Friday, April 8, 2016

චාල්ස් මැන්-සන් හා ෂැරන් ටේට්


ෂැරන් ටේට් 

1960 දශකයේ මැද භාගය පමණ වන විට හොලිවුඩයට තරුණ පෝලන්ත ජාතික චිත්‍රපටය අධ්‍යක්ෂවරයෙක් සම්ප්‍රාප්ත වුනා - විචාරක සම්මානයට මෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාරයටද භාජනය වූ Knife in Water, Repulsion මෙන්ම භීෂණකාරි Rosemary's Baby වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු රෝමන් පොලාන්ස්කි.  පොලාන්ස්කිගේ අතගත්තේ එවක හොලිවුඩයේ වාණිජමය චිත්‍රපටවල රඟපෑ ෂැරන් ටේට් නම් සුරූපී නිළියයි.  ෂැරන් ටේට් නැගී එන නවක තරුවක් ලෙස විචාරක අවධානයට ලක්වන්නේ Valley of Dolls වැනි චිත්‍රපට නිසා.  1969 අගෝස්තු මාසය වන විට ටේට් අට මස් ගැබිණියක්. ඇය ලොස් ඇන්ජලීස් නුවර බෙනඩික්ට්ස් කැන්යන් හි නිවසක සැමියාත් සමඟ ජීවත් වුනා. 

චාල්ස් මැන්-සන් 

අවිවාහක 16 හැවිරිදි තරුණියකගෙන් උපත ලබන චාල්ස් මයිල්ස් මැඩොක්ස් ඉතාම අමිහිරි ළමා අවදියක් ගත කළ අයෙක්. බීමට ඇබ්බැහිවූ කාන්තාවක් වන තම මවගෙන් සෙනහසක් ‍නොලැබුනු ඔහු හැදෙන්නේ විවිධ ළමා නිවාසවල. ගැටවර වියේදීම විවිධ නිතිවිරෝධී ක්‍රියාවල යෙදීමට ඔහුව යොමු කරන්නේ මේ අමිහිරි සමාජ පසුබිම විය හැකියි. කිහිප වරක් සිරගත වන චාල්ස් හට සිරගෙදරදී සයන්ටොලොජි, සාතන්වාදය වැනි විකල්ප ආගම් ගැන කියවීමට ලැබෙනවා. 

මේ විවිධ ආගම්වල අදහස් ඔහු තමාගේම අලුත්ම ආගමික කල්ට් මතවාදයට මුසු කරගන්නවා- 1967 වන විට ඇමරිකාවේ ප්‍රතිසංස්කෘතිය නම් හැඳින්වෙන සමාජ සංස්කෘතිමය ප්‍රවාහය වේගයෙන් පැතිර යමින් තිබුනා. මේ ප්‍රවාහය නිරූපනය කෙ‍රුනු උප සංස්කෘතියක් වූයේ හිපි ජීවන රටාවයි.  මේ හිපි ජීවන රටාවේ අංගයක් වූයේ දේපළ, මුදල් මෙන්ම ලිංගික සහකරුවන්ද හුවමාරු කරගනිමින් සාමාජකයන් ජීවත් වූ හිපි කොමියුන (Hippie Communes).  
සිරගෙදරින් නික්මෙන් චාල්ස් තම විකල්ප ආගමික විශ්වාස පදනම් කරගනිමින් "පවුල" Family නමින් හිපි කොමියුනයක් ගොඩ නගනවා. එවකට ඉතාම ජනප්‍රිය වූ "බීට්ල්ස්" ගායක කණ්ඩායමේ "හෙල්ටර් ස්කෙල්ටර්" (Helter Skelter) නම් ගීතය ඇසුරින් න්‍යෂ්ඨික යුද්ධයක් දක්වා වර්ධනය වන වාර්ගික ගැටුමක් (race war) චාල්ස්ගේ ආගමික විශ්වාසවලට පදනම වනවා. 


