Thursday, December 13, 2018

ජනාධිපතිට ජනමතවිචාරණයක් පැවැත්විය හැකිද?





ජනාධිපතිතුමාට ඕනෑම ජාතික වැදගත්කමක් ඇති කරුණක් ගැන ජනමතවිචාරණයක් පැවත්වීම ගැන  දැක්වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ XIII වැනි පරිච්ඡේද‍යේ 86 වැනි ව්‍යවස්ථාව යටතේයි. එනම් -  

The President may, subject to the provisions of Article 85, submit to the People by Referendum any matter which in the opinion of the President is of national importance.

මෙතැන වැදගත් කරුණ නම් ජනමතවිචාරනය පැවැත්විය යුත්තේ 85 වැනි ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව බවයි. දැන් 85 වැනි ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ කුමක්දැයි බලමු - එය වගන්ති 2 කින් යුතුය (එක් වගන්තියක් 19 වැනි සංශෝධනයෙන් ඉවත් කර ඇත)

85. (1) The President shall submit to the People by Referendum every Bill or any provision in any Bill    which  the Cabinet of Ministers has certified as being intended to be submitted to the People by Referendum, or which the Supreme  Court has determined as requiring the approval of the People at a Referendum if the number of votes cast in favour of such Bill amounts to not less than two-thirds of the whole number of Members (including those not present).
 (3) Any Bill or any provision in any Bill submitted to the People by Referendum shall be deemed to be approved by the People if approved by an absolute majority of the valid votes cast at such Referendum : Provided that when the total number of valid votes cast does not exceed two-thirds of the whole number of electors entered in the register of electors, such Bill shall be deemed to be approved only if approved by not less than one-third of the whole number of such electors.

මෙහි 85(1) සඳහන් වන්නේ කුමක්ද? ජනාධිපතිවරයාට අනුව ජාතික වැදගත්කමක් ඇති යෝජනාවක් වුවද එය ජනමතවිචාරණයක් සඳහා ඉදිරිපත් කිරීමට පෙර  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුනු පසුවද පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරුන්ගේ (නොපැමිණි අයද සමඟ) 2/3 ක බහුතරයක් ලබා ගත් යුතුය

අනිත් වචනවලින් කිවහොත් වර්තමාන ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේනට ජනමතවිචාරණයක් වෙත යාමේ හැකියාවක් නොමැත


Tuesday, August 29, 2017

සර් රොජර් කේස්මන්ට්: අධිරාජ්‍යයේ වීරයෙකුගේ සිට ද්‍රෝහියෙකු හා සමාජ දූෂකයෙකු දක්වා Sir Roger Casement : from Imperial Hero to Traitor and the Sexual Deviant

අප කවුරුත් දන්නා පරිදි වර්තමාන කොංගෝව කලක් බෙල්ජියමේ ලියෝපෝල්ඩ් රජුගේ පුද්ගලික භාර‍යේ පැවතුනා. එකල බෙල්ජියන් කොංගෝවේ ස්වදේශීය ජනතාව මුහුණ දුන් බිහිසුණු හා දුඛිත තත්ත්වය ලොවට අනාවරණය කිරීම සඳහා විශාල මෙහෙයක් කළ පුද්ගලයෙක් වන්නේ එවක බ්‍රිතාන්‍ය විදේශ සේවයේ උසස් නිලධාරියෙක් වූ රොජර් කේස්මන්ට්. මේ හැරුණු විට කේස්මන්ට් කළ තවත් වැදගත් මෙහෙවරක් වූයේ පීරු රජයට අයත් රබර් සමාගමේ නිලධාරීන් විසින් ඇමේසන් වනාන්තරයේ ඈත පෙදෙස්වල කරන රබර් වගාව සඳහා ස්වදේශීය ජනතාව වහල් මෙහෙයට යොදා ගැනීම, ඔවුන් වධ බන්ධන වලට ලක්කිරීම ගැන වාර්තාවක් පළ කිරීමයි. මෙලෙස ස්වදේශීය ජනතාව වෙනුවෙන් කළ මානව හිතවාදී සේවය වෙනුවෙන් ඔහු නයිට් පදවියකිනුත් පුද ලබනවා. එහෙත් ඔහු ජීවිතය අවසන් කරන්නේ රාජද්‍රෝහියෙකු ලෙසයි. එපමණක් නොව නඩු විභාගයේදී හෙළිවූ ඔහුගේ රහස් දිනපොත් නිසා කේස්මන්ට්  පිළිගත් ලිංගික ආචාර ධර්ම බිඳහෙලූ අපචාරී සමාජ දූෂකයෙකු ලෙස මරණයෙන් පසුව අද දක්වාම දැඩි  විවාදයට ලක්වනවා. 

විදේශ සේවය 
රොජර් ‍කේස්මන්ට් උපත ලබන්නේ 1864 දී අයර්ලන්ත‍යේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි පවුලක. ඔහුගේ මව  එරට බහුතරයක් මෙන්ම කතෝලික කාන්තාවක්. ළමා වියේදීම සිය දෙමාපියන් මියයාම නිසා කේස්මන්ට් හැදී වැ‍ඩෙන්නේ නැන්දණියක ළඟයි. තරුණ වියේම වාණිජ නාවික සේවයටද පසුව රේගු නිලධාරියෙක් ලෙසද සේවය කරන කේස්මන්ට් අවසානයේදී බ්‍රිතාන්‍ය යටත් විජිත සේවයට පත්වෙන්නේ එරට විදේශ අමාත්‍යාංශය යටතේ. විදේශ සේවයේ නිලධාරියෙකු ලෙස ආසියාවේ හා අප්‍රිකාවේ රටවල් රැසක ඔහු සේවය කරනවා. මේ අතර බෙල්ජියමේ ලියෝපෝල්ඩ් රජු විසින් "සමාජ සේවය" සඳහා වූ සමාගමක් මඟින් පාලනය කරන දැවැන්ත කොංගෝ රාජ්‍යයේ ස්වදේශිකයන් මුහුණ දෙන සූරාකෑම ගැන විවිධ තොරතුරු බ්‍රිතාන්‍ය රජයට ලැබෙනවා. 

