Saturday, June 17, 2017

බෞද්ධයන්ට වන අකටයුතුකම් ගැන සෙවීමට වියට්නාමයට ගිය ලාංකික දෙමළ ඇංග්ලිකානුවා Ceylonese Tamil Anglican who spoke for the Vietnamese Buddhists

සෑහෙන කලක් ප්‍රංශ යටත් විජිතයක් ව පැවති ඉන්දුචීනය නොහොත් වියට්නාමය නිදහස ලබන්නේ 1954 ඩියන් බියන් ෆූ සටනේදී ප්‍රංශ යටත් විජිත හමුදාවන් හෝ චිමිං ගේ අනුශාසකත්වයෙන් හා සෙන්පති ගියැප්ගේ නායකත්වය යටතේ වූ වියට්මිං නොහොත් වියට්නාම් ජාතිකවාදී හමුදාවන් අතින් දැවැන්ත පරාජයක් ලැබීමත් සමඟයි. 1954 ජිනීවා සම්මුතියෙන් රටේ උතුරු කොටස හෝ චි මිං යටතේ වාමාංශික ජාතිකවාදී රාජ්‍යයක් වෙද්දී දකුණු කොටස ඇමරිකානු හා ප්‍රංශ අනුග්‍රහය යටතේ බටහිරට හිතවත් දක්ශිනාංශික රාජ්‍යයක් බවට පත් වූවා. දකුණු වියට්නාමයේ නායකයා වූයේ දක්ශිනාංශිකයෙක් කමියුනිස්ට් විරෝධියෙක් මෙන්ම උග්‍ර කතෝලිකයෙක් වූ න්ගෝ ඩින් ඩියෙම්. 



වියට්නාම් ජනගහණනයෙන් අති බහුතරයක් - එනම් 70%ක් පමණම බෞද්ධයන්. එසේ වුවත්  ප්‍රංශ පාලන සමයේ වැඩි සැලකීමක් ලැබුනේ බෞද්ධයන්ට නොව පාලකයන්ගේ ආගම වූ කතෝලික දහම වැළඳගත් වියට්නාම් ජාතිකයන්ටයි. න්ගෝ ඩින් ඩියම් මේ පිළිවෙත් තවදුරටත් ඉදිරියට ගෙන ගියා. උතුරේ ජාතිකවාදී රජයෙන් දකුනේ ජනතාවටද බලපෑම් තිබූ නිසා සිය බලය පවත්වා ගැනීම සඳහා ඩියම් විශ්වාසය තැබුවේ කතෝලික ජනතාව  මතයි. එම නිසා රජයේ රැකියා, හමුදාවේ උසස් වීම් ආදිය සියල්ලට ආගම බලපෑවා - එනම් ඒවා ලැබුනේ කතෝලිකයන්ට පමණයි. මේ අසාධාරණ පිළිවෙත සඳහා ඩියම් ගේ සොහොයුරාගේ බිරිඳ වූ කතෝලික කාන්තාවක වූ මැඩම්   නු ද විශාල බලපෑමක් ඇති කළා. 

1963 පමණ වන විට තත්ත්වය තවත් දරුණු වුනා. එම වසරේ වෙසක් උත්සවය කට උඩ තිබියදී ආගමික කොඩි ප්‍රදර්ශනය කිරීම රජය විසින් තහනම් කරනු ලැබුවා. එහෙත් ඊට සතියකට පෙර පාප්වහන්සේගේ ධජය ප්‍රදර්ශනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබුනා. කෙසේ වුවත් තහනම නොතකමින් බෞද්ධ ධජයන් ප්‍රදර්ශනය කිරීමට වියට්නාම් බෞද්ධ ජනතාව පෙළඹීමත් සමඟ උද්ගෝෂණ රැල්ලක් ඇතිවූවා. ඒවාට පොලීසිය වෙඩිතැබීම නිසා තත්ත්වය තවත් බැරෑරුම් වූවා. මේ අතර එම වසරේ ජූනි 11වන දින තික් ක්වාන් ඩුක් භික්ෂුව සිය සිරුරට ගිනි තබා ගනිමින් වියට්නාම් රජයේ මෙම පිළිවෙතට විරෝධය පළ කළා. ඇමරිකානු ඡායාරූප ශිල්පියෙකු නිසා මේ පිළිබඳව බාහිර ලෝකය දැන ගැනීමත් සමඟ විරෝධතා උග්‍ර වුනා. 


ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (Amnesty International) විසින් මේ සිදුවීම් පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා තෝරාගන්නේ ලංකාවේ වෙසෙන තරුණ දෙමළ නීතිඥයෙක්. එවකට 31 වන වියේ පසුවන ඔහු ඇංග්ලිකන් කිතුණු පවුලකට අයත් වූවෙක් මෙන්ම රටේ ප්‍රධාන පෙළේ ඇංග්ලිකන් පාසලක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ හා  බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවෙක්.  ක්ෂමා ආයතනය විසින් රටක් පිළිබඳව තැනූ පළමු වාර්තාව වන්නේද මෙයයි.  

ලේක් හවුස් පුවත්පත් සමාගමෙන් "විශේෂ වාර්තාකරුවෙක්" බව සහතික කරන ලිපියක්ද ඔහුට ලැබෙන්නේ කටයුතු වඩාත් පහසු කරගැනීමටයි. එහෙත් 1963 නොවැම්බර් මාසයේ මේ ගමනට ලක ලෑස්ති වෙමින් තිබියදී හමුදා කුමන්ත්‍රණයක් මඟින් න්ගෝ ඩින් ඩියම්ගේ පාලනය පෙරළෙනවා. එම පාලනය විසින් දේශපාලන හා ආගමික සිරකරුවන්ද නිදහස් කරන නිසා ක්ෂමා ආයතනයේ වාර්තාව එතරම්ම අදාළ නොවන තත්ත්වයක් මතු වනවා. නමුත් අපේ කතානායකයා එසේ වුනත් දකුණු වියට්නාමයට යාමට තීරණය කරනවා. 

එයට ප්‍රධානම හේතුව වන්නේ ඔහුගේම වචන වලින් කියන පරිදි  වියට්නාමයේ බෞද්ධයන් කතෝලික රජය විසින් මැඩපැවත්වීම ගැන රටේ විවිධ අන්තගාමී කොටස් මඟින් පතුරුවා හරින ප්‍රචාරකවාදී කටකතා නිසා ලාංකික සමාජයේද කිතුණු හා බෞද්ධ පුරවැසියන් අතර ඇතිවිය හැකි නොසන්සුන්තාව. මේ වන විට ලංකාව පාලනය කරන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක යටතේ එන් කියු දියස් වැනි අන්තවාදීන් මෙහෙයවන  සිංහල බෞද්ධ ජාතිකවාදී රජයක්. මෙවැනි සාධකද මේ ගමනට බලපාන්නට ඇති. සිංගප්පූරුවේ දකුණු වියට්නාම් කොන්සියුලර් කාර්යාලය මඟින් අවසර ලබාගන්නා ඔහු සයිගොන් නගරයට( වර්තමාන හෝ චි මිං නගරය) ගොඩ බසිනවා. 


දකුණු වියට්නාමයේ නව රජය බෞද්ධයන් වෙත තිබූ අකයුතුකම් වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම නිසා ඒ වන විට රටේ තත්ත්වය තරමක් යහපත් අතට හැරී තිබුනා. පසුගිය රජය ගැන පරීක්ෂණයක් නිසා වියට්නාම් සමාජයේ විවිධ කොටස්වල සහායද ඔහු වෙත ලැබුනා. මේ කරුණු සම්පිණ්ඩනය කොට ඔහු තම වාර්තාව එළි දක්වන්නේ 1964 ජනවාරි මාසයේ. 

එම වාර්තාවට අනුව දකුණු වියට්නාමයේ බෞද්ධ ජනතාවට විරුද්ධ අකටයුතුකම්වලට ප්‍රධානම හේතුව කතෝලික ජනතාවගේ හෝ කතෝලික පල්ලියේ ක්‍රියාවලට වඩා තම බලය තහවුරු කරගැනීම හා තම පවුලේ අභිවෘද්ධිය උදෙසා න්ගෝ ඩින් ඩියම් ගේ ඒකාධිපති පාලනය නිසා ගන්නා ලද ක්‍රියාමාර්ග නිසා බව පැහැදිලිවම සඳහන් කරනවා. එමෙන්ම ඩියම් යථාර්තයෙන් බැහැර වීමට හේතුව ඔහුව රූකඩයක් මෙන් පාලනය කළ ඔහුගේ සොහොයුරා හා නෑනා බවද විශේෂයෙන් සඳහන් කරනවා. එමෙන්ම වෙසක් උත්සවය පැවැත්වීමට සිදුවූ බාධා නිසා ඇතිවූ උද්ඝෝෂණ හා වෙඩි තැබීම් ආදිය ගැන ද සවිස්තරාත්මක සාක්ෂි සහිතව සටහන් වනවා. 

