Wednesday, June 3, 2026

ව්ලැදිමීර් ලෙනින් හා බොල්ෂෙවික් විප්ලවයේ දේශපාලන යථාර්ථය

 

1917 ජනවාරි මාසයේදී ලෙනින් සිටියේ ස්විට්සර්ලන්තයේ සුරික් නුවරයි. තමාගේ ජීවිත කාලය තුළ රුසියාවේ විප්ලවය දැකීමට නොලැබෙනු ඇතැයි ඔහු දැඩි කම්පාවකින් යුතුව පැවසීය. ඔහුගේ සහචරයා වූ ට්‍රොට්ස්කි එම අවස්ථාවේදී පදිංචිව සිටියේ නිව්යෝක් නගරයේය. එවකට බොල්ෂෙවික් පක්ෂයේ සමස්ත සාමාජික සංඛ්‍යාව 24,000 ක් වූ කුඩා අන්තගාමි සංවිධානයක් විය. එහෙත් ඉන් මාස හයකට පසු ඔවුහු රුසියාවේ පාලන බලය අත්පත් කරගත්හ. එය සිදුවූයේ කෙසේද?




ව්ලැදිමීර් ඉලයිච් උලයානොව් — හෙවත් ලෙනින් — නොසිටින්නට කාල් මාක්ස්ගේ න්‍යාය බොහෝ දුරට හුදු න්‍යායක් පමණක්ම වීමට ඉඩ තිබුණි.

සාර් පාලනයට විරුද්ධ වූ ප්‍රධානතම පක්ෂය වන 'රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය' විශ්වාස කළේ පළමුව ධනවාදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයකට අවතීර්ණ වී, දෙවනුව නිර්ධන පන්තියේ ඒකාධිපතිත්වය (Dictatorship of the Proletariat) කරා යොමු විය යුතු බවයි. ඒ සඳහා නිර්ධන පන්තිය සටන් හා  අරගල තුළින් ස්වාභාවිකව විප්ලවවාදී විඥානයක් කරා ළඟාවනු ඇතැයි පක්ෂය අපේක්ෂා කළේය. එහෙත් එම පක්ෂයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයෙකු වූ ලෙනින් මෙම මතය අනුමත කළේ නැත. ඔහු විශ්වාස කළේ නිර්ධන පංතියට තනිවම සැබෑ විප්ලවවාදී විඥානයක් කරා ළඟාවිය නොහැකි බවයි — නිර්ධන පංතිය තනිව ක්‍රියා කළහොත් ඔවුන් ළඟාවන්නේ වැටුප් හා වැඩ කොන්දේසි වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති සංවිධානයකට  මිස සැබෑ විප්ලවීය දේශපාලන විඥානයකට නොවන බව ලෙනින්ගේ තර්කය විය.

මෙම පසුබිම තුළ 1902-1903 වකවානුවේදී ලෙනින් සිය දේශපාලන මතවාදය ඇතුළත් කරමින්, පසුකාලීනව ලෝක දේශපාලනයට දැවැන්තම බලපෑමක් ඇති කළ "කළ යුත්තේ කුමක්ද?" (What Is to Be Done?) නමැති ප්‍රසිද්ධ දේශපාලන පත්‍රිකාව ප්‍රකාශයට පත් කළේය. ඇත්ත වශයෙන්ම, ලෙනින් පවා එවකට එයින් සිදුවිය හැකි ආන්දෝලනාත්මක බලපෑම පිළිබඳව සිතන්නට නැතුවා විය හැකිය.ඔහුගේ තර්කය සරලය; එනම් නිර්ධන පන්තියට තනිවම විප්ලවවාදී විඥානයක් කරා ළඟා විය නොහැක. එම නිසා, දැඩි කැපවීමකින් යුත් පූර්ණකාලීන විප්ලවවාදීන්ගෙන් සමන්විත කුඩා "පෙරටුගාමී පක්ෂයක්" විසින් නිර්ධන පන්තිය සංවිධානය කරමින් විප්ලවය වෙත මෙහෙයවිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම මතභේදය හේතුවෙන් 1903 දී ලන්ඩනයේ පැවති පක්ෂ සම්මේලනයේදී පක්ෂය දෙකඩ විය (ඇත්ත වශයෙන්ම ඉස්ක්‍රා ( ගිනිපුපුර) නම් පක්ෂ පුවත්පතේ සංස්කාරක මණ්ඩල සම්බන්ධයෙන් වූ ඡන්දයකදී). එහිදී සිදුවූ ඡන්ද ගණන් කිරීමේදී ලෙනින්ගේ පාර්ශ්වය ඡන්ද කිහිපයකින් ජයග්‍රහණය කළ බැවින්, ඔවුහු "බොල්ෂෙවික්" (බහුතරය) නමින් හැඳින්වුණහ. විරුද්ධ පාර්ශ්වය "මෙන්ෂෙවික්" (සුළුතරය) බවට පත් විය. නමුත් බිම්මට්ටමේ සැබෑ යථාර්ථය ඊට සපුරා වෙනස් විය. මෙන්ෂෙවික්වරුන්ට 100,000 කට ආසන්න සාමාජික පිරිසක් සිටි නමුත් බොල්ෂෙවික්වරුන්ට සිටියේ 24,000 ක් වැනි සුළු පිරිසකි. පසුව ලෙනින් සමඟ එක්වූ ට්‍රොට්ස්කි ද මුල් කාලයේදී මෙන්ෂෙවික් පාක්ෂිකයෙකු වීම සුවිශේෂී වේ.

1905 දී රුසියාවේ ප්‍රථම විප්ලවීය තත්ත්වය මතු වුවද එය අසාර්ථක විය. ඉන් පසු ලෙනින් වසර ගණනාවක් තිස්සේ ජිනීවා, පැරිස්, ක්‍රකව් සහ අවසානයේ සුරික් ආදී විදේශීය නගරවල පිටුවහල්ව ජීවත් විය. 1917 ජනවාරි වන විට ඔහු දැඩි ලෙස අධෛර්යයට පත්ව සිටියේ මේ නිසාය.

එහෙත් පළමු ලෝක යුද්ධය ඇවිලී ගොස් 1917 පෙබරවාරි මාසයේදී සාර් පාලනය හදිසියේම බිඳ වැටුණේ ලෙනින් රුසියාවේ නොසිටි, එමෙන්ම ඔහු කිසිසේත් බලාපොරොත්තු නොවූ මොහොතකය.  ලෙනින් රුසියාවට ආපසු යාමට සැලැස් වූවොත් එරට දේශපාලනිකව අස්ථාවර වනු ඇතැයි ජර්මනිය නිවැරදිව ගණනය කළ අතර, ඒ අනුව ඔහුව රුසියාවට යැවීම සඳහා ජර්මන් රජය විසින් විශේෂ ආරක්ෂිත (සීල් තැබූ) දුම්රියක් ලබා දෙන ලදී. ජර්මානුවන් තමා ව රුසියාවට එරෙහිවම භාවිත කරන බව ලෙනින් ද දැන සිටියද, ඔහු ඒ පිළිබඳව තැකීමක් නොකළේය.  අනතුරුව ඉතා සූක්ෂම ක්‍රියාමාර්ග ඔස්සේ පෙට්‍රොගාඩ් සෝවියට් සභාවේ බලය තහවුරු කරගත් ලෙනින් ඇතුළු බොල්ෂෙවික්වරු ඔක්තෝබර් විප්ලවය මඟින් ආණ්ඩු බලය අත්පත් කරගත්හ. එහෙත්, ඔවුන්ට සැබෑ රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදු විය. එවකට සිටි බහුතරයක් රාජ්‍ය සේවකයන් බොල්ෂෙවික්වරුන්ට සේවය කිරීම සහ ඔවුන්ගේ නියෝග පිළිපැදීම ප්‍රතික්ෂේප කළහ.

මෙම අභියෝග සහ විරෝධතාවලින් පාලනය බේරාගැනීම සඳහා ලෙනින් විසින් "රක්ත භීෂණය" (Red Terror) රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස නිල වශයෙන් දියත් කරන ලදී. ඒ යටතේ බොල්ෂෙවික්වරුන් විසින් "පන්ති සතුරන්" (Class Enemies) ලෙස ලේබල් කරන ලද ඕනෑම පුද්ගලයෙකු අනුකම්පාවකින් තොරව ඝාතනය කිරීම ආරම්භ විය. ලෙනින්ගේ ආරක්ෂක අමාත්‍යවරයා වූ ලියොන් ට්‍රොට්ස්කි මෙම මර්දනය සාධාරණීකරණය කරමින් පැවසුවේ "බිත්තර නොකඩා ඔම්ලට් සෑදිය නොහැකි" බවයි. ලෙනින් මේ භීෂණය ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගත්තේ අනුකම්පා විරහිත කොමියුනිස්ට්වාදියෙකු වූ ෆිලික්ස් සෙර්සින්ස්කි විසින් පිහිටුවන ලද 'චේකා' (Cheka) නමැති රහස් පොලිසියයි. ලෙනින් සහ බොල්ෂෙවික්වරුන් දියත් කළ මෙම අමානුෂික මර්දනය දුටු ලෙනින්ගේ සමීප මිතුරෙකු වූ ප්‍රකට ලේඛක මැක්සිම් ගෝර්කි දැඩි කම්පාවට පත් විය. බොල්ෂෙවික්වරුන් විසින් සමස්ත රුසියානු ජනතාව රසායනාගාර මීයන් බවට පත් කරමින් ඔවුන් මත කෲර පරීක්ෂණයක් සිදු කරමින් පවතින බව ගෝර්කි විවෘතවම ප්‍රකාශ කළේය. ලෙනින්ගේ මෙම භීෂණය හේතුවෙන් අවම වශයෙන් රුසියානුවන් 50,000 ක් පමණ ඝාතනය කරනු ලැබූහ.

වර්තමාන වාමාංශිකයන් බොහෝ විට ප්‍රකාශ කරන්නේ ලෙනින් සැමවිටම "ජාතීන්ගේ ස්වයං-නිර්ණ අයිතිය" වෙනුවෙන් පෙනී සිටි නායකයෙකු බවයි. එහෙත් සැබෑ ඓතිහාසික යථාර්ථය ඊට වෙනස් විය. පැරණි රුසියානු අධිරාජ්‍යයෙන් වෙන්වී ස්වාධීන වීමට උත්සාහ කළ යුක්රේනය, ජෝර්ජියාව, බෙලරුසියාව සහ පෝලන්තය වැනි රාජ්‍යයන් මර්දනය කර නැවත තම ග්‍රහණයට ගැනීම සඳහා රතු හමුදාව  යොදා ගැනීමට ලෙනින් කිසිසේත් පසුබට වූයේ නැත.

 

 

Wednesday, April 8, 2026

ජුදා දේශයේ ආණ්ඩුකාරවරයා - - අනටෝල් ෆ්‍රාන්ස් විසින්

 


එල්. ඒලියස් ලැමියා සිය ජීවිතය ආරම්භ කළේ රෝමයේ පුරවැසියෙකුට ලැබෙන සෑම ඉහළ  සෑම වරප්‍රසාදයක්ම පිරිවරාගෙනය—ඒ අතර උසස් පවුල් පසුබිමක්, මනා අධ්‍යාපනයක් සහ ඉහළ බලාපොරොත්තු ද විය. එහෙත් තරුණ වියේදී ඔහු විනයානුකූල දිවියක් වෙනුවට කාමභෝගී ජීවිතයක් හඹා යාමට තීරණය කළේය. දර්ශනවාදය හැදෑරීම සඳහා ඔහු ඇතැන්ස් නුවරට ගියද, ආපසු පැමිණියේ ප්‍රඥාවන්තයෙකු ලෙස නොව වඩාත් නොසැලකිලිමත් පුද්ගලයෙකු ලෙසය. එස්ක්විලයින් හි පිහිටි සිය නිවසේ ඔහු මිතුරන් පිරිසක් පිරිවරා ගෙන සාද ජීවිතයක් ගත කළ ලැමියා, මිතුරන්ගේ ජීවන රටාව නිසා කෙටි කලකින්ම අධිරාජ්‍යයාගේ උදහසට ලක්විය. ටයිබීරියස් අධිරාජ්‍යයා විසින් ඔහු තරුණ වියේදීම පිටුවහල් කරනු ලැබූ විට, ඔහුගේ ජීවිතය පරිහාණියට පත්වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. එහෙත් ඉන්පසු ගත වූ දීර්ඝ වසර කිහිපය තුළ ඔහු පෙරදිග පළාත්වල සංචාරය කළේය. කාලයත් සමඟ ඔහු සෙමෙන් වෙනස් විය; ඔහු වඩාත් කල්පනාකාරී සහ නිරීක්ෂණශීලී පුද්ගලයෙකු බවට පත් වූ අතර, දර්ශනවාදයට ඉගැන්විය නොහැකි වූ පාඩම් අත්දැකීම් මගින් ඔහු උගත්තේය.

කායස් අධිරාජ්‍යයා යටතේ ඔහු නැවත රෝමයට පැමිණෙන විට, ඔහු පෙර සිටි මිනිසා නම් නොවීය. ඔහු දේශපාලනයෙන්, සමාජයෙන් මතු ‍නොව ජීවිතයෙන් පවා බොහෝ දුරට ඈත් වී සිටියේය. ඒ වෙනුවට ඔහු සිය කාලය ගත කළේ අතීතය මෙනෙහි කරමින් සහ පොතපත කියවමිනි. මේ නිහඬ ජීවන රටාව තුළ ඔහු වියපත් විය. ඔහු රෝගාතුර වූ විට, බොහෝ රෝමවරුන් මෙන් ඔහුද බයී (Baiae) හි ස්නානය සඳහා ගියේය. පසුව, ක්‍රමයෙන් පරිහානියට පත්වෙමින් තිබූ ඒ සුප්‍රසිද්ධ නගරයේ ඔහු ඉතා නිහඬව ජීවත් විය. දිනක් සවස් යාමයක, ඔහු මිදි වතු හරහා මුහුදට ඉහළින් පිහිටි සෙවන සහිත මාවතකට පිවිසියේය. ඒ දර්ශනය ඉතා පුළුල් සහ දීප්තිමත් වූ අතරම එය සුන්දර මෙන්ම මඳක් ශෝකී හැඟීමක්ද ජනිත කළේය. ඔහු කියවීම සඳහා ලියවිල්ලක් දිගහරිද්දීම දෝලාවක් ඔහු අසලට පැමිණියේය. ඔහු පසෙකට වන විට, එහි ඇතුළත සිටි මිනිසා දැකගත හැකි විය—ඔහු දැවැන්ත, දැඩි පෙනුමක් ඇති, හුරුපුරුදු අයෙකි.

