Wednesday, October 26, 2016

ලංකාවේ ද්‍රවිඩ ජනාවාස හා යාපනය රාජධානියේ ආරම්භය - කාර්තිගේසු ඉන්ද්‍රපාල Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna

 කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා ගැන මම මුල්වරට ඇසුවේ මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපි තුළින්.  ඉන්ද්‍රපාල මහතා තම ආචාර්ය උපාධිය සඳහා වයස අවුරුදු 27 ක ශිෂ්‍යයෙක් වශයෙන් 1965 දී ලන්ඩන් සරසවියට ඉදිරිපත් කළ මුද්‍රිත පිටු 562 ක් සහිත  නිබන්ධනය වන Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna මා කියවීමට පෙළඹවූයේ ලංකාවේ ජනවාර්ගික ගැටළුව හා බැඳුනු සුවිශේෂ කරුණුවලට යම් පිළිතුරක් එමඟින් ලබා ගැනීමට හැකියැයි සිතුනු බැවින්. 
කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා

ඉන්ද්‍රපාල මහතාගේ නිබන්ධනයේ මා දුටු විශේෂත්වය වන්නේ ඉතාම තර්කාණුකූල කරුණු පැහැදිලි කිරීමයි. මෙහිදී මූලාශ්‍ර ලෙස සිංහලයන්ට සම්බන්ධ ‍ මහාවංස,ථූපවංසය,පූජාවලිය වැනි ග්‍රන්ථ මෙන්ම දෙමළ මූලාශ්‍ර ලෙස යාල්පාන වයිපමාලෙයි, Ancient Jaffna හා නැගෙනහිර පළාතට අදාළ ග්‍රන්ථද ඔහු යොදාගන්නවා - එසේ වුවත් මේ මූලාශ්‍ර පිළිබඳවද විචාරාත්මක විශ්ලේෂණයක් කිරීමෙන් පසු වඩාත් විශ්වාසදායි කොටස් පමණක් තම නිගමන සඳහා යොදාගැනීම ඔහුගේ වෘත්තීමයභාවය ගැන හොඳ ඉඟියක් සපයනවා. 
ලක්දිව මුල් කාලීන ද්‍රවිඩ ජනාවාස පිළිබඳ සාධක ඇති ස්ථාන 

සිය නිබන්ධනයේ ඉන්ද්‍රපාල මහතා ඉදිරිපත් කරන මූලික කරුණු හා නිගමන සැකෙවින් මෙසේයි : 