තමා ක්‍රිස්තුවහන්සේ මෙන්ම "මනුෂ්‍ය පුත්‍රයෙක්" එනම් මෙසායා කෙනෙක් බව සිතූ චාල්ස් Son of Man යන යෙදුම ඇසුරින් Manson නම් තම වාසගම තනාගත් බව පැවසෙනවා - ඉන්පසුව ඔහු හැදින්වුනේ චාල්ස් මැන්-සන් නමින්. 
තමා මෙන්ම අවුල් වූ පවුල් පසුබිමක් සහිත මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූ තරුණ සාමාජික සාමාජිකාවන්ගෙන් මේ "පවුල" සමන්විත වෙනවා.මැන්සන්ගේ වාර්ගික යුද්ධය පිළිබඳ ආගමික සංකල්පය මෙම තරුණ තරුණියන් ‍වෙත කාවද්දා මොළ ශෝධනයට ලක් කර තිබුනා- මෙම අරගලය ඇති කරලීම සඳහා ලොස් ඇන්ජලීස් හි ප්‍රකට පුද්ගලයන් ඝාතනය කිරීමේ සැලැස්මක් වෙත චාල්ස් මැන්සන්  තම යෞවන අනුගාමිකයන් මෙහෙයෙව්වා. 

ඝාතන 

1969 අගෝස්තු මස 8 වනදා ෂැරන් ටේට් තම නිවසේදී මිතුරන් කිහිප දෙනෙක් හට සාදයක් පිරිනැමුවා. මේ වන විට රෝමන් පොලාන්ස්කි සිටි‍යේ ලන්ඩන් නුවර. එදින මැදියම් රැයෙන් පසු අ‍ගෝස්තු 9 වැනි දිනට පහන් වන විට චාල්ස් මැන්සන්ගේ අනුගාමිකයන් තම සැලැස්මේ කොටසක් ලෙස මෙම නිවසට කඩා වැදී ගැබිනි ෂැරන් ටේට් ඇතුළු සියලුම පුද්ගලයන් කුරිරු ලෙස මරා දමනු ලැබුවා. තම කුස තුළ සිටින නූපන් දරුවාගේ නාමයෙන් තමා නොමරන ලෙස ෂැරන් ටේට් ආයාචනා කළත් මොළ ශෝධනයට ලක්වූ මත්ද්‍රව්‍යට අබ්බැහිවූ ඝාතකයන් එය තැකුවේ නැහැ - ඇය වෙත පිහි පහරවල් 16ක් එල්ලවූ බව පැවසෙනවා. ඝාතනවලින් පසු මේ පුද්ගලයන් ෂැරන් ටේට්ගේ ලෙයින් බිත්තිවල හා දොරෙහි යම් වාක්‍ය ලියූ බව පැවසෙනවා . 

පසුකාලීන තත්ත්වය 

ඝාතනවලින් කෙටිකලකට පසු චාල්ස් මැන්සන් හා ඔහුගේ කල්ලිය අත්අඩංගුවට ගැනුනා- ඔවුන් මුලින් මරණ දඩුවමටත් පසුව ජීවිතාන්තය දක්වා සිර දඩුවම්වලටත් යටත් කරනු ලැබුවා. මෙම ඝාතන ඇමරිකාවේ හිපි සංස්කෘතිය පිළිබඳ අතිශයින්ම විවාදාත්මක වුනා. 
තමන් බෙහෙවින් ආලය කළ ෂැරන්ගේ කුරිරු මරණය හා තම නූපන් පුතු අහිමිවීම දරා ගැනීමට අපහසු බවත් තම ජීවිත කාලය පුරාම ඒ හිඩැස පවතිනු ඇති බවත් පොලාන්ස්කි 1984 දී සඳහන් කරනවා. තම බිරිඳගේ ලේ වැකුණු ඝාතනයෙන් කෙටිකලකට පසු ශේක්ස්පියර්ගේ ප්‍රකට නාට්‍යය ඇසුරින් පොලාන්ස්කි අධ්‍යක්ෂණය කල "මැක්බත්" චිත්‍රපටයේ ඔහුගේ මේ අදුරු චෛතිසිකය මැනවින් නිරූපණය වන බව එය නරඹූවෙක් ලෙස මට කීමට හැකියි. 
ෂැරන් ටේ‍ට්ගේ මව වන ඩොරිස් 2000 වසරේ සිය මරණය තෙක්ම ඝාතනවල වින්දිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නියක් බවට පත් වුනා. 
චාල්ස් මැන්සන් හා මැන්සන් "පවුලේ" ඉතිරි සාමාජිකයන් අදටත් සිපිරිගෙයි ගතකරනවා. 

3 comments: