Wednesday, August 31, 2016

ටැබූ සබ්ජෙක්ට්ස්ගේ පුරාවෘත්තය The Legend of Taboosubjects

 2009 දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ එතෙක් පැවති දෙමළ බෙදුම්වාදී අරගලය යටපත් කරන ලදී. ඒ සමඟම රට තුළ රජයේද අනුග්‍රහයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී රැල්ලක් පැන නැගිනි. සරත් ෆොන්සේකා මහතා 2010 ජනපතිවරණයට ඉදිරිපත් වන බව පැවසීමත් සමඟ මේ රැල්ල සමාජ ජාල හා බ්ලොග් අවකාශයටද  දැනී තිබුනේය. මේ අතර රාවය පුවත්පතේ එවකට විවිධ සිංහල බ්ලොග් අඩවිවල ලිපි පළ කිරීමේ කොලමක් විය. මේ කොලමේ පළවූ විවිද ලිපි අතරින් මා සිත් ගත්තේ taboosubjects නම් බ්ලොගයකින් ගත් ලිපි ය. එවකට තිබූ අනෙකුත් බ්ලොග් හා සලකන විට විශාල දේශපාලන පරිණතභාවයක් ඒ ලිපි තුළ දුටිමි. එවකට නිර්පාක්ෂික එහෙත් දැඩි සිංහල බෞද්ධ ජාතිකවාදී විරෝධී මතවාදයක සිටි මගේ දේශපාලනික මතයන් සමඟ ටැබූ ගේ ලිපි මැනවින් පෑහිණි. අන්තර්ජාලය ඔස්සේ ටැබූ පරිශීලනය කරන්නේ ඉන් පසුවය.



ටැබූ 



දේශපාලන ආර්ථික හා සමාජයීය මතවාද 

ටැබූ එවකට පෙනී සිටි‍යේ මට මතක විදිහට තරුණ ගණිත කථිකාචාර්යවරයෙක් ලෙසය. ඒ චරිතයේ ලිංගික අනන්‍යතාව සිතාමතාම නොපැහිදිලි (ambiguous)  කොට තබන ලදී. ප්ලැටොනික සමකාමි පෙමක් ගැන යම් ඉඟියක් ඇතැම් ‍පෝස්ටු තුළ විය. එමෙන්ම සමාජීයීය හා දේශපාලනික අතින් දැඩි ලිබරල් බවක් ද ආර්ථිකය සම්බන්ධ කාරණා වලදී මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ සිද්ධාන්ත සමඟ අනුගත වීමක් ද දක්නට ලැබිනි. මේ නිසාම ටැබූ සමාජවාදී මතවාදයන් දැරූ පුද්ගලයන් දැඩි උපහාසයට ලක් කළේය. අජිත් පැරකුම් ජයසිංහ සිය ඇඹේනියගේ කණකර උගස් කර "ශාස්තෲ" නම් නවකතාව පළ කිරීම දැඩිව උපහාසයකට ටැබූ ලක්කරන්නේ එවකට අජිත් සිටි සමාජවාදී දර්ශනය හා ඇති අරෝව නිසා වන්නට පුලුවන. මෙවැනි වූ ටැබූ, වික්‍රමබාහු කරුණාරත්නගේ දේශපාලනික භාවිතාව (අවංකකම) ගැන ප්‍රසාදයකින් කතා කළ නුමුදු එය හුදු වෙස්වළාවක්දැයි විටෙක සැක සිතේ. 

