Wednesday, February 5, 2025

ලසන්තගේ මිනීමරුවො‍්

ලසන්ත වික්‍රමතුංග ගැන 1997 පමණ සිට විටින් විට අසා තිබුනත් ඔහු මුල් වරට දකින්නට අසන්නට ලැබෙන්නේ 2001 ඡන්දයට කලින් චන්ද්‍රිකා/ මංගල  - ජවිපෙ පරිවාස රජය සමයේ ටී එන් එල් ජනහඩ වැඩසටහනකිනි. එවක අලි කොටි ගිවිසුම ආණ්ඩුවේ මාධ්‍ය වල ප්‍රධාන මාතෘකාවක් වූ අතර ලසන්ත ඉතා චතුර ලෙස සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම සම සමව භාවිතා කරමින් ආණ්ඩුවේ චෝදනා තර්කානුකූලව බිඳ හෙලීය. ඉන්පසුව බිහිවූ එජාප රජයේ වැරදි මුල් වරට විවේචනය කළේද ඔහුයි. මිලින්ද මොරගොඩ, ජයලත් ජයවර්ධන ආදි එජාප අමාත්‍යවරුන් ඔහුගේ නිර්දය විවේචනයට හසුවිය. සුරනිමිල නම් අනවර්ථ නාමයෙන් ඔහු ලියූ Inside Politics කොළම එකල මම කියවීමට ප්‍රිය කළෙමි. ලසන්ත කිසිවිටකත් අපක්ෂපාතී මාධ්‍යවේදියෙක් නොවීය. ඔහු එජාපයේ රනිල් පාර්ශ්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේය. රනිල්ට එරෙහි එජාප ජ්‍යෙෂ්ඨයන් හට දේශපාලනිකව හා අන් අයුරින්  පහර දීමට ඔහු නොපසුබට විය. එසේ වුවත් වැදගත් කරුණ වන්නේ ඔහු රනිල්ගේ ගොට්ටෙක් නොවීමයි. එවක රනිල් පාර්ශ්වය (නමට හෝ)  පෙනී සිටි ලිබරල් සමාජ මතවාදය හා  මධ්‍ය දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්ති හා ලසන්තගේ අදහස් සමානුපාත වීම එයට ප්‍රධාන හේතුව විය. ඔහු දේශපාලකයන් හමුවේ අදීන විය. ඔවුන් ඔහුට “සර් මැඩම්” නොව “ඔයා “ විය. මහින්ද රාජපක්ෂ සමඟ තිබූ පුද්ගලික මිත්‍රත්වය පවා පළුඳු කරගෙන 2005 ජනාධිපතිවරණයේදී හෙල්පින් හම්බන්තොට ගැන සොයා බැලූවේ ලසන්තයි. එල් ටී ටී ඊ සංවිධානයට මුදල් දී ජනාධිපතිවරණය ආපසු හැරවීම ගැන සෙව්වේය.

ලසන්ත හා ඔහුගේ බිරිඳ රේන් වික්‍රමතුංග 1980 දශකයේ සන්ඩේ ටයිම්ස් කාර්යාලයේදී 


ඉන්පසු මහින්ද ලසන්තගේ සතුරෙකු විය. ආණ්ඩු ප්‍රේමි සී ඒ චන්ද්‍රප්‍රේමට අනුව විපක්ෂය රනිල් නිසා දුර්වල වී ආණ්ඩු මර්ධනය නිසා බෙදී වෙන්වී සිටි අවදියක  ලසන්ත යනු එක් මිනිසෙකුගෙන් සැදුම්ලත් විපක්ෂයක් ( One Man Opposition) විය.  2006 හෝ 2007 මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස වරක් නොසරුප් බසින් ලසන්තට ගිගිරූ විට ලසන්තද නොසරුප් නොවන වචන යොදා ගෙන ආපසු ජනාධිපතිට බැන වැදී පසුව පුවත්පතේද පළ කළේය. සමාජ මාධ්‍ය, පැය 24 නිව්ස් සයිකල් නොතිබූ ඒ කාලෙයේ  ලංකාවේ බහුතරයක් වූ ජනමාධ්‍යවේදින් අතරින් ලසන්ත වෙනස් වූ‍යේ මේ දැඩි නිර්භීත බව නිසා ය.

ලසන්ත මරා දැමුවේ ඇයි?  මිග් ගණුදෙනුව ගැන හෙලි කිරීම හෝ උතුරේ යුද්ධ අපරාධ ගැන සෙවූ නිසා යැයි මම විශ්වාස නොකරමි. ලසන්තගේ බිරිඳ සමඟ පසුව පුවත් සේවයක් ආරම්භ කළ උවිඳු කුලකුලසූරිය කියන්නේ ලසන්ත විදේශ රහස් ඔත්තු සේවයකට සම්බන්ධ නිසා මරා දැමුනු සොනාලි සමරතුංග තමා හා පැවසූ බවයි. එහෙත් එයත් විශ්වාස කිරීමට අපහසුය. වඩාත් වීමට හැකි දේ ලසන්ත හා වෛරය සිතේ තබා ගත් මරා හා ඔහු‍ගේ  දේශපලනාධිකාරය, කිලිනොච්චිය බිඳ වැටී සිය ජනප්‍රියත්වය මුදුන් පෙත්තේ තිබෙන මොහොතේ තමන්ට සැමදා හිසරදයක් වූ මාධ්‍යවේදියෙක් මහ පාරේ සුනඛකයෙකු මෙන් අමානුෂික ලෙස මරා දැමූ බවයි. ඉන්පසු ඒ මිනීමරුවෝ තවත් ඝාතන දෙකක් සිදු කොට අහිංසක දෙමළ මිනිසුන් දෙදෙනෙක් මරා පරීක්ෂණ අන් අතනට යොමු කළහ.

සාක්ෂි යටපත් කිරීම හා දේශපාලන බලපෑම් නිසා අවුරුදු 16කට කලින් සිදුවූ මේ ඝාතනය ගැන තවදුරටත් සෙවීමේ හැකියාව ඇතැයි මම විශ්වාස නොකරමි. එහෙත් ලසන්තගේ ඝාතනය සම්බන්ධ පවුල දේශපාලනිකව අවලංගු වී අවසානයේ තමාවම හිස මුදුන් තබා ගත් ජනතාවගේ වෛරයෙන් දිවි ගලවා ගැනීමට හමුදාවේ පිහිට පැතීමට සිදු වීම දෛවයේ සරදමක් විය.  

Wednesday, January 8, 2025

වෘකයාගේ දවස - වෙබ් සීරිස් එකක් ලෙසින් The Day of the Jackal (2024)

 


චාල්ස් ඩිගෝල් කියන්නේ ප්‍රංශයේ විවාදාත්මක චරිතයක්. පළමු ලෝක යුද්ධයේ හා දෙවැනි ලෝක යුද්ධවල ප්‍රංශ හමුදාවේ නායකයෙක් ලෙස තීරණාත්මක කාර්යභාරයක් කරන ඔහු පසුව ප්‍රංශයේ ජනාධිපති වෙනවා. එවක (1950 දශකයේ අග) උතුරු අප්‍රිකාවේ ඇල්ජීරියාව යනු ප්‍රංශ යටත් විජිතයක්. ප්‍රංශයෙන් ගොස් එරට පදිංචි වී සිටින ප්‍රංශ ජාතිකයන් විශාල පිරිසක්ද එවක එහි සිටිනවා. මේ අතර ප්‍රංශ පාලනයට විරුද්ධව ස්වදේශික ජනතාව අතරින් වාම ගරිල්ලා ව්‍යාපාරයක් හට ගන්නවා. විවිධ මර්ධනකාරි උපක්‍රම මඟින් මේ ව්‍යාපාරය මර්ධනය කිරීමට ප්‍රංශය තැත් කරත් සාර්ථක වන්නේ නැහැ. ඉතින් එවක ජනාධිපති ඩිගෝල් තීරණය කරනවා අවසානයේදී ඇල්ජීරියාවට නිදහස ලබා දීමට. එහෙත් ඇල්ජීරියාවේ සිටින දහස් සංඛ්‍යාත ප්‍රංශ ජාතිකයනුත් ප්‍රංශ හමුදාවේ දක්ෂීණාංශික කොටස් මෙයට තදින්ම විරුද්ධ වෙනවා. ඔවුන් සිතන්නේ ඇල්ජීරියාව යනු ප්‍රංශයම බවයි. මේ නිසා හමුදාවේ දක්ෂිණාංශික කොටස් තුළින් අන්තවාදී ත්‍රස්තවාදි සංවිධානයක් බිහි වෙනවා. එහි නම Organisation armée secrète (OAS නොහොත් රහස් හමුදා සංවිධානය). OAS සංවිධානය ඩිගෝල් හා ඔහුගේ හිතවාදීන් ඝාතනය කිරීමට තැත් කරනවා. එහි කූටප්‍රාප්තිය 1962 දී එල්ලවූ ඝාතන ප්‍රයත්නයෙන් ඩිගෝල් දිවි ගලවා ගන්නේ අනූ නවයෙන්. 

