Monday, April 4, 2016

ආචාර්ය නලින් ද සිල්වාගේ “ඩැමස්කස් මෝමන්ට්“ එක (The "Damascus Moment" of Dr. Nalin de Silva)

බයිබලයේ නව ගිවිසුමේ “අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා“ (Acts) පොතේ සඳහන් සුවිශේෂී චරිතයක් වන්නේ සුළු ආසියාවේ (වර්තමාන තුර්කියේ) තාර්සස්හි උපත ලැබූ දැඩි යුදෙව් ආගමික මතධාරියෙක් වන සාවුල්ය. කිතුණු දහම යුදෙව්වරුන් අතර පැතිර යාම සාවුල්ගේ දැඩි විරෝධයට හේතුවේ . එම නිසා රෝම යුදා ප්‍රාන්තයේ එම නව ආගම පැතිරීම වැළැක්වීමට ඔහු ක්‍රියාකාරීව මැදිහත්වන්නේ කිතුණු ශාන්තුවරයෙක් ලෙස සැලකෙන ස්තේපන් තුමා ගල් ගසා මරණයට පත් කිරීමට හා තවත් කිතුණු යුදෙව්වන් විශාල පිරිසකට පීඩා කිරීමට ඉදිරිපත් වීමෙනි.

මෙවැනි වූ සාවුල් ඉන්පසු දමස්කය බලා ගමන් කරන්නේ එහි සිටින කිතුණු යුදෙව්වන්ට විරුද්ධවද ක්‍රියාමාර්ග ගැනීමටය. මෙලෙස අසුපිටින් යන සාවුල් දමස්කයට යන මාර්ගයේදී අත්භූත අත්දැකීමකට මුහුණ දේ . එනම් ක්‍රිස්තුන්වහන්සේ ඔහු හට දර්ශනය වීමයි.මේ සිදුවීමත් සමඟ සාවුල් තම මූලික මතවාදයෙන් අංශක 180ක් ආපසු හැරී තමා මෙතෙක් කල් වෛර කර ආගම පැතිරවීමට මුලිකත්වය ගනී. ඒ නිසාම පාවුළු තුමා ලෙස පසු කාලීනව ප්‍රසිද්ධියට පත්වන්නේ මේ කිතුණු විරෝදී සාවුල්ම ය. (https://www.biblegateway.com/passage/?search=Acts+9_)


ලංකාවේ ජාතිකවාදය පිළිබඳ දේශපාලනික කතිකාවතේ මේ පාවුළු තුමා වැනිම චරිතයක් හමු වේ නම් ඒ ආචාර්ය නලින් ද සිල්වා මහතා ය. ඒ මහතා 1980 දශකයේ මුල් භාගයේ දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය ප්‍රබලව පිළිගත් බවත් ඒ පිළිබඳව ක්‍රියාකාරීව ලිපි සැපයූ බවත් පැවසේ - මේ සඳහා අවම වශයෙන් එක් උදාහරණයක් ලබා දෙන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ History after the War පර්යේෂණ පත්‍රිකාවට (පිටු අංක 20)  අනුව නලින් ද සිල්වා මහතා සංස්කරණය කළ “යාථාර්ත“ නම් සඟරාවේ ඔහු විසින් අද දවසේ දෙමළ ජාතිකවාදයට එරෙහිව යොදාගන්නා තර්ක බොහෝමයකට පිළිතුරු සපයමින් ලියූ ලිපියක් ගැන සඳහන් කරයි - මෙවැනිම රූප විපර්යාසයකට ගොදුරුවූ  ආචාර්ය දයාන් වැනි ස්ව මාන්නයෙන් පෙලෙන අවස්ථාවාදියෙක් ලෙස සැලකිය නොහැකි  ආචාර්ය නලින් ද සිල්වා මහතා 1984 වකවානුවේ තම මූලික දේශපාලන මතවාදයෙන් අංශක 180 ක් අනික් පසට හැරීමට හේතුවූ කුතුහලාත්මක “ඩැමස්කස් මෝමන්ට් “ එක කුමක්ද ? 

5 comments:

  1. ඒක නං ඉතිං නලින්දගෙන් ම තමයි අහන්න ඕනෑ. සම්‍යයක් දෘෂ්ටික දෙයියෙකු පහදා දෙන්න ඇති?

    ReplyDelete
    Replies
    1. සාවුල්ට නම් පහදලා දුන්නේ ජේසු කියනවානේ :)

      Delete
    2. මේ වසරේ පදනම් ආයතනයේ පැවති හමුවකදී ජයදේව උයන්ගොඩ මහතා මේ ගැන සදහන් කල අතර (මගේ මතකයේ හැටියට සදහන් කරන නිසා වැරදි තොරතුරක් නම් එහි වගකීම මා සතුය) නලින් ද සිල්වා මහතාගේ ජාතික වාදී නැබුරුවට තීරණාත්මක ලෙස බලපෑ කරුණු දෙකක් ඔහු සදහන් කලා.
      1) නව සම සමාජ පාක්ෂිකයකු ලෙස නලින් ද සිල්වා මහතා ඉමහත් බලාපොරොත්තු රදවා ගෙන සිටි අසූවේ ජූලි වර්ජනය පරාජයට පත් වීම
      2)නව සම සමාජ පක්ෂය තුල කිසියම් හමුවක (දේශපාලන මණ්ඩලය/ම. කා. ස ?) ඇති වූ විවාදයක් . එහිදී නලින් ද සිල්වා මතා කිසියම් මාක්ස්වාදී න්‍යාය වාදියකු හෝ ගුරුකුලයක අදහස් වෙනුවෙන් පෙනී සිට ඇති අතර පොර බැදීම අවසන් වී ඇත්තේ මුලදී ඊට පක්ෂපාතී මතය වෙනුවෙන් සටන් වැදුනු නලින් ද සිල්වා මහතා අවසානයේ එම මතයට පහර දෙන අයෙකු බවට පත්වීමෙනි. මෙයට අදාල දිවයින ? පුවත් පතට නලින් ද සිල්වා ලියූ ලිපියක් හා ඊට පිලිතුරු ලෙස වෙනත් න.ස.ස පක්ෂයේ අයෙකුගේ ලිපියක් එකල පලවූ බවද ඔහු සදහන් කලා.

      නලින් ද සිල්වා මහතාගේ මාක්ස්වාදී අතීතය සිහිකල උයන්ගොඩ මහතා පැවසුවේ ඔහු එවක උග්‍ර මාක්ස්වාදියෙකු වූ බවත් දෙමළ ජනයා ඔහුන්ගේ ස්වයන් නීර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමට සුදානම් නැත්නම් අප (නලින් ද සිල්වා මහතා ඇතුලු පිරිස) ඒ වෙනුවෙන් පෙනීසිට එය දෙමල ජනයාට හිමිකර දිය යුතු බවටත් එකල පැවසූ බවය.

      Delete
    3. ඔබේ විස්තරයට තුති. ඒ සමයේ නලින් ද සිල්වා ‍ජනවාර්ගික ගැටළුව සම්බන්ධයෙන් ලි්යූ ලිපි සොයා ගත හැකි නම් ගොඩක් වටිනවා

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete