Monday, November 9, 2015

අතුරුදහන් කරවූවෙකුගේ ශෝකාලාපය - Missing (1982)

රාජ්‍යය මඟින් පුරවැසියන් අතුරුදහන් කිරීම ලංකාවේ අපට නම් නුහුරු අත්දැකීමක් නොවේ - 1988-1989 සමයේද පසුගිය යුද්ධ සමයේද එවැනි අතුරුදහන් කිරීම් ගැන නිරන්තරව අසන්නට ලැබුනා. ප්‍රදීප් එක්ණැළිගොඩ ඇතළු දෙමළ හා සිංහල පුරවැසියන් සිය ගණනක් තවමත් අතුරුදහන්වූවන්ගේ ලැයිස්තුවල සිටිනවා. එවැනි සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූවක් තමයි කොස්ටාස් ග්වේරස් අධ්‍යක්ෂණය කළ Missing චිත්‍රපටය.

1973 සැප්තැම්බර් 11 දින දකුණු ඇමරිකාවේ චිලී රටේ  ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත්වූ සැල්වදෝර් අයියන්දේගේ වාමාංශික රජය, ඇමරිකානු ආධාර ලැබූ හමුදා කුමන්ත්‍රණයක් මඟින් පෙරළා දමනු ලැබුවා. පසුකාලීනව හෙළිවුනේ එවක ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් හා රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් මේ කුමන්ත්‍රණයට සහයෝගය දැක්වූ බවයි.

මේ හමුදා කුමන්ත්‍රණය සිදුවෙමින් පවතින වකවානුවේ චිලී රටට තම බිරිඳත් සමඟ කෙටි සංචාරයකට පැමිණෙන ඇමරිකානු නිදහස් මාධ්‍යෙව්දියෙක් වන චාල්ස් හෝමන් (ජෝන් ෂියා)  රට තුළ සිදුකරන සංචාරයකදී   මෙම හමුදා කුමන්ත්‍රණය සඳහා ඇමරිකානු හමුදා නිලධාරීන් හා තානාපති නිලධාරීන්ගේ සහයෝගය ලැබෙන බව අහම්බයෙන් වුවත් නිරීක්ෂණය කරන්නට ලැබෙනවා. ඉන්පසු ඔහු එම පිරිස් සමඟ කතා කිරීමෙන් තවත් තොරතුරු තම සටහන් පොතට ගන්නවා. ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක් සමඟම සන්තියාගෝ නුවර තම බිරිඳ වෙත පැමිණෙන චාල්ස් තවත් දින කිහිපයකට පසු අතුරුදහන් වෙනවා. ඔහුගේ අසල්වැසියන් පවසන්නේ හමුදා භට කණ්ඩායමකගේ අත්අඩංගුවට පත්වන ඔහු හමුදාව විසින් සන්තියාගෝවේ දේශපාලනික සිරකරුවන් රඳවා තැබුනු ක්‍රීඩාංගනය වෙත ගෙන යනු ලැබූ බවයි .

මෙලෙස චාල්ස් හෝමන් අතුරුදන් කෙරුනේ ඇයි? ඔහුට සිදුවූයේ කුමක්ද? මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට ඇමරිකාවේ සිට චාල්ස්ගේ දක්ෂිණාංශික මතධාරී දේශප්‍රේමි ව්‍යාපාරික පියා වන එඩ් හෝමන් (ජැක් ලෙමන්) චීලී දේශයට පැමිණෙනවා. චාල්ස්ගේ බිරිඳ වන බෙත් (සිසී ස්පැසෙක්)  , චාල්ස්ගේ අතුරුදහන් විම පිටුපස ඇමරිකානු නිලධාරීන්ගේ අනුබලය ලබන චිලී හමුදා අධීකාරීන් සිටිය හැකි බව පැවසුවත් එඩ් හෝමන් තම දක්ෂිණාංශික දේශපාලන දෘෂ්ඨිය තුළ සිටිමින් මේ කතා සියල්ල තම පුතාත් ලේලිත් ප්‍රිය කරන වාමාංශික දේශපාලනයේ හුදු පැරනොයිඩ් විකාර බව නැවත නැවතත් පවසනවා. එහෙත් කෙමෙන් තම පුතාගේ ඉරණම ගැන වඩාත් ගැඹුරින් හොයන පියාට අවසානයේ තම මතවාදයන් උඩුයටිකුරු කරන සත්‍ය හමුවෙනවා.
Vangelis ගේ අනුවේදනීය සංගීතයෙන් තවත් ඔපවත් වන Missing චිත්‍රපටය රාජ්‍ය අනුබලයෙන් අතුරුදහන් වන්නන්ගේ ඉරණම ගැන අපව සිතීමට පොළඹවන සිනමා නිර්මාණයක් . 

1 comment: