Monday, October 28, 2019
Friday, October 11, 2019
සත්‍යෝදයේ සිට භික්ෂුවකගේ උරුමය දක්වා
අබෞද්ධයෙකු
වශයෙන් බුදු දහම ගැන මුල් වරට පැහැදිලි වැටහීමක් ලබා ගැනීමට මා හට උපකාරී
වූයේ මහාචාර්ය වල්පොළ රාහුල හිමියන්ගේ What
the Buddha Taught පොත්
පිංචයි. එසේ වුවත් එම පොතේ එතුමා දැක්වූ
අදහස් අනගාරික ධර්මපාලතුමා චිකාගෝවේ දැක්වූ අදහස් මෙන්ම සිය සැබෑම අදහස් නිරූපණය
නොවන්නේදැයි කුකුසක් ඇති වූයේ එතුමා පසුකාලීනව සිදු කරන ලද පුවත්පත් සාකච්ඡා ආදිය
කියවීම නිසාය. 1956 පෙරළියට පවා උත්තේජයක් සැපයූ “භික්ෂූවකගේ උරුමය” පොත කියවන්නේ
මේ නිසාමය. එම පොතට පෙර වදනේ ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසන්නේ කෘතියේ සන්දර්භය
ගැන පැහැදිලි අදහසක් ලබා ගැනීමට රාහුල හිමියන්ම රචිත “සත්යෝදය” ද කියවන ලෙසයි. එම
නිසාම එකක් පසුවට අනෙක වශයෙන් අදාළ කෘති දෙකම කියවීමි.
සත්‍යෝදය
යනු 1933 හා 1934 වසරවලදී වල්පොල රාහුල හිමියන් එවක ලංකාවේ බෞද්ධයන් අතර පවතින
විවිධ මතවාදයන් සම්බන්ධයෙන් සිය අදහස් පළකරමින් නිකුත් කරන ලද පත්‍රිකා කිහිපයක්
1992 වසරේදි පොතක් ලෙස පළ කිරීමකි. එසේ
වුවත් බෞද්ධයන් අතර පවතින එම අදහස් එදත් අදත් වැඩි වෙනසක් නැති නිසා ඒ පොත අදටද
එලෙසින්ම අදාළ කරගත හැකිය. උන්වහන්සේ පහත දැක්වෙන කරුණු (හා තවත් ඒවා ) මේ තුළින්
මතු කරති. බුද්ධ ප්‍රතිමාවලට ආහාර පිලිගන්වමින් කරන බුද්ධ පූජා අනර්ථකාමි බවත්
සැබෑ බුද්ධ පූජාවක් වන්නේ ඒ ආහාර අසරණයන්ට දුගීන්ට පූජා කිරීමෙන් බව, ආලෝක පූජා
ආදි විවිධ ආමිස පූජාවන්ගේ ඇති නිරර්ථක බව, ලැබෙන ආනිශංස ගැන සිතමින් පින් කිරීමේ
නිරර්ථක බව, නිර්වාණය ලැබෙන බවට “ප්‍රාර්ථනා” කිරීමම ආත්මාශාව නිසා නිර්වාණයෙන්
ඈත් කරවන්නක් බව, බණ අවසානයේ පිරිකර පූජා කිරීම නිරර්ථක බව, සාම්ප්‍රදායිකව පැවතෙන
සිරිත් ඒ නිසාම පිළිනොපැදිය යුතු බව සහ තර්කාන්විත විය යුතු බව, ඇතැම් පුරාණ අටුවා හා
අනෙකුත් ධර්ම ග්‍රන්ථ භීක්ෂූන්ට වාසි වන පරිදි
ලියැවීමේ හැකියාවක් ඇති බවින් තර්ක බුද්ධියෙන්ම එලෙස සාම්ප්‍රදායික කරුණු
බුදුන් වහන්සේ දෙසූ ධර්මයට අනුකූලදැයි සොයා බැලිය යුතු බව හා ඉතාම විප්ලවකාරී ලෙස
සංඝරත්නය යන්නට අදාළ වන්නේ භික්ෂූවක් වීම නිසා නොවන බවත් නිවැරදි මාර්ගයේ ගමන් කරන
අට ආර්ය අවස්ථාවේ සිටින කවර හෝ පුද්ගලයෙකු මහා සංඝරත්නයට අයත් බවද එතුමා සඳහන්
කරයි. එමෙන්ම භික්ෂූන් නොමැති විම හෝ දාගැබ් විහාර නොමැතිවීම නිසා බුද්ධ ශාසනය
නොනැසෙන බවද කිසිම භික්ෂූවක් හෝ
විහාරස්ථානයක් නොමැතිවද බුදු දහම පවතින බවද එතුමාගේ අදහසයි.
සන්දර්භය
සැලකූ විට මේ අදහස් පළ කරන විට එතුමා වයස අවුරුදු 26 ක හෝ 27ක තරුණ වියේ පසුවූ බව
සැලකිය යුතුය. එමෙන්ම එකල ලංකාවේ වියතුන් අතර ප්‍රකටව තිබූ සමාජවාදී අදහස්වල බලපෑම
රාහුල හිමියන්ටද දැනීම මේ සමහර රැඩිකල් අදහස් වලට හේතුවිනි දැයි සැකයක් මට ඇතිවිය.