පාඨකයා පෙලඹවන සිත් ගන්නා සුළු භාෂා ව්‍යවහාරයක් බ්ලොග් පෝස්‍ට් තුළ පැවතිනි. අද දක්නට ලැබෙන බොහෝ බ්ලොග් කරුවන්ට ආදර්ශයට ගත හැකි නිමාවක් එතුළ තිබිනි. එවකට තිබූ පාර්ශ්වික බ්ලොග් අඩවිවල කොමෙන්ටු  හා බලන විට ටැබූ ගේ තවත් ප්‍රධානම වෙනසක්  වූයේ සංවාද යි. මේ කොමෙන්ට් සංවාද ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු වීම අද ප්‍රසිද්ධ බ්ලොග් අඩවිවලත් මා නොදකින ලක්ෂණයකි. රසිකලොජි හෝ W3 සැලකුවත් සංවාදවල ඉහළ ප්‍රමිතියක් දක්නට නැත. එමෙන්ම සමාජයීය දේශපාලනික කරුණු ගැන හුදු මතුපිට ඉක්මවා යන ප්‍රබල විශ්ලේෂණයක් (ඇතැම් අවස්ථාවල දෘෂ්ඨියාත්මක හේතූන් මත අසාර්ථක වුවද) ඉදිරිපත් කිරීමට ටැබූ ප්‍රයත්න දැරුවේය. ඒ බව එකල ක්‍රියාකාරී අනෙකුත් ප්‍රකට බ්ලොග්කරුවෙක් වන Beyond Frame හා තවමත් බ්ලොග් අවකාශයේ වැජඹෙන W3 Lanka සඳහන් කරනු මතකය. උදාහරණයකට දඩුවම් මුදලාලිගේ මිනීමැරුම ආදි සිද්ධීන් වලදී ඔහු දැරුවේ සාමාන්‍ය සමාජයේ ජනප්‍රිය මතයට බෙහෙවින් වෙනස් මතවාදයකි. එමෙන්ම නත්තල් සමයේ ක්‍රිස්තුස්වහන්සේ ගැන පෝස්ටුව හා ඒ අදාළ සංවාදද මතක් කළ යුතුය. 

ජනවාර්ගික ගැටළුව සම්බන්ධයෙන් ටැබූ දැරුවේද සාම්ප්‍රදායික ලිබරල් මතවාදයයි. බලය බෙදා හැරීමට ඔහු පක්ෂ විය. එහෙත් එය ‍‍ කොයි ආකාර විය යුතුදැයි සවිස්තරාත්මක අදහස් දැක්වීමක් ඉදිරිපත් නොකළේය. දරුවන් දෙදෙනෙකු සිටින පවුලක වැඩිමහල් දරුවාට ලබා දුන් වැනිම බයිසිකලයක් බාල දරුවාද ඉල්ලීම හා දෙමව්පියන් එම ඉල්ලීම දිගින් දිගටම විවිධ හේතූ දක්වමින් මඟහැරීම පිළිබඳ උපමා කතාවක් මඟින් ලංකාවේ ආණ්ඩු මඟින් දිගින් දිගටම දෙන ලද පොරොන්දු කඩ කිරීම නිසා දෙමළ ජනතාව ප්‍රචණ්ඩත්වය තෝරාගත් බව ගෙන හැර දැක්වූ බව මතකය. යුද්ධය අවසාන භාගයේ දෙමළ සරණාගතයන් කඳවුුරු තුළ අවුෂ්විට්ස් වැනි දුක්ඛිත තත්ත්වයක ජීවත් වන බව "නොකෑ යුතු අවුුරුද්ද" නම් පෝස්ටුවෙන් පෙන්වා දුන් නමුත් එය හුදු විචාර බුද්ධියට හා සත්‍යයට වඩා දෘෂ්ඨීවාදයට තැන දුන් පෝස්ටුවක් බව පසුව පැහැදිලි විය. එමෙන්ම සිංහල බෞද්ධ ජාතිකවාදයට ඇති දැඩි විරෝධය දැක්වූ "සිංහයාට පාදස්ථලයක්" පෝස්ටුව ප්‍රතිවිරුද්ධ කඳවුරු අතර ගල උඩ සටනකට මඟ පාදන්නක් විය. කෙසේ වුවද සුළු ජාතීන්ගේ දේශපාලනික අයිතිවාසිකම් මහ ජාතියේ ජාතිකවාදය මඟින් යටපත් කිරීමට ටැබූ එරෙහි විය. 