"පොන්තියස් පිලාත්!" ඔහු හඬගෑවේය. "දෙවියන්ට ස්තූති වේවා—මා ඔබව නැවත දකීවි කියා කවදාවත් හිතුවේ නැහැ!". එම මහලු මිනිසා නතර වී ඔහු දෙස සමීපව බැලීය. "මගේ හිතවත් සත්කාරකයාණෙනි," ලැමියා සිනාසෙමින් පැවසීය, "වසර විස්සක් ගත වීමෙන් මා එතරම්ම වෙනස් වී ඇත්ද, ඔබේ මිතුරා වන ඒලියස් ලැමියාව ඔබට හඳුනාගත නොහැකි වීමට තරම්?". පිලාත් වහාම ඔහුව හඳුනා ගත්තේය. ඔහු දෝලාවෙන් බැස ලැමියාව උණුසුම් ලෙස වැළඳ ගත්තේය. "ඔබව නැවත දැකීම මොනතරම් සතුටක්ද!" ඔහු පැවසීය. "නමුත් ඔබ මට මතක් කර දෙන්නේ ජුදා දේශයේ ගත කළ ඒ දින ගැනයි... මීට වසර තිහකට පෙර, සිසේරියා හිදී. ඔබ මා පසුපස ජෙරුසලමට පවා පැමිණියා. එහිදී අපට යම් සහනයක් ලැබුණා නේද? ඔබේ කරදරවලින් ඔබත්, මගේ වගකීම්වලින් මමත් සැනසීමක් සෙව්වා".

"ඒ වගේම ඔබ අමතක කරනවා," ලැමියා පිළිතුරු දුන්නේය, "ඒ කරදරවලදී ඔබ මට උදව් කළ බව—ඔබ කාරුණිකව මට මුදලින් පවා උපකාර කළ බව". පිලාත් එය අතින් සන් කරමින් බැහැර කළේය. ඔවුන් ගත වූ කාලය ගැනත්, සෞඛ්‍යය ගැනත්, වයසට යෑම ගැනත් කතා කළහ. එහෙත් වැඩි වේලාවක් යන්නට මත්තෙන්, බලාපොරොත්තු වූ පරිදිම, සංවාදය ඔවුන් දෙදෙනාටම පොදු වූ අතීතය දෙසට හැරුණි. ලැමියාගේ ඉල්ලීම මත, පිලාත් ආණ්ඩුකාරවරයා ලෙස ඔහුගේ පාලන සමයේ අවසානය ගැන කතා කළේය—එනම් සමාරිය කැරැල්ල, ඔහු එය ඉක්මනින් මර්දනය කළ ආකාරය සහ ඉන්පසු එල්ල වූ යුද්ධ අපරාධ චෝදනා ගැනයි. "මම ක්‍රියා කළේ ඉතා ප්‍රවේශමෙන්," ඔහු පැවසීය, "එය මා‍ගේ පරිහාණියට හේතු වුණා. විටෙලියස් මට ඇහුම්කන් දෙනවා වෙනුවට මගේ සතුරන්ට ඇහුම්කන් දුන්නා. මාව රෝමයට එවනු ලැබුවත්, මා එහි ළඟා වීමට පෙර ටයිබීරියස් මිය ගොස් සිටියා. කායස් මගේ පැමිණිල්ල විභාග කිරීම ප්‍රතික්ෂේප කළා. මට පිටුවහල් වීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ".

ලැමියා ඊට සවන් දී මෘදු ලෙස මෙසේ පැවසීය, "පොන්තියස්, ඔබේ අභිප්‍රායන් ගැන මට සැකයක් නැහැ. නමුත් ඔබ සැමවිටම... ඉතා දැඩි පුද්ගලයෙක්. ජුදා දේශයේදී එවැනි ස්වභාවයක් අසාධාරණයක් ලෙස පෙනෙන්නට පුළුවන්".

"ජුදා වැසියන් කෙරෙහි කරුණාව දක්වන්න ? ....මම....!" පිලාත් තියුණු ලෙස පැවසීය. "ඔබ ඔවුන් අතර ජීවත් වූවා, නමුත් තවමත් ඔබට ඔවුන්ව තේරුම් ගැනීමට නොහැකියි. ඔවුන් මුරණ්ඩුයි, ප්‍රචණ්ඩයි, පාලනය කළ නොහැකියි—ඔවුන්ට කැමති වීමෙන් මෙන්ම වෛර කිරීමෙන් පවා ඔවුන් ඔබව වෙහෙසට පත් කරනවා". ඔහුගේ පැරණි කෝපය පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ලැමියා විටින් විට ඔහුව සන්සුන් කිරීමට උත්සාහ කළද, රෝම සංකේත පිළිබඳ විවාද, ජෙරුසලමේ විරෝධතා, නිරන්තර බාධා කිරීම් සහ තමා යම් යුදා ජනතාවට ප්‍රයෝජනවත් මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ආරම්භ කිරීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම තමාට බාධා කළ ආකාරය ගැන පිලාත් දිගින් දිගටම කතා කළේය.

