Wednesday, October 26, 2016

ලංකාවේ ද්‍රවිඩ ජනාවාස හා යාපනය රාජධානියේ ආරම්භය - කාර්තිගේසු ඉන්ද්‍රපාල Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna

 කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා ගැන මම මුල්වරට ඇසුවේ මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපි තුළින්.  ඉන්ද්‍රපාල මහතා තම ආචාර්ය උපාධිය සඳහා වයස අවුරුදු 27 ක ශිෂ්‍යයෙක් වශයෙන් 1965 දී ලන්ඩන් සරසවියට ඉදිරිපත් කළ මුද්‍රිත පිටු 562 ක් සහිත  නිබන්ධනය වන Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna මා කියවීමට පෙළඹවූයේ ලංකාවේ ජනවාර්ගික ගැටළුව හා බැඳුනු සුවිශේෂ කරුණුවලට යම් පිළිතුරක් එමඟින් ලබා ගැනීමට හැකියැයි සිතුනු බැවින්. 
කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා

ඉන්ද්‍රපාල මහතාගේ නිබන්ධනයේ මා දුටු විශේෂත්වය වන්නේ ඉතාම තර්කාණුකූල කරුණු පැහැදිලි කිරීමයි. මෙහිදී මූලාශ්‍ර ලෙස සිංහලයන්ට සම්බන්ධ ‍ මහාවංස,ථූපවංසය,පූජාවලිය වැනි ග්‍රන්ථ මෙන්ම දෙමළ මූලාශ්‍ර ලෙස යාල්පාන වයිපමාලෙයි, Ancient Jaffna හා නැගෙනහිර පළාතට අදාළ ග්‍රන්ථද ඔහු යොදාගන්නවා - එසේ වුවත් මේ මූලාශ්‍ර පිළිබඳවද විචාරාත්මක විශ්ලේෂණයක් කිරීමෙන් පසු වඩාත් විශ්වාසදායි කොටස් පමණක් තම නිගමන සඳහා යොදාගැනීම ඔහුගේ වෘත්තීමයභාවය ගැන හොඳ ඉඟියක් සපයනවා. 
ලක්දිව මුල් කාලීන ද්‍රවිඩ ජනාවාස පිළිබඳ සාධක ඇති ස්ථාන 

සිය නිබන්ධනයේ ඉන්ද්‍රපාල මහතා ඉදිරිපත් කරන මූලික කරුණු හා නිගමන සැකෙවින් මෙසේයි : 