එමෙන්ම කෙතරම් ආණ්ඩු විරෝධී ලිබරල්වාදීන්ගේ ආකර්ෂණයට ලක්වුවත් ටැබූ යනු හුදු ආණ්ඩු විරෝධීයෙක් නොවීය. ඔහු 2010 ජනපතිවරණයේදී ෆොන්සේකාට සහයෝගය නොදුන්නේය. ඔහු පරදින බව කලින්ම පැවසීය. ඔහු රනිල් වික්‍රමසිංහව තදින්ම අප්‍රිය කළේය. එවැනි නායකයෙකු ලවා මහින්ද රාජපක්ෂව රිප්ලේස් කරගැනීමට ඔහු කැමති නොවීය. මහින්ද රාජපක්ෂ ගැන ඔහු දැරූ ආකල්පය බොහෝ දුරට මධ්‍යස්ථ මතධාරී ප්‍රායෝගික මතවාදයක් විය. ඒ ගැන හොඳින්ම වැටහෙන්නේ "මහින්ද රාජපක්ෂගේ ලොකුම හතුරා" වැනි පෝස්ට් කියවීමෙනි. (මෙවැනි ආකල්ප සඳහා දේශපාලනයට එහා ගිය පුද්ගලික කාරණා බලපාන්නට ඇතැයි මම දැන් සැකකරමි. ) 


කෙසේ වුවත් හැරී බලන විට ටැබූ ගේ දැඩි දෘෂ්ඨිවාදය නිසාම තර්කානුකූල බව මඟ හැර ක්‍රියා කළ අවස්ථා තිබූ බව පැහැදිලිය. උදාහරණයකට වෛද්‍ය රංග වීරක්කොඩි අප හට කෙතරම් අප්‍රිය ජනක චරිතයක් වුවත් ටැබූ සමඟ විවාදයේදී ඔහු සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙල අනුමත ‍කළ නොහැක. එමෙන්ම නලින් ද සිල්වා ආදීන්ගේ මතවාද ගැන උඩින් පල්ලෙන් බලා කිසිඳු හරයක් නැති දෙඥඥම් බැටේ විචාරද  ප්‍රාථමික මට්ටමේ පැවතුනි.


ටැබූ හැක්වීම 

සෑම යහපත් දෙයක්ම අවසන් විය යුතු යැයි ඉංගිරිසි කියමනක් තිබේ. ටැබූ ලිබරල් වාදීන් අතර ජනප්‍රියත්වයේ හිණිපෙත්තට නැගී තිබූ හා සිංහල බෞද්ධ ජාතිකවාදී පිරිසගේ දැඩි වෛරයටත් භාජනය වී තිබූ 2011 මුල් භාගයේ හිටි හැටියේ ටැබූ අඩවිය "හැක් වීමකට" ලක් විය. ඒ ගැන සැකය යොමු වූයේ එවක ජනප්‍රිය තිබූ පෙරමුණේ රාළ බ්ලොගයට සම්බන්ධ පිරිසක් ගැනය. එය රජයේ මාධ්‍ය මර්ධනයේ තවත් පියවරක් යැයි සිඟිති ආතල් ගත් පිරිසක් ද වූහ - හතරවැනි රයිකය ආදි කොපි කැට් බ්ලොග් බිහිවූයේ මේ නිසාය. එමෙන්ම ටැබූ අඩවියට සම්බන්ධ යැයි කියමින් එවකට බුකියේ නමක් දිනා ගෙන සිටි ලිබරල් කථිකාචාර්යවරු දෙදෙනෙකුගේ නම් ද පා කරන (floated) ලදී . 

කෙසේ වුවත් සැබෑ ටැබූ උවමනාවෙන්ම බ්ලොගය අවසන් කොට හැක්වීමේ රංගනයක යෙදුනාද යන්න අදටද ‍ ප්‍රෙහේළිකාවකි. පසුකාලීන නිරීක්ෂණ අනුව ටැබූ ලෙස වඩාත්ම සැක කළ හැක්කේ අවුරුදු ගණනක් ජනමාධ්‍යට සම්බන්ධව සිටි පුද්ගලයෙකි. ඇතැම් විට පේරාදෙණිය සරසවියේ කලා උපාධීධාරියෙකු වූ දැන් දරුණු වර්ගවාදියෙක් බවට පත් ව සිටින වෘත්තීයවේදියෙකු ඔහුට සහාය වුනා විය හැකිය. 

