Wednesday, November 11, 2015

නොනිවෙන රෝහින්ගියා ගැටළුව


මේ වන විට බුරුමය නැවතත් ලෝක ජනමාධ්‍යවල අවධානය දිනාගැනීමට සමත් ව තිබෙනවා. ඒ දශක ගණනකට පසු එරට පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය නිසාවෙන්. විපක්ෂ නායිකා හා නෝබල් ත්‍යාගලාභී අවුං සාං සුකී මහත්මිගේ පක්ෂය පැහැදිලි ජයක් ලැබනු ඇතැයි මේ වන විට අනාවැකි පලවෙමින් තිබෙනවා. රටේ ජනතාවගෙන් 80% ක් පමණ උනන්දුවෙන් සහභාගි වූ මේ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වූ ජන කොටසක් ද බුරුමයේ සිටියා.  මානව  අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරයේ ප්‍රතිමූර්තිකයක් බඳු අවුං සාං සුකී මහත්මිය පවා මේ අසරණ වූ ජනතාව ගැන වචනයකුදු කතා කළේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ලොව වඩාත්ම පීඩාවට පත් ජන කොටස ලෙස හඳුන්වන රෝහින්ගියා  ජනකොටසයි ඒ  . ඇත්තෙන්ම කවුද මේ රෝහින්ගියා වරු ? ඔවුන්ට සැබවින්ම බුරුමයේ ඓතිහාසික පසුබිමක් තිබේද ? මේ ගැටළු වර්තමානයේ ඔවුන් මුහුණ දෙන ප්‍රශ්නවල පදනම වෙනවා.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් බුරුමය යටත් කරගත් පසු ලෝකයේ ප්‍රධාන පෙලේ සහල් අපනයනය කරන රටක් බවට පත්වූවා. බුරුමයේ රැඛීන් ප්‍රාන්තයේ නගර තමයි සහල් නැව්ගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන තැනක් ගත්තේ. මේ සඳහා අවශ්‍ය ශ්‍රමය සපයා ගැනීම බ්‍රිතාන්‍යන්ට ගැටලුවක් වූ නිසා අසල් වැසි බ්‍රිතාන්‍ය ඉන්දියාවේ මුස්ලිම් බෙංගාල පෙදෙසින් ලාභ ශ්‍රමය සඳහා කම්කරුවන් දහස් ගණනින් ගෙන්වා ගත්තා. ඒ 19 වන සියවසේ මැද භාගයේ පමණ. බ්‍රිතාන්‍යයන් තම රට යටත් කරගැනීම ගැන දැඩි කෝපයකින් සිටි බෞද්ධ බුරුම වැසියන් තම නව හාම්පුතුන්ගේ අනුබලයෙන් මෙලෙස විදේශීය ජන කොටසක්, වෙනත් ආගමක් අදහන වෙනස් සංස්කෘතියක් සහිත පිරිසක් තම රැකියා උදුරාගෙන ලාභ ශ්‍රමයට තම රටට පැමිණිම ගැන දැඩි විරෝධයක් දැක්වූවා. එම නිසා අද බුරුමයේ බෞද්ධ ජනතාව රෝහින්ගියා ලෙස හඳුන්වන මේ බෙංගාල සංක්‍රමණිකයන්ගෙන් පැවැතෙන්නන්ට දක්වන විරෝධය සියවස් දෙකක් පමණ පැරණියි. ( මෙයට සාපෙක්ෂව මුඩුබිම් පනත මඟින් උඩරට සිංහලයන්ගෙන් බලෙන් පවරා ගන්නා ලද ඉඩම්වල කෝපි හා තේ වගා කිරීමට පැමිණි දකුණු ඉන්දීය සංක්‍රමණික කම්කරුවන් ගැන උඩරට සිංහල ජනතාව මෙතරම් විශාල විරෝධයක් දැක්වූයේ නැති බව සඳහන් කිරීම වටී) . ප්‍රශ්නය උග්‍රවන්නේ බුරුමය නිදහස ලැබීමෙන් පසු මේ සංක්‍රමණික ප්‍රජාවේ මූලිකත්වයෙන් බුරුමයේ රැඛින් පෙදෙසේ බෙදුම්වාදී අරගලයක්ද ක්‍රියාත්මක වීම නිසයි. 

මේ කරුණු නිසි නිදහසින් පසු මේ බෙංගාල සංක්‍රමනික වැසියන් සිය රටේ පුරවැසියන් ලෙස හැඳින්වීමට බුරුම වැසියන් කැමති වූ‍යේ නැහැ. ඒ ඇතිවුනු අරගලය අද දක්වාම පවතිනවා. මෙයට වසර 2කට පමණ පෙර ප්‍රශ්නය තවත් උග්‍රවූයේ බුරුම තරුණියක රෝහින්ගියාවරුන් විසින් දූෂණය කරන ලදැයි චෝදනාවකට පසු ඇවිලී ගිය වාර්ගික සංහාරය නිසා. බුරුමයේ බෞද්ධ භික්ෂුවක්යැයි තෙමේම හඳුන්වා ගන්නා අශින් විරාතු නම් පුද්ගලයා හා ඔහුගේ වර්ගවාදී සංවිධානය මේ ගැටුම්වලදී නිතර කියවුනු නම්. හරියටම 1983 කළු ජූලියේදි ඇල්ලේ ගුණවංස ගැන ඇතිවුනු කතාබහ වගේ. 