  • අනුරාධපුරයේ සිටම නගරබදව හා වරාය ආශ්‍රිතව කුඩා ද්‍රවිඩ ජනාවාස පැවත තිබෙනවා - බොහෝ විට දකුණු ඉන්දියානු දෙමළ සංගම් වලට අයත් පවුල්, සිංහල රජවරුන්ට සේවය කළ ද්‍රවිඩ කුලී ‍හේවායන්, ද්‍රවිඩ පූජකයන් ආදීන් මේවායේ වාසය කොට තිබෙනවා. කෙසේ වුනත්‍ මොවුන් සලකා ඇත්තේ විදේශිකයන් ලෙස බව විවිධ සෙල්ලිපි ආදියෙන් පැහැදිලි වෙනවා. 
  • තරමක් හෝ දුරට ස්ථිර ද්‍රවිඩ ජනාවාස ඇතිවීමට පදනම ඇතිවන්නේ 11 වන සියවසේ රාජ රාජ හා රාජේන්ද්‍ර චෝළ යන නරපතීන්ගේ ආක්‍රමණත් සමඟයි. මේ ජනාවාස මන්නාරම, ත්‍රිකුණාමලය හා රජරට අවට බිහිවුවත් යාපනය අර්ධද්වීපයේ ඒ වන විටත් තිබී ඇත්තේ සිංහල බහුතරයක්. 
  • පොළොන්නරු යුගය වන විට තව තවත් මේ ද්‍රවිඩ ජනාවාස පුළුල් වනවා - කුලී හේවායන් හා විවිධ වෘත්තිකයන් වෙළඳුන් මේවාවල ජීවත් වනවා. දාගැබ්, විහාර ආදිය කරවීම සඳහා විවිධ නිර්මාණ ශිල්පීන්ද දකුණු ඉන්දියා‍වෙන් ගෙන් වීමේ ප්‍රවණතාවක් තිබී ඇතිබව පැවසෙනවා. එමෙන්ම මුල් වර‍ට පරාක්‍රමබාහු රජු විසින් කයිට්ස් (ඌරාතොට) වරාය ආශ්‍රිතව වරාය නිලධාරීන්ට ආමන්ත්‍රණය කළ  සෙල්ලිපියක් ද්‍රවිඩ බසින් එම ප්‍රදේශයන් හමුවූ පැරණිතම අවස්ථාවක් ලෙස සැලකෙනවා. ඒ අනුව 12 වන සියවසේ මැද භාගය පමණ වන විට එම ප්‍රදේශයේ දෙමළ වෙළඳුන් මෙන්ම වරාය නිලධාරීන්ද සහිත දෙමළ ගහණයක් සිටි බව අනුමාන කළ හැකියි. එමෙන්ම ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම ආශ්‍රිතව ජනාවාස ඇතිවී තිබෙනවා. 
  • ලාංකිය ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන්නේ දෙමළ හා කේරළ කුලී හේවායන් 24000 ක් සමඟ කාලිංග මාඝ ගේ අාක්‍රමණයයි. මෙය පෙර ආක්‍රමණවලට වඩා වෙනස් වන්නේ සිංහල ජනතාවට හා බෞද්ධ විහාරස්ථාන, භීක්ෂූන්ට කරන ලද දැඩි හානිය නිසා. මේ ආක්‍රමණයත් සමඟ සිංහලයන් කෙමෙන් රජරට අත්හැර විශාල ලෙස දකුණට සංක්‍රමණය වීමත් සමඟ එවක සිංහල ප්‍රදේශවූ වර්තමාන වව්නියා, මුලතිව් ආදි දිස්ත්‍රික්කවල මාඝ සමඟ පැමිණි ද්‍රවිඩ කුලී හේවායන් මෙන්ම පසුව පැමිණි දකුණු ඉන්දියානු සංක්‍රමණිකයන් පදිංචි වීම ඇරඹීම මෙරට ස්ථිර හා විශාල දෙමළ ජනාවාස ඇතිවීමේ ආරම්භය ලෙස සැලකිය හැකියි. මෙහිදී සිංහලයන් සතුව තිබූ ඉඩම්,ගම්මාන බලහත්කාරයෙන්ම ද්‍රවිඩ ගම්බිම් බවට පත් වූ බව පැවසෙනවා. 
  • කෙසේ වුවත් යාපනය අර්ධද්වීපයේ තිබී ඇත්තේ මීට තරමක් වෙනස් ස්වභාවයක් - කාලාන්තරයක් තිස්සේ යාපනයට දෙමළ සංක්‍රමණියකයන් පැමිණියත් ඉහත කී ප්‍රදේශවල මෙන් නොව සාමකාමී සහජීවනයක් දෙමළ හා සිංහල ජනතාව අතර තිබෙන්නට ඇතැයි සැලකෙනවා - ඉන්පසු සිංහල ජනතාව යාපනයෙන් විස්ථාපනය එකවරම වාර්ගික සංහාරයක ස්වරූපයෙන් නොව ක්‍රමක්‍රමයෙන් - මේ සිංහලයන් බොහෝ විට දෙමළ ජනගහනයටම අන්තර්ග්‍රහණය වූවා විය හැකියි කාලයත් සමඟ. 
  • ඉහත කී ලෙස යාපනය අර්ධද්වීපයේ සාමකාමී ලෙස සිදුවූ ජන විස්ථාපනයට සාධක වන්නේ  උදාහරණයක් ලෙස දෙන්නේ යාපනය ප්‍රදේශයේ ස්ථාන නාම වල පරිණාමය. බොහෝ විට සිදුවී ඇත්තේ සිංහල ස්ථාන නාමයම එහි දෙමළ ස්වරූපයට පරිණාමය වීමයි - මෙය වන්නි හා උතුරු මැද ප්‍රදේශවල දෙමළ ස්ථාන නාම ලැබීමට වෙනස් ව සිදුවූ දෙයක් - 
  • ක්‍රිව 1236 න් පසු කාලිංග මාඝ ගැන විස්තරයක් ලැබෙන්නේ නැහැ . නමුත් ඉන්ද්‍රපාල මහතා මූලාශ්‍ර ඉදිරිපත් කරමින් පවසන්නේ දඹදෙණිය රාජධානියේ සිට සිංහල හමුදාවන්ගේ ප්‍රහාර නිසා පසුබසින කාලිංග මාඝ යාපනය කේන්ද්‍ර කොටගත් රාජධානිය පිහිටුවීමට මුල් වූ බවයි.  එහෙත්  මේ යාපනය රාජධානියට දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණිකයන් විවිධ ආකාරවලින් පැමිණි බවද පැවසෙනවා. 
  • 13 වන සියවසෙන් පසු සිංහල ජනතාව රජරටින් දකුණට විස්ථාපනය වීමත් එම ප්‍රදේශ වල් බිහිවීමත් නිසා යාපනය කේන්ද්‍ර කොටගත් දෙමළ රාජධානියකුත් දකුණු කොටසේ සිංහල රාජධානියකුත් වෙන වෙනම වර්ධනය වීම කාලිංග මාඝගේ ආක්‍රමණයේ ප්‍රධාන ප්‍රතිඵලයක් වූවා. කෝට්ටේ පාලන යුගයේ සපුමල් කුමාරයා යාපාපටුන ජයගත්තද එය පාලනය වූයේ වෙනම ප්‍රදේශයක් ලෙසයි. පෘතුගීසි සමය වන විට යාපනයේ සිටි සිංහලයන් බොහෝ දුරට දෙමළ ජනගහණයට අන්තර්ග්‍රහණය වීමත් සමඟ බොහෝ දුරට අද දකින ස්වරූපයට අති බහුතරයක් දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශයක් බවට යාපනය පත්වූ පත්වූ බවත් නිගමනය කෙරෙනවා. 

මෙහිදී පැවසිය යුතු වැදගත් කරුණක් වන්නේ නලින් ද සිල්වා මහතා ගාමිණී ඊරියගොල්ල මහතාගේ මතයක් ඇසුරින් ඉදිරිපත් කරන 17 වන සියවසේ ලන්දේසීන් විසින් කෘෂිකාර්මික කම්කරුවන් ලෙස දුම්කොළ වගාවට යාපනයට ගෙන්වන ලද දෙමළ ජාතිකයන් නිසා යාපනයේ ජන සංයුතිය වෙනස් වී එතෙක් කල් සිංහල බහුතරයක්ව සිටි ප්‍රදේශයේ දෙමළ බහුතරයක් වූ බව කියන කතාවට නම් මේ නිබන්ධනය මඟින් පිටුවහලක් ලැබෙන්නේ නැති බවයි. බැලූ බැල්මටම පෙනෙන පරිදි එය පිළිගැනීමට අපහසු  අන්තගාමි අදහසක්. අනිත් අතට උතුරු නැගෙනහිර දෙපළාත ලංකාවේ දෙමළ ජනතාවගේ නිජභූමිය බවට දෙමළ බෙදුම්වාදී පිරිස් කාලාන්තරයක් ගෙන යන මතයටද මෙමඟින් අනුබලයක් ලැබෙන්නේ නැහැ. 

