Thursday, November 19, 2015

YHWH සහ ඊශ්‍රායල්වරු - 2 කොටස

අපි පසුගිය කොටසින් බැබිලෝනිය විප්‍රවාසය (Babylonian Exile) තෙක් ඊශ්‍රායල් ජනතාව‍ගේ ඉතිහාසය කතා කළා. ක්‍රිපූ 6 වන සියවස පමණ වන විට ඊශ්‍රායල් ජනතාව තමන් කලින් ඇදහූ අනෙකුත් කානන් දෙවිවරුන් බැහැර කො‍ට තම ජාතික දෙවියන්වහන්සේ වූ YHWH පමණක් ඇදහීම කළ‍ා. මීට අමතරව විප්‍රවාසය නිසා විඳීමට වූ දුක් කම්කටොළු නිසා ඔවුන්ගේ යුදෙව් අනන්‍යතාව වඩාත් ශක්තිමත් වූ බවත් පැවසීමට හැකියි. අද පවතින ආකාරයට යුදා ආගමේ මුල් ස්වරූපය ඇතිවුනේත්, සිනගෝගය මුල් කරගත් වන්දනාව, ඔවුන්ගේ ආගමික ග්‍රන්ථය වන ටෝරාව ලියවුනේත් මේ යුගයේදීයි. එමෙන්ම අද අපි බයිබලයේ "නික්මයාම" (Exodus) ලෙස හඳුන්වන දෙවියන්වහන්සේ හා ඔහුගේ "තෝරාගත් සෙනඟ" මිසරයෙන් කානන් දේශයට ඒම පිළිබඳ කතාව මෙන්ම දෙවියන් හා ඊශ්‍රායල්වරුන් අතර ගිවිසුම ගැන සඳහන් වන "ව්‍යවස්ථා" පොතත් (Deuteronomy) වර්තමාන ස්වරූපයෙන් ලියවෙන්න ගත්තෙත් මේ කාලයේම තමා. එය සියවස් කිහිපයක් තුළ කෙමෙන් අද අපි දකින ස්වරූපයට පත්වුනා. විද්වතුන්ගේ මතය වන්නේ ක්‍රිපූ 6 වන සියවසේ දක්නට ලැබුනු භෞමික දේශපාලනික හා සමාජයීය තත්ත්වයන් ආපසු ක්‍රිපූ 12 වන සියවසට පමණ ප්‍රක්ෂේපණය කිරීමන් මේ නික්මයාමේ කතාව නිර්මාණය වූ බවයි. 

 පර්සියානු හා මෙසිඩෝනියානු/හෙලනික ආධිපත්‍ය යටතේ යුදා දේශය 


පර්සියානු අධිරාජ්‍යයේ යුදා ප්‍රාන්තය 

යුදා  ප්‍රදේශය බැබිලෝනිය අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් ලෙස පාලනය වුනා. ඉන්පසු මහා සයිරස් නම් පර්සියානු රජු බැබිලෝනිය යටත් කරගත් විට එම ප්‍රදේශය පර්සියානු අධිරාජ්‍යයේ පරිපාලන පළාතක් බවට පත්වුනා. එමෙන්ම පිටුවාහල්ව සිටි යුදෙව්වරු විශාල පිරිසකුත් නැවත පැමිණ පදිංචි වුනා. මේ වන විට යුදෙව් අනන්‍යතාව මොවුන් තුළ ප්‍රබලව ගොඩනැගී තිබුනා. ඉන්පසු ක්‍රිපූ 4වන සියවසේදී මහා ඇලෙක්සැන්ඩර් රජුගේ මෙසිඩෝනියානු අධිරාජ්‍යයේ කොටසක් බවට යුදා ප්‍රාන්තය පත්වුනා. 