  • අනුරාධපුරයේ සිටම නගරබදව හා වරාය ආශ්‍රිතව කුඩා ද්‍රවිඩ ජනාවාස පැවත තිබෙනවා - බොහෝ විට දකුණු ඉන්දියානු දෙමළ සංගම් වලට අයත් පවුල්, සිංහල රජවරුන්ට සේවය කළ ද්‍රවිඩ කුලී ‍හේවායන්, ද්‍රවිඩ පූජකයන් ආදීන් මේවායේ වාසය කොට තිබෙනවා. කෙසේ වුනත්‍ මොවුන් සලකා ඇත්තේ විදේශිකයන් ලෙස බව විවිධ සෙල්ලිපි ආදියෙන් පැහැදිලි වෙනවා. 
  • තරමක් හෝ දුරට ස්ථිර ද්‍රවිඩ ජනාවාස ඇතිවීමට පදනම ඇතිවන්නේ 11 වන සියවසේ රාජ රාජ හා රාජේන්ද්‍ර චෝළ යන නරපතීන්ගේ ආක්‍රමණත් සමඟයි. මේ ජනාවාස මන්නාරම, ත්‍රිකුණාමලය හා රජරට අවට බිහිවුවත් යාපනය අර්ධද්වීපයේ ඒ වන විටත් තිබී ඇත්තේ සිංහල බහුතරයක්. 
  • පොළොන්නරු යුගය වන විට තව තවත් මේ ද්‍රවිඩ ජනාවාස පුළුල් වනවා - කුලී හේවායන් හා විවිධ වෘත්තිකයන් වෙළඳුන් මේවාවල ජීවත් වනවා. දාගැබ්, විහාර ආදිය කරවීම සඳහා විවිධ නිර්මාණ ශිල්පීන්ද දකුණු ඉන්දියා‍වෙන් ගෙන් වීමේ ප්‍රවණතාවක් තිබී ඇතිබව පැවසෙනවා. එමෙන්ම මුල් වර‍ට පරාක්‍රමබාහු රජු විසින් කයිට්ස් (ඌරාතොට) වරාය ආශ්‍රිතව වරාය නිලධාරීන්ට ආමන්ත්‍රණය කළ  සෙල්ලිපියක් ද්‍රවිඩ බසින් එම ප්‍රදේශයන් හමුවූ පැරණිතම අවස්ථාවක් ලෙස සැලකෙනවා. ඒ අනුව 12 වන සියවසේ මැද භාගය පමණ වන විට එම ප්‍රදේශයේ දෙමළ වෙළඳුන් මෙන්ම වරාය නිලධාරීන්ද සහිත දෙමළ ගහණයක් සිටි බව අනුමාන කළ හැකියි. එමෙන්ම ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම ආශ්‍රිතව ජනාවාස ඇතිවී තිබෙනවා. 
  • ලාංකිය ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන්නේ දෙමළ හා කේරළ කුලී හේවායන් 24000 ක් සමඟ කාලිංග මාඝ ගේ අාක්‍රමණයයි. මෙය පෙර ආක්‍රමණවලට වඩා වෙනස් වන්නේ සිංහල ජනතාවට හා බෞද්ධ විහාරස්ථාන, භීක්ෂූන්ට කරන ලද දැඩි හානිය නිසා. මේ ආක්‍රමණයත් සමඟ සිංහලයන් කෙමෙන් රජරට අත්හැර විශාල ලෙස දකුණට සංක්‍රමණය වීමත් සමඟ එවක සිංහල ප්‍රදේශවූ වර්තමාන වව්නියා, මුලතිව් ආදි දිස්ත්‍රික්කවල මාඝ සමඟ පැමිණි ද්‍රවිඩ කුලී හේවායන් මෙන්ම පසුව පැමිණි දකුණු ඉන්දියානු සංක්‍රමණිකයන් පදිංචි වීම ඇරඹීම මෙරට ස්ථිර හා විශාල දෙමළ ජනාවාස ඇතිවීමේ ආරම්භය ලෙස සැලකිය හැකියි. මෙහිදී සිංහලයන් සතුව තිබූ ඉඩම්,ගම්මාන බලහත්කාරයෙන්ම ද්‍රවිඩ ගම්බිම් බවට පත් වූ බව පැවසෙනවා. 
  • කෙසේ වුවත් යාපනය අර්ධද්වීපයේ තිබී ඇත්තේ මීට තරමක් වෙනස් ස්වභාවයක් - කාලාන්තරයක් තිස්සේ යාපනයට දෙමළ සංක්‍රමණියකයන් පැමිණියත් ඉහත කී ප්‍රදේශවල මෙන් නොව සාමකාමී සහජීවනයක් දෙමළ හා සිංහල ජනතාව අතර තිබෙන්නට ඇතැයි සැලකෙනවා - ඉන්පසු සිංහල ජනතාව යාපනයෙන් විස්ථාපනය එකවරම වාර්ගික සංහාරයක ස්වරූපයෙන් නොව ක්‍රමක්‍රමයෙන් - මේ සිංහලයන් බොහෝ විට දෙමළ ජනගහනයටම අන්තර්ග්‍රහණය වූවා විය හැකියි කාලයත් සමඟ. 
  • ඉහත කී ලෙස යාපනය අර්ධද්වීපයේ සාමකාමී ලෙස සිදුවූ ජන විස්ථාපනයට සාධක වන්නේ  උදාහරණයක් ලෙස දෙන්නේ යාපනය ප්‍රදේශයේ ස්ථාන නාම වල පරිණාමය. බොහෝ විට සිදුවී ඇත්තේ සිංහල ස්ථාන නාමයම එහි දෙමළ ස්වරූපයට පරිණාමය වීමයි - මෙය වන්නි හා උතුරු මැද ප්‍රදේශවල දෙමළ ස්ථාන නාම ලැබීමට වෙනස් ව සිදුවූ දෙයක් - 
  • ක්‍රිව 1236 න් පසු කාලිංග මාඝ ගැන විස්තරයක් ලැබෙන්නේ නැහැ . නමුත් ඉන්ද්‍රපාල මහතා මූලාශ්‍ර ඉදිරිපත් කරමින් පවසන්නේ දඹදෙණිය රාජධානියේ සිට සිංහල හමුදාවන්ගේ ප්‍රහාර නිසා පසුබසින කාලිංග මාඝ යාපනය කේන්ද්‍ර කොටගත් රාජධානිය පිහිටුවීමට මුල් වූ බවයි.  එහෙත්  මේ යාපනය රාජධානියට දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණිකයන් විවිධ ආකාරවලින් පැමිණි බවද පැවසෙනවා. 
  • 13 වන සියවසෙන් පසු සිංහල ජනතාව රජරටින් දකුණට විස්ථාපනය වීමත් එම ප්‍රදේශ වල් බිහිවීමත් නිසා යාපනය කේන්ද්‍ර කොටගත් දෙමළ රාජධානියකුත් දකුණු කොටසේ සිංහල රාජධානියකුත් වෙන වෙනම වර්ධනය වීම කාලිංග මාඝගේ ආක්‍රමණයේ ප්‍රධාන ප්‍රතිඵලයක් වූවා. කෝට්ටේ පාලන යුගයේ සපුමල් කුමාරයා යාපාපටුන ජයගත්තද එය පාලනය වූයේ වෙනම ප්‍රදේශයක් ලෙසයි. පෘතුගීසි සමය වන විට යාපනයේ සිටි සිංහලයන් බොහෝ දුරට දෙමළ ජනගහණයට අන්තර්ග්‍රහණය වීමත් සමඟ බොහෝ දුරට අද දකින ස්වරූපයට අති බහුතරයක් දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශයක් බවට යාපනය පත්වූ පත්වූ බවත් නිගමනය කෙරෙනවා. 