මෙම තොරතුරුවල සත්‍යසත්‍යභාවය සොයා වාර්තාවක් සැපයීමේ වගකීම  විදේශ අමාත්‍යාංශය  පවරන්නේ කේස්මන්ට් හටයි. කේස්මන්ට් කොංගෝවට පැමිණීමෙන් පසු අධිරාජ්‍යවාදය හා සූරාකෑම ගැනත්, එතුළ ශිෂ්ඨ යැයි සම්මත මිනිසුන් වනාචාරීන් බවට පත්විමත් විදහා දක්වන කෙටි නවකතාවක් වන Heart of Darkness ලියූ ජෝසෆ්  කොන්රඩ්වද හමුවනවා. කොංගෝවේ ස්වදේශිකයන්ගේ තත්ත්වය ගැන දීර්ඝ අධ්‍යයනයක් කරන කේස්මන්ට් ඉන් කම්පාවට පත්වනවා. පසුව එළිදක්වන ඔහුගේ වාර්තාවේ බෙල්ජියානු පාලනය හා එහි  සේවකයන් විසින් කොංගෝ ස්වදේශිකයන් සූරා කන අන්දමත් ඔවුන් ම්ලේච්ඡ වධ බන්ධන වලට ලක් කරන අන්දමත් පැහැදිලිව සඳහන් වනවා. මේ වාර්තාව යුරෝපය පුරා දැඩි ආන්දෝලනයකට හේතු වන අතර ඒ නිසාම කොංගෝව බෙල්ජියන් රජුගේ පාලනයෙන් ඉවත් කොට  තම පාලනයට ලක් කිරීමට බෙල්ජියන් රජයට සිදුවනවා. මේ නිසා කොංගෝ ස්වදේශික ජනයාගේ ජීවිත වඩාත් යහපත් වූ බව සත්‍යයක්. මේ නිසා කේස්මන්ට් හට මානව හිතවාදියෙක් ලෙස විශාල ප්‍රසිද්ධියක් ලබනවා. 
ඉන්පසු ඔහු තවත් කාර්යයකට අතගසනවා. පීරු රජය විසින් ඇමේසන් වනාන්තරයේ ගැඹුරේ පුටෙමායෝ ප්‍රදේශයේ රබර් වගාව සිදුකරන්නේ රාජ්‍ය සමාගමක් මාර්ගයෙන්. මේ සමාගම විසින් ඒ ප්‍රදේශවල ජීවත්වන ස්වදේශික ජනතාව වහලුන් ලෙස රබර් වගාව සඳහා යොදාගන්නා බව ආරංචි වන කේස්මන්ට් ඒ ගැන සොයා බැලීමට පීරු රටට යන්නේ 1911 දී පමණ. පූර්ණ විමර්ශනයකින් පසු ඔහු එළි දක්වන වාර්තාවේ සඳහන් වන්නේ අසරණ ස්වදේශික ජනයා පවුල් පිටින් කෲර වද හිංසා වලට ලක්වන බවත් ඔවුන් සාගතයෙන් පෙලෙමින් වහලුන් ලෙස රබර් වතුවල වැඩට බලයෙන් යොදා ගන්නා බවත්. මේ වාර්තාවත් විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුනා. පීරු රටේ රබර් සමාගම සමඟ ගනුදෙනු කිරීමට යුරෝපීය සමාගම් අධෛර්යමත් කිරීමට එම වාර්තාව සමත් වුනා කීවොත් නිවැරදියි. 

මෙම වාර්තාව නිසා හා කලින් කොංගෝ වාර්තාව නිසා, සූරාකෑමට ලක්වූ ස්වදේශීය ජනතාව වෙනුවෙන් කතා කරන මානව හිතවාදියෙක් ලෙස විශාල ප්‍රසිද්ධියක් කේස්මන්ට් ලබනවා. බ්‍රිතාන්‍යයේ පස්වන ජෝජ් රජු ඔහුට නයිට් පදවිය පිරි නමනවා. බ්‍රිතාන්‍ය ඉහළ පැලැන්තියේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේද වීරයෙකු වන කේස්මන්ට් පසුව විදේශ  සේවයෙන් විශ්‍රාම ලබනවා. 
පුටෙමායෝහිදී ස්වදේශීය පිරිමි ළමුන් සමඟ 

අයිරිෂ් ජාතිකවාදය 

කේස්මන්ට් සිය ගැටවර වියේ සිටම අයිරිෂ් ජාතිකවාදයට ඇල්මක් දැක්වුවත් සිය ගමන්වලදී ස්වදේශීක ජනයා අධිරාජ්‍යවාදී සූරාකෑමට ලක්වන අයුරු දැකීම නිසාම කෙමෙන් රැඩිකල් අයර්ලන්ත ජාතිකවාදියෙක් බවට පත්වනවා. කලක් අධිරාජ්‍යයේ නියෝජිතයෙක්ව සිටි කේස්මන්ට් මෙලෙස අංශක 180 ක් අනික් පසට හැරෙනවා. 1913 දී විදේශ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු ගේ කාලය ධනය හා ශ්‍රමය වැයවන්නේ අයර්ලන්තය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් කරගැනීමේ අරගලය උදෙසා. මේ වන විට පළමු ලෝක සංග්‍රාමය ඇරඹී තිබුනා. බ්‍රිතාන්‍යට විරුද්ධ පාර්ශ්වයේ සිටි ජර්මනියෙන් අයර්ලන්ත නිදහස් අරගලයට ආධාර උපකාර ලබා ගැනීම සඳහා ඔහු රහසේම ජර්මනියට  ගොස් වසර 2ක් එහි ගත කරනවා. එසේ වුවත් සිතූ තරම් ආධාර නොලැබෙන බව දක්නට ලැබෙනවා. 

අවසානයේ 1916 දී ඔහු නැවත අයර්ලන්තයට පැමිණෙන්නේ ජර්මන් සබ්මැරයිනයක් ආධාරයෙන්. කෙසේ වුවත් කේස්මන්ට්ගේ ජර්මානු සබඳතා ගැන මේ වන විට බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා හට ඉව වැටී තිබුනා. මේ නිසා අයර්ලන්තයට නැවත පැමිනි වහාම ඔහු බ්‍රිතාන්‍ය අත් අඩංගුවට පත්වනවා. මේ අතර කේස්මන්ට්ගේ අනුදැනුමකින් තොරව 1916 පාස්කු දින අයර්ලන්ත ජනරජවාදීන් බ්‍රිතාන්‍යට එරෙහිව දැවැන්ත කැරැල්ලක් දියත් කරනවා. කැරැල්ල දින කිහිපයකදි මැඩ පවත්වන  බ්‍රිතාන්‍ය රාජද්‍රෝහී චෝදනා මත එම කැරැල්ලේ නායකයන් මරා දැමීමට තීරණය කරනවා. කලක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වීරයෙක් වූ කේස්මන්ට් හටද එම චෝදනාව එල්ල වනවා. තවද ඔහුගේ නයිට් පදවියද ඉවත් කරනු ලබනවා. 