කෙසේ වුවත් වඩාත් පරිණත බ්ලොග් කලාවකට අත් පොත් තැබූ ටැබූ නික්ම යාම සිංහල බ්ලොග් අවකාශයට නම් ලොකු පාඩුවකි. 

Wednesday, August 24, 2016

ලාංකික සයිබර් අවකාශයේ ශත 50 හමුදාව - The 50 cent Army of Sri Lankan Social Media

“ශත පනහේ හමුදාව“ ගැන මුලින්ම මාව දැනුවත් කළේ උවිඳු කුරුකුලසූරිය. ඒ කළම්බු ටෙලිග්‍රාෆ් අඩවියේ ඇතැම් නිර්නාමික කොමෙන්ට්කරුවන්ගේ ක්‍රියා පිළිවෙත ගැන උදාහරණයක්  ලෙසයි. මොකක්ද මේ ශත පනහේ හමුදාව ? 

කොමියුනිස්ට් චීනය අන්තර්ජාලයට විවෘත වීමත් සමඟ සමාජ ජාලද පැතිර යාමට පටන් ගත්තා. සමාජ ජාල ඔස්සේ ආණ්ඩු විරෝධය වීමේ අවදානම ගැන වැටහීමක් තිබූ චීන බලධාරීන් විසින්මු මුදල්  ගෙවා එම සමාජ ජාලවල ජනතා අදහස් තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීම සඳහා කුලියට ගත්අ න්තර්ජාල කොමෙන්ට්කරුවන් යෙදවීමේ සංසිද්ධියයි ඒ. මේ කොමෙන්ට්කරුවන් චීන ආණ්ඩුවේ ප්‍රතිරූපයට වාසි වන ආකාරයේ ලිපි පළ කිරීම, ලිපිවලට කොමෙන්ට් යෙදීම, ආණ්ඩු විරෝධී අදහස් දරන්නන් සමඟ වාද විවාද කිරීම සිදු කරනු ලැබුවා. කෙසේ වුවත් අද වන විට මෙම ක්‍රියාදාමය සිදුකරනු ලබන්නේ කුලියට ගත් කොමෙන්ට්කරුවන් නොව ස්ථිර වැටුප් ලබන චීන රජයේ නිලධාරීන් මඟින්මයි. 

පසුගිය දශකය තුළ හා අද දක්වාම ලංකාවේ සමාජ ජාල තුළත් මෙවැනිම ශත පනහේ හමුදාවක් ඇති බවට බරපතල සැකයක් අපට ඇති වීම ස්වභාවිකයි. නිදසුනක් ලෙස පසුගිය 2015 ජනාධිපතිවරණයේදී ඇතැම් පුද්ගලයන් රෙජීමය විසින්ම සමාජ ජාලවල ක්‍රියාකාරිත්වය සඳහා යෙදවූ බව ප්‍රසිද්ධ රහසක්. ජනමතයට බලපෑම් කිරීමට මේ පුද්ගලයන් භාවිතා කළේ බුකියේ පිටු හා දේශපාලන සමූහ.  එවකට විපක්ෂය වෙනුවෙන් කුලියට ක්‍රියාකාරීවූ  අන්තර්ජාල ක්‍රියාකාරීන් පිරිසක්ද මෙලෙසම සිටියා. ආණ්ඩු විරෝධී මීම් ආදිය මූලිකවම ඔවුන්ගේ නිර්මාණ. ඒ ඇතැමෙක් තවමත් වත්මන් රජය වෙනුවෙන් පෙනී සිටින බව නිරීක්ෂණය කළ හැකියි. එයත් ගරිල්ලා මාකටින් වර්ගයේ මෙහෙයුමක් විය හැකියි. 

කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ මහතාගේ වාසියට හේතුවන ප්‍රධානම කාරණයක් වන්නේ වැටුප් සඳහා නොව දෘෂ්ඨියාත්මක හේතූන් නිසා ඒ මහතාට සහයෝගය දෙන වෘත්තීයවේදීන්  විශාල පිරිසක් සමාජ ජාල තුළ සිටීමයි. බොහෝ විට ජාතික චින්තනවාදීන් හෝ ජාතිකවාදීන් වන මොවුන්  බොහෝ අවස්ථාවලදී තර්කනය මඟින් වර්තමාන රජයට සහාය දෙන පිරිස් හට කට උත්තර නැතිකිරීමට සමත් වී තිබෙනවා. උදාහරණයකට අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම, රටේ ආර්ථික තත්ත්වය ආදිය ගැන රජයේ මතවාදය ගෙනයන්නන්ගේ මතවාද කරුණු සහිතව සාර්ථක ලෙස බිඳ  හෙලීමට මේ ජාතිකවාදී වෘත්තීයවේදී ප්‍රජාව සමත් වී ඇත්තේ සයිබර්කු ලී හමුදාවට වඩා සාර්ථක ලෙසිනුයි. 

එම නිසාම රජයට සහයෝගය දෙන පිරිස (ටොයියන්) බිත්තියට හේත්තු කිරීමට බයියන් සමත් වී සිටින බව මගේ නිරීක්ෂණයයි. දැනට ටොයියන්ගේ ක්‍රියාකාරිත්වය විසිළු ස්වරූපයකට පත්ව ඇත්තේ රජයේ අසමත් බව ගැන ප්‍රධාන තර්කවල පිළිතුරු දීමට නොහැකිව වටේ යන වෙනත් වැදගත්කමක් නැති දෑ ගැන කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කිරීමට ඔවුන් පෙළඹී ඇති නිසා. 



Tuesday, August 9, 2016

බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ විසින් චෙල්වනායකම්ව “මෝසස්“ කෙනෙක් ලෙස හැඳින්වූයේද ? Did Bishop Lakshman Wickremasinghe call Chelva a " Moses" ?

ආචාර්ය නලින් ද සිල්වාගේ ප්‍රභාකරන්ගේ බාප්පලා මස්සිනාලා පොතේ හෝ ඔහු විසින් 1990 දශකයේ දිවයින පුවත්පතට සැපයූ ලිපිවල හෝ එන එක් කරුණක් දිගටම මගේ මතකයේ රැඳී තිබේ. එනම් ලංකාවේ දෙමළ ජාතිකවාදී බෙදුම්වාදී ව්‍යාපාරයේ සමාරම්භකයා ලෙස සැලකෙන එස් ජේ වී චෙල්වනායකම් මහතාගේ අවමඟුලේදී. ලංකාවේ ඇංග්ලිකන් පල්ලියේ කැපී පෙනෙන චරිතයක් වූ කුරුණෑගල බිෂොප් තැන්පත් ලක්ෂ්මන් වික්‍රමසිංහයන් කතාවක් පවත්වමින් “ තම ජනතාව පොරොන්දු දේශයට රැගෙන ගිය මෝසස් කෙනෙක් “ ලෙස චෙල්වනායකම් මහතාව හැඳින්වූ බවය. 


බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ මේ කළේ යැයි කියන ප්‍රකාශය පුපුරා යන සුලුය. එක අතකින් ඒ බිෂොප් තුමා, සිංහල බෞද්ධ ජාතිකවාදීන්ගේ උදහසට වැඩියෙන්ම ලක්වූ ශ්‍රී ලාංකික නායකයන් වන ජේ ආර් ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ළඟම ඥාතියෙකි. අනික් අතින් ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මුල් වරට ක්‍රියාකාරී වූ අයෙක්ද වේ. 1983 ජූලි වාර්ගික ප්‍රහාරයන්ගෙන් පසු හෙන්ස්මන් විසින් අනවර්ථ නාමයකින් රචිත Sri Lanka: Holocaust and After හි සඳහන් පරිදි බිෂොප් තුමා එම කලබලවලින් අනාථ වූ දෙමළ ජනතාව වෙසෙන සරණාගත කඳවුරුවලට ගොස් තමන්ට හැකි අයුරින් ඔවුනට පිහිට වීමට උත්සාහ ගත්තේය. එමෙන්ම තමන්ගේම ළඟම ඥාතීන් මේ ක්‍රියාවලිය පිටුපසින් සිටීම ගැන ඔහු දැඩි කණගාටුවකින් පසුවූයේලු. හෙන්ස්මන් කියන ආකාරයට ඒ වන විටත් සෞඛ්‍ය තත්ත්වය පිරිහී තිබූ බිෂොප්තුමාගේ මරණය ඉක්මන් වූයේ මේ කණගාටුව නිසාය. 