අවසාන වශයෙන් පැවසිය යුත්තේ ආචාර්ය නිබන්ධනය සඳහා ශිෂ්‍යයෙක් ලෙස ඉන්ද්‍රපාල මහතා ඉදිරිපත් කළ නිබන්ධනයෙන් ‍එවකටත් දළුලමින් තිබූ දෙමළ ‍බෙදුම්වාදී මතවාදයන්ට අනුබලයක් නොලැබීම නිසා දෙමළ විද්වත් සමාජය අතර ඒ මහතා ට දැඩි විරෝධයක් පලවූ බවයි. ඔහුගේ සමකාලියෙක් වන මහාචාර්ය මයිකල් රොබට්ස් පවසන්නේ මේ නිසාම ඔහු හුදකලා තත්ත්වයට පත්වූ බවයි. පසුකාලීනව ඉන්ද්‍රපාල මහතා ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට යනවා. තම ආචාර්ය උපාධි නිබන්ධනයෙන් වසර 40කට පසු හා අවුරුදු 30 ක විශ්වවිද්‍යාල සේවයකින් පසු  2005 දී ඔහු තවත් පොතක් පළ කරනවා. ඒ The Evolution of an Ethnic Identity: The Tamils of Sri Lanka C. 300 BCE to C. 1200 CE . තමන් මුලදී පළ කර මතවාදයන්ට හාත්පසින් වෙනස් නිගමනයන්ට ‍ මේ පොත මඟින් එළැඹ ඇති බව පෙනෙන්නට තිබෙනවා. සිංහල හා දෙමළ යන වාර්ගිකයන් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ලංකාවේ ජීවත් වූ එකම පූර්වජ පරම්පරාවකින් පැවතෙන බවත් ඔවුන් වසර දෙදෙහසක් පමණ එක්ව ජීවත් වූ බවත් පසුව භාෂා ආදේශනයක් නිසා උතුරු ඉන්දියානු ප්‍රාකෘති භාෂාවක් සමස්ත ජනගහනයෙන් විශාල පිරිසක් අතර පැතිර යාම නිසා සිංහල අනන්‍යතාවද දෙමළ බස සෙසු පිරිස් අතර පැතිරයාමද සිදුවූ අතර  අතර ක්‍රිව 1200 පමණ චෝල ආක්‍රමන නිසා මුලදී දෙපිරිසම අනුගමනය කළ බුදු දහම වෙනුවට දෙමළ කතාකරන පිරිස් අතර ‍ ශෛව ආගමද පැතිර ගොස් දෙමළ අනන්‍යතාව බිහිවූ බවත් එම පොත මඟින් නිගමනය කර තිබෙනවා. මහාචාර්ය මයිකල් රොබට්ස් නම් පවසන්නේ ඉන්ද්‍රපාල මහතාගේ මේ අදහස් පෙරළිය නව අධ්‍යනයන් නිසා හෙළිවූ අලුත් කරුණු නිසා ඇතිවූවකට වඩා තමන්ගේ මුල් මතයන් නිසා දෙමළ ජනතාවගෙන්ම තමන් කොන්වීම නිසාම ජීවිතයේ සැඳෑ සමයේ හෝ තම දෙමළ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ව්‍යායාමයක් විය හැකි බවයි. 

කෙසේ වුවත් ඉතිහාසය දෘෂ්ඨිවාදයෙන් තොරව  අපක්ෂපාතීව හැදෑරීම සඳහා උදාහරණයක් ලෙස කාර්තිගේසු මහතාගේ මුල් නිබන්ධනය සැලකිය හැකියි. 

31 comments:

  1. මහාචාර්ය ඉන්ද්‍රපාල මේ නිබන්ධනය කරන සමයේ සියළු ඉතිහාස පර්යේෂණ කෙරුණේ වංශ කතා ආශ්‍රයෙනුයි. ඔහුගේ පර්යේෂණය පිණිස අඩු තරමින් සිංහල පැත්තෙන් මහාවංශය, චූලවංශය හා ථූපවංශයත් දෙමළ පැත්තෙන් යාල්පන වෛපමාලෙයි වැනි ග්‍රන්ථත් ඇසුරු කරන්නට ඇති. මේ ග්‍රන්ථ වලට අනුව දෙමළ හා සිංහල ඉතිහාසය ගැන ඔහු ඉදිරිපත්කරන මතය නිවැරදියි.

    නමුත් මෙතනදී කාරණා දෙකක් අප සැලකිල්ලට ගත යුතුයි.

    එකක් මහාවංශය වැනි වංශ කථාවල වලංගු භාවය. පොළොන්නරු යුගයට පෙර මහාවංශ "ඉතිහාසයේ" වලංගුභාවය ගැන ඉතිහාසඥයින් රාශියක් ප්‍රශ්න කොට තිබෙනවා. ලංකාවේ ලිඛිත මූලාශ්‍ර බිහි වන්නේ පොළොන්නරු යුගයේ. ඊට පෙර තිබුණේ මුඛ පරම්පරාගත තොරතුරු සන්නිවේදනයක්. එනිසා මේ සැකය සාධාරණයි.

    දෙවැන්න සිංහල හා දෙමළ වෙන් වෙන් අනන්‍යතාවයන් අද අප දන්නා ස්වරූපයෙන් බිහි වන්නේ 12 වැනි සියවසේදී හෝ ඉන්පසුව. ඉන් පෙර මේ රටේ මිනිස්සු හිටියත් ඒ සිංහල දෙමළ වශයෙන් අද ඉන්නා හැටියට බෙදී නෙවෙයි.

    එනිසා ඇත්ත තත්වය 12 සියවසට පෙර දෙමළ ජනාවාස පමණක් නොව අද අප දන්නා අර්ථයෙන් "සිංහල" ජනාවාසද නොතිබුණු බවයි.