කාල දිනපොත් Black Diaries 

කේස්මන්ට් ට විරුද්ධ නඩු විභාලය අතර තුර ඔහුගේ බඩු බාහිරාදිය අතර තිබී ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට හමුවන්නේ ඔහුගේ රහස් දිනපොත් සමූහයක්. තම විවිධ ගමන්වලදී හමුවන පිරිමි ළමුන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වූ ආකාරය හා එම ලිංගික ක්‍රියාවන්ද ඉතාම පැහැදිලි විස්තර සහිතව ඒ දිනපොත්වල වාර්තා වනවා. මේ දිනපොත්වලින්  තෝරාගත් කොටස් මාධ්‍යවලට නිකුත් වීම නිසා මානව හිතවාදියෙක් ලෙස කේස්මන්ට්ගේ තිබූ ප්‍රතිරූපය පළුඳුවී ඔහු සමාජ දූෂකයෙක් හා ලිංගික විකෘතිකාමියෙක් ලෙස සැලකීමට ලක්වනවා. 

මෙම දිනපොත් බ්‍රිතාන්‍ය රජය විසින් කරන ලද කූට  ලේඛන බවට  චෝදනා කේස්මන්ට්ගේ මරණයෙන් පසුද වසර 100 ක් පමණ ගත වන තෙක් පැවතුනා. කෙසේ වුවත් ඉතා මෑතදී කරන ලද පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ එම දිනපොත් කේස්මන්ට් විසින්ම ලියන ලද ඒවා බවයි. 

මරණය

තම ප්‍රතිරූපය හානිවීමට ලක්ව රාජද්‍රෝහියෙක් ලෙස  චෝදනාවට ලක්වූ රොජර් කේස්මන්ට් බ්‍රිතාන්‍ය රජය විසින් එල්ලා මරා දමනු ලැබුවා. අවසානය දක්වාම ඔහු නිර්භීතව මරණයට මුහුණ දුන් බව පැවසෙනවා. 
කේස්මන්ට්ගේ මරණය වාර්තා වූ අයුරු 

කෙසේ වුවත් රොජර් කේස්මන්ට්ගේ සමකාමී හැසිරීම නිසා සාම්ප්‍රදායික කතෝලික සමාජයක් ඇති අයර්ලන්තයේ  ඔහු හට ජාතික වීරයෙක් ලෙස පිළිගැනීම මෑතක් වන තුරුම නිසි පරිදිි නොලැබුනු බව සත්‍යයක්. 


Sunday, August 27, 2017

කළු හිස්වැසුමක් ලූ කළු හැදගත් මිනිසාගේ අභිරහස The Mystery of the Black Hat Man

මම සාමාන්‍යයෙන් අද්භූත, තාර්කිකව පැහැදිලි කළ නොහැකි දේ ගැන එතරම් සැලකිල්ලක් දක්වන අයෙකු නොවේ. කෙසේ වුවත් මා මේ  සිදුවීම සඳහන් කරන්නේ  ඉතාම පුද්ගලික මට්ටමෙන් මට සමීප වීමත් ඉන්පසුව ඒ ගැන යම් යම් අවස්ථාවල අසන්නට ලැබීමත් නිසා. 

2015 ජූනි මාසය වන විට ඒ වන විට රෝගාතුරව සිටි මගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් වුනා. එසේ වුවත් ඊට මාස 4කට පෙර රෝගී වීමට පෙර මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි නිසාත් සාමාන්‍යයෙන් ඇඳට සීමාවූ වැනි තත්ත්වයක් නොමැති නිසාත් ඔහුගේ රෝගයේ සුව අතට හැරීමක් කෙසේවුවත් යම් ස්ථාවර වීමක් අපි බලාපොරොත්තු වූවා. ඇත්තෙන්ම ඒ වන විටත් ඔහු තරමක් අපහසුවෙන් වුවත්  සාමාන්‍ය එදිනෙදා  වැඩ කටයුතු කරගනිමින් දවස ගත කළා. මේ අතර දිනක් මට දුරකථනයෙන් ඇමතූ ඔහු තරමක බියකින් සඳහන් කළේ නාන කාමරයට ගිය විට කළු හැඳගත් කළු ඇඳුමක් හැඳි පුද්ගලයෙකු දුටු බවයි. මේ කතාව කිහිප විටක්ම මා සමඟ පැවසුවා. මගේ හැඟීම වූයේ රෝගී තත්ත්වය නිසාම ඔහු දකින කිසියම් දෘෂ්ඨි මායාවක් විය හැකි බවයි. ඒ බව පැවසූ මම ඒ ගැන නොසිතන ලෙසත් ඉක්මණින්ම රෝගී තත්ත්වය යහපත් බවට හැරෙනු ඇති බවත් සඳහන් කළා. එහෙත් මේ සිදුවීම්වලින් මසකට පසු ඔහු අප අතරින් වියෝවූයේ හදිසියේම කෝමා තත්ත්වයකට පත්වීමෙන්.තාත්තාගේ මරණයෙන් පසු මගේ බිරිඳ එතෙක් නොකිවූ යමක් මා සමඟ පැවසුවා. එනම් ඇගේ හොඳම මිතුරියගේ පියාද මිය යාමට කලින් සතිවල මෙවැනිම කළු හිස්වැස්මක් පැළඳු පුද්ගලයෙක් දකින බව පැවසූ බවයි. තාත්තා මේ කරුණම පවසන විට ඇය පෙර සිදුවීම නොපැවසූයේ පැහැදිලි හේතූන් මතයි. 