ඊළඟ දින සවස් වරුවේ, ලැමියා ඔහු සමඟ රාත්‍රී ආහාරය සඳහා ගියේය. එහි සැකසුම ඉතා සරල, අව්‍යාජ එකක් විය. මුලදී ඔවුන් රෝගාබාධ, ප්‍රතිකාර සහ බයී හි විනෝදාංශ ගැන සැහැල්ලුවෙන් කතා කළහ. එහෙත් සෙමෙන්, වයින් පානය කරමින් සිටියදී ඔවුන්ගේ අතීතය නැවත මතු විය. පිලාත් දීර්ඝ වේලාවක් රෝමය සහ තමා කළ කී දෑ සාධාරණීකරණය කරමින් කතා කළේය. මෙතරම් බෙදී ගිය, එහෙත් අතිශය මුරණ්ඩු ජනතාවක් පාලනය කිරීම කළ නොහැක්කක් බව ඔහු පැවසීය.

"ඔවුන් සෑම දිනකම මට බලපෑම් කළා," ඔහු පැවසීය, "'මරණය!' යනුවෙන් කෑගසමින්—මට සාධාරණීකරණය කළ නොහැකි තීන්දු ඉල්ලා සිටියා. එසේ වුවද මට ඔවුන්ගේ නීති අනුගමනය කිරීමට සිදු වුණා. එවැනි මිනිසුන් සමඟ තර්ක කළ නොහැකියි".

"ඔවුන් ඔවුන්ගේ සම්ප්‍රදායන්ට ඉතා ලැදියි," ලැමියා පැවසීය. "සමහරවිට ඕනෑවටත් වඩා. නමුත් මම ඔවුන් තුළ තවත් දෙයක් දැක්කා—සරල බව, විශ්වාසය සහ ධෛර්යය පවා".

පිලාත් එය අතින් සන් කරමින් බැහැර කළේය. ඔහු නිරන්තරයෙන් කල්පනා කළේ යුදා වැසියන්ගේ අවුල් සහගත බව, කළගුණ නොදත්කම සහ ගැටුම් පිළිබඳවයි. "තමන්ව  විනාශ කිරීමට ඔවුන්ම අපට බල කරාවි," ඔහු පැවසීය. "එවැනි මිනිසුන් සමඟ කිසිම මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමන කරන්නට බැහැ".

තර්ක කිරීමෙන් පලක් නොවන බව වටහා ගත් ලැමියා සංවාදයේ මාතෘකාව වෙනස් කළේය. එසේ කරන විට ඔහුගේ ස්වරය වඩාත් මෘදු සහ ඈත අතීතයකට දිවෙන ස්වභාවයක් ගත්තේය. "ඒ කාලේ මම තරුණයි," ඔහු සෙමින් පැවසීය. "එහි මට මතක තවත් දේ තිබුණා... උදාහරණයක් ලෙස ඒ කාන්තාවන්—ඒ සිරියානු කාන්තාවන්...".

ලැමියා මුලදී සැහැල්ලුවෙන්ද පසුව වඩාත් බැරෑරුම් ලෙසද එක් විශේෂ කාන්තාවක් ගැන—එනම් ජෙරුසලමේදී ඔහු දැන සිටි ජුදා ජාතික නර්තන ශිල්පිනියක ගැන—කතා කරන විට පිලාත් නොඉවසිල්ලෙන් සවන් දුන්නේය. "ඔවුන් නටන්නේ ඉතා මන්දගාමී, සුන්දර චලනයන් සහිතවයි," ඔහු පැවසීය. "එක් පහනක් පමණක් තිබූ කුඩා කාමරයකදී මා එවැනි තරුණියකව හඳුනා ගත්තා. ඇගේ දෑස්... ඇගේ හඬ... මම ඇය පසුපස සෑම තැනකම ගියා. මම කොපමණ අබ්බැහි වුනාද කියතොත් ඇයව අහිමි වීම මට වයින් අත්හැරීමට වඩා අපහසු දෙයක් වුණා". ඔහු මඳක් නැවතී නැවතත් කතා කළේය. "මාස කිහිපයකට පසු මට අසන්නට ලැබුණා ඇය කුඩා කණ්ඩායමකට එකතු වූ බව—ඒ හාස්කම් කළ ගලීලයේ තරුණයෙකුගේ අනුගාමිකයින් පිරිසක් සමඟ. ඔහුගේ නම ජේසුස්. ඔහු නාසරෙත්හි අයෙක්, ඔහුව කුමන හෝ වරදකට කුරුසියේ තබා මරා දැමුණා—ඒ කුමක්දැයි මම හරියටම දැන සිටියේ නැහැ".