කෙසේ වුවත් වාර්තාවේ අවසානයේ ඔහු වැදගත් කරුණක් සඳහන් කරනවා. එනම්  වියට්නාම් බෞද්ධයන්ට මෙතරම් අකටුයුතුකම් සිදුවුවත් එවකට ලංකාවේ සිංහල බෞද්ධ අන්තවාදීන් තම දේශපාලනික උවමනාවන් සඳහා මවා පෙන්වන පරිදි වියට්නාම් කතෝලිකයන් හා බෞද්ධයන් අතර යුද්ධයක් වැනි තත්ත්වයක් නොමැති බවත් එම ආගමිකයන්  දෙපිරිස අතර කිසිදු වෛරයක් නොදුටු බවත් සඳහන් කරනවා. එමෙන්ම  වියට්නාම් බෞද්ධ නායකයන්ද  පවසන්නේ එම දුෂ්කර සමයේ  සාමාන්‍ය කතෝලික ජනතාව විසින් තමන් වෙත දැක්වූ සහාය අගය කරන බවත් කතෝලික ජනතාව සමඟ තමන්ගේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත්. 

මෙලෙස ක්ෂමා ආයතනය වෙනුවෙන් දකුණු වියට්නාම් බෞද්ධයන් ගැන සොයා බැලීමට ගිය තරුණ දෙමළ නීතිවේදියා නම් පසු කලක ලංකාවේ කීර්තිමත්ම විදේශ ඇමතිවරයා බවට හා බෙදුම්වාදයට එරෙහි සටනේ සංකේතයක් බවටද පත්වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා යි. ඒ මහතා ඉදිරිපත් කළ සම්පූර්ණ වාර්තාව මෙතනින් 
http://www.sundaytimes.lk/060813/news/nwsp13.0.html

12 comments:

  1. මේ ලිපියෙන් කතෝලික අන්තවාදය කියන වචනයවත් සදහන් කරන්නෙ නෑ. හැබැයි එන් කිව් ඩයස් ලා මෙහෙයවපු සිරිමා රජය බෞද්ධ අන්තවාදී රජයක්ලු. මොකන්ද නිර්නායකය. කොහොමද හරියටම ඒක කියන්නෙ. මේ ලිපියෙන් වියට්නාම් කතෝලික අන්තවාදය නිදොස්කරල මෙහෙ නැති බෞද්ද අන්තවාදයක් ගැන කියනව.
    අන්තවාදය නම් බෞද්ධ වාගෙම කතෝලික අන්තවාදය ගැන ත් කතා කරමු. ඩියෙන් ගෙ රජය කලේ පුද්ගලික දේවල් ලු හැබැයි ලංකාවෙ බෞද්ධ අන්තවාදයක්ලු. සිරිමාලත් පුද්ගලික දේවල් කලා වෙන්න ඹැයිද මහත්තයො. ඔයාගෙ කතෝකිල අන්තවාදයනම් අපූරුවට පේනව පෝස්ට් එකෙන්

    ReplyDelete
    Replies
    1. හැමදෙනාම සතුටු කළ නොහැකියි ඇනෝ :)

      Delete
  2. එන් කිව් ඩයස්යනු ගෝමින් දයාසිරි නම් පිස්සු පූසා ගේ පියා වේ

    ReplyDelete
    Replies
    1. ඔව් - හැබැයි දැන් නම් ‍‍ගෝමින් දයාසිරි සාපේක්ෂව තැන්පත් වෙලා

      Delete
  3. බෞද්ධ භික්ෂුව සිරුරුට ගිනි තබා ගැනීම ගැන දැනසිටියත් මෙපමණ විස්තරයක් දැන සිටියේ නැහැ.

