිරීම නිසා ගැටුම් කාරී තත්ත්වයක් පැන නැගුනා. අවසානයේ ජනවාසයෙන් එපිට නවතා තිබූ තම ගුවන්යානයට ගොඩවීමට සිටින මොහොතේදී ජෝන්ස්ටවුන් සිට පැමිණි සන්නන්ධ කණ්ඩායමක් මේ පිරිසට ප්‍රහාරයක් එල්ල කළා. එය අවසන් වූයේ කොන්ග්‍රස් සභික ලියෝ රයන්ගේ මරණයෙන්. තවත් මාධ්‍යෙව්දීන් කිහිප දෙනෙක්ද මේ ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත් වුනා. 

මේ සිදුවීමත් සමඟ තවදුරටත් තමාට හෝ සංවිධානයට ලෝකයෙන් වසං වී සිටිය නොහැකි බව ජෝන්ස් තේරුම් ගත්තා. එදින රාත්‍රිෙය්ම සමූහ සිය දිවි නසාගැනීම ඇරඹුනා. නෙක්ටෝ වලට සමාන ෆෙලේවර් ඒඩ් නම් සිසිල් බීම වර්ගය සහිත විශාල භාජනවලට පොටෑසියම් සයනයිඩ් කලවම් කර සියලු දෙනා පානය කළා. දරුවන්ට දෙමාපියන් ඒවා ලබාදුන්නා. ඉතාම කාලකණ්නි ලෙස කිරිදරුවන්ටද මේ විස පානය ලබා දී තිබුනා. ජිම් ජෝන්ස් ද සියතින්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගත්තා. පසු දින පහන් වන විට ජෝන්ස් ටවුන් සංකීර්ණයම එකම මළ කඳන් ගොඩක් බවට පත්ව තිබුනා. පසුව ඇමරිකානු හමුදාවන් මඟින් කුණුවී පිම්බී තිබූ මේ මළ සිරුරු ආපසු ඇමරිකාවට එවීමේ කාර්යය කරන ලද්දේ ඉතාම අසීරුවෙන්. 
ජෝන්ස්ටවුන් ජනාවාසය පුරා මළ සිරුරු විසිරී තිබූ අයුරු 

සමකාලීන ජනමාධ්‍යත් ඉන් පසුවත් මහජන දෙවොල හඳුන්වන්නේ ආගමික ඇදහිලි කල්ලියක් ලෙසයි. එසේවුවත් අදේවවාදියෙක් වූ ජිම් ජෝන්ස් ආගම මුවාවෙන් ඇති කරගත්තේ මාක්ස්වාදී ඇදහිලි කල්ලියක්. ලංකාවේද මාක්ස්වාදි/ සමාජවාදී මතයන් අනුගමනය කරන දේශපාලන පක්ෂ ඇදහිලි කල්ලි මෙන් ක්‍රියා කරන බව මගේ නිරීක්ෂණයක්. 

Saturday, September 3, 2016

ඉන්දිරා ගාන්ධි හා මොරාජි දේසායි Indira Gandhi and Moraji Desai

මෙම සටහන  මුල් වරට  පළ  කෙරෙන්නේ ෆේස්බුක්  සමූහයක 2015 ජනවාරි 14 දිනය. එනම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් සතියකට පමණ පසුවය. 


1971 ඉන්දීය මහ මැතිවරණයෙන් පත්වූ ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය ඥාති සංග්‍රහය, ජනතා අයිතිවාසිකම් සීමා කිරීමට හා දූෂණයට මුල් තැනක් දී කටයුතු කළේය . ඇගේ බාල පුතුණුවන් වූ සංජේ ගාන්ධිගේ ක්‍රියාකලාපය නීතිය ඉක්මවා යමින් රට වැසියන් පීඩාවට පත් කළේ ය. මෙහි උච්ඡ අවස්ථාව වන්නේ 1975 රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා පුවත්පත් නිදහස් මෙන්ම විපක්ෂයද තහනම් කරමින් හදිසි නීතිය යටතේ රට පාලනය කිරීමට ගාන්ධි මහත්මිය පෙළඹීමයි.

1971 සෝදාපාළු ජයග්‍රහනයක් ලබා ගත් ඇගේ රජයට එරෙහිව මේ නිස ප්‍රබල ජනතා විරෝධයක් ගොඩනැගිනි. මේ නිසා විපක්ෂ ව්‍යාපාරය විවිධ පක්ෂ එකතු වී කොන්ග්‍රස් පක්ෂයේ හිටපු ප්‍රබලයෙක් වූද නිදහස් සටන්කාමියක් වූ ද ගාන්ධි මූලධර්ම අනුව ඉතාම සරල දිවිපෙවතක් ගත කළ අයෙක් වූ ද මොරාජි දේසායි මහතාගේ නායකත්වයෙන් ඉක්මණින් අටවාගත් සංධානයක් මගින් 1977 මැතිවරණයට මුහුන දුන්හ. සාමාන්‍ය ජනතාව අතර තමන් ජනප්‍රියයැයි සිතූ ගාන්ධී මහත්මිය විමතියට පත්කරමින් ඇගේ පක්ෂය ඉන් අන්ත පරාජයට පත්වූහ.

මොරාජි දේසායි මහතා යටතේ පත්වූ සංධානය ඉන් පසූ රට කරවන්නට වූයෙ ඉන්දිරා මැතිණියගේ වැරදි නිවැරදි කරන බව පවසමිනි. එසේවුවද නව රජය වැරදි නිවැරදි කිරීමට වඩා උනන්දු වූයේ ගාන්ධි මැතිනියත් සංජේ ගාන්ධි නම් ඇගේ පුතාටත් එරෙහිව පළිගැනීමේ ක්‍රියාමාර්ගයක නිරත වීමටයි. කෙතරම් වැරදි කළද ස්ථාවර රජයක් තිබූ ඉන්දිරා හට ඉන්දිය සාමාන්‍ය ජනයා අතර තවමත් ගෞරවයක් තිබිනි. කෙමෙන් රාජ්‍ය පාලනයට වඩා ගාන්ධි පවුල හඹා යාමත් අස්ථාවර බවත් නිසා සංධානය කෙරෙහි ජන විශ්වාසය බිද වැටිනි . 1980 රජය බිද වැටුනු අතර එම වසරේ පවත්වන ලද මහ මැතිවරණයට මොරාජී දේසායි මහතාද ඉදිරිපත් නොවීය. ඔහුගේ සංධානයෙන් ඉතිරි වී සිටි කොටස් සමග කොන්ග්‍රස් පක්ෂය මැතිවරණයට මුහුණ දී ඉන්දිරා ගාන්ධී නැවතත් ප්‍රබල ජයග්‍රහණයක් ලබා අගමැතිණිය ලෙස තේරි පත්විනි.