    ඇත්තටම වුණේ මේ දිවයිනේ වාසය කළ පොදු මිනිස් කොට්ඨාශයක් 12 වැනි සියවසින් පසුව සිංහල හා දෙමළ ලෙස දෙපසකට බෙදීමයි. ඒත් මහා ලොකු ජනගහණයක් නෙවෙයි. පොළොන්නරු යුගයට පෙර ලංකාවේ ජනගහණය මිලියන බාගයට අඩුයි. පොළොන්නරු යුගයේදී එය මිලියනයක් පමණ වෙනවා සංක්‍රමණ නිසා. මේ කාලයේ ලෝක ජනගහණයත් මිලියන 20 පමණ.

    එසේම රුහුණ හැරුණු විට සමස්ත දිවයිනම වසර සියයකට ආසන්න කාලයක් යටත් කරගෙන සිටි අති බලසම්පන්න චෝල පාලනය තුළ ලංකාවේ දෙමළ ජනාවාස නොතිබුණා යැයි සිතීම විහිළුවක්.

    ReplyDelete
    Replies
    1. [[මේ කාලයේ ලෝක ජනගහණයත් මිලියන 20 පමණ]]

      මේකනම් ෂුවර් වැරදියි.

      පොයුපේ 400 ගණන් වල සයිරස්ගේ අකිමනිඩ් අධිරාජ්‍යයේ මි 40කත වඩා උන්නු බව කියවෙනවා. අශෝකගේ මි 50 ඉක්මවනවා. පොයු ආරම්භයේ රෝම ජනගහනය සැලකෙන්නේ මි 70+ ලෙස.

      වසර 1200 වෙද්දී චීන ජනගහනය පමණක් මි 120 ඉක්මවනවා. පසුව මොංගල් යුගය තුක එය මි 60 ට අඩුවූ බව කියවෙනවා.

      ඒ නිසා ඔබේ ලෝක ජනගහනය ගැන මිම්ම නම් ෂුවර් වැරදියි.

      Delete
    2. අනික් කරුණ ඉන්ද්‍රපාල සමකාලීන කැණීම් ආශ්‍රිත පුරාවිද්‍යාත්මක සාධක මතත් පදනම් වනවා - මහාවංසය රිලයබල් නෑ කියන එකත් පිළිගන්න අමාරුයි - අසෝක අධිරාජ්‍යයා ගැන කන්ෆර්ම් කරගත්තේ මහාවංසය නිසා - දැන් ඔබ ගෙන එන මතය සමාන වන්නේ ඉන්ද්‍රපාලම 2005 දී පළ කරපු අදහස් වලටයි

      Delete
    3. ක්‍රි.ව. 11-12 සියවසේදී ලෝක ජනගහණය මිලියන 20 නොව මිලියන 200 ලෙස නිවැරදි විය යුතුයි. මතකයෙන් ලිවීමේදී ඇති වූ ගැටළුවක්. නමුත් එයින් ලංකාවේ එවක ජනගහණය මිලියන බාගකයකට අඩු වූ බව කියන කාරණය නිෂෙධ වන්නේ නැහැ. බලන්න එදාත් අදත් ලංකාවේ ජනහගණය ලොකෙ ජනගහණයට කිට්ටු අනුපාතයන් පවත්වා ගෙන ඇති අයුරු.

      මහාවංශයේ නිර්වද්‍යතාවය ගැන නම් කියන්න තියෙන්නේ මහාවංශය විතරක් නෙවෙයි බයිබලය, රාමායණය වැනි ආගමික ග්‍රන්ථ මත පදනම්ව ඉතිහාසය හැදෑරීම දරුණු මුලාවක් බවයි. ලංකාවේ මහාවංශය වගේම ඉන්දියාවේ රාමායණය ඉතිහාස ග්‍රන්ථයක් හටියට සැලකෙනවා. මේවා දේශපාලන අවශ්‍යතා මිස ශාස්ත්‍රීය අවශ්‍යතා නෙවෙයි.

      Delete
    4. පෙර-ඉන්ද්‍රපාල හා පසු-ඉන්ද්‍රපාල අතුරින් කවුරු නිවැරදිද යන කාරණය සම්බන්ධයෙන් මගේ මතය මෙකයි.

      සාමාන්‍යයෙන් අවුරුදු 27 ක තරුණයෙක් හුදෙක් විභාගයක් සමත්වීමේ අරමුණින් ඉදිරිපත් කරන තීසීසයකට වඩා අවුරුදු 60 ක පමණ මහාචාර්යවරයෙක් කරන පර්යේෂණයක ප්‍රතිඵල බොහෝ විට පිළිගත හැකියි. එය අමතක කරමුකෝ.

      මා පෙර-ඉන්ද්‍රපාල මොහොතකටවත් වැරදියි කියන්නේ නැහැ. ඔහු කියන්නේත් නැහැ. වෙන්නේ ඔහු 1965 දී නොදැන සිටි හෝ නොසලකා හැරි කරුණු ගණනක් පසුව භාවිතයට ගැනීම.

      මේවා ඔබේ දේශපාලනය සමඟ නොපෑහේ නම් එය ඔබේ වරදක් මිස මහාචාර්ය ඉන්ද්‍රපාලගේ වරදක් නෙවෙයි.

      Delete
    5. එනිසා ඇත්ත තත්වය 12 සියවසට පෙර දෙමළ ජනාවාස පමණක් නොව අද අප දන්නා අර්ථයෙන් "සිංහල" ජනාවාසද නොතිබුණු බවයි//
      එසේම රුහුණ හැරුණු විට සමස්ත දිවයිනම වසර සියයකට ආසන්න කාලයක් යටත් කරගෙන සිටි අති බලසම්පන්න චෝල පාලනය තුළ ලංකාවේ දෙමළ ජනාවාස නොතිබුණා යැයි සිතීම විහිළුවක්//

      ඔබ ඔබේම වලිගය හපනව වගෙ. 12 සියවසට පෙර සි
      \ංහල දෙමල ජනාවාස තිබ්බෙ නෑලු හැබැයි චෝල යුගයෙ තිබ්බෙ නෑ කියන එක විහිලුවක්ලු

      Delete
  2. මා සිතන්නේ රටේ ජනසංයුතිය යටත් විජිත කරණයෙන් පසු සැලකිය යුතු ලෙසින්ම වෙනස් වෙලා තියෙනවා.. දැන් අපි ඉතිහාසය හාර අවුස්සලා ඔය පස්නයට විසදුමක් හොයාගන්න ආමාරුයි..කොහොමද දෙගොල්ල අතර තියෙන ලොකු බැම්ම නැති කරලා දාන්නේ කියලා හිතන්නයි ඕනි..