    ආගම්,ජාතින් අතර භේදයන් ඇති කරන්නේ හා ඒවා නඩත්තු කරන්නේ දේශපාලඥයින් බවට සැකයක් නැහැ.අසීමිත විදියට ආගම,ජාතිය වෙනුවෙන් මරාගෙන මැරෙන්න සුදානම් බොහෝ දෙනා පිටිපස්සේ තියෙන්නේ දේශපාලන න්‍යය පත්‍ර බව පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. මෙතැන මට පෙන්වීමට උවමනා වූ‍යේ ලංකාවේ අන්තවාදීන් පිරිසක්ද වියට්නාම් ප්‍රශ්නය උපයෝගි කොටගෙන මෙරට ආගම්වාදී ගැටුම් ඇති කිරීමට උත්සාහ කිරීමයි

      Delete
  4. වියට්නාම් බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මැදිහත්වීමේ පුවත පිළිබඳ අපවෙත පවසා සිටියෝ ලොස් ඇන්ජලිස් හි වියට්නාම් පන්සලේ අධිපති ව වැඩසිට මෑත දී අපවත් වී වදාළ 'හොවතූන් තිච් මන්යක්' නාහිමිපාණෝයි. එවකටත් උන්වහන්සේ වයසින් අසූවිය ඉක්මවා සිටියා. 2004 වසරේ සුනාමි උවදුරින් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට උපකාර කිරීම උන්වහන්සේ සැලකුවේ බණ්ඩාරනායක මහත්මියගේ ඒ උපකාරයට කෘතවේදී වීමක් වශයෙන්. යථෝක්ත නාහිමියන් ඉතා සංවේදී ව කඳුලින් තෙමුනු දෑසින් සහ ඉකිබිඳිමින් මේ තොරතුරු මා සහ මගේ හිතවත් වියට්නාම් ජාතික ථික් ථොං හායි හිමියන් ප්‍රධාන උන්වහන්සේගේ දායක පිරිසට පවසා එය ඉංග්‍රීසි බසින් ද පැහැදිලි කළා. මේ තරම් පැහැදිලි විස්තරයක් මා ද දැන සිටියේත් නෑ. විදේශ ඇමතිවරයා වශයෙන් වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමේ මුල් යෝජනාවද කදිරගාමර් මහතා විසිනුයි ඉදිරිපත් කරනලද්දේත්.

    ReplyDelete
    Replies
    1. //වියට්නාම් බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මැදිහත්වීමේ පුවත පිළිබඳ අපවෙත පවසා සිටියෝ // සිරිමාවෝ මැතිණිය මේ ප්‍රශ්නයට මැදිහත් වූ බවක් දැන සිටියේ - මේ දැනුවත් කිරීමට තුති

      Delete
  5. වියට්නාමයේත් දකුණු කොරියාවේත් බෞද්ධයන්ට අකටයුතුකම් සිදුවුනා. ඒක නෑ කියන්න කාටවත්ම බෑ. ඒක වුනේ අවස්ථාවාදී දේශපාලනඥයන්ට වඩා ආගමික අධිකාරීන් වලින් මෙහෙයවූ අන්තවාදී කිතුනුවන් විසින්. ඒක මෝඩ අන්තවාදයක් නෙමෙයි. දකුණු කොරියාවෙ හා තායිවානයෙ බෞද්ධ ප්‍රතිශතය 40% ට බස්සන්න ඔවුන් සැලසුම් සහගතව ක්‍රියා කලා. වියට්නාමය කොමියුනිස්ට් පාලනයට ලක් නොවුනානම් අද කිතුනු රටක්. කොමියුනිස්ට් වූ නිසා අද බහුතරය ආගමක් නැති අය.

    ලංකාවෙ බෞද්ධ අන්තවාදයක් තියනවා. ඒක ඉතාම මෝඩ අන්තවාදයක්. අන්න ඒකනම් මෙහෙයවන්නෙ අවස්ථාවාදී දේශපාලනඥයන්.

    ReplyDelete
  6. ලක්ෂ්මන් කදිරගාමර් යනු පරම්පරාවෙන් දෙමළ වුවත් සංස්කෘතියෙන් බර්ගර් ජාතිකයෙක් ලෙස සැලකිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. එසේ වුවත් ඔහු තුළ දෙමළ ජාතිකත්වය තිබූ බව 1958 දෙමළ විරෝධි සංහාරයට විරුද්ධව ඔක්ස්ෆර්ඩ් සරසවියේ පැවැත්වූ විරෝධතාව අනුව පැහැදිලිවේ

      Delete