කෙමෙන්  මේ කරුණ මගේ මතකයෙන් ගිලිහී ගියත් යළිත් මතකයට ආවේ සති දෙකකට පෙර වූ සිදුවීමක් නිසයි. කාර්යාලයේ මගේ මිතුරෙකු පැවසූයේ තම පියා රෝගාතුරවී ඉන්නා බවත් කළු තොප්පියක් පැළඳි  මිනිසෙක් ගැන විටින් විට පවසන බවත්. මා ඒ  ගැන නිහඩ වුවත් එම සති අන්තයෙන් පසු කාර්යාලයට පැමිණි විට දැන ගන්නට ලැබුනේ පෙර දින එම පියා අභාවප්‍රාප්ත වූ බවයි. 

මරණයට පෙර දකින මේ කළු හිස්වැසුම් ලූ කළු හැඳගත් මිනිසා ගැන මා හට අවසාන නිගමනයක් නැහැ. බොහෝ දුරට මරණය ළඟා වන විට මොළයේ යම් ක්‍රියාකාරිත්වයක් නිසා දකින දෘෂ්ඨි මායාවක් විය හැකියි. ආගමික විශ්වාසයන් අනුව ඒ මාරයා විය හැකියි. 

Saturday, July 22, 2017

ඔබට Other Side of Midnight මතකද ?  Can you remember Other side of Midnight ?

ඉහත ප්‍රශ්නය නැගුවොත්  සිඩ්නි ෂෙල්ඩන්ගේ එනම් ජනප්‍රිය නවකතාව මතකයට නැගෙනු ඇති.  අනපේක්ෂිත අවසානයක් (plot twist) තිබීම එම නවකතාව මතකයේ රැඳීමට ප්‍රධාන හේතුවක්. වරක් (සන්ඩේ ටයිම්ස් කතෘ) සිංහ රත්නතුංග, එස් බී දිසානායක මහතාව සිරගෙට යැවීමට හේතුවූ නඩු තීන්දුව හැඳින්වූයේ අදර් සයිඩ් ඔෆ් මිඩ්නයිට් සිදුවීමක් ලෙසයි. එනම් අධිකරණයේ එවකට ප්‍රබලයෙක් ඒ මහතාට වරද පිළිගත්තොත් නිදහස් කරන බවට  පොරොන්දුවක් දී නොමඟ යවා ඔහුව සිරගෙට යැවීමට (හඟවා ඇති පරිදි එවක ජනපතිනියගේ අනුදැනුම ඇතුව) කටයුතු කළ බවයි. එලෙස නවකතාව ඔබේ මතකයේ රැඳුනත්  නවකතාව ඇසුරින් නිර්මාණය කොට ඇති චිත්‍රපටයක් ගැන නම් ඔබ අසා තිබීමේ සම්භාවිතාව අඩු බව බොහෝ දුරට ස්ථිරයි. මෙවැනි ජනප්‍රිය නවකතාවක්  ඇසුරින් විශාල මුදලක් හා අන්තර්ජාතික මට්ටමේ නළුනිළියන් පිරිසක් යොදවා නිර්මාණය කළ චිත්‍රපටයක් අපේ මතකයේ නොරැඳීම පිටුපස ද රසවත් හේතුවක් තිබෙනවා. 

සිඩ්නි ෂෙල්ඩන්ගේ Other side of Midnight නවකතාව ප්‍රකාශයට පත්වන්නේ 1973 වසරේදීයි. පෙම් ත්‍රිකෝනයක් ඇසුරු කරගත් නවකතාවක් වූ එය අතිශයින් ජනප්‍රිය වීම නිසාම ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම එහි අයිතිවාසිකම් මිලදී ගත්තේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමටයි. ජනප්‍රිය වට්ටෝරු මාදිලියේ චිත්‍රපටයක් සඳහා සියලු අමුද්‍රව්‍ය එනම් පෙම් කතාවන්, ලිංගිකත්වය, අනපේක්ෂිත අවසානයක් ආදි  සියලු දේ    නවකතාව සතුවුනා. මේ නිසාම ඊට කලින් ගෝඩ් ෆාදර්, එක්සෝසිස්ට් වැනි ජනප්‍රිය නවකතා ඇසුරින් තනන ලද ඉහළ මට්ටමේ හොලිවුඩ් චිත්‍රපට මෙන්ම මෙය ජනප්‍රිය වීමේ වැඩි සම්භාවිතාවක් තිබුනා. 

අන්තර්ජාතික මට්ටමේ නළු නිළි පිරිසකුත් සමඟ විශාල වියදමක් දරා නිපයූ Other Side of Midnight චිත්‍රපටය 1977 නිකුත් කිරීමට  ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස්  සූදානම් වුනා. පෙර ප්‍රචාරණය නිසා මේ චිත්‍රපටය ගැන සිනමාහල් අයිතිකරුවන් අතර විශාල උනන්දුවක් ඇති වී නිසැකවම ලොකු ගාණක් හොයා ගත හැකි මේ චිත්‍රපටය තම සිනමා හල් වෙත ලබා ගැනීමේ උනන්දුවක් තිබුනා. හැබැයි සෙන්චරි ෆොක්ස් සමාගමට මේ වෙන කොට තවත් ගැටළුවක් තිබුනා. 

නාහෙට අහන්නෙ නැති දඩබ්බර කොළු ගැටයෙක් අධ්‍යක්ෂණය කරපු වැඩිය අහල නැති නවක නළු නිළි පිරිසක් රඟපාන ටිකක් නෙවේ හොඳටම විකාරරූපි කතාවක් තියන "බී' ග්‍රේඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකුත් මේ කාලයේම නිකුත් කිරීමට සමාගම සැලසුම් කර තිබුනා. අද්භූත සත්ත්වයන්, 1930 දශකයේ කව්බෝයි ෆිල්ම් හා සුපර් හීරෝ ෆිල්ම්වල කොටස් මිශ්‍ර කර හැදූ මේ චිත්‍රපටය ගැන සමාගමේ විධාකයන් සතුව නම් කිසිම පැහැදීමක් තිබුනේ නැහැ.  මේ විකාර රූපි චිත්‍රපටය අනිවාර්යයෙන් අසාර්ථක වන බවට ඔවුන් තුළ ලොකු විශ්වාසයක් තිබුනා.  හැබැයි අවුලකට තිබුනේ මේ වන විටත් විශාල මුදලක් සමාගම විසින් මේ චිත්‍රපටයට වැය කිරීමයි. ඒ නිසා තම ආයෝජනය බේරා ගැනීමට සෙන්චරි ෆොක්ස් සමාගම කදිම උපක්‍රමයක් යෙදුවා. එනම් තමන්ගේ  වඩාත් ජනප්‍රිය  සිනමාහල් හිමියන් පුල පුලා බලා සිටින Other Side of Midnight චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා නම් සීමිත දර්ශන වාර ගනනක අර  දඩබ්බර තරුණයා නිර්මාණය කරපු   අසාර්ථක වීමට නියමිත බී ග්‍රේඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයත් ප්‍රදර්ශනය කළ යුතු යැයි කොන්දේසියක් සිනමාහල් හිමියන්ට පැනවීම. Other Side of Midnight වලට කෑදරකමේ සිනමාහල් හිමියන් අකමැත්තෙන් මේ කොන්දේසියට එකඟ වුනා. 

ඔන්න දැන් ඔය කොන්දේසි පිට ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම 1977 මැයි වල චිත්‍රපට දෙකම රිලීස් කලා කියමුකෝ. Other Side of Midnight වගේ ජනප්‍රිය චිත්‍රපටයක් එක්ක තමන්ගේ නිර්මාණයත් එකට නිකුත් කරපු නිසා චිත්‍රපටය හදපු තරුණ සිනමාකරුවත් සියලු අපේක්ෂා අත්හැර දමල තම බිරිඳත් එක්ක හවායි දූපතේ සංචාරයකට ගියා. 
  ඔන්න  දැන් අර සීමිත ප්‍රදර්ශන වාර ගණනකට නියමිතව තිබුනු අසාර්ථක   බී ග්‍රේඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය බලන්න ගියපු ප්‍රේක්ෂකයෝ ඉස්සල්ලම සිනමා තිරයේ මෙහෙම දෙයක් දැක්කා 


ඉතින් කතාවට කියනව වගේ ඉතුරු ටික ඉතිහාසය තමයි. දැන් හිතාගන්න පුළුවනිනේ ඇයි Other Side of Midnight චිත්‍රපටය හැමෝටම අමතක කියලා නේද ? 

Saturday, June 17, 2017

බෞද්ධයන්ට වන අකටයුතුකම් ගැන සෙවීමට වියට්නාමයට ගිය ලාංකික දෙමළ ඇංග්ලිකානුවා Ceylonese Tamil Anglican who spoke for the Vietnamese Buddhists

සෑහෙන කලක් ප්‍රංශ යටත් විජිතයක් ව පැවති ඉන්දුචීනය නොහොත් වියට්නාමය නිදහස ලබන්නේ 1954 ඩියන් බියන් ෆූ සටනේදී ප්‍රංශ යටත් විජිත හමුදාවන් හෝ චිමිං ගේ අනුශාසකත්වයෙන් හා සෙන්පති ගියැප්ගේ නායකත්වය යටතේ වූ වියට්මිං නොහොත් වියට්නාම් ජාතිකවාදී හමුදාවන් අතින් දැවැන්ත පරාජයක් ලැබීමත් සමඟයි. 1954 ජිනීවා සම්මුතියෙන් රටේ උතුරු කොටස හෝ චි මිං යටතේ වාමාංශික ජාතිකවාදී රාජ්‍යයක් වෙද්දී දකුණු කොටස ඇමරිකානු හා ප්‍රංශ අනුග්‍රහය යටතේ බටහිරට හිතවත් දක්ශිනාංශික රාජ්‍යයක් බවට පත් වූවා. දකුණු වියට්නාමයේ නායකයා වූයේ දක්ශිනාංශිකයෙක් කමියුනිස්ට් විරෝධියෙක් මෙන්ම උග්‍ර කතෝලිකයෙක් වූ න්ගෝ ඩින් ඩියෙම්. 



වියට්නාම් ජනගහණනයෙන් අති බහුතරයක් - එනම් 70%ක් පමණම බෞද්ධයන්. එසේ වුවත්  ප්‍රංශ පාලන සමයේ වැඩි සැලකීමක් ලැබුනේ බෞද්ධයන්ට නොව පාලකයන්ගේ ආගම වූ කතෝලික දහම වැළඳගත් වියට්නාම් ජාතිකයන්ටයි. න්ගෝ ඩින් ඩියම් මේ පිළිවෙත් තවදුරටත් ඉදිරියට ගෙන ගියා. උතුරේ ජාතිකවාදී රජයෙන් දකුනේ ජනතාවටද බලපෑම් තිබූ නිසා සිය බලය පවත්වා ගැනීම සඳහා ඩියම් විශ්වාසය තැබුවේ කතෝලික ජනතාව  මතයි. එම නිසා රජයේ රැකියා, හමුදාවේ උසස් වීම් ආදිය සියල්ලට ආගම බලපෑවා - එනම් ඒවා ලැබුනේ කතෝලිකයන්ට පමණයි. මේ අසාධාරණ පිළිවෙත සඳහා ඩියම් ගේ සොහොයුරාගේ බිරිඳ වූ කතෝලික කාන්තාවක වූ මැඩම්   නු ද විශාල බලපෑමක් ඇති කළා. 

1963 පමණ වන විට තත්ත්වය තවත් දරුණු වුනා. එම වසරේ වෙසක් උත්සවය කට උඩ තිබියදී ආගමික කොඩි ප්‍රදර්ශනය කිරීම රජය විසින් තහනම් කරනු ලැබුවා. එහෙත් ඊට සතියකට පෙර පාප්වහන්සේගේ ධජය ප්‍රදර්ශනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබුනා. කෙසේ වුවත් තහනම නොතකමින් බෞද්ධ ධජයන් ප්‍රදර්ශනය කිරීමට වියට්නාම් බෞද්ධ ජනතාව පෙළඹීමත් සමඟ උද්ගෝෂණ රැල්ලක් ඇතිවූවා. ඒවාට පොලීසිය වෙඩිතැබීම නිසා තත්ත්වය තවත් බැරෑරුම් වූවා. මේ අතර එම වසරේ ජූනි 11වන දින තික් ක්වාන් ඩුක් භික්ෂුව සිය සිරුරට ගිනි තබා ගනිමින් වියට්නාම් රජයේ මෙම පිළිවෙතට විරෝධය පළ කළා. ඇමරිකානු ඡායාරූප ශිල්පියෙකු නිසා මේ පිළිබඳව බාහිර ලෝකය දැන ගැනීමත් සමඟ විරෝධතා උග්‍ර වුනා. 


ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (Amnesty International) විසින් මේ සිදුවීම් පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම සඳහා තෝරාගන්නේ ලංකාවේ වෙසෙන තරුණ දෙමළ නීතිඥයෙක්. එවකට 31 වන වියේ පසුවන ඔහු ඇංග්ලිකන් කිතුණු පවුලකට අයත් වූවෙක් මෙන්ම රටේ ප්‍රධාන පෙළේ ඇංග්ලිකන් පාසලක් වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ හා  බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවෙක්.  ක්ෂමා ආයතනය විසින් රටක් පිළිබඳව තැනූ පළමු වාර්තාව වන්නේද මෙයයි.  

ලේක් හවුස් පුවත්පත් සමාගමෙන් "විශේෂ වාර්තාකරුවෙක්" බව සහතික කරන ලිපියක්ද ඔහුට ලැබෙන්නේ කටයුතු වඩාත් පහසු කරගැනීමටයි. එහෙත් 1963 නොවැම්බර් මාසයේ මේ ගමනට ලක ලෑස්ති වෙමින් තිබියදී හමුදා කුමන්ත්‍රණයක් මඟින් න්ගෝ ඩින් ඩියම්ගේ පාලනය පෙරළෙනවා. එම පාලනය විසින් දේශපාලන හා ආගමික සිරකරුවන්ද නිදහස් කරන නිසා ක්ෂමා ආයතනයේ වාර්තාව එතරම්ම අදාළ නොවන තත්ත්වයක් මතු වනවා. නමුත් අපේ කතානායකයා එසේ වුනත් දකුණු වියට්නාමයට යාමට තීරණය කරනවා. 

එයට ප්‍රධානම හේතුව වන්නේ ඔහුගේම වචන වලින් කියන පරිදි  වියට්නාමයේ බෞද්ධයන් කතෝලික රජය විසින් මැඩපැවත්වීම ගැන රටේ විවිධ අන්තගාමී කොටස් මඟින් පතුරුවා හරින ප්‍රචාරකවාදී කටකතා නිසා ලාංකික සමාජයේද කිතුණු හා බෞද්ධ පුරවැසියන් අතර ඇතිවිය හැකි නොසන්සුන්තාව. මේ වන විට ලංකාව පාලනය කරන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක යටතේ එන් කියු දියස් වැනි අන්තවාදීන් මෙහෙයවන  සිංහල බෞද්ධ ජාතිකවාදී රජයක්. මෙවැනි සාධකද මේ ගමනට බලපාන්නට ඇති. සිංගප්පූරුවේ දකුණු වියට්නාම් කොන්සියුලර් කාර්යාලය මඟින් අවසර ලබාගන්නා ඔහු සයිගොන් නගරයට( වර්තමාන හෝ චි මිං නගරය) ගොඩ බසිනවා. 


දකුණු වියට්නාමයේ නව රජය බෞද්ධයන් වෙත තිබූ අකයුතුකම් වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම නිසා ඒ වන විට රටේ තත්ත්වය තරමක් යහපත් අතට හැරී තිබුනා. පසුගිය රජය ගැන පරීක්ෂණයක් නිසා වියට්නාම් සමාජයේ විවිධ කොටස්වල සහායද ඔහු වෙත ලැබුනා. මේ කරුණු සම්පිණ්ඩනය කොට ඔහු තම වාර්තාව එළි දක්වන්නේ 1964 ජනවාරි මාසයේ. 

එම වාර්තාවට අනුව දකුණු වියට්නාමයේ බෞද්ධ ජනතාවට විරුද්ධ අකටයුතුකම්වලට ප්‍රධානම හේතුව කතෝලික ජනතාවගේ හෝ කතෝලික පල්ලියේ ක්‍රියාවලට වඩා තම බලය තහවුරු කරගැනීම හා තම පවුලේ අභිවෘද්ධිය උදෙසා න්ගෝ ඩින් ඩියම් ගේ ඒකාධිපති පාලනය නිසා ගන්නා ලද ක්‍රියාමාර්ග නිසා බව පැහැදිලිවම සඳහන් කරනවා. එමෙන්ම ඩියම් යථාර්තයෙන් බැහැර වීමට හේතුව ඔහුව රූකඩයක් මෙන් පාලනය කළ ඔහුගේ සොහොයුරා හා නෑනා බවද විශේෂයෙන් සඳහන් කරනවා. එමෙන්ම වෙසක් උත්සවය පැවැත්වීමට සිදුවූ බාධා නිසා ඇතිවූ උද්ඝෝෂණ හා වෙඩි තැබීම් ආදිය ගැන ද සවිස්තරාත්මක සාක්ෂි සහිතව සටහන් වනවා. 

කෙසේ වුවත් වාර්තාවේ අවසානයේ ඔහු වැදගත් කරුණක් සඳහන් කරනවා. එනම්  වියට්නාම් බෞද්ධයන්ට මෙතරම් අකටුයුතුකම් සිදුවුවත් එවකට ලංකාවේ සිංහල බෞද්ධ අන්තවාදීන් තම දේශපාලනික උවමනාවන් සඳහා මවා පෙන්වන පරිදි වියට්නාම් කතෝලිකයන් හා බෞද්ධයන් අතර යුද්ධයක් වැනි තත්ත්වයක් නොමැති බවත් එම ආගමිකයන්  දෙපිරිස අතර කිසිදු වෛරයක් නොදුටු බවත් සඳහන් කරනවා. එමෙන්ම  වියට්නාම් බෞද්ධ නායකයන්ද  පවසන්නේ එම දුෂ්කර සමයේ  සාමාන්‍ය කතෝලික ජනතාව විසින් තමන් වෙත දැක්වූ සහාය අගය කරන බවත් කතෝලික ජනතාව සමඟ තමන්ගේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත්. 