    ReplyDelete
    Replies
    1. මගෙත් අදහසට අමිලගේ අදහසමයි

      Delete
    2. ඉතිහාසය හාර අවුස්සල ජනවාර්ගික ප්‍රශ්නෙට උත්තර හොයන්න අමාරුයි - හැබැයි එහි ප්‍රධාන සංඝටයක් වන නිජභූමි සංකල්පය ගැන කතා කරන්න ඔීන

      Delete
    3. ඇමරිකාවේ රෙඩ් ඉන්ඩියන්ස්ලා ගැන, ඕස්ට්‍රේලියාවේ ඇබෝලා ගැන කතා කරනවා වගේද...
      අපි එහෙමනම් කුවේණි, විජයගේ ලෙවල් එකටම බහිමු ලක්ශාන්.
      මේවා හෘදයාංගම අවශ්‍යතා නම් හොඳයි. මම නම් හිතන්නේ මේවා චිකන් හාර්ට්ස් කියලා. බයිට් එකට මරු. මොකද ලයන් හාර්ට්ස් බයිට් වෙන්නෑ. කාවවත් ටාගට් කරා නෙමේ.

      Delete
  3. ලංකාවේ පැරැණිම "දෙමළ අකුරු" සහිත සෙල් ලිපිය හමුවන්නේ 12 වැනි සියවසේ පමණ නිසා ඊට පෙර දෙමළ ජාතිකයින් මෙරට නොසිටි බව කියන මෝඩයින්ද ඉන්නවා. අපට හඳුනා ගත හැකි මට්ටමට දෙමළ අකුරු බ්‍රාහ්මී අකුරු වලින් වෙන් වුණේ 9-10 සියවසේදී පමණ. එනිසා පැරණිම "දෙමළ අකුරු" සහිත සෙල් ලිපි මේ යුගයෙන් හමුවීම පුදුමයක් නෙවෙයි. (නමුත් මට මතක හැටියට අප පඬුවස්නුවර ලෙස වරදවා වටහා ගන්නා, මහාචාර්ය පරණවිතාන පරාක්‍රමබාහු රජතුමා ගොඩ නැංවූ පරාක්‍රමපුර යැයි හඳුන්නා දුන් නම් ස්ථානයේ ඇති "දෙමළ" සෙල් ලිපිය මීට සියවස් දෙකක් පමණ පරණයි. සමහරවිට ඉන්ද්‍රපාලගේ පර්යේෂණය සමයේ මෙ කැණීම් කර නොතිබෙන්න ඇති.)

    නිකමට තමිල්නාඩුවේ ඇති පැරැණි "දෙමළ" සෙල් ලිපි ගැන සොයා බලන්න. මේවායේ අකුරු අපේ ඒ යුගයේ සෙල්ලිපි වල අකුරු වල සමානයි. එකම බ්‍රාහ්මී අක්ෂර. මෙයින් කියැවෙන්නේ සිංහලයින් තමිල්නාඩුවට ගොස් සෙල්ලිපි ලියූ බව නෙවෙයි. එකම මූලයකින් පැවත ආ, දකුණු ඉන්දියාව හා ලංකාව ජනාවාස කර ගත් පිරිස් පසුව ක්‍රම ක්‍රමයෙන් සිංහල හා දෙමළ වශයෙන් බෙදෙනවා. එසේ නැතිව මේ රටේ සිංහල නමින් එකම ජාතියක් අඛණ්ඩව ජීවත් වුණා අනෙක් සියල්ලන්ම පිටින් ආ පිරිස කියන එක මිත්‍යාවක්. අවුරුදු දෙදහසකට වැඩි කාලයක් එසේ පරිනාමය නොවී ජීවත්වූ ජාතීන් ලෝකයේ කොහේවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ පැරැණිම "දෙමළ අකුරු" සහිත සෙල් ලිපිය හමුවන්නේ 12 වැනි සියවසේ පමණ නිසා ඊට පෙර දෙමළ ජාතිකයින් මෙරට නොසිටි බව කියන මෝඩයින්ද ඉන්නවා. /// කවුරුත් එහෙම කියන්නේ නැහැ - මෙතන ඉන්ද්‍රපාල වුනත් කියන්නේ විශාල ප්‍රමාණයේ ස්ථිර ජනාවාස ඇරඹෙන්නේ 12වන සියවසෙන් පසුව කියලයි - ඊට පෙරත් මෙහි ද්‍රවිඩ ජනාවාස පැවතුණු බව ඔහු පැහැදිලිව පවසනවා.

      Delete
    2. /කවුරුත් එහෙම කියන්නේ නැහැ /

      මුහුණු පොතේ එව්නි අදහසක් පළ කළ පිරිසක් හිටියා. ඒකයි කිව්වෙ. අදහස් පළ කරන්න කලින් දැනුම්වත් වෙන්න.

      Delete
  4. ක්‍රිස්තු උපතට සියවස් දෙකකට පෙර කාලයක චීනයේ ටෙරාකොටා භටයින් නිර්මාණයට කිලෝමීටර 5,000 කට වඩා එපිට ග්‍රීකයින්ගේ දායකත්වයක් ලැබෙන තරමට ග්ලෝබලයිසේෂන් කියන දෙය බලවත් නම්, යාන්තම් කිලෝමීටර 25ක නොගැඹුරු මුහුදු තීරයකින් වෙන්වුණු (සමහරවිට අතීතයේදී ඊටත් වඩා පටු හෝ යාවූ) කුඩා දූපතක යාබද උපමහාද්වීපයේ අති බලසම්පන්න අධිරාජ්‍යවල (චෝල හා පාණ්ඩ්‍ය) අවම බලපෑමක් ඇතිව අයිසොලේටඩ් සංස්කෘතියක් ගොඩනැඟුණු බව ඇත්තටම විශ්වාස කළ හැකිද?

    http://www.smithsonianmag.com/smart-news/did-greeks-help-sculpt-chinas-terracotta-warriors-180960771/?no-ist

    ReplyDelete
  5. බොහොම පුළුල්ව සංවාදයට භාජනය වියයුතුයි. නිජභූමි සහ පරම අයිතිය යන සංකල්ප තමයි, සිංහල දෙමල ජාතීන් අතර තිබෙන, අවාසනාවන්ත බාධකයවී තිබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. විචාව සාදරයෙන් පිළිගන්නවා - ඇත්තෙන්ම මේ නිජභූමි සංකල්පය තමයි උතුරු නැගෙනහිර සුවිශේස අයිතිවාසිකම් සඳහා භාවිතා කරන්නේ - මේ සංකල්පය ගැන සොයා බැලීම වැදගත්-

      Delete
  6. එදා ඈත අතීතයේ ඔය ජනාවාස ඇතීවීම, නැතීවීම තීරණය කෙරුණේ යුද්ධයෙන්. ඉතිහාසය ලියවුනේ දිනපු අය විසිනුයි. අවාසනාවට අදත් බොහෝ විට එහෙමයි.

    ReplyDelete
    Replies
    1. අවාසනාවට ඇත්ත කතාවක් - හැබැයි ඉතිහාසය සොයා බැලීම වැදගත්

      Delete
  7. ජාතිවාදය කියන්නෙ තව පරම්පරා ගානකට වවාගෙන කන්න පුළුවන් මාතෘකාවක්

    ReplyDelete
    Replies
    1. මිනිස් වර්ගයා තිබෙනකල් වවාගෙන කන්න පුලුවන් මාතෘකාවක් කිව්වොත් නිවැරදියි - ඒ නිසාම ජාතිවාදය ඇතිකිරීමට යොදාගන්න සංකල්ප පරාජය කළ යුතුයි

      Delete
  8. පොතක් එලිදැක්වීමේ උත්සවයකදී ආචාර්ය සූරිය ගුණසේකර මහතා මේ ගැන දේශනයක් කලා...ඔහු කිව්වෙ නන් ඉන්ද්‍රපාල මහතාගේ නිබන්ධනය හුදෙක් ගොතපු කතා වලින් සමන්විත වන බවක්...

    ReplyDelete
    Replies
    1. මට නම් එසේ පෙනෙන්නේ නැහැ - ඔහුගේ නිගමනවලට මූලාශ්‍ර ඔහු ලබා දෙනවා - හැබැයි ඉතින් මම මේ විෂය ක්ෂේත්‍රයේ නිසි අධ්‍යනයක් කරපු අයෙක් නොවන නිසා නිගමනයක් දෙන්න අමාරුයි

      Delete
  9. උතුරේ දෙමළ නිජබිම් හෙවීම මට නං අර කිකිළි බිත්තරේ සීන් එකක්ම තමයි. නිජබිම් තිබුනා හෝ නැතා දෙමළ ජනතාව පරම්පරා ගණනාවක් තිස්සෙ මේකෙ ඉන්නවනෙ. හැබැයි අපි දෙගොල්ල සමඟියෙන් සමාදානයෙන් හිටිය කියල නං හිතන්න බෑ මොන කාලෙකවත්. හිටියත් බ‍ඩේ බිත්තර තියාගෙන තමයි දෙගොල්ලම ඉඳල තියෙන්නෙ. වැඩි දෙයක් ඕන නෑ අපි පොඩි කාලෙ, නැත්තං යුද්ධයට කලින් අපේ තාත්තලා ඉගනගත්ත පොත්පත්වල පවා තිබුනෙ තනිකර 'දෙමළා ආක්‍රමණිකයාය' යන න්‍යායෙන් ලියවුන පොත්පත්. මේ තත්වය නැතිවුනේ නවීන ප්‍රජාතන්ත්‍රවාදය ආපු මෑත කාලයෙ තමයි. (එවකට) අවසන් කරගන්න බැරිවුන යුද්ධයත් ඒකට හේතුවක්.

    කොහොම වුනත් වාර්ගික අවුල් විසඳන්න වෙන්නෙ වාර්ගික මූලයක් හෑරීමෙන් නෙවේ. වාර්ගික, ආගමික, ගෝත්‍රික ආදී ප්‍රාථමික බෙදිීම්වලින් තොරව මිනිස්සු මිනිස්සු විදියට හිතන්න ගත්ත දාට. ආර්ථික වශයෙන් ඇතිවන සමෘද්ධිමත්භාවය මෙතනදි ඉතාම වැදගත්.

    කොහොම නමුත් මේ සියල්ලට දෙපැත්තෙම දේශපාලකයන් කැමති නෑ. සමඟිය ඇතිවෙන්න මූලික බාධාව ඒකයි.