ඔහු පිලාත් දෙස බැලීය. "පොන්තියස්, ඔබට ඔහු ගැන යමක් මතකද?".

පිලාත් සිය බැම රැලි කරමින් නළල අතගා යමක් මතක් කර ගැනීමට උත්සාහ කළේය. තත්පර කිහිපයක් ඔහු නිහඬව සිටියේය. "ජේසුස්?" ඔහු පැවසීය. "නාසරෙත්හි ජේසුස්?". නැවතත් නිහඬතාවයක් ඇති විය. ඉන්පසු ඔහු ඉතා සෙමින් මෙසේ පැවසුවේය:

"මට ඔහු ගැන මතකයක් නැහැනේ".


Thursday, April 2, 2026

විවෘත ජනේලය - Open Window by Saki

 





"මගේ නැන්දා දැන් පහතට ඒවි, නට්ල් මහත්මයා," යැයි ඉතා කල්පනාකාරී, තැන්පත් පෙනුමක් ඇති පසළොස් හැවිරිදි තරුණිය පැවසුවාය; "ඒ වෙනකම් ඔබට මාව ඉවසගෙන ඉන්න වේවි."

පැමිණීමට නියමිත නැන්දාට අගෞරවයක් නොවන පරිදිත්, ඒ මොහොතේ තමා ඉදිරියේ සිටින ලේලියට රිදෙන්නේ නැති පරිදිත් උචිත යමක් පැවසීමට ෆ්‍රැම්ටන් නට්ල් උත්සාහ කළේය. මෙලෙස එක දිගට නොදන්නා අමුත්තන් හමුවීමට යාමෙන්, තමා අපේක්ෂා කරන මානසික සුවය සැලසේදැයි ඔහු තුළ දැඩි සැකයක් මතු විය.

"ඔය ගමන කොහොම කෙළවර වෙයිද කියලා මම දන්නවා," ඔහු මේ පිටිසරබද ප්‍රදේශයට ඒමට සූදානම් වෙද්දී ඔහුගේ සහෝදරිය පවසා තිබුණි; "ඔය පළාතට ගිහින් ඔයා හුදෙකලා වෙයි; කා එක්කවත් කතා බහක් නැතුව ඉන්නකොට ඔයාගේ අසනීපය තවත් වැඩි වෙයි. ඒ නිසා මම දන්න කියන අයට හඳුන්වා දීමේ ලිපි මම ඔයාට දෙන්නම්. මට මතක හැටියට ඒ අතර බොහොම හොඳ අයත් හිටියා."

තමා මේ ලිපියක් රැගෙන ආ සැපල්ටන් මහත්මිය ද ඒ 'හොඳ' ගණයට වැටෙන අයෙක්දැයි ෆ්‍රැම්ටන් කල්පනා කළේය.

"ඔබ මේ අවට ඉන්න අයව අඳුනනවාද?" නිහඬතාව මඳක් වැඩි යැයි හැඟුණු තැන ලේලිය ඇසුවාය.

"ඇත්තටම මම මෙහේ කාවවත්ම අඳුනන්නේ නැහැ," ෆ්‍රැම්ටන් පැවසීය. "මීට අවුරුදු හතරකට විතර කලින් මගේ සහෝදරිය මෙහේ පල්ලියේ ලැගුම්ගෙන හිටියා. ඇය තමයි මට මේ පළාතේ කිහිප දෙනෙක්ව හඳුන්වා දීලා ලිපි දුන්නේ." ඔහු එය පැවසුවේ යම් කනගාටුදායක ස්වරයකිනි.

"එහෙනම් ඔබ මගේ නැන්දා ගැන ඇත්තටම කිසිම දෙයක් දන්නේ නැහැ නේද?" තැන්පත් තරුණිය විමසුවාය.

"මම දන්නේ ඇයගේ නමයි ලිපිනයයි විතරයි," ඔහු පිළිගත්තේය. සැපල්ටන් මහත්මිය විවාහකද වැන්දඹුවකද යන්න ඔහු කල්පනා කරමින් සිටියේය. ඒ කාමරය දෙස බැලූ විට එහි පුරුෂයෙකු ජීවත් වන බවට යම් අපැහැදිලි සලකුණු පෙනෙන්නට තිබුණි.

"ඇයගේ ජීවිතයේ ලොකුම ශෝකාන්තය සිද්ධ වුණේ මීට අවුරුදු තුනකට කලින්. ඒ කියන්නේ ඔබේ සහෝදරිය මෙහෙන් ගියාට පස්සේ," දැරිය පැවසුවාය.

"ශෝකාන්තයක්?" ෆ්‍රැම්ටන් ඇසුවේය. මෙවැනි නිස්කලංක ගැමි පරිසරයක 'ශෝකාන්ත' යන වචනය නොගැලපෙන බව ඔහුට සිතුණි.

"ඔක්තෝබර් මාසයේ මේ වගේ හවස් වරුවක අපි ඇයි මේ ජනේලය සම්පූර්ණයෙන්ම විවෘත කරලා තියෙන්නේ කියලා ඔබට හිතෙනවා ඇති," යැයි පවසමින් ඇය තණකොළ පිට්ටනිය දෙසට විවෘත වන විශාල ප්‍රංශ පන්නයේ ජනේලයක් පෙන්වූවාය.

"කාලගුණය නම් සෑහෙන්න උණුසුම්," ෆ්‍රැම්ටන් පැවසීය; "ඒත් ඒ ජනේලයයි අර ශෝකාන්තයයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?"

"අද වගේම දවසක, මීට අවුරුදු තුනකට කලින්, ඇයගේ සැමියා සහ ඇගේ බාල සහෝදරයන් දෙන්නා දඩයමේ යන්න ඔය ජනේලයෙන් එළියට ගියා. ඔවුන් ආයෙත් කවදාවත් ආවේ නැහැ. ඔවුන්ට හුරුපුරුදු වගුරු බිම හරහා යනකොට ඔවුන් තුන්දෙනාම මඩ ගොහොරුවකට අහු වුණා. ඒ අවුරුද්දේ දරුණු විදිහට වැස්ස වැහුණා. වෙනදා ආරක්ෂිතයි කියලා හිතපු තැන් පවා හිටිහැටියේම ගිලා බැස්සා. ඔවුන්ගේ සිරුරු පවා හමු වුණේ නැහැ. ඒක තමයි භයානකම දේ." මෙහිදී දැරියගේ කටහඬේ තිබූ තැන්පත් බව ගිලිහී ගොස් එය වේදනාවෙන් වෙව්ලන ස්වරයක් ගත්තේය. "පව් මගේ නැන්දා, ඇය තාමත් හිතනවා කවදා හරි ඔවුන් සහ ඔවුන් එක්ක ගිය ඒ දුඹුරු පාට බල්ලා ආයෙත් ඒවි කියලා. ඇවිත් වෙනදා වගේම ඔය ජනේලයෙන් ගෙට එයි කියලා ඇය හිතනවා. අන්න ඒ නිසයි හැමදාම හවස් වරුවේ කළුවර වැටෙනකම් ඔය ජනේලය ඇරලා තියන්නේ. පව් මගේ නැන්දා, ඔවුන් එදා ගිය හැටි ඇය මට ඕනෑතරම් කියලා තියෙනවා. ඇගේ සැමියා සුදු පාට වැහි කබාය අතේ දාගෙන ගිය හැටිත්, බාලම මල්ලි රොනී ඇයට විහිළු කරන්න 'බර්ටි, ඇයි ඔයා ඔහොම පනින්නේ?' කියලා සින්දු කිය කිය ගිය හැටිත් ඇයට නිතරම මතක් වෙනවා. දන්නවාද, මේ වගේ නිශ්ශබ්ද හවස් වරුවල මටත් වෙලාවකට හරි බය හිතෙනවා ඔවුන් ඔය ජනේලයෙන් ඇතුළට එයි කියලා - "

ඇය මඳක් වෙව්ලා යමින් කතාව නතර කළාය. මඳ වේලාවකින් සැපල්ටන් මහත්මිය කලබලයෙන් කාමරයට පැමිණ ප්‍රමාදය ගැන සමාව අයැද සිටීම ෆ්‍රැම්ටන්ට ලොකු සහනයක් විය.

"වේරා ඔයාව පාලුවෙන් තියන්න නැතුව ඇති කියලා මම හිතනවා?" ඇය ඇසුවාය.

"ඇය බොහොම රසවත් විදිහට කතා කළා," ෆ්‍රැම්ටන් පැවසීය.

"ඔබ ජනේලය ඇරලා තියෙන එක ගැන අමනාපයක් නැතුව ඇති කියලා මම හිතනවා," සැපල්ටන් මහත්මිය උද්‍යෝගයෙන් පැවසුවාය; "මගේ සැමියයි සහෝදරයොයි දැන් දඩයම ඉවර වෙලා එයි. ඔවුන් හැමදාම එන්නේ මේ පැත්තෙන්. අද ඔවුන් වගුරු බිම් පැත්තේ ගිය නිසා මගේ පලස් ඔක්කොම මඩ ගායි. ඉතින් පිරිමින්ගේ හැටි ඔහොම තමයි නේද?"

ඇය දඩයම ගැනත්, මේ දිනවල කුරුල්ලන් අඩු බවත් ඉතා ප්‍රීතියෙන් කතා කරන්නට වූවාය. නමුත් ෆ්‍රැම්ටන්ට මේ සියල්ල ඇසුණේ භීතියකිනි. ඔහු මේ භයානක මාතෘකාව වෙනස් කිරීමට දැඩි උත්සාහයක් ගත්තද එය සාර්ථක වූයේ අඩ වශයෙනි. නිවෙස් හිමිකාරියගේ දෑස් නිතරම ඔහු පසු කර පිටත ඇති තණකොළ පිට්ටනිය දෙසට යොමු වන බව ඔහුට වැටහුණි. මේ ශෝකජනක සංවත්සරය දවසේම තමා මෙහි පැමිණීම ගැන ඔහු තමාටම දොස් පවරා ගත්තේය.