මෙලෙස ක්ෂමා ආයතනය වෙනුවෙන් දකුණු වියට්නාම් බෞද්ධයන් ගැන සොයා බැලීමට ගිය තරුණ දෙමළ නීතිවේදියා නම් පසු කලක ලංකාවේ කීර්තිමත්ම විදේශ ඇමතිවරයා බවට හා බෙදුම්වාදයට එරෙහි සටනේ සංකේතයක් බවටද පත්වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා යි. ඒ මහතා ඉදිරිපත් කළ සම්පූර්ණ වාර්තාව මෙතනින් 
http://www.sundaytimes.lk/060813/news/nwsp13.0.html

Wednesday, May 31, 2017

ලෝකයේ වඩාත්ම බියජනක චිත්‍රපටය නැරඹීමි The Scariest Horror Film in the World




උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණයේ බිල්බෝඩ් පුවරුව මා දකින්නේ බොරැල්ලේ ලි‍ඩෝ සිනමා ශාලාව පසු කර යද්දීය. එය දුටු වනම ඒ සඳහා ආභාශය ලබා ඇත්තේ කොතනින්දැයි නිච්චියක් ලැබිණි. මගේ අනුමානය සනාථ වූ‍යේ පසුව "බන්ධනය" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය යූ ටියුබ් ඔස්සේ නැරඹීමෙනි. ඒ අනුව "බන්ධනය" යනු විලියම් පීටර් බ්ලැටීගේ  ජනප්‍රිය භීෂණාත්මක නවකතාව ඇසුරින් විලියම් ෆ්‍රයිඩ්කින් අධ්‍යක්ෂණය කරන ලද 1973 දී තිරගතවූ ආන්දෝලනාත්මක Exorcist (යකැදුරා) චිත්‍රපටයේ ලාංකීය අනුවර්තනයක් බව මට පසක් විය.  සාමාන්‍යයෙන් එක්සෝසිස්ට් චිත්‍රපටය හැඳින්වෙන්නේ "ලොව වඩාත් බියජනක චිත්‍රපටය" ලෙසය. එම චිත්‍රපටය නිෂ්පාදනය කෙරුනු සමයේ තාක්ෂණය හා එහි මනා හැසිරවීම නිසාම එවක එය නැරඹූ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරයන් උද්වේගකර විය. සිනමා ශාලා තුළ ක්ලාන්ත වීම්, වමනය දැමීම් ආදිය වාර්තා විය. පහත යූ ටියුබ් වීඩියෝවෙන් එය මනාව පැහැදිලි වනු ඇත. 



මගේ පියාගේ පුස්තකාලයේ මුල් නවකතාවේ පිටපතක් තිබිනි. එහෙත් කුඩා කල සිටම එහි අඳුරු වර්ණ පිටකවරයේ මුද්‍රිත අපැහැදිලි මුහුණ මා හට ගෙන ආවේ බියජනක හැඟීමකි. එය වඩාත් තීව්‍ර වූයේ පාසලේ දෙක වසරේ පමණ සිටියදී අපේ පවුලේ හිතවතියක් වූ මගේ පංති භාර ගුරුතුමිගේ නිවසේ පැවති නත්තල් සාදයකදී ඇගේ පුත්‍රයා විසින් එක්සෝසිස්ට් චිත්‍රපටයේ වී සී ආර් පිටපතක් අප හට ප්‍රදර්ශනය කළ පසුය. ඒ ඉතා සුලු වේලාවක් සඳහා පමණක් වුවද මා තුළ ඇති කලේ ‍නොමැකෙන මතකයකි. නවකතාව කියවීමට තරම් ඉංගිරිසි දැනුමක් ලැබූ ගැටවර වියේදී එය කියවූ විට මා බියට පත් කිරීමට සමත් තරම් විය - ඒ අතරම යමක් අලුතින් හිතන්නට පෙළඹවූ නවකතාවක්ද විය - කෙසේ වුවත් ඒ අවදියේ මම දැඩි ආගම් භක්තිකයෙක් වීමි. විලියම් පීටර් බ්ලැටී එය ඊනියා "සැබෑ" සිදුවීමක් ඇසුරින් නවකතාවට නැගූ බව පැවසුවද අද වන විට එය විවාදාත්මක වේ. එය කතෝලික/ක්‍රිස්තියානි මිත්‍යා විශ්වාස අනුව නම් "සැබෑ" සිදුවීමක් විය හැක. චිත්‍රපටයේ තිර රචනය ලියන්නේද  විලියම් පීටර් බ්ලැටීම ය. 

ඉරාකයේ මෝසුල් නුවර හා ඇමරිකාවේ ‍වොෂිංටන් නගරය කේන්ද්‍ර කොට ගෙන රූගත කරන ලද මේ චිත්‍රපටයේ ප්‍රධාන තේමාවක් වන්නේ දෙවියන්වහන්සේගේ නිහඩතාව යන සංකල්පයයි. ‍ජෝජ්ටවුන් හි සිය චිත්‍රපට නිළි මව ක්‍රිස්  සමඟ ජීවත් වන 13 හැවිරිදි රීගන් මැක්නීල් එකවනම අතිශය බියජනක හැසිරීම් දැක්වීමට පටන් ගනියි - ඇගේ මුහුණ විරූප වී කටහඩ අමානුශික ස්වරයක් ගනී.. ඇය අතින් මනුශ්‍ය ඝාතනයක්ද සිදුවේ.  ඇය සුව කිරීමට වෛද්‍ය විද්‍යාව අසමත් වන විට ක්‍රිස් පිහිට පතන්නේ ප්‍රවීන ‍මනෝ වෛද්‍ය විශේෂඥයෙකු මෙන්ම ජෙසුයිට් පූජකවරයෙකුද වන ඩේමියන් කරාස් ගේය. තම මවගේ බේදජනක මරණය නිසා සිය ආගමික විශ්වාසයන් සමඟ  බිඳිමක් ඇතිකරගෙන සිටින කරාස් පියතුමා රීගන්ව පරීක්ෂාවට භාජනය කරන්නේ ඇය මනෝ ‍ව්‍යාධියකින් පෙළෙන බවට‍ විශ්වාසයකින් යුතුවයි. එසේ වුවද අවසානයේ ඩේමියන් කරාස් හට  කතෝලික පල්ලියට අයත් ප්‍රකට යකැදුරෙකු වන වයෝවෘද්ධ ලැන්කැස්ටර් මෙරීන්ගේ සහාය ලබා ගැනීමට සිදුවන්නේ එය සැබෑ "යක්ෂාවේශ වීමක්" ලෙස ඔහුටම පිලිගැනීමට බලකෙරෙන නිසාය. 

