Saturday, July 22, 2017

ඔබට Other Side of Midnight මතකද ?  Can you remember Other side of Midnight ?

ඉහත ප්‍රශ්නය නැගුවොත්  සිඩ්නි ෂෙල්ඩන්ගේ එනම් ජනප්‍රිය නවකතාව මතකයට නැගෙනු ඇති.  අනපේක්ෂිත අවසානයක් (plot twist) තිබීම එම නවකතාව මතකයේ රැඳීමට ප්‍රධාන හේතුවක්. වරක් (සන්ඩේ ටයිම්ස් කතෘ) සිංහ රත්නතුංග, එස් බී දිසානායක මහතාව සිරගෙට යැවීමට හේතුවූ නඩු තීන්දුව හැඳින්වූයේ අදර් සයිඩ් ඔෆ් මිඩ්නයිට් සිදුවීමක් ලෙසයි. එනම් අධිකරණයේ එවකට ප්‍රබලයෙක් ඒ මහතාට වරද පිළිගත්තොත් නිදහස් කරන බවට  පොරොන්දුවක් දී නොමඟ යවා ඔහුව සිරගෙට යැවීමට (හඟවා ඇති පරිදි එවක ජනපතිනියගේ අනුදැනුම ඇතුව) කටයුතු කළ බවයි. එලෙස නවකතාව ඔබේ මතකයේ රැඳුනත්  නවකතාව ඇසුරින් නිර්මාණය කොට ඇති චිත්‍රපටයක් ගැන නම් ඔබ අසා තිබීමේ සම්භාවිතාව අඩු බව බොහෝ දුරට ස්ථිරයි. මෙවැනි ජනප්‍රිය නවකතාවක්  ඇසුරින් විශාල මුදලක් හා අන්තර්ජාතික මට්ටමේ නළුනිළියන් පිරිසක් යොදවා නිර්මාණය කළ චිත්‍රපටයක් අපේ මතකයේ නොරැඳීම පිටුපස ද රසවත් හේතුවක් තිබෙනවා. 

සිඩ්නි ෂෙල්ඩන්ගේ Other side of Midnight නවකතාව ප්‍රකාශයට පත්වන්නේ 1973 වසරේදීයි. පෙම් ත්‍රිකෝනයක් ඇසුරු කරගත් නවකතාවක් වූ එය අතිශයින් ජනප්‍රිය වීම නිසාම ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම එහි අයිතිවාසිකම් මිලදී ගත්තේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමටයි. ජනප්‍රිය වට්ටෝරු මාදිලියේ චිත්‍රපටයක් සඳහා සියලු අමුද්‍රව්‍ය එනම් පෙම් කතාවන්, ලිංගිකත්වය, අනපේක්ෂිත අවසානයක් ආදි  සියලු දේ    නවකතාව සතුවුනා. මේ නිසාම ඊට කලින් ගෝඩ් ෆාදර්, එක්සෝසිස්ට් වැනි ජනප්‍රිය නවකතා ඇසුරින් තනන ලද ඉහළ මට්ටමේ හොලිවුඩ් චිත්‍රපට මෙන්ම මෙය ජනප්‍රිය වීමේ වැඩි සම්භාවිතාවක් තිබුනා. 

අන්තර්ජාතික මට්ටමේ නළු නිළි පිරිසකුත් සමඟ විශාල වියදමක් දරා නිපයූ Other Side of Midnight චිත්‍රපටය 1977 නිකුත් කිරීමට  ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස්  සූදානම් වුනා. පෙර ප්‍රචාරණය නිසා මේ චිත්‍රපටය ගැන සිනමාහල් අයිතිකරුවන් අතර විශාල උනන්දුවක් ඇති වී නිසැකවම ලොකු ගාණක් හොයා ගත හැකි මේ චිත්‍රපටය තම සිනමා හල් වෙත ලබා ගැනීමේ උනන්දුවක් තිබුනා. හැබැයි සෙන්චරි ෆොක්ස් සමාගමට මේ වෙන කොට තවත් ගැටළුවක් තිබුනා. 

නාහෙට අහන්නෙ නැති දඩබ්බර කොළු ගැටයෙක් අධ්‍යක්ෂණය කරපු වැඩිය අහල නැති නවක නළු නිළි පිරිසක් රඟපාන ටිකක් නෙවේ හොඳටම විකාරරූපි කතාවක් තියන "බී' ග්‍රේඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකුත් මේ කාලයේම නිකුත් කිරීමට සමාගම සැලසුම් කර තිබුනා. අද්භූත සත්ත්වයන්, 1930 දශකයේ කව්බෝයි ෆිල්ම් හා සුපර් හීරෝ ෆිල්ම්වල කොටස් මිශ්‍ර කර හැදූ මේ චිත්‍රපටය ගැන සමාගමේ විධාකයන් සතුව නම් කිසිම පැහැදීමක් තිබුනේ නැහැ.  මේ විකාර රූපි චිත්‍රපටය අනිවාර්යයෙන් අසාර්ථක වන බවට ඔවුන් තුළ ලොකු විශ්වාසයක් තිබුනා.  හැබැයි අවුලකට තිබුනේ මේ වන විටත් විශාල මුදලක් සමාගම විසින් මේ චිත්‍රපටයට වැය කිරීමයි. ඒ නිසා තම ආයෝජනය බේරා ගැනීමට සෙන්චරි ෆොක්ස් සමාගම කදිම උපක්‍රමයක් යෙදුවා. එනම් තමන්ගේ  වඩාත් ජනප්‍රිය  සිනමාහල් හිමියන් පුල පුලා බලා සිටින Other Side of Midnight චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා නම් සීමිත දර්ශන වාර ගනනක අර  දඩබ්බර තරුණයා නිර්මාණය කරපු   අසාර්ථක වීමට නියමිත බී ග්‍රේඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයත් ප්‍රදර්ශනය කළ යුතු යැයි කොන්දේසියක් සිනමාහල් හිමියන්ට පැනවීම. Other Side of Midnight වලට කෑදරකමේ සිනමාහල් හිමියන් අකමැත්තෙන් මේ කොන්දේසියට එකඟ වුනා. 

