Tuesday, August 29, 2017

සර් රොජර් කේස්මන්ට්: අධිරාජ්‍යයේ වීරයෙකුගේ සිට ද්‍රෝහියෙකු හා සමාජ දූෂකයෙකු දක්වා Sir Roger Casement : from Imperial Hero to Traitor and the Sexual Deviant

අප කවුරුත් දන්නා පරිදි වර්තමාන කොංගෝව කලක් බෙල්ජියමේ ලියෝපෝල්ඩ් රජුගේ පුද්ගලික භාර‍යේ පැවතුනා. එකල බෙල්ජියන් කොංගෝවේ ස්වදේශීය ජනතාව මුහුණ දුන් බිහිසුණු හා දුඛිත තත්ත්වය ලොවට අනාවරණය කිරීම සඳහා විශාල මෙහෙයක් කළ පුද්ගලයෙක් වන්නේ එවක බ්‍රිතාන්‍ය විදේශ සේවයේ උසස් නිලධාරියෙක් වූ රොජර් කේස්මන්ට්. මේ හැරුණු විට කේස්මන්ට් කළ තවත් වැදගත් මෙහෙවරක් වූයේ පීරු රජයට අයත් රබර් සමාගමේ නිලධාරීන් විසින් ඇමේසන් වනාන්තරයේ ඈත පෙදෙස්වල කරන රබර් වගාව සඳහා ස්වදේශීය ජනතාව වහල් මෙහෙයට යොදා ගැනීම, ඔවුන් වධ බන්ධන වලට ලක්කිරීම ගැන වාර්තාවක් පළ කිරීමයි. මෙලෙස ස්වදේශීය ජනතාව වෙනුවෙන් කළ මානව හිතවාදී සේවය වෙනුවෙන් ඔහු නයිට් පදවියකිනුත් පුද ලබනවා. එහෙත් ඔහු ජීවිතය අවසන් කරන්නේ රාජද්‍රෝහියෙකු ලෙසයි. එපමණක් නොව නඩු විභාගයේදී හෙළිවූ ඔහුගේ රහස් දිනපොත් නිසා කේස්මන්ට්  පිළිගත් ලිංගික ආචාර ධර්ම බිඳහෙලූ අපචාරී සමාජ දූෂකයෙකු ලෙස මරණයෙන් පසුව අද දක්වාම දැඩි  විවාදයට ලක්වනවා. 

විදේශ සේවය 
රොජර් ‍කේස්මන්ට් උපත ලබන්නේ 1864 දී අයර්ලන්ත‍යේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි පවුලක. ඔහුගේ මව  එරට බහුතරයක් මෙන්ම කතෝලික කාන්තාවක්. ළමා වියේදීම සිය දෙමාපියන් මියයාම නිසා කේස්මන්ට් හැදී වැ‍ඩෙන්නේ නැන්දණියක ළඟයි. තරුණ වියේම වාණිජ නාවික සේවයටද පසුව රේගු නිලධාරියෙක් ලෙසද සේවය කරන කේස්මන්ට් අවසානයේදී බ්‍රිතාන්‍ය යටත් විජිත සේවයට පත්වෙන්නේ එරට විදේශ අමාත්‍යාංශය යටතේ. විදේශ සේවයේ නිලධාරියෙකු ලෙස ආසියාවේ හා අප්‍රිකාවේ රටවල් රැසක ඔහු සේවය කරනවා. මේ අතර බෙල්ජියමේ ලියෝපෝල්ඩ් රජු විසින් "සමාජ සේවය" සඳහා වූ සමාගමක් මඟින් පාලනය කරන දැවැන්ත කොංගෝ රාජ්‍යයේ ස්වදේශිකයන් මුහුණ දෙන සූරාකෑම ගැන විවිධ තොරතුරු බ්‍රිතාන්‍ය රජයට ලැබෙනවා. 