මෙහිදී පැවසිය යුතු වැදගත් කරුණක් වන්නේ නලින් ද සිල්වා මහතා ගාමිණී ඊරියගොල්ල මහතාගේ මතයක් ඇසුරින් ඉදිරිපත් කරන 17 වන සියවසේ ලන්දේසීන් විසින් කෘෂිකාර්මික කම්කරුවන් ලෙස දුම්කොළ වගාවට යාපනයට ගෙන්වන ලද දෙමළ ජාතිකයන් නිසා යාපනයේ ජන සංයුතිය වෙනස් වී එතෙක් කල් සිංහල බහුතරයක්ව සිටි ප්‍රදේශයේ දෙමළ බහුතරයක් වූ බව කියන කතාවට නම් මේ නිබන්ධනය මඟින් පිටුවහලක් ලැබෙන්නේ නැති බවයි. බැලූ බැල්මටම පෙනෙන පරිදි එය පිළිගැනීමට අපහසු  අන්තගාමි අදහසක්. අනිත් අතට උතුරු නැගෙනහිර දෙපළාත ලංකාවේ දෙමළ ජනතාවගේ නිජභූමිය බවට දෙමළ බෙදුම්වාදී පිරිස් කාලාන්තරයක් ගෙන යන මතයටද මෙමඟින් අනුබලයක් ලැබෙන්නේ නැහැ. 

අවසාන වශයෙන් පැවසිය යුත්තේ ආචාර්ය නිබන්ධනය සඳහා ශිෂ්‍යයෙක් ලෙස ඉන්ද්‍රපාල මහතා ඉදිරිපත් කළ නිබන්ධනයෙන් ‍එවකටත් දළුලමින් තිබූ දෙමළ ‍බෙදුම්වාදී මතවාදයන්ට අනුබලයක් නොලැබීම නිසා දෙමළ විද්වත් සමාජය අතර ඒ මහතා ට දැඩි විරෝධයක් පලවූ බවයි. ඔහුගේ සමකාලියෙක් වන මහාචාර්ය මයිකල් රොබට්ස් පවසන්නේ මේ නිසාම ඔහු හුදකලා තත්ත්වයට පත්වූ බවයි. පසුකාලීනව ඉන්ද්‍රපාල මහතා ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට යනවා. තම ආචාර්ය උපාධි නිබන්ධනයෙන් වසර 40කට පසු හා අවුරුදු 30 ක විශ්වවිද්‍යාල සේවයකින් පසු  2005 දී ඔහු තවත් පොතක් පළ කරනවා. ඒ The Evolution of an Ethnic Identity: The Tamils of Sri Lanka C. 300 BCE to C. 1200 CE . තමන් මුලදී පළ කර මතවාදයන්ට හාත්පසින් වෙනස් නිගමනයන්ට ‍ මේ පොත මඟින් එළැඹ ඇති බව පෙනෙන්නට තිබෙනවා. සිංහල හා දෙමළ යන වාර්ගිකයන් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ලංකාවේ ජීවත් වූ එකම පූර්වජ පරම්පරාවකින් පැවතෙන බවත් ඔවුන් වසර දෙදෙහසක් පමණ එක්ව ජීවත් වූ බවත් පසුව භාෂා ආදේශනයක් නිසා උතුරු ඉන්දියානු ප්‍රාකෘති භාෂාවක් සමස්ත ජනගහනයෙන් විශාල පිරිසක් අතර පැතිර යාම නිසා සිංහල අනන්‍යතාවද දෙමළ බස සෙසු පිරිස් අතර පැතිරයාමද සිදුවූ අතර  අතර ක්‍රිව 1200 පමණ චෝල ආක්‍රමන නිසා මුලදී දෙපිරිසම අනුගමනය කළ බුදු දහම වෙනුවට දෙමළ කතාකරන පිරිස් අතර ‍ ශෛව ආගමද පැතිර ගොස් දෙමළ අනන්‍යතාව බිහිවූ බවත් එම පොත මඟින් නිගමනය කර තිබෙනවා. මහාචාර්ය මයිකල් රොබට්ස් නම් පවසන්නේ ඉන්ද්‍රපාල මහතාගේ මේ අදහස් පෙරළිය නව අධ්‍යනයන් නිසා හෙළිවූ අලුත් කරුණු නිසා ඇතිවූවකට වඩා තමන්ගේ මුල් මතයන් නිසා දෙමළ ජනතාවගෙන්ම තමන් කොන්වීම නිසාම ජීවිතයේ සැඳෑ සමයේ හෝ තම දෙමළ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ව්‍යායාමයක් විය හැකි බවයි. 