හැස්මෝනියන් රාජධානිය 


හැස්මෝනියන් යුදා රාජධානිය 


ඇලෙක්සැන්ඩර් රජු‍ගේ මරණයෙන් පසුව යුදා ප්‍රාන්තය සිරියාව මුල් කොටගත් සෙලුසිඩ් නම් ග්‍රීක මූලයක් සහිත අධිරාජ්‍යය යටතට පත් වුනා. සෙලුසිඩ්වරු තම බහුදේවවාදී ලිබරල් සංස්කෘතිය ඒකදේවවාදී දැඩි මතධාරී යුදෙව්වන් පිට පටවන්නට තැත්කිරීම නිසා ඔවුන්ට විරුද්ධව මකබි නම් යුදෙව් නායකයන් යටතේ කැරැල්ලක් පැන නැගී ක්‍රිපූ 2වන සියවසේ පමණ යුදා ප්‍රාන්තය කෙටි කලකට ස්වාධීන වෙනවා. එය මකබිවරුන් ආරම්භ කල හැස්මෝනියන් රාජ වංශය යටතේ ස්වාදීන යුදෙව් රාජධානියක් ලෙස අසල්වැසි ප්‍රාන්ත කිහිපයක්ද ඈඳාගෙන කලක් පැවතුනා. 
කෙසේවුවත් ක්‍රිපූ 63 දී රෝමයේ සුප්‍රකට කොන්සල් වූ පොම්පේ විසින් හැස්මෝනියන් රාජධානිය යටත් කරගෙන රෝමයට යටත් රටක් බවට පත් කරගන්නවා. පසුව එය රෝමන් ප්‍රාන්තයක් ලෙස කෙළින්ම රෝම අධිරාජ්‍ය මඟින් පාලනය කරනවා. 

යුදා දේශ‍යේ රෝම පාලනය 


ලා නිල් පැහැයෙන් දැක්වෙන්නේ රෝමානු යුදා ප්‍රාන්තයයි


රෝමන්වරුන්‍ යටතේ යුදා ජනතාව දිවි ගෙව්වේ එතරම්ම සතුටින් නො‍වේ. සංස්කෘතික ,සමාජයීය ,ආගමික වෙනස්කම් මෙයට ප්‍රධාන වශයෙන් හේතුවුනා. මුලදී ප්‍රාන්තය පාලනය වුනෙ හෙරෝද්වරු නම් රජවරුන් යටතේ - ඔවුන්  යුදෙව්වරුන් මහත් භක්තියෙන් සලකන දේවමාළිගාව නැවත ඉදිකළා. එහෙත් පසුව කෙළින්ම රෝමය මඟින් පාලනය වන තත්ත්වයට පත්වුනා. 
කෙසේවුනත් රෝමන් වරුන්ට පැවති විරෝධය පුපුරා යන්නේ ක්‍රිව 66 දී ඇරඹුනු පළමු යුදෙව් රෝම යුද්ධයෙන්. එය ක්‍රිව 73 දක්වා ඇදී යනවා. ටයිටස් අධිරාජ්‍යයාගේ නියෝගය පරිදි ජෙරුසලම හා දේවමාළිගාව විනාශ කිරීමෙන් මේ යුද්ධය අවසන් වන්නේ යුදෙව්වන්ගේ පරාජයෙන්. ජයගන්නා ටයිටස් යුදෙව්වරුන්ගේ පූජනීය ජාතික සංකේතය වන මෙනෝරා නම් පහනද රැගෙන ජයග්‍රාහීව රෝමයට ගමන් කරන ආකාරය "ටයිටස් ආරුක්කුවේ" දැක්‍ වෙනවා. 
යුදව්වන්‍ෙගේ පූජනීය සංකේතය වන මෙනෝරා පහන 
ටයිටස්ගේ ආරුක්කුව 
ටයිටස් ආරුක්කුවේ මෙනෝරාව රෝමන්වරු රැගෙන යන ආකාරය දැක්වෙන කැටයම් 

බාර් ‍කොක්බා කැරැල්ල හා යුදා දේශයේ විනාශය 

කෙසේ වුනත් යුදෙව්වරුන්ට මරු පහර වදින්නේ ක්‍රිව 132-136 අතර පැවති බාර් කොක්බා කැරැල්ලෙන්. එය ඉතාම දරුණු කැරැල්ලක් බවත් රෝමන්වරුන්ට මැඩ පැවැත්වීම අසීරු වූ බවත් පැවසෙනවා.  සයිමන් බාර් කොක්බා නම් යුදෙව් නායකයා මෙසියස්වහන්සේ නොහොත් යුදෙව් ගැලවුම්කරු ලෙස යුදවේ පූජකයන් හැඳින්වූවා. මනාව සැලසුම් කොට ගරිල්ලා සටන් උපක්‍රම උපයෝගි කරගෙන යුදෙව්වන් රෝමන්වරුන්ට දැඩිව පහර දුන්නා.

තත්ත්වය කෙතරම් දරුණු වුනාද කියතොත් එවකට රෝමයේ අධිරාජ්‍යයා වන හේඩ්‍රියන් පුද්ගලිකවම තත්ත්වය නිරීක්ෂණය කිරීමට පැමිණි බව පැවසෙනවා. යුදෙව් ගම්මාන යා කරන සියුම් උමං ක්‍රමයක් ආශ්‍රයෙන් රෝමවරුන්ට හානි පැමිණවීමට යුදෙව්වන් සමත් වුනා. අවසානයේ වසර 2කට පමණ යු‍දා ප්‍රාන්තය නිදහස් කරගැනීමටත් ඔවුන් සමත් වුනා. ඒ කාලය ඇතුළත යුදෙව් මුදල් ඒකක නිකුත් කිරීම ආදිය පවා සිදුවුනා. 