අද හා එදා දක්නට ලැබුනු/ ලැබෙන බොහෝ හොරර් මාදිලියේ චිත්‍රපටවලට පොදු ලක්ෂණයක් වන්නේ ප්‍රේක්ෂකයා විරූපී මුහුණු, බියජනක සංගීතය, හදිසි බියකරු සිදුවීම් ආදියෙන් බියට පත් කිරීමේ හැකියාවයි. මේ අනුව හොරර් චිත්‍රපටයක සාර්ථකත්වය මනිනු ලබන්නේ බියට පත් කිරීමේ හැකියාව අනුව විනා එහි චරිත නිරූපණය, මූලික තේමාවන් හා අධ්‍යක්ෂණය වැනි සාධක මත නොවේ. එසේ වුවද එක්සෝසිස්ට් චිත්‍රපටය මේ හොරර් වට්ට‍ෝරුවෙන් බොහෝ වෙනස් වූ චිත්‍රපටයකි. එහි සංගීතය භාවිතය අවමය. විරූපි මුහුණු ආදිය දක්නට ලැබුනද ඒ සියල්ලටම වඩා චිත්‍රපටය තුළ ප්‍රබල කතාවක් දක්නට ලැ‍බේ. අධ්‍යක්ෂණය, කැමරාකරණය මෙන්ම චරිත නිරූපණයද විශිෂ්ඨ මට්ටමක පවතී. 1974 ඇකඩමි සම්මාන සඳහාද චිත්‍රපටය නිර්දේශ වූයේ ඒ නිසා විය හැක. ඒ සියල්ල පරයමින් නැගෙන චිත්‍රපටයේ මූලික තේමාව ඇතැම් විට පොතේ කතුවරයා නොසිතූ දෙයක් වන්නට ඇත. එනම් ආගමික විශ්වාසයන් කෙපමණ තිබුනත්  ජීවිතයේ නැගෙන කරදර බාධක ජයගත හැක්කේ තමන්ගේම කැපවීමෙන් විනා නොපෙනෙන බලවේග පිළිබඳ විශ්වාසය තැබීමෙන් නොවන බවයි. 

පසුකාලීනව එක්සෝසිස්ට් චිත්‍රපටයට තවත් කොටස් කිහිපයක් මෙන්ම එය අනුකරණයෙන් ඉන්දියානු චිත්‍රපට කිහිපයක්ද බිහිවිය. එහෙත් මුල් චිත්‍රපටයේ සිනමාරූපි බව ඒවාවල තිබිනිදැයි යන්න සැකසහිතය.

Tuesday, May 16, 2017

10,000 පසු කිරීමි

සිංහලෙන් බ්ලොග් එකක් කිරීමේ ආශාව මුල් වරට ඇතිවන්නේ 2011 පමන කාලයේය  එසේ වුවත් ලත් තැනම ලොප්වූ උත්සාහයන් කිහිපයකින් පසු වරින් වර ග්‍රවුන්ඩ්වීව්ස්, කළම්බු ටෙලිග්‍රාෆ් ආදි අඩවිවලට සැපයුනු ඉංගිරිසි ලිපි කිහිපයකට මගේ ලිවී‍මේ ව්‍යායාමය සීමා විය. ඉන් කිහිපයක් මනා පාඨක අවධානයට ලක්වූ බව කොමෙන්ටු අනුව පැහැදිලි වුවද තවදුරටත් උදාසීනතාව, කාර්යබහුලතාව ආදිය නිසා බ්ලොග් එක දියත් වූයේම නැත. එසේ වුවත් දැනට බ්ලොග් අවකාශයෙන් සමුගෙන සිටින මාලන් සමරවික්‍රම ගේ දිරිමත් කිරීමද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ අතර 2015 ජූලි මස මගේ උපන්දිනයෙන් හරියටම දවසකට පසු එතෙක් මගේ ජීවිතයට විශාල බලපෑමක් කළ, මගේ හොඳම මිතුරා ලෙස මා සලකන තාත්තා කෙටි කලක් අසනීපව සිට සඳහටම අප හැර යාම මා හට දරා ගැනීමට අපහසු විශාල පහරක් විය. එහෙත් යම් ආකාරයකින් මෙතෙක් මා කල් දමමින් සිටි කාර්යයක් ආරම්භ කිරීමටද එය එක්තරා ආකාරයකින් බලපෑවේය.  

මේ අනුව 2015 අගහරියේදී මා මෙතෙක් සිත තුළ සිරකර ගෙන සිටි දෑ වචන වලට කැටි කරන්නට පටන් ගතිමි. ආරම්භයේදි බ්ලොග් පෝස්ට් ඉතා කෙටි විය. පෝස්ට්වල හිට්ස් සොයා ගැනීම සඳහා මගේම හිට්ස් ට්‍රැක්වීම නිශ්ක්‍රීය කරදැමීමි. එහෙත් මුල් කාලයේ නම් හිට්ස් ගණන ඉතාම අඩු මට්ටමක පැවතිණි. මේ තත්ත්වයට හේතු වූයේ මගේ පෝස්ට් මසකට එකක් පමණ සීඝ්‍රතාවයකින් පළවීම හා ප්‍රචාරණය මඳ වීමත් විය හැක. ඒ තත්ත්වය වෙනස්වූ‍යේ මෞර්ය රාජ් ලබා දුන් ප්‍රචාරණයත් සමඟ බව සඳහන් කරන්නේ කෘතඥපූර්වකවය. 2015 සිට මේ දක්වා මා ලියා ඇති සමස්ත පෝස්ට් ගණන 32 කි. වසර 2ක් වැනි කාලයක් තුළ අවම සීඝ්‍රතාවයකින් ලියන ලද එවැනි අඩු පෝස්ටු ගනනක් සඳහා හිට්ස් 10,000 සීමාව පසු කිරීම බ්ලොග් ලෝක‍යේ දැවැන්තයන් හා සැලකූ විට ඉතාම සුලු කරුණක්  වූවත්, ඒ සඳහා දායක වූ පාඨකයන්ට උපහාරයක් ලෙස මේ කඩ ඉම මෙසේ සටහන් කරමි.  තවදුරටත් ඔබගේ අදහස් හා යෝජනා අගය කොට සලකමි.