කෙසේ වුවත් ඉතිහාසය දෘෂ්ඨිවාදයෙන් තොරව  අපක්ෂපාතීව හැදෑරීම සඳහා උදාහරණයක් ලෙස කාර්තිගේසු මහතාගේ මුල් නිබන්ධනය සැලකිය හැකියි. 

Saturday, October 1, 2016

යුද්ධය හා සාමය ( 1965) War and Peace ( Voyna i mir ) (1965)

ලියෝ තෝල්ස්තෝයිගේ “යුද්ධය හා සාමය“ නවකතාව මා අද වෙන තෙක් කියවා නැහැ. කියවා ඇත්තේ ජිනදාස ලේල්වල නම් අයෙක් විසින් 1960 දශකයේ මැද භාගයේ කරන ලදැයි සැලකිය හැකි ඉතාම අසාර්ථක ඡායානුවාදයක් පමණයි. පසුකාලයේ මෙම කෘතියේ සම්පූර්ණ ඉංගිලිසි පරිවර්තනය ලැබුනත් එහි විසාලත්වය නිසාම කියවීමට සිත් දුන්නේ නැහැ. එම නිසා නවකතාවේ විස්තර කියවූයේ අන්තර්ජාලයෙන්. එය සැලකෙන්නේ ලෝක සාහිත්‍යෙය් විශිෂ්ඨතම කෘතියක් ලෙසයි. මෙම කෘතිය සිනමාවට නැගීමට හොලිවුඩය 1956 දී සමත් වුනත් එය එතරම් සාර්ථක උත්සාහයක් ලෙස සැලකෙන්නේ නැහැ. 

රුසියානු සාහිත්‍යෙය් මේ ශ්‍රේෂ්ඨතම කෘතිය සෝවියට් රජයේ අනුග්‍රහයෙන් චිත්‍රපටයක් බවට පත්වන්නේ 1965 වසරේදියි. එහි අධ්‍යක්ෂණය සර්ජි බොන්දර්චුක්.  දැවැන්ත සිනමා නිර්මාණය නළු නිළියන් 12000 ක් යොදා ගත් අතර ඒ සඳහා ගිය වියදම වර්තමානයේ ඩොලර් මිලියන 67 සමාන බව ගණන් බලා තිබේ . එකිනෙකට සම්බන්ධිත චිත්‍රපට 4 ක එකතුවක් වන මෙහි සමස්ත ධාවන කාලය පැය 6 ½ කි .