ඔන්න දැන් ඔය කොන්දේසි පිට ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම 1977 මැයි වල චිත්‍රපට දෙකම රිලීස් කලා කියමුකෝ. Other Side of Midnight වගේ ජනප්‍රිය චිත්‍රපටයක් එක්ක තමන්ගේ නිර්මාණයත් එකට නිකුත් කරපු නිසා චිත්‍රපටය හදපු තරුණ සිනමාකරුවත් සියලු අපේක්ෂා අත්හැර දමල තම බිරිඳත් එක්ක හවායි දූපතේ සංචාරයකට ගියා. 
  ඔන්න  දැන් අර සීමිත ප්‍රදර්ශන වාර ගණනකට නියමිතව තිබුනු අසාර්ථක   බී ග්‍රේඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය බලන්න ගියපු ප්‍රේක්ෂකයෝ ඉස්සල්ලම සිනමා තිරයේ මෙහෙම දෙයක් දැක්කා 


ඉතින් කතාවට කියනව වගේ ඉතුරු ටික ඉතිහාසය තමයි. දැන් හිතාගන්න පුළුවනිනේ ඇයි Other Side of Midnight චිත්‍රපටය හැමෝටම අමතක කියලා නේද ? 

7 comments:

  1. අම්මේ මම ගැලරියේ බැලුවේ 81 විතර මට මතක හැටියට ලංකාවට වොර්ස් නිව් හෝප් ආවේ මැජස්ටික් නැත්නම් ලිබර්ටි. මොන තරම් පිස්සුවක් හැදුනද කිව්වනං හාන් සොලෝ මගේ වීරයා පොඩි කාලේ මිලිනියම් ෆෝල්කන් එක තමයි ෂිප් එක .

    ReplyDelete
    Replies
    1. මාගේ තාත්තා ඔරිජිනලි ෆිල්ම් එක බලපු වෙලාවේ බලල තියෙන්නෙ ලිබර්ටි එකේ. මම හිතන්නේ ඔය කාලෙ වෙන්න ඕන - දැවැන්ත තිරයේ "ඔළුව උඩින්" අකුරු යන සීන් එක ඔහු කිහිප විටක් විස්තර කරල තියනවා - තාත්තත් මම පොඩි කාලේ ඉඳන්ම මේ හාන් සෝලෝ ලූක් ස්කයිවෝකර් ඩාත් වාඩර් වගේ චරිත ගැන වගේම මාක් හැමිල්, හැරිසන් ෆෝඩ් වගේ ඒවා නිරූපණය කරන අය ගැනත් නිතරම මා සමඟ පවසන්නටත් ස්ටා වෝස් කොමික්ස්, තිර රචනය ඇසුරින් ලියැවුනු නවකතා මිලදීල ගන්නටත් පුරුදු වෙලා හිටිය.
      හැබැයි තාත්ත පිස්සු වැටිල හිටිය ස්ටා වෝස් නිව් හෝප් මම මුල් වරට දුටුවේ 1995 විතර බාල වී එච් එස් කොපියක් ලෙසයි. ඒ නිසාම මුලදි නම් ඉම්ප්‍රෙස් වුනේ නැහැ. ඒක වුනේ පසුවට

      Delete
  2. නොදැන හිටි කතාවක්. ඇත්තටම මමත් දැනන් හිටියේ ස්ටාර් වොර්ස් ගැන විතරයි.

    ReplyDelete
    Replies
    1. මමත් මේක දැක්කේ අදර් සයිඩ් ඔෆ් මිඩ්නයිට් චිත්‍රපටය ගැන හොයද්දි අහම්බයෙන්

      Delete
  3. ප්‍රින්සස් ලියා ඔර්ගානා දැක්කම මොන අදර් සයිඩ් ඔෆ් මිඩ් නයිට් ද...... :D

    ReplyDelete
  4. මං අදර් සයිඩ් ඔෆ් මිඩ් නයිට් ඒ කාලේ ම නරඹලා තිබුණත්, අද වෙනතුරු, ස්ටාර් වෝස් නම් දැකලා නෑ!!!

    ReplyDelete
    Replies
    1. අදර් සයිඩ් ඔෆ් මිඩ්නයිට් මම කියවලා තිබෙනවා - ෆිල්ම් එක නම් වරක් සිරසේ විකාශය වුනත් ට්‍රාන්ස්මිෂන් එකේ අවුලක් නිසා නැරඹීමට ලැබුනේ නැහැ
      ස්ටාර් වෝස් දැකල නෑ කිවම පුදුමයි
      ඊළඟ වැකේෂන් එකේදි පවුලේ සැමත් එක්ක Star Wars a New Hope ඉඳන් මුළු සිරිස් එකම බලන්න කියල යෝජනා කරනවා - පවුලේ හ‍ැමෝටම රස විඳින්න පුළුවන් චිත්‍රපට නෙව මේවා

      Delete