කෙසේ නමුත් මේ තත්ත්වය දිගටම පැවතුනේ නැහැ. රෝම සේනාධිපති ජුලියස් සිවියරස් යටතේ 60 000 ක පමණ බල ඇණියක් එනම් රෝමානු හමුදාවෙන් 1/3ක්  යුදා ප්‍රාන්තයට එවන ලද්දේ තම අභිමානයට වූ කැළල මකා ගැනීමටයි. සිවියරස් බිම් දවන (scorched earth)  හමුදා මෙහෙයුමක් දියත් කළා. දෙපසටම විශාල ජිවිත හානි සිදුවුවත් අවසානයේ රෝමන් හමුදා ජයගත්තා - එවක ඉතිහාසඥයන්ට අනුව යුදෙව් සාමාන්‍ය ජනතාව  පවුල් පිටින් රෝමන් හමුදා මඟින් සමූලඝාතනයට ලක් කර තිබෙනවා. ඇතැමුන් මෙය වාර්ගික සංහාරයක් (genocide) ලෙස හැඳුන්වනවා. මිලියන භාගයක් පමණ යුදෙව්වන් කැරැල්ල හා සංහාරයන් නිසා මිය ගිය බවත් පැවසෙනවා. 

මේ කැරැල්ලෙන් පසු හේඩ්‍රියන් අධිරාජ්‍යයා තද තීරණයක් ගන්නවා යුදෙව්වන්ගේ ජාතිකවාදී හැඟීම් සඳහටම විනාශ කිරීමට. යුදෙව්වන් විශාල පිරිසක් වහලුන් ලෙස හා වෙනත් ආකාරවලින් යුදා දේශයෙන් පිටුවාහල් කරනවා. එමෙන්ම "යුදා " නමද ඉතිහාසයෙන් අතුගා දැමීමට එම භූමිය "සිරියා පලස්තීනය" (Syria Palæstina)  ලෙස නම් කරනවා. "පලස්තීනය" ලෙස අද අප දන්නා නම මුල්වරට භාවිතයට එන්නේ මේ හේඩ්‍රියන්ගේ නියෝගය නිසා. විශාල යුදෙව්වන් පිරිසක් මරා දැමීම හා පිටුවාහල් කිරීම නිසා යුදෙව්වන් තමන්ගේ සංස්කෘතිය හා බැඳුනු ඒ භූමියේ සුළුතරයක් බවට පත්වෙනවා. ඒ වන විටත් විශාල යුදෙව් ඩයස්පෝරාවක් ලොව පුරා සිටියත් ඇතැම් ඉතිහාසඥයන් යුදෙව් ඩයස්පෝරාවේ ආරම්භය ලෙස සලකන්නේ මෙලෙස හේඩ්‍රියන් යුදා දේශය සිතියමෙන් අතුගා දැමීමයි. 

පුරාණ ඊශ්‍රායල් රාජ්‍යය මෙලෙස ක්‍රිව 136 දී පමණ විනාශ වීම යුදෙව්වන් වෙනත් රටවලට සංක්‍රමණය වීමට බලපෑවා. සුළු ආසියාවට ,මිසරයට මෙන්ම යුරෝපයටද ඔවුන් යම් ආකාරවලින් සංක්‍රමණය වුනා. ඔවුන්ගේ ඉතිහාසය හා පලස්තීනය නැවතත් ඊශ්‍රායලය ලෙස වර්තමානයේ අපි දන්නා රාජ්‍යය බවට පත්වූයේ කෙසේද යන්න ඉදිරියේදී වෙනම ලිපි පෙළකින් අපි සාකච්ඡා කරමු. 

4 comments:

  1. සාමාන්‍ය දැනීම සමූහයේ මේ ගැන ලියු ප්‍රශ්නයක උත්තරයක් අමු අමුවේ කොපි කරනවා. සමහර දත්ත රිපීට් වෙන අතර ඉලක්කම් මිස් මැච් ඇති.

    ----------------

    මේ පොයු 130 දශකය.