"දොස්තරවරු මට නියම කරලා තියෙන්නේ පූර්ණ විවේකය සහ මානසික නොසන්සුන්තාවයෙන් තොරව ඉන්න කියලයි," ෆ්‍රැම්ටන් පැවසීය. අමුත්තන් තමාගේ රෝගාබාධ ගැන අසන්නට ඉතා කැමැත්තෙන් සිටිනවා යැයි සිතන පොදු දුර්මතයක ඔහුද එල්බ සිටියේය.

"එහෙමද?" යැයි සැපල්ටන් මහත්මිය පැවසුවේ ඈනුමක් පාලනය කරගනිමිනි. නමුත් මොහොතකින් ඇය එකවරම අවදි විය. ඒ ෆ්‍රැම්ටන් කියන දේට නොවේ.

"ඔන්න ඔවුන් ඇවිත්!" ඇය කෑගැසුවාය. "හරියටම තේ බොන වෙලාවට. බලන්නකෝ ඇස් දෙකටත් එක්ක මඩ නාගෙන ඉන්න හැටි!"

ෆ්‍රැම්ටන් මඳක් වෙව්ලා ගොස්, සිදුවන දේ ගැන අනුකම්පාවෙන් බැලීමට ලේලිය දෙස හැරුණි. දැරිය ජනේලයෙන් පිටත බලා සිටියේ දෑස් විසල් කරගත් දැඩි භීතියකිනි. විස්තර කළ නොහැකි බියකින් තැතිගත් ෆ්‍රැම්ටන් ද ආපසු හැරී පිටත බැලුවේය.

බැස යන සැඳෑ කළුවරේ, රූප තුනක් තණකොළ පිට්ටනිය මැදින් ජනේලය දෙසට ඇවිද එමින් සිටියහ. ඔවුන් සියල්ලන්ම අත තුවක්කු තිබූ අතර එක් අයෙකුගේ උරහිසේ සුදු පාට කබායක් දමා තිබුණි. විඩාපත් වූ දුඹුරු පැහැති බල්ලෙකු ඔවුන් පසුපසින් පැමිණියේය. ඔවුන් නිහඬවම නිවසට ළං වූ අතර, කළුවර අතරින් තරුණ කටහඬක් ඇසුණි: "මම ඇහුවා බර්ටි, ඇයි ඔයා ඔහොම පනින්නේ කියලා?"

ෆ්‍රැම්ටන් වහාම තම සැරයටිය සහ තොප්පිය අතට ගත්තේය; ඔහු පණ එපා කියා දිව ගිය වේගයට ඉදිරිපස දොර හෝ ගේට්ටුව පෙනුණේ යාන්තමිනි. පාරේ පැමිණි බයිසිකල්කරුවෙකුට ඔහු හා ගැටීම වළක්වා ගැනීමට පඳුරකට පනින්නට සිදු විය.

"අපි ආවා රත්තරනේ," යැයි පවසමින් සුදු කබාය ගත් තැනැත්තා ජනේලයෙන් ඇතුළු විය. "අපි මඩ නාගෙන හිටියට දැන් ඒවා වේලිලා. කවුද ඒ අපි එනකොටම දිව්වේ?"

"ඒ පුදුම මනුස්සයෙක්, නට්ල් කියලා කෙනෙක්," සැපල්ටන් මහත්මිය පැවසුවාය; "මෙච්චර වෙලා එයාගේ ලෙඩ රෝග ගැන විතරයි කතා කළේ. ඔබලා එනකොටම සමුගැනීමක්වත් නැතුව දූවිලි අවුස්සගෙන දිව්වා. හරියට හොල්මනක් දැක්කා වගේ."

"මම හිතන්නේ ඒ බල්ලා දැකලයි," ලේලිය ඉතා සන්සුන්ව පැවසුවාය; "ඔහු මට කිව්වා ඔහු බල්ලන්ට හරිම බයයි කියලා. වරක් ඉන්දියාවේදී ගංගා නදිය අසලදී බල්ලන් රැළක් පන්නපු වෙලාවක ඔහුට මුළු රෑම අලුතෙන් හාරපු සොහොනක ඉන්න වෙලා තියෙනවා. බල්ලන් උඩ ඉඳන් ගොරවද්දී ඔහු එතන හිරවෙලා ඉඳලා. ඕනෑම කෙනෙකුට සිහිය නැති වෙන්න ඒක හොඳටම ඇති."

හිටිවනම මෙවැනි නිර්මාණශීලී කතා ගෙතීම ඇයගේ විශේෂ දක්ෂතාවයකි.