මෙම තොරතුරුවල සත්‍යසත්‍යභාවය සොයා වාර්තාවක් සැපයීමේ වගකීම  විදේශ අමාත්‍යාංශය  පවරන්නේ කේස්මන්ට් හටයි. කේස්මන්ට් කොංගෝවට පැමිණීමෙන් පසු අධිරාජ්‍යවාදය හා සූරාකෑම ගැනත්, එතුළ ශිෂ්ඨ යැයි සම්මත මිනිසුන් වනාචාරීන් බවට පත්විමත් විදහා දක්වන කෙටි නවකතාවක් වන Heart of Darkness ලියූ ජෝසෆ්  කොන්රඩ්වද හමුවනවා. කොංගෝවේ ස්වදේශිකයන්ගේ තත්ත්වය ගැන දීර්ඝ අධ්‍යයනයක් කරන කේස්මන්ට් ඉන් කම්පාවට පත්වනවා. පසුව එළිදක්වන ඔහුගේ වාර්තාවේ බෙල්ජියානු පාලනය හා එහි  සේවකයන් විසින් කොංගෝ ස්වදේශිකයන් සූරා කන අන්දමත් ඔවුන් ම්ලේච්ඡ වධ බන්ධන වලට ලක් කරන අන්දමත් පැහැදිලිව සඳහන් වනවා. මේ වාර්තාව යුරෝපය පුරා දැඩි ආන්දෝලනයකට හේතු වන අතර ඒ නිසාම කොංගෝව බෙල්ජියන් රජුගේ පාලනයෙන් ඉවත් කොට  තම පාලනයට ලක් කිරීමට බෙල්ජියන් රජයට සිදුවනවා. මේ නිසා කොංගෝ ස්වදේශික ජනයාගේ ජීවිත වඩාත් යහපත් වූ බව සත්‍යයක්. මේ නිසා කේස්මන්ට් හට මානව හිතවාදියෙක් ලෙස විශාල ප්‍රසිද්ධියක් ලබනවා. 
ඉන්පසු ඔහු තවත් කාර්යයකට අතගසනවා. පීරු රජය විසින් ඇමේසන් වනාන්තරයේ ගැඹුරේ පුටෙමායෝ ප්‍රදේශයේ රබර් වගාව සිදුකරන්නේ රාජ්‍ය සමාගමක් මාර්ගයෙන්. මේ සමාගම විසින් ඒ ප්‍රදේශවල ජීවත්වන ස්වදේශික ජනතාව වහලුන් ලෙස රබර් වගාව සඳහා යොදාගන්නා බව ආරංචි වන කේස්මන්ට් ඒ ගැන සොයා බැලීමට පීරු රටට යන්නේ 1911 දී පමණ. පූර්ණ විමර්ශනයකින් පසු ඔහු එළි දක්වන වාර්තාවේ සඳහන් වන්නේ අසරණ ස්වදේශික ජනයා පවුල් පිටින් කෲර වද හිංසා වලට ලක්වන බවත් ඔවුන් සාගතයෙන් පෙලෙමින් වහලුන් ලෙස රබර් වතුවල වැඩට බලයෙන් යොදා ගන්නා බවත්. මේ වාර්තාවත් විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුනා. පීරු රටේ රබර් සමාගම සමඟ ගනුදෙනු කිරීමට යුරෝපීය සමාගම් අධෛර්යමත් කිරීමට එම වාර්තාව සමත් වුනා කීවොත් නිවැරදියි. 

මෙම වාර්තාව නිසා හා කලින් කොංගෝ වාර්තාව නිසා, සූරාකෑමට ලක්වූ ස්වදේශීය ජනතාව වෙනුවෙන් කතා කරන මානව හිතවාදියෙක් ලෙස විශාල ප්‍රසිද්ධියක් කේස්මන්ට් ලබනවා. බ්‍රිතාන්‍යයේ පස්වන ජෝජ් රජු ඔහුට නයිට් පදවිය පිරි නමනවා. බ්‍රිතාන්‍ය ඉහළ පැලැන්තියේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේද වීරයෙකු වන කේස්මන්ට් පසුව විදේශ  සේවයෙන් විශ්‍රාම ලබනවා. 
පුටෙමායෝහිදී ස්වදේශීය පිරිමි ළමුන් සමඟ 

අයිරිෂ් ජාතිකවාදය 

කේස්මන්ට් සිය ගැටවර වියේ සිටම අයිරිෂ් ජාතිකවාදයට ඇල්මක් දැක්වුවත් සිය ගමන්වලදී ස්වදේශීක ජනයා අධිරාජ්‍යවාදී සූරාකෑමට ලක්වන අයුරු දැකීම නිසාම කෙමෙන් රැඩිකල් අයර්ලන්ත ජාතිකවාදියෙක් බවට පත්වනවා. කලක් අධිරාජ්‍යයේ නියෝජිතයෙක්ව සිටි කේස්මන්ට් මෙලෙස අංශක 180 ක් අනික් පසට හැරෙනවා. 1913 දී විදේශ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු ගේ කාලය ධනය හා ශ්‍රමය වැයවන්නේ අයර්ලන්තය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් කරගැනීමේ අරගලය උදෙසා. මේ වන විට පළමු ලෝක සංග්‍රාමය ඇරඹී තිබුනා. බ්‍රිතාන්‍යට විරුද්ධ පාර්ශ්වයේ සිටි ජර්මනියෙන් අයර්ලන්ත නිදහස් අරගලයට ආධාර උපකාර ලබා ගැනීම සඳහා ඔහු රහසේම ජර්මනියට  ගොස් වසර 2ක් එහි ගත කරනවා. එසේ වුවත් සිතූ තරම් ආධාර නොලැබෙන බව දක්නට ලැබෙනවා. 

අවසානයේ 1916 දී ඔහු නැවත අයර්ලන්තයට පැමිණෙන්නේ ජර්මන් සබ්මැරයිනයක් ආධාරයෙන්. කෙසේ වුවත් කේස්මන්ට්ගේ ජර්මානු සබඳතා ගැන මේ වන විට බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා හට ඉව වැටී තිබුනා. මේ නිසා අයර්ලන්තයට නැවත පැමිනි වහාම ඔහු බ්‍රිතාන්‍ය අත් අඩංගුවට පත්වනවා. මේ අතර කේස්මන්ට්ගේ අනුදැනුමකින් තොරව 1916 පාස්කු දින අයර්ලන්ත ජනරජවාදීන් බ්‍රිතාන්‍යට එරෙහිව දැවැන්ත කැරැල්ලක් දියත් කරනවා. කැරැල්ල දින කිහිපයකදි මැඩ පවත්වන  බ්‍රිතාන්‍ය රාජද්‍රෝහී චෝදනා මත එම කැරැල්ලේ නායකයන් මරා දැමීමට තීරණය කරනවා. කලක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වීරයෙක් වූ කේස්මන්ට් හටද එම චෝදනාව එල්ල වනවා. තවද ඔහුගේ නයිට් පදවියද ඉවත් කරනු ලබනවා. 

කාල දිනපොත් Black Diaries 

කේස්මන්ට් ට විරුද්ධ නඩු විභාලය අතර තුර ඔහුගේ බඩු බාහිරාදිය අතර තිබී ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට හමුවන්නේ ඔහුගේ රහස් දිනපොත් සමූහයක්. තම විවිධ ගමන්වලදී හමුවන පිරිමි ළමුන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වූ ආකාරය හා එම ලිංගික ක්‍රියාවන්ද ඉතාම පැහැදිලි විස්තර සහිතව ඒ දිනපොත්වල වාර්තා වනවා. මේ දිනපොත්වලින්  තෝරාගත් කොටස් මාධ්‍යවලට නිකුත් වීම නිසා මානව හිතවාදියෙක් ලෙස කේස්මන්ට්ගේ තිබූ ප්‍රතිරූපය පළුඳුවී ඔහු සමාජ දූෂකයෙක් හා ලිංගික විකෘතිකාමියෙක් ලෙස සැලකීමට ලක්වනවා. 

මෙම දිනපොත් බ්‍රිතාන්‍ය රජය විසින් කරන ලද කූට  ලේඛන බවට  චෝදනා කේස්මන්ට්ගේ මරණයෙන් පසුද වසර 100 ක් පමණ ගත වන තෙක් පැවතුනා. කෙසේ වුවත් ඉතා මෑතදී කරන ලද පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ එම දිනපොත් කේස්මන්ට් විසින්ම ලියන ලද ඒවා බවයි. 

මරණය

තම ප්‍රතිරූපය හානිවීමට ලක්ව රාජද්‍රෝහියෙක් ලෙස  චෝදනාවට ලක්වූ රොජර් කේස්මන්ට් බ්‍රිතාන්‍ය රජය විසින් එල්ලා මරා දමනු ලැබුවා. අවසානය දක්වාම ඔහු නිර්භීතව මරණයට මුහුණ දුන් බව පැවසෙනවා. 
කේස්මන්ට්ගේ මරණය වාර්තා වූ අයුරු 

කෙසේ වුවත් රොජර් කේස්මන්ට්ගේ සමකාමී හැසිරීම නිසා සාම්ප්‍රදායික කතෝලික සමාජයක් ඇති අයර්ලන්තයේ  ඔහු හට ජාතික වීරයෙක් ලෙස පිළිගැනීම මෑතක් වන තුරුම නිසි පරිදිි නොලැබුනු බව සත්‍යයක්. 


4 comments:

  1. කලින් අසා,කියවා,දැන සිටියේ නැති විස්තරයක්.බොහෝම ස්තුතියි ලක්ෂාන්.

    ReplyDelete
  2. නොදත් තොරතුරු ටිකක්

    ReplyDelete