    ReplyDelete
    Replies
    1. මම පිළිගන්නවා රාජ් - සැබෑ ආර්ථික දියුණුවක් ඇතිවුනොත් ඔය නිජබිම් කතා නිකම්ම යටයනවා - හැබැයි ඉතිහාසය ගැන සොයා බැලීමත් වැදගත්

      Delete
  10. ඉන්ද්‍රපාල සහ සමකාලින විද්වතුන් වගේම ලක්ෂාන් වැනි විෂය අධ්‍යනය කළ අයත් එක්ක හිටගන්න තරම් ගැඹුරු අධ්‍යනයක් මා කර නැහැ. එහෙත් ප්‍රශ්නය ගැන ඇති උනන්දුව නිසා අ එකතු කරගත් ජන මතවාද ගැන අවබෝධයක් තියෙනවා. විශේෂයෙන්ම උතුරේ ගැටුම් සහ බෙදුම්වාදයට මූලය ඔවුන්ට සිදු වූ අසාධාරණයකට වඩා ඉතිහාසය ලෙස ඔවුන් මත පටවන ලද දැවැන්ත මිත්‍යාවක් බව හෙළි වුනේ බෙදුම්වාදයට සම්බන්ධ පුද්ගලයින් රාශියක් සමග කෙරුණු [තරමක් උණුසුම්] සංවාද තුලින්. ඔය ඉපැරණි කුමාරි කන්දම් ප්‍රවාදය, මෑතකාලීනව විද්‍යාත්මකව සනාත නොවූ වෙනත් ප්‍රවාදයක් තුලින් [ලෙමුරියා ] එය නැවත උපදින හැටි සහ එය අදටත් දෙමල බෙදුම්වාදයේ විද්වත් කතිකාව විසින් භාවිතා කරන හැටි පැහැදිලිවම නිරීක්ෂණය කර තියෙනවා. ඒ කාරණයට බ්ලොග් කරුවා සහ මා අතර විවාදයක් නැති නිසා මම වැඩිය යන්නේ නැහැ.

    [තව කොටසක්]

    ReplyDelete
    Replies
    1. [ඉතිරිය]

      ලංකාවේ ඉතිහාසය ගැන මා අසා ඇති ප්‍රවාද මත වාර්ගික ප්‍රජා දෙකේ මූලය ගැන මගේ මතවාද මෙසේයි. මා අසා ඇති ප්‍රවාද සිදු වූ සත්‍ය ලෙස මින් ඉදිරියට ලියන්න වෙනවා, එයින් කියන්නේ නැහැ මා ඒ කිසිවක් අන්ධ භක්තියෙන් අදහන බව.

      1. විජය ගෙන් සිංහල ජනතාව [රාජවංශය නොවේ] පැවතෙන්නේ නම් විජයට මුළු ලංකාවම පාලනය කරන්නට හෝ අනුරාධපුරයට යන්න බැරි වන්නේ කොහොමද? අනුරාධපුරය පළමු වරට ග්‍රහණය වන්නේ යක්ෂ සෙන් පති වරුන්ගේ සහය ලබන පණ්ඩුකාභය, රටේ සීමා අ ලකුණු කරන්නෙත් ඔහු. මම හිතන්නේ සිංහල ජනතාවගේ ලිඛිත ඉතිහාසය පටන් ගන්නේ ඔහුගෙන්.

      2. විජයට ස්වදේශික යක්ෂ ගෝත්‍රය සමූලඝාතනය කල හැකිවන්නේ කෙසේද? දූපතක මුළු ප්‍රජාව මරන්න පුලුවන්ද හත් සීයකට. එහෙම කලානම් පණ්ඩුකාභය පන බේරාගන්න යක්ෂ ගම්මානයකට යන්නේ කොහොමද ඔහු යක්ෂ සේනා වල සහය ලබන්නේ කොහොමද?

      3. ලංකාවේ 1200 ට පෙර දෙමල ජනතාව ඉන්න ඇති. එහෙත් ඔවුන් බහුතර වෙච්ච ඔවුන්ට බලය තිබ්බ විශාල ප්‍රදේශ තිබුණු බවට කිසිම සාධකයක් නැහැ. ප්‍රාදේශීය මට්ටමේ හෝ ඔටෝනොමස් බලයක් තිබ්බනම් කොහේ හෝ සාධක තියෙන්න ඕනේ. භුමියේ වංශකතා හෝ ඉතිහාස විෂය අධ්‍යනයේ සාධක නැහැ.

      4. අද පවතින දෙමල හෝ සිංහල භාෂා අනන්‍යතා බිහිවන්නේ පොයු අටවැනි සියවසේ විතර නිසා භාෂාව පදනම් කරගත් අතීතයක් හාරන්න බැහැ. එහෙත් සිංහලයින් සහ දෙමලයින් අතර වෙනස්කමක් තිබ්බනම් ඊට පෙර ඔවුන් යොදාගත් භාෂා දෙකක් තියෙන්න ඕනේ. එනයින් තේරෙන්නේ සිංහල සමාජය තුල අනුගත වූ දෙමල ප්‍රජා මිස වෙන්වූ අනන්‍ය ප්‍රජා නොසිටි බව.

      5. ආර්ය චක්‍රවර්ති ගේ යාපන රාජධානිය ලංකා ඉතිහාසයේ කල බලපෑම් ඔක්කොම බොරු ලෙස ලියපුවා වෙන්න බැහැ . ඒ නිසා 1200 ට පස්සේ යාපනයේ [නෝට්: උතුරේ නොවේ, අර්ධද්වීපයේ] බලය තිබ්බේ දමිලයින් අතේ කියන එක හිතන්න වෙනවා. ඊට අනුගත වුනු සිංහල ප්‍රජාවන් එවකට හිටියා වෙන්න පුළුවන්. මාඝ ගෙන් පස්සේ වුනේ උතුරට පලාගියවුන් දකුණු ඉන්දියාවෙන් ආපු දෙමල බලය තුල දමිල කරණය වුනා. දකුණට පලාගිය වුන්න් දකුණු සිංහල බලය තුල සිංහලකරණය වුනා එච්චරයි. පලා යන්න පෙර උන් දමිල ද සිංහල ද කියන එක අදාළ නැහැ.