භික්ෂූවකගේ
උරුමය රාහුල හිමියන් ලියන්නේ ඊට දශකයකටත් පසුවය. ඒ වන විට මැදිවියට පැමිණ සිටි
එතුමා කෘතිය ලිවීමට මූලික හේතුව 1946 වසරේ
එවක අග්‍රමාත්‍ය ඩී ඇස් සේනානායක මහතා හා එතුමාගේ අමාත්‍යවරුන් විසින් භික්ෂූන්ට දේශපාලනය
අකපයැයි කරන ලද ප්‍රකාශ බව පෙනේ. එවක සිටි මහනායක හිමිවරුවන්ද සේනානායක මහතාගේ
ස්ථාවරයට වක්‍රව සහයෝගය දුන් බව පෙනේ. එවකට ලංකා එක්සත් භික්ෂූ බලමණ්ඩලයට සම්බන්ධව ජාතිකවාදි හා වාමවාදී
දේශපාලනයක් සිදුකළ වල්පොළ රාහුල හිමියන් මේ ප්‍රකාශ අභියෝගයට ලක්කරමින් සිදුකළ
ශාස්ත්‍රීය දේශන, පොතක් ලෙස පළ කරන ලද්දේ ලංකාවේ ඓතිහාසිකව භික්ෂුවට ඓතිහාසික
භූමිකාවක් ඇති බවත් එය ආගමික මෙන්ම දේශපාලනිකවද දැඩි ලෙස වැදගත් බව තහවුරු කිරීම
සඳහා විය යුතුය. අන්තර්ජාලය කෙසේ වෙතත් පාඨ ග්‍රන්ථ පවා සපයා ගන්නට අපහසු සමයක තම
සියලුම නිගමනයන්ට ත්‍රිපිටකයෙන්, අටුවා ග්‍රන්ථවලින්, මහා වංසයෙන් පමණක් නොව ඉංගිරිසි
ආණ්ඩුකාරයන් හා යටත් විජිත ලේකම් අතර හුවමාරු වූ රහස් ලිපි ලේඛන, දේශපාලනය ගැන
විවිධ අර්ථ දැක්වීම් සඳහා හැරල්ඩ් ජේ ලැස්කි වැනි ප්‍රකට විද්වතුන්ගේ ග්‍රන්ථ ඉතිහාසයට
අදාළ ව නේරු, වෙල්ස් ආදීන් ලියූ කෘති පරිශිලනය කොට අදාළ කොටස් ද උප ග්‍රන්ථ හා
අධෝ ලිපි ලෙස උපුටා දක්වා ඇත.
කෙසේ
වුවත් දශකයකට කලින් භික්ෂුවගෙන් තොරව බුද්ධ ශාසනය පැවතිය හැකි බව පැවසූ රාහුල
හිමියන් මෙහිදී පවසන්නේ භික්ෂූන් යනු සිංහල ජාතියත් ආගමත් රැකගන්නා බලවේගය ලෙස
චිරාත් කාලයක් පටන් පවතින බවයි. ක්‍රිපූ
2වන සියවසේ සිටම ලංකාවේ භික්ෂූ ශාසනය තුළ ප්‍රතිපත්ති පිරීමට වඩා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ
කොට ධර්මය පිළිබඳ ඉගෙනීමට මුල් තැනක් ලැබුනු බවත් භාවනායෝගි භික්ෂූන්ට වඩා අතීතයේ
සිටම සමාජය සමඟ ගැටෙමින් ධර්මය උගැන්වූ භීක්ෂූන්ට තැනක් හා බලයක් තිබූ බවත් රාහුල
හිමියන් අදහස් කරයි. එය බුදු දහමට පටහැනි වුවද භික්ෂූන්ගේ ඓතිහාසික භූමිකාව විය
යුතුයැයි එතුමා පිළිගනී. තවද බුදු දහමට පටහැනී වුවද අතීතයේ පටන්ම විහාර සඳහා
නින්දගම් මෙන්ම වහලුන් පවා රජවරුන් ලබා දුන් බවත් ඒ හරසර අනුව විශාල දේශපාලන බලයක්
ඔවුන්ට හිමිව තිබූ බවත් පවසන්නේ රජවරුන් හා අනෙකුත් බලවතුන් කරන දේ බැහැර කළ යුතු
යැයි සත්‍යෝදයේ පැවසූ රාහුල හිමියන්මය. එමෙන්ම රටේ සෛවරීත්වය විනාශ කිරීමට
භික්ෂූන් හා ගිහි නායකයන් හා ජනතාව අතර බැඳීම දුර්වල කළ යුතුයැයි ඉංග්‍රීසි
පාලකයන්ම ලියූ ලිපි සාක්ෂී ලෙස රාහුල හිමියන් සපයයි. එමෙන්ම 1815න් පසු
ආණ්ඩුකාරවරයා මල්වතු මහා නායක පදවිය සඳහා දෙන සන්නසේ රජයට මහනාහිමි යටත් විජිත
වාදින්ට විරුද්ධ කුමන්ත්‍රණ ගැන ගතු කිවයුතු යැයි අනියමින් පවසමින් මහනායකයන් නිවට
ඔත්තු කරුවන් බවට පත් කොට ඇතැයි රාහුල හිමි පවසන්නේ භික්ෂූන් දේශපාලනයෙන් බැහැර
විය යුතුයැයි එවක මහනාහිමිවරුන්ද අනියමින් පැවසූ නිසා විය යුතුය.
කෙසේ
වුවත් තරුණ වියේ සමාජවාදී අදහස් වල බලපෑම නිසා සත්‍යෝදයේ රැඩිකල් අදහස් දැරූ
රාහුල හිමියන් කෙමෙන් ජාතිකවාදි හා සංරක්ෂණවාදී අදහස්වලට යොමු වීම නිසා සිය
මැදිවියේදී ඉඳුරා වෙනස් ස්ථාවරයකට යොමුවූ බව මේ පොත් දෙක ඇසුරින් පෙනී යන කාරණයයි.
Subscribe to:
Posts (Atom)