Sunday, August 27, 2017

කළු හිස්වැසුමක් ලූ කළු හැදගත් මිනිසාගේ අභිරහස The Mystery of the Black Hat Man

මම සාමාන්‍යයෙන් අද්භූත, තාර්කිකව පැහැදිලි කළ නොහැකි දේ ගැන එතරම් සැලකිල්ලක් දක්වන අයෙකු නොවේ. කෙසේ වුවත් මා මේ  සිදුවීම සඳහන් කරන්නේ  ඉතාම පුද්ගලික මට්ටමෙන් මට සමීප වීමත් ඉන්පසුව ඒ ගැන යම් යම් අවස්ථාවල අසන්නට ලැබීමත් නිසා. 

2015 ජූනි මාසය වන විට ඒ වන විට රෝගාතුරව සිටි මගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් වුනා. එසේ වුවත් ඊට මාස 4කට පෙර රෝගී වීමට පෙර මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි නිසාත් සාමාන්‍යයෙන් ඇඳට සීමාවූ වැනි තත්ත්වයක් නොමැති නිසාත් ඔහුගේ රෝගයේ සුව අතට හැරීමක් කෙසේවුවත් යම් ස්ථාවර වීමක් අපි බලාපොරොත්තු වූවා. ඇත්තෙන්ම ඒ වන විටත් ඔහු තරමක් අපහසුවෙන් වුවත්  සාමාන්‍ය එදිනෙදා  වැඩ කටයුතු කරගනිමින් දවස ගත කළා. මේ අතර දිනක් මට දුරකථනයෙන් ඇමතූ ඔහු තරමක බියකින් සඳහන් කළේ නාන කාමරයට ගිය විට කළු හැඳගත් කළු ඇඳුමක් හැඳි පුද්ගලයෙකු දුටු බවයි. මේ කතාව කිහිප විටක්ම මා සමඟ පැවසුවා. මගේ හැඟීම වූයේ රෝගී තත්ත්වය නිසාම ඔහු දකින කිසියම් දෘෂ්ඨි මායාවක් විය හැකි බවයි. ඒ බව පැවසූ මම ඒ ගැන නොසිතන ලෙසත් ඉක්මණින්ම රෝගී තත්ත්වය යහපත් බවට හැරෙනු ඇති බවත් සඳහන් කළා. එහෙත් මේ සිදුවීම්වලින් මසකට පසු ඔහු අප අතරින් වියෝවූයේ හදිසියේම කෝමා තත්ත්වයකට පත්වීමෙන්.තාත්තාගේ මරණයෙන් පසු මගේ බිරිඳ එතෙක් නොකිවූ යමක් මා සමඟ පැවසුවා. එනම් ඇගේ හොඳම මිතුරියගේ පියාද මිය යාමට කලින් සතිවල මෙවැනිම කළු හිස්වැස්මක් පැළඳු පුද්ගලයෙක් දකින බව පැවසූ බවයි. තාත්තා මේ කරුණම පවසන විට ඇය පෙර සිදුවීම නොපැවසූයේ පැහැදිලි හේතූන් මතයි. 

කෙමෙන්  මේ කරුණ මගේ මතකයෙන් ගිලිහී ගියත් යළිත් මතකයට ආවේ සති දෙකකට පෙර වූ සිදුවීමක් නිසයි. කාර්යාලයේ මගේ මිතුරෙකු පැවසූයේ තම පියා රෝගාතුරවී ඉන්නා බවත් කළු තොප්පියක් පැළඳි  මිනිසෙක් ගැන විටින් විට පවසන බවත්. මා ඒ  ගැන නිහඩ වුවත් එම සති අන්තයෙන් පසු කාර්යාලයට පැමිණි විට දැන ගන්නට ලැබුනේ පෙර දින එම පියා අභාවප්‍රාප්ත වූ බවයි. 

මරණයට පෙර දකින මේ කළු හිස්වැසුම් ලූ කළු හැඳගත් මිනිසා ගැන මා හට අවසාන නිගමනයක් නැහැ. බොහෝ දුරට මරණය ළඟා වන විට මොළයේ යම් ක්‍රියාකාරිත්වයක් නිසා දකින දෘෂ්ඨි මායාවක් විය හැකියි. ආගමික විශ්වාසයන් අනුව ඒ මාරයා විය හැකියි. 

8 comments:

  1. ලක්ෂාන්ගේ මේ පෝස්ට් එක දැක්කයින් පස්සේ මම ගූගල් හරහා මේ ගැන විවිධ මත තියෙනවද කියල හොයල බලන්න උත්සාහ කලා. නමුත් මේ සිද්ධිය ලොව පුරා වාර්තා වෙලා තියෙනවා කියන කරුණට අමතරව මෙයට හේතුවන ක්‍රියාවලිය ගැන පැහැදිළි කිරීමක් තවම හොයාගන්න පුළුවන් වුනේ නෑ.

    බොහෝ තැන් වල මෙය හඳුන්වා තිබුනේ The Hatman කියන නමින්. හැබැයි මෙය දර්ශනය වීම මරණාසන්න පුද්ගලයන්ට පමණක් සීමා වෙලා තිබ්බේ නැහැ.

    මට මතකයි මම ඉස්කෝලෙ යන කාලේ මගේ මිත්‍රයෙක් මාත් එක්ක සිද්ධියක් කිව්වා, මගේ ඒ මිත්‍රයා ඔහුගේ යාලුවෙක් ගෙදර පාඩම් කරන්න ගිය දවසක හදිසියේ මහ රෑ නින්දෙන් ඇහැරුනාම දැක්කලු කාමරේ බාගෙට වැහුන දොරෙන් කළු පාට තොප්පියක් දාගත්ත, දිග කෝට් එකක් දාගත්ත මනුස්සයෙක් කාමරය ඇතුලට එබිකම් කරනවා.

    මම ඉතින් හිනා වුනා "ඔව් ඔව්.. හොල්මන හන්දියේ කඩෙන් වෙන්න ඇති තොප්පි ගන්නේ.. කෝට් ගන්නේ හවුස් ඔෆ් ෆැෂන් එකේ ශොපින්ග් කරලා වෙන්න ඇති" කියලා (දැන් ගතිය ඉස්සර ඉඳලම තියෙනවා නෙහ්? :P )

    මම මේ Hatman ගැන කියවද්දි මට පැහැදිළි වුනා මගේ මිත්‍රයාත් අත්දැකලා තියෙන්නේ මේ සිද්ධියම බව.

    මොනව වුනත් හොල්මන් දැක්කාය කියලා කියන අයව විහිලුවකට ලක් කරනවා වෙනුවට ඒ අයගේ අත්දැකීමට පැහැදිළි කිරීමක් ගැන හිතනවා නම් වඩා වටිනවා කියල අද තේරුම් ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේ ගැන දැනට මට ඇත්තේ උදාහරණ 3ක් පමණයි - එය ලොව පුරා වාර්තා වී ඇති බව මාත් සොයා ගත්තේ අන්ර්ජාලයෙන්.
      මේකටත් යම් පැහැදිලි කිරීමක් තිබිය යුතුයි - සුජීව ලියපු මේ සටහනත් මතක් වුනා
      http://free-unbound.blogspot.com/2015/10/perimeter-of-ignorance.html

      Delete
  2. හිතවතෙකුගේ පියා මියයාමට සතියකට කලින් සිට , කළු හැඳගත් මිනිසෙක් ඇඳ මත වාඩිවී සිටීන බවත් ඔහු කාමරෙන් ඉවත් කරදෙන ලෙස ඉල්ලා සිටි බවත් පැවසුවා. මා හටද මෙයට තරමක් සමාන අත්දැකීමකට මුහුණ පෑමට සිදු වුනත් පසුව එය Sleep paralysis (https://en.wikipedia.org/wiki/Sleep_paralysis) නම් තත්වය බව සොයා ගත්තා. :)

    ReplyDelete
    Replies
    1. මේක ටිකක් ස්ලීප් පැරලයිසිස් එකට වෙනස්
      හැබැයි යම් පැහැදිලි කිරීමක් ඇති

      Delete
  3. අරක්කු බොන-ගංජා-තුඩු ගහන අයගේ බහුතරයක් අත්දැකීම් සමාන වනවා වගේ මේකත් එහෙම එකක් වෙන්නැති

    ReplyDelete
  4. Replies
    1. හැකි නම් සොයා බලන්න

      Delete
  5. මෙව්වා ගැන වැඩිය හිතන එකත් ඔළුවට අනවශ්‍ය බරක්.

    ReplyDelete