මුල් නවකතාව


(නයිජීරියාවේ) බයාෆ්‍රා යුද්ධ සමයේ බී බී සී පුවත් සේවයේ මාධ්‍යවේදියෙක් වූ ෆ්‍රෙඩ්රික් ෆෝසයිත් මේ ඩිගෝල් ඝාතන ප්‍රයත්නය ඇසුරින් ඉතාම ජනප්‍රිය වූ ත්‍රිලර් මාදිලියේ නවකතාවක් ලියන්නේ 1971 දී. එහි නම The Day of the Jackal. OAS සංවිධානය සිය ඝාතන සැලසුම් අසාර්ථක වූ පසු විශාල මුදලකට කුලියට ගත් අති දක්ෂ ඝාතකයෙක් මාර්ගයෙන් ජෙනරල් ඩි ගෝල් ව ඝාතනය කිරීමට තැත් කිරීම පිළිබඳ මන:කල්පිත කතාවක් මෙහි අඩංගු වනවා. ඝාතකයා Jackal නොහොත් වෘකයා යන කේත නාමයෙන් තමාවම හඳුන්වා ගන්නවා.  ඒ පොත නිසා ෆෝසයිත් ලෝක ප්‍රකට ත්‍රිලර් කතා රචකයෙක් වුනා. මේ කතාව ඇසුරින් ෆ්‍රෙඩ් සිනමන් විසින්  එඩ්වර්ඩ් ෆොක්ස් ප්‍රධාන චරිතය නිරූපණය කරන චිත්‍රපටයක් 1973 නිර්මාණය කරනවා. 

මේ විසිවන සියවසේ මැද භාගයට අයත් කතාව 21 සියවසේ තෙවැනි දශකයට අදාළ පරිදි මෑතකදි  ප්‍රතිනිර්මාණය කර තිබෙනවා, ඒ ස්කයි නාලිකාව මඟින්. නවීන තාක්ෂණය යොදා ගන්නා අති දක්ෂ බ්‍රිතාන්‍ය ජාතික කුලී ඝාතකයෙක් ලෙස ප්‍රධාන චරිතය දක්වා තිබෙනවා. මුල් නවකතාවේ සඳහන් නොවන ලෙස වෘකයාට ඔහු ගැන තොරතුරු කිසිවක් නොදන්නා ආදරණීය බිරිඳක් හා ළදරුවෙක්ද ඇතුළු පවුලක්ද සිටිනවා. 



 එමෙන්ම අද කාලයේ ලිබරල් කතිකාවට ගැලපෙන පරිදි ඝාතකයා මෙහෙයවන්නේ බහු ජාතික සමාගම් නියෝජිතයන් විසින්. එමෙන්ම ඝාතකයාගේ ඉලක්කය වන්නේ අනීතික ලෙස බලගතු පුද්ගලයන් හා සමාගම් උපයාගත් ධනය හෙළි කරගැනීමට පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කරන යූ ඩී චාල්ස් නම් තොරතුරු තාක්ෂණික අංශයේ කෝටිපතියෙක්. සමාජ සාධාරණත්වය උදෙසා ට්‍රිලියන ගණනක වත්කම් හෙළිකර යුතුයැයි ඔහු විශ්වාස කරනවා. කෙසේ වුවත් බ්‍රිතාන්‍යයේ රහස් ඔත්තු සේවයේ නිලධාරිනියක් හට වෘකයා ගැන ඉව දැනෙන්නේ ඔහු විසින් පෙර අවස්ථාවක ජර්මන් අන්ත දක්ෂීණාංශික පක්ෂයක නායකයා ඝාතනය කිරීමත් සමඟයි.



 වෘකයා සතුව විශේෂයෙන් නිර්මාණය කළ ගිනි අවියක් ඇති බවද ඇය සොයා ගන්නවා. වෘකයා පසුපස ඇගේ ලුහු බැඳීම කෙසේ අවසන් වේවිද? මුල් නවකතාවේ ප්‍රංශ ‍ පොලිස් නිලධාරි ක්ලෝඩ් ලිබෙල්ගේ චරිතය බියංකා පුල්මන් ලෙස නිරූපණය කරන්නේ බ්‍රිතාන්‍ය කළු ජාතික නිළි ලෂානා ලින්ච්. වෘකයාගේ චරිතය එඩී රෙඩ්මේන් නිරූපණය කරනවා. IMDB හි 8.2 ශ්‍රේණි ගත කිරීමක්ද Rotten Tomatoes හි 85% ප්‍රසාදයක්ද සහිත The Day of the Jackal කාලෙකින් බලපු හොඳම ත්‍රිලර් සීරිස් එකක් ලෙස ඉහළින්ම නිර්දේශ කරන්න කැමතියි.