මේ තොරතුරු නිසා ලක්ෂ්මන් වික්‍රමසිංහයන් දෙමළ බෙදුම්වාදයට සානුකම්පිත ස්ථාවරයක් දැරුවේදැයි මම  සැක කළෙමි. කුරුණෑගල     ක්‍රිස්තු රජිඳු මුල් දෙව්මැදුරේ (Cathedral Church of Christ the King) ලක්ෂ්මන් වික්‍රමසිංහ ශාලාව දකින සෑම විටම මේ පිළිබඳවද මගේ මතකයට නැගිනි.   ඇංග්ලිකන් පල්ලියේ කෙනත් ප්‍රනාන්දු බිෂොප් වරයා “ප්‍රභාකරන් මානව හිතවාදියෙක්“ යැයි පැවසූ පසුබිමක් තුළ එවැන්නක් සිදුවීමේ යම් සම්භාවිතාවක්ද තිබිණි. කෙසේ වුවත් එවැනි ස්ථාවරයක් ඔහුගේ මානව හිතවාදී ප්‍රතිරූපය පළුඳු කරන්නක් මෙන්ම ක්‍රිස්තියානි/කතෝලික පල්ලි, බටහිර අධිරාජ්‍යවාදය හා දෙමළ බෙදුම්වාදය අතර ඇතැයි නලින් ද සිල්වා හා සිංහල බෞද්ධ ජාතිකවාදීන් පවසන සැබැඳියාව තහවුරු කරන්නක් ද වේ. 

කෙසේ වුවත් මෑතකදී මේ ගැන නැවතත් මතක් වූ අවස්ථාවක් අන්තර්ජාලය ඔස්සේ කීවර්ඩ් සෙවීමක් කළ විට මට දක්නට ලැබුනේ මා සිතූ ප්‍රතිඵලය නම් නොවේ - සැබවින්ම චෙල්වනායකම්ගේ අවමඟුලේදී ඇංග්ලිකන් බිෂොප්වරයෙක් “ He died like Moses himself without reaching the promised land but the vision he saw, he leaves behind as the heritage and challenge to his peopleයනුවෙන් ප්‍රකාශයක් කර තිබේ. බයිබලයේ පැරණි ගිවිසුමේ නික්මයාම (Exodus) පරිච්ඡේදයේ එන මෝසස් නම් ඊශ්‍රායල් ජනතාව මිසර වහල් භාවයෙන් මුදාගත්  විමුක්තිදායකයා , කානන් දේශය එනම් පොරොන්දු දේශයට යාමට පෙර මිය යාමත් පසු කාලිනව ජෝෂූවා වැනි නායකයන් ඊශ්‍රායල සෙනඟ පොරොන්දු දේශය වෙත ගෙනයාමත් අතර සමාන්තර බවක් මේ ප්‍රකාශය තුළ ගම්‍ය වේ. ( ඒ අනුව නම් ජෝෂූවාට සමාන වන්නේ ප්‍රභාකරන්ය !) . 

කෙසේ වුවත් ඉහත ප්‍රකාශය කරඇත්තේ බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහයන් නම් නොවේ. දකුණු ඉන්දියාවේ ඇංග්ලිකන් පල්ලියේ යාපනය බිෂොප් තැන්පත් ඩී ජේ අම්බලවානර් විසිනි.  එම නිසා බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහයන්ගේ නමට සිදු වූයේ අසාධාරණ කැළලක් බව සඳහන් කළ හැකිය.