සිනමා කෘතියට පසුබිම් වන්නේ නැපෝලියානු යුද්ධ සමයේ රුසියානු රදළ පවුල් දෙකක් මුහුණ දෙන අත්දැකීම් වේ . 1805 Aurelitz සංග්‍රාමය හා 1812 නැපෝලියන් රුසියාව ආක්‍රමණය , බිහිසුණු බොරෝදිනෝ සංග්‍රාමය , ‍මොස්කව් නගරය ගිණි තැබීම ආදි සිදුවීම් මෙම චිත්‍රපටයේ මොනොවට නිරූපිත වේ . මෙහි ප්‍රධානම චරිතය වන්නේ අධ්‍යක්ෂවරයාම පණ පොවන සිටුවර පියෙරේ බෙකුසොව් ය . බොහෝ විට චිත්‍රපටයේ මූලික දෘෂ්ඨිය පදනම් වන්නේ ඔහුගේ දෘෂ්ඨී කෝනයෙනි . යුධ විරෝධියෙක් හා බුද්ධීමතෙක් වන පියෙරෙ , තම හොඳම මිතුරා වන මුලදී යුදකාමියෙක්ව සිට පසුව ඉතා දුඛිත ඉරණමකය මුහුණ දුන් ඇන්ඩ්‍රේ කුමාරයා හා තමන්ද රහසින් පෙම් කරන නතාෂා රොස්තෝවා අතර ආලය උපේක්ෂාවෙන් ඉවසයි . එසේවුවත් නතාෂා හා ඇන්ඩ්‍රේ අතර සබඳතාව බිඳී ගිය පසු ඇගේ පිහිටට එන්නේ ද ඔහුය. මේ සියල්ල පසුබිමින් නැපෝලියන් ගේ ආක්‍රමණය සිදුවේ . යුද්ධයේ බිහිසුණු හා නිශ්ඵල බව ද මෙහි ප්‍රධාන තේමාවක් වේ . යුධ විරුවෙකු වීම මඟින් අමරණීත්වයට පත් වීමට අපේක්ෂා කරන ඇන්ඩ්‍රේ , යුද බිමේදී බරපතල තුවාල ලැබීමෙන් හා තම නැති අතර දරු ප්‍රසූතියේදී මරණාසන්න වන තම බිරිඳ‍ගේ මරණයත් නිසා දැඩි සෘණාත්මක අදහස් දරන අයෙකු වේ -නැපෝලියන් අධිරාජ්‍යයා තම කීර්තිය අ‍පේක්ෂා කළද බොරෝදිනොවේ දහස් ගණන් මළ සිරුරු අතර ඒ සිහිනයේ හිස් බව දකී .

සිනමා උපක්‍රම අතින් චිත්‍රපටය සෑහෙන ඉදිරිගාමි ප්‍රයත්නයක් වේ - චිත්‍රපටයේ එන ප්‍රධාන බාල් රංගනයන් ආදිය නිරූපනය කිරීමේදී ට්‍රැකින් කැමරා චලනයන් ( tracking shot) යොදා ගැනීම යුද සිදුවීම් නිරූපණයේදී අතින් ගෙන යන කැමරා චලනයන් ( hand held cameras) මෙන්ම ක්‍රේන් චලනයන් (Crane shots) යොදා ගැනීම විශේෂිත වේ . ප්‍රේක්ෂකයාට එම අත්දැකීම් විඳීමට සැලැස්වීමක් ඉන් අපේක්ෂා කෙරේ . එපික් වර්‍ගයේ සිනමා පටයක් නිසාදෝ සමීප රූප මෙහි සාපේක්ෂව අඩුය . ක්ෂුද්‍ර චිත්‍රයට වඩා සමස්ත පසුබිම ප්‍රේක්ෂකයාට දැකීමට සැලැස්වීමක් ඉන් අදහස් කළා විය හැක .එමෙන්ම පසුකාලීන හොලිවුඩ් සිනමා කරුවන් මේ චිත්‍රපටයෙන් උගෙන ඇති බවට දක්වන අවස්ථා ද වේ . උදාහරණයකට චිත්‍රපටයේ ආරම්භකම ජවනිකාව එකවරම සිහිගන්වන්නේ ඩේවිඩ් ලින්ච් ගේ Blue Velvet හි ආරම්භක ජවනිකාවයි. එමෙන්ම බොරෝදි‍නෝ සංග්‍රාමයේ එක් ජවනිකාවක් ස්පීල්බර්ග්ගේ Saving Private Ryan හි ප්‍රකට ජවනිකාවක් සිහිගන්වයි . එමෙන්ම CGI වලින් තොරව සිදු කරන ලද දැවැන්ත සංග්‍රාමයන් යථාර්තවාදී බවින් පරිපූරණ වේ . එම සමයට අදාළ ඇඳුම් පැළදුම් , පරිසරය ප්‍රතිනිර්මාණය කිරීමේදී මෙන්ම සෑම නළුනිළියෙකුගෙන්ම මනා රඟපෑමක් ලබා දීමට අධ්‍යක්ෂවරයා ක්‍රියා කර ඇති ආකාරය නිර්මාණයේ දැවැන්ත බව හා සැසැඳීමේ දී පුදුම එලවන සුළුය .









1968 හොඳම විදේශීය චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ඇතුලු තවත් ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගත් මේ සෝවියට් චිත්‍රපටය ප්‍රකට සිනමා විචාරක රොජර් ඊබට් පවසන පරිදි ලෝකයේ මෙතෙක් පහළවු විශිෂඨතම එපික් වර්ගයේ චිත්‍රපටය වේ .

ඉංගිරිසි උපසිරැසි සහිතව පහත ලින්කුවෙන් ඔබට මේ චිත්‍රපටය නැරඹිය හැකියි