කෙසේ වුවත් ‍මේ ගැටුම්වලින් පසු අද රෝහින්ගියා ජනතාව සරණාගත කඳවුරුවල ඉතාම අවම පහසුකම් සහිතව ජීවත් වනවා. ඔවුන්ට කිසිදු අයිතිවාසිකමක් නැහැ. තවද ‍මේ ඇතැම් රෝහින්ගියා වැසියන් තම දරුමල්ලන් ද සමඟ බෝට්ටු මඟින් අසල්වැසි රටවලට පලායාමේ ඉතාම අවදානම් සහගත ක්‍රියාමාර්ගයද ගන්නවා. මේ ජනතාවගේ ගැටලුවට මට පෙනෙන ආකාරයට ඇති එකම විසඳුම නැවතත් ඔවුන් බංගලා දේශයේ පදිංචි කරවීමයි - මන්ද ඓතිහාසික හේතූන් මත ඔවුනට කිසිදු ආකාරයක සහනයක් ලබාදීමට බහුතර බුරුම ජනතාව දැඩිව විරුද්ධ වන නිසා. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී හෝ රෝහින්ගියා ජනතාවට ඉක්මන් සහනයක් ලබා දීම වැදගත්.

2 comments:

  1. ඩොකියුමන්ටරි එකක් බැලුවා. ඔය අනාත කඳවුර කියන එක හදලා තියෙන්නේ වෙරළ දිහාවට විහිදෙන්න. ගාඩ් දාන්නේ ගොඩ පැත්තෙන් විතරයි. එතකොට මුහුද පැත්ත විවෘතව තියෙන්නේ. හේතුව ඉතාම පැහැදිලියි.

    ආණ්ඩුවේ පැත්තේ එක පොඩි සාධාරණයක් තියෙනවා. එනම් සිද්ධ වෙච්ච සංහාරය සහ ගැටුම්කාරී තත්වය පාලනය කරන්න නම් රෝහින්ග්‍යා වරු තාවකාලිකව වෙන් කරන්න වෙනවා මොකද එහෙම නැතුව ඔවුන් සෙසු බුරුම ප්‍රජාව එක්ක තිබ්බොත් ඝාතනය වීම වැළකිය නොහැකි නිසා. එහෙත් ඒ මත පටවලා රෝහින්ග්‍යා වරුන් තමන්ගේ ගෙවල් දොරවල් වලින් ඉවත් කරලා අ කඳවුරු වල ඉතාම අඩු පහසුකම් සහිතව තියන්නෙත් ඒ කඳවුරේ වෙරළ විවෘතව තියන්නෙත් සිම්ප්ලි පලයල්ලා කියලයි.

    බහුතර බුරුම ජනතාව දරන්නෙත් ඒ මතය බව කියවෙන්නේ. අවුන් සාන් සූකී පවා අ මේ ගැන නිහඬව උන්නේ ජනප්‍රියත්වය ගැන හිතලා වෙන්න ඇති. රෝහින්ග්‍යා වරුනුත් අසල්වැසි නගර වල බිස්නස් එහෙම කරගෙන එස්ටබ්ලිෂ් වී උන්නු පිරිසක්. එහෙත් ඒ සියලු සම්පත් ඔවුන්ට අහිමියි. බොහෝ ස්ථාන බුරුම ජාතිකයින් අල්ලාගෙන තියෙන්නේ.

    බුරුම ජාතිකයන්ගේ පැත්තෙන් සාධාරණ දෙකට පෙනෙන්නේ මේ පිරිස ගෙනාපු හැටි ගැන කරන චෝදනාව තමා. ලංකාවේ සමාන තත්ව වල දමිල ජනයා නැවත ඉන්දියාවට යැව්වා. එහෙත් බුරුමය හා බංග්ලාදේශය එසේ කරන්නේ නැහැ. දෙරට අතර මිත්රත්වයකුත් නැහැ.

    පලා යන රෝහින්ග්‍යා වරුන් ගියා කියලා මහා දුරක් යන්නෙත් නැහැ. බොහෝ ය සංක්‍රමණිකයන් ලෙස රවටා අල්ලාගෙන කප්පම් ගන්න එක තමා කෙරෙන්නේ.

    ReplyDelete
  2. මේ ප්‍රශ්නයට වගකිව යුතු බ්‍රිත්‍යාන්‍ය අධිරාජ්‍යය. බංගලිදේශය මේ මිනිස්සු නැවත භාරගන්න එකක් නෑ. තියෙන එකම විසදුම ලංකාවෙ වතු කම්කරුවන්ට කලා වගේ පුරවැසිභාවය මේ අයට ලබාදීම. බ්‍රිත්‍යාන්‍ය මේ වගේ තමන්ගෙ අධිරාජ්‍ය පිහිටවපු ගොඩක් රටවල සදාතනික ගැටළු ඇති කරල තියෙන බවයි පේන්නෙ.

    ReplyDelete