      6. මෙම "සිංහල කරණයට" උදාහරණයක් සපයනවා ගාල්ල දිස්ත්‍රික්කයේ එක කුලයක් ලෙස තවමත් තරමක් වෙන්ව සිටින ප්‍රජාවක්. ඔවුන්ගේම පුරාවෘත්ත අනුව ඔවුන් පොයු 1000 විතර ඉන්දියාවෙන් ආපු ප්‍රජාවක්. කාලයක් ස්වාධීනව ඉන්න නමුත් ඔවුන්ගේ සිංහලකරණය පටන් ගන්නේ දේවපතිරාජ නම් ඔවුන්ගේ නායකයා දෙවැනි පරාක්‍රමබාහු රජුට සහය දෙන්න පටන් ගැනීමෙන්. ඔහු ප්‍රධාන අමාත්‍ය කිරීමෙන් අපි දකිනවා බලය බෙදා ගත්ත බවකුත්. අද මේ ප්‍රජාව සැලකෙන්නේ සුද්ද සිංහල ලෙස.

      7. අපිට පුළුවන් මේ තර්කයම යොදාගන්න පහුගිය සහශ්‍රය පුරා ඉන්දියාවෙන් ලංකාවට ගලා ආ විශාල ජන සංක්‍රමණයට. දකුණට ආ යමෙක් වේද ඔවුන් සිංහලකරණය වීමත් උතුරට ගිය යමෙක් වේද ඔවුන් දමිලකරණය වීමත් වුනා. උදාහරනෙකට නිශ්ශංක අලගක්කෝනාර ලා, උලකුඩය දේවියගේ සැමියා, වීදියේ බණ්ඩාරලා ගේ මිනිස්සු, සපුමල් කුමාරයාගේ මිනිස්සු, අරිට්ට කී වෙන්ඩු වගේ අය, නායක්කාර් පරම්පරා. මේ වගේ ආපු නම නොදන්නා තව විශාල පිරිසක්, මේ කිස්වෙකුට අද ද්රාවිඩ අනන්‍යතාවයක් තියේද? ඔවුන්ගේ පරපුරු සිංහලකරණය වෙලා.

      නිගමනය:
      ඔය අනුව කියන්න තියෙන්නේ, හැමදාමත් ලංකාවට උතුරු දකුණු ඉන්දියානු මිනිස්සු එන්න ඇති එහෙත් ලංකාවේ උන්නු ස්වදේශික මින්නිස්සු තමා ප්‍රමුඛව සිංහල ජාතිය හදන්නේ. ඉස්සර ලංකාවම සිංහල නිසා ආපු හැමෝම සිංහලකරණය වුනා. ඒ මිස අනන්‍ය වූ ඔටෝනොමස් දෙමල කෑලි තිබිලා නැහැ. මාඝ ගෙන් පස්සේ වෙන වෙනස නම් ඒ සිංහල ප්‍රජාව දෙකට බෙදිලා එයින් උතුරට ගිය අයව මාඝ ගේ දමිල හමුදා [සමහරවිට රාජ රාජලාගෙන් ඉතුරු වූ අයත් එක්ක] විසින් උතුරු දමිල අනන්‍යතාවයක් ලෙස නිර්මාණය කරන එක. ඊට පස්සේ උතුරට ගිය අය දෙමලත් දකුණට ගිය අය සිංහලත් වෙලා ලංකාවේ එකම ජාතිය වූ සිංහල එක ජනවර්ගයක් පමණක් වෙනවා. 1200 ගණන් සිට දෙමල අනන්‍යතාවයක් බිහි වෙනවා.





      Delete
    2. මේ නිබන්ධනයේත් කියන්නේ 12වන සියවසට පෙරත් මේ රටේ දෙමළ ජනාවාස තිබුනු බවයි - මන්නාරම ත්‍රිකුණාමලය පුත්තලම මඩකලපුව ආශ්‍රිතව - රාජ රාජ හා රජේන්ද්‍ර චෝළ යන නරපතීන්ගේ ආක්‍රමණ නිසාත් මේ ජනාවාස බිහිවුනා - නමුත් මහා පරිමාණයෙන් ඇතිවන්නේ 12වන සියවසෛ්දී

      Delete
    3. ඉතිහාසය ගැන ශාස්ත්‍රීය හැදෑරීමකින් තොර සමාන්‍ය පුද්ගලයෙක් කරන වැරදි උපකල්පන රාශියක් ඉහත දීර්ඝ අදහස් දැක්වීමේ දකින්න පුළුවන්. එකින් එක අරන් පැහදිළි කරන්න තරම් කාලයක් නැහ. අනෙක වැඩකුත් නැහැ. කොයි තරම් පැහැදිළි කළත් මේ ජනගත වෙලා තියෙන ජනප්‍රිය අදහස් උඩට එනවා. සැබෑ ඉතිහාසය යට යනවා. ඒක හැම තැනම වෙන දෙයක්.

      Delete
    4. මා මිත්‍ර සුජීව කොකාවල ගේ අදහස් හා මගේ අදහස් සමපාත වෙයි. මේ කරුණු මතම පදනම්ව, කිව හැකි මෙහි සඳහන් ව නොමැති ලොකුම විහිළුව නම් අපට සිංහල දෙමළ යුද්ධයක් යැයි අර්ථ දක්වා දුන් දුටුගැමුණු එල්ලාරන් යුද්ධයයි.

      මගේ අදහස නම් ඒ කාලේ අද අප දන්නා සිංහල නම් ජනකොටස නොසිටි බවයි.

      කොකාවල ගේ සටහන වෙනම පළ කළොත් නරකද?

      ඔන්නම් රසිකොලොජියෙත්ත් දාන්නම්?

      Delete
  11. //මගේ අදහස නම් ඒ කාලේ අද අප දන්නා සිංහල නම් ජනකොටස නොසිටි බවයි.

    හරි. එතකොට දකුණු ඉන්දීය ජනතාව දැන් තරමට මිශ්‍ර වෙලා හිටියේ නෑ.

    ReplyDelete