    රෝමයේ කොටසක් වන ජුදා දේශයේ යුදෙව්වන් හා රෝමානු අධිරාජ්‍ය හෙඩ්රියන් අතර ඇතිවන ආගමික ගැටලුවක් [විවිධ හේතු කියනවා. යුදෙව් පන්සල කඩන්න හැදුවලු. විවිධ කතා] නිසා යුදෙව්වන් කැරලි ගහනවා. කැරැල්ල මෙහ්යවන්නේ සයිමන් බා කොස්බා, පසුව ඔහුගේ නම වෙනස් කරනවා බා කොච්බා ලෙස [දෙවැන්නේ ආගමික අර්ථයක්]. ඔහු අනාගත මෙසයියා ලෙස පූජකයින්ගෙන් නම් කරනු ලබන නිසා තමා සටන මෙහෙයවන්න හැකි වන්නේ. යුදෙව්වන්ට මොක නැතත් ආගම මාර ප්‍රබල දෙයක්. කැරැල්ල සාර්ථක වෙනවා. වසර දෙකහමාරක් ස්වාධීන ජුදා දේශයක් පවතිනවා. මෙය කිතු උපතින් පසුව 1948 දක්වා කාලයේ තිබ්බ එකම ස්වාධීන යුදෙව් රාජ්‍යයි

    රෝමය දන්නවා මේක ලෙහෙසි නැහැ කියලා. ඒ නිසා ලීජන් හයක් සහ අමතර ලීජන් හයක් ලෙස [ටෝටල් 60000 ට වැඩි] රෝමානු හමුදාවෙන් බාගයක් පමණ යවනවා ජුදා දේශයට. එච්චර යවලත් මුහුණට මුහුණ සටන් කරන්නේ නැහැ කරගන්නත් අමාරුයි. රෝමානුවන් සීජ් කරලා වරින් වර පහර දෙමින් වසර ගානක් ඉන්නවා. මේ අතරේ බා කොච්බා බලයෙන් හිස උදුම්මාගෙන රාබි වරුන්ට හිරිහැර කරමින් තමන්ගේ තත්වය බාල්දු කරගන්නවා. කොහොම හරි ඔහු මෙසයියා කෙනෙක් නොවේ කියන මතය සමාජගත වෙනවා

    ඇත්තෙන්ම ඒක රෝමන් ගේමක් ද දන්නේ නැහැ. අපිට සිද්ධ වෙනවා ජුදා ආගමේ මෙසයියා කියන්නේ මොකද්ද. කැරැල්ල කියන්නේ මොකද්ද කියලා. ජුදා ආගමේ මෙසයියා ක්රිස්ත්යානි හා මුස්ලිම් වලට වඩා වෙනස් දෙයක්. යුදෙව්වන් යුද්ධය දකින හැටිත් මාර වෙනස්. මේ සඳහා අපිට සිද්ධ වෙනවා සලකන්න ජුදා ආගම හා යුදෙව් ජාතිය කියන දෙක වෙන් කල නොහැකි බවත්. ආගම අනුව තෝරාගත් ජාතිය නේ [යෙහොවා වීසින්].

    මෙසයියා කියන්නේ ජාතියේ ගැලවුම්කාරයා, රජු, දෙවියන් එවූ නායකයා හෝ ඩේවිඩ් රජුගේ පරපුරෙන් එන කෙනා වගේ අර්ථයක් තියෙන එකක්. බොහෝ විට ඔහු රට බේරාගන්න රජතුමා. මෙතැනදී ඩේවිඩ් එක්ක තියෙන ලේ සම්බන්ධය වැදගත්.

    යුද්ධය කියන්නේ දෙවියන් විසින් යුදෙව්වා හරහා කරන දෙයක්. යුදෙව්වා දෙවියන්ගේ නාමයෙන් යුද්ධය ට හැම දෙයක්ම කැප කරනවා. එහෙත් යුද්ධයේ ප්‍රතිපලය තීන්දු කරන්නේ දෙවියන්. යුදෙව්වා එය බාර ගන්නවා.

    මෙසයියා කෙනෙක් දෙඉයන් එවන්නේ යුද්ධය දිනන්න මෙසයියා පරදින්න බැහැ.

    ඔන්න ඔහොම රෆ් කතාවක් තියෙන්නේ.

    ඒ අනුව මුලින්ම සයිමන් නම් වූ කෙනා මෙසයියෙක් කියා හිතලා රාබි නායකයෙක් ඔහුගේ නම වෙනස් කරනවා ඊට ඩේවිඩ් ගේ ලේ නෑකමක් එනවා වගේම මෙසයියා ගැන කියා තියෙන අනාගත වාක්‍යකට ගැලපෙනවා. ඔන්න ඔහොමයි සයිමන් වටේ කට්ටිය සෙට් වෙන්නේ. මේ ලේබලය යටතේ සයිමන්ට ලක්ෂ දෙකකට අධික මහා හමුදාවක් එකතු වෙනවා. ඔහුමෙසයියා කියා හිතන අය යුද්ධය දිනන බවත් විශ්වාස කරනවා. ඒකයි මෙතරම් කැප වෙන්නේ.

    ඊට පස්සේ සයිමන්ගේ ඇතැම් ක්‍රියා නිසාත්, ඔහු රාබි වරුන් මරණ නිසාත්, දෙවියන් කෙරෙහි පූර්ණ විශ්වාසයක් නොදෙන නිසාත්, අවසානයේ පරදින නිසාත් ඔහු මෙසයියා කෙනෙක් ලෙස සලකන්නේ නැහැ.

    කෙසේ වෙතත් මේ සයිමන් ගේ මෙසයියා තර්කය එසේ වුනාද නැද්ද කියන එකට පරස්පර වූ අතීත ලේඛන හමු වෙන්නේ.

    [තව කොටසක්]

    ReplyDelete
  2. [ඉතිරිය]

    අන්තිමේදී ඔවුන් පරදිනවා. පරාජයෙන් පස්සේ ලක්ෂ හයක පමණ යුදෙව් ජනගහනයක් [මිනිසු ගැහැනුන් ළමයි ඇතුළුව] සමූලඝාතනය කරනවා. මේ වෙද්දී ජුදාවේ යුදෙව්වන් මිලියන කීපයක් ඉන්න ජනා කීර්ණ පලාතක්. එත් කැරැල්ලෙන් පස්සේ ජෙරුසෙලමේ වෘකයන් වගේ වනසතුන් ගවසුනාලු. මළමිනී ඔහේ තිබ්බලු.

    රෝමය දකිනවා යුදෙව්වන්ගේ ශක්තියට හේතුව ආගමික අගය හා භුමිය බව. ඒ නිසා ඉතිරි යුදෙව්වන් අල්ලා වහල් කමට යවනවා යුරෝපේ විවිධ තැන්වල. ජෙරුසෙලම හා ජුදා දේශය යුදෙව්වන්ට තහනම් කරනවා. ටෝරාව පුළුස්සනවා, රාබි වරුන් මරා දානවා. යුදෙව් ආගම ඉගැන්වීම පවා තහනම් කරනවා. පන්සල කඩලා රෝමානු දේවස්ථානයක් හදනවා. කිස්තියානි යුදෙව්වෙකුටවත් භූමියට ඇතුළුවීම තහනම් කරනවා. ජුදා දේශය හා පෙර තිබ්බ ඊශ්‍රායෙල් දේශය කියන නම් දෙක තහනම් කර අලුත් නම් දෙකක් දානවා. ඒ තමා සිරියාව හා පලස්තීනය. :)

    සියලුම යුදෙව්වන් ඉවර නොවුනත් මෙතනින් පස්සේ ජුදාවේ බහුතරය යුදෙව්වන් වන්නේ නැහැ. ඒ වගේම යුරෝපය පුරා යුදෙව්වන් ගේ සමාජ බිහිවන්නේ මෙසේ යි. ඒ සමාජ හඳුන්වන්න තමා ඩයස්පෝරා කියන වචනය එන්නේ.

    යුදෙව්වන් සපුරා ඉවත් වන්නේ නැහැ, දීර්ඝකාලීන යුදෙව් ජනපද හැදෙනවා. එහෙත් කවදාවත් එහි බහුතරය වෙන්න බැරි වෙනවා යුදෙව්වන්ට [ආයිත් එය වෙනස් වන්නේ මීට දශක කීපයකට පෙර]. මේ කඩා දැමීම නිසා තමා යුදෙව්වන් අරාබි හා මුස්ලිම් බලයට යටත් වන්නේ. එමෙන්ම අරාබින්ගේ නොපනත් ක්‍රියා නිසා පසු කාලීනව කලාපය හැර ගිහින් එය පලස්තීනුවන්ගේ දේශය වන්නේ. එක කාලෙක යුදෙව් ජනගහනය දහස් ගානකට අඩු වන ක්‍රියාවේ මූලය මෙයයි. වර්තමාන ඊශ්‍රායල් පලස්තීන අර්බුදයේ මූලයත් මෙය කිව්වට වරදක් නැහැ.

    රෝමන් ලීජන් දෙකක් සම්පුර්ණයෙන් ඉවර වෙනවා සටනේදී. ඒ යුගයේ රෝමය ලද විශාලම හානිය. මේ නිසා අධිරාජයා ජයග්රