Tuesday, December 20, 2016

පැරඩි කලාව Parodies

ඉංගිරිසියෙන් පැරඩියක් (parody) ලෙස හඳුන්වන්නේ කිසියම් සත්‍ය පුද්ගලයෙකු, සිදුවීමක් හෝ නිර්මාණයක් උපහාසයට ලක්කිරීමකි.  මෙවැනි වූ පැරඩි සඳහා යුරෝපයේ පුනුරුද යුගය දක්වාම ඉතිහාසයක් තිබේ. ප්‍රාංසුවා රාබේල් ගේ “ගාර්ගැන්ටුවා හා ෆැන්ටා ගෘෘවල්“ වැනි ප්‍රබන්ධ මේ ගණයට උදාහරණ ලෙස දැක්විය හැකිය. කෙසේ වුවත් 20 වන සියවසේ ඉංගිරිසි බසින් ප්‍රකට වූ පැරඩි සඟරා කිහිපයක් ගැන සඳහන් කිරීම වටී. 

මුලින්ම මතකයට නැගෙන්නේ 1950 දශකයේ පමණ ආරම්භ වූ  MAD සඟරාවයි. ඇමරිකානු ජනප්‍රිය සංස්කෘතිය, දේශපාලනය මෙන්ම සමාජයද සදය උපහාසයට ලක්කළ MAD සඟරා දැඩි ජනප්‍රියත්වයක් ලැබීය. ඇතැම් අවස්ථාවල එකම පිටුවේ රිපබ්ලිකන් හා ඩිමෝක්‍රටික් යන ඇමරිකානු ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රතිපත්ති විචේචනය කරන මෑඩ් සඟරාව ඇමරිකාවේ සංස්කෘතික ගැටුම්වල (culture wars)  ලිබරල් හා කන්සර්වේටිව් යන දෙපාර්ශ්වයේම සීමාන්තිකකම් සරල උපහාසයට හසු කරගැනීමට සමත් විය. මෑඩ් සඟරාවේ ප්‍රධාන සංකේතය වන්නේ විසිළු මුග්ධ ගැටවරයෙකුගේ මුහුණෙන් නිරූපණය වූ ඇල්ෆ්‍රඩ් ඊ නිව්මන්ය 
2016 ඇමරිකානු ජනාධිපතිවරණය Mad Max: Fury Road චිත්‍රපටය ඇසුරින් උපහාසයට ලක්කළ අයුරු 
ඇල්ෆ්‍රඩ් ඊ නිවුමන් ඔබාමා ලෙස 

මෙලෙසම ඇමරිකානු දේශපාලනය හා සමාජය උපහාසයට ලක්කරන තවත් සඟරාවක් වූයේ Onionය. බොහෝ දුරට ලිබරල් ස්ථාවරයක් දැරූ අනියන් මඟින් විචේචනයට හසු කෙරුනේ දක්ෂිණාංශික දේශපාලන ධාරාවයි. එමෙන්ම ඇමරිකානු සමාජයේ රැලි ආදියද එමඟින් උපහාසයට ලක්විය. බොහෝ විට ඇසෝසියේටඩ් ප්‍රෙස් වැනි පුවත් සේවාවල ශෛලියට සමාන වන අයුරින් සැබෑ පුද්ගලයන්/සිදුවීම් පිළිබඳ උපහාසාත්මක පුවත් පළ කිරීම අනියන් හි තවත් උපක්‍රමයකි. 
09/11 ප්‍රහාරයෙන් පසු අනියන් පුවත්පතේ මුල් පිටුව 
පැරඩි චිත්‍රපට ගැනද හොලිවුඩයෙන් අසන්නට ලැබේ. උදාහරණයට රැම්බෝ වැනි ඒක පුද්ගල අැමරිකානු හමුදා උපහාසයට ලක්කළ චාලි ෂීන් රඟන හොට් ෂොට්ස් චිත්‍රපට හා හොරර් මාදිලියේ චිත්‍රපටවල පැරඩියක් වූ Scary Movie ගත හැක. 
ලංකාවේ සමාජ ජාල අවකාශයට පැරඩි එළඹෙන්නේ 2012 පමණ සමයේ සිට විය හැක. එම අවදියේ මූණු පොතේ දැඩි වර්ගවාදී රැල්ලක් පැතිර ගිය අවදියයි. ආදිවාසි වැද්දා නමින් යුතු මුණු පොත් පිටුවක් මඟින් මෙම වර්ගවාදී රැල්ලේ මූලික පදනමම උපහාසයට ලක්කිරීමට පටන්ගත්තේ පැරඩි ස්වරූපයෙනි. මුල් කාලයේ මෙය බෙහෙවින් සාර්ථක වූ බව වැද්දාට එරෙහි ව ජාතිකවාදි හා වර්ගවාදී පාර්ශ්වවලින් එල්ලවූ විචේචන මඟින් පැහැදිලි වේ. කෙසේ වුවත් මුල් කාලීන් ප්‍රමිතිය දිගටම පවත්වා ගැනීමට වැද්දා පිටුව සමත් වූයේ නැත - එයට හේතුව පිටු සංස්කාරකවරුන් වෙනස් වීම යැයි අනුමාන කරමි. එමෙන්ම එවක ආචාර්ය මිරැන්ඩෝ ගේ looney tunes නිසා ජනප්‍රිය වූ රාවණ මිත්‍යාව පැරඩිමය උපහාසයට ලක්කරමින් බිහිවූ “වර්ගපූර්ණිකාව“ එම කලාවේ පැහැදිලි උච්චස්ථානයක් පෙන්වන බව මගේ හැඟීමයි. 

වර්තමාන ලාංකික සමාජ ජාල අවකාශයේ මා දුටු හොඳම පැරඩි අඩවිය Newscurry විය හැක. ඉංගිරිසි බව නිර්මාණාත්මකව යොදා ගනිමින්  කාලීන දේශපාලනික හා සමාජ ප්‍රවාහයන් පැරඩිමය උපහාසයට ලක්කරන Newscurry අනියන් හෝ මෑඩ් වැනි අන්තර්ජාතික පැරඩි අඩවි සමඟ සලකා බැලුවද විශිෂ්ඨ බව මගේ හැඟීමයි. 
http://newscurry.co/

මේ අතර මූණු පොතේ විවිධ දේශපාලනමය අරමුණු සහිත පැරඩි පිටුද බහුලව දක්නට ලැබේ. මේවා ඇතැමක් පැරඩි පිටු පැරඩියට ලක්කරන ඒවා වීම විශේෂයකි ! මුදල් ලබන පක්ෂ ක්‍රියාකාරීන් විසින් මෙහෙයවන බවට සැක කළ හැකි මේවා සමහරක් සිංහල බොදුනුවා, ග්‍රීන් බ්ලඩ් ආදි ලෙස වේ. ප්‍රතිවාදී පිළට පක්ෂපාත බවක් මුලදී පෙන්වන මෙම පිටු සියුම් ලෙස එම ප්‍රතිවාදී පිළේ දේශපාලන නායකයන්ගේ ප්‍රතිරූප බිඳ හෙලීමට ක්‍රියාකරන අයුරු අපූරුය. අවාසනාවකට මෙන් සිංහල මූණු පොත් පරිශීලනය කරන්නන් වැඩි විචාරයකින් තොරව තම ටයිම්ලයින් එකේ දක්නට ලැබෙන දේ ෂෙයා කරන බවට හොඳම ූඋදාහරණය වන්නේ මේ පැරඩි පිටුවල පෝස්ටුද සැබෑ ලෙස ගෙන ලැබී ඇති ෂෙයා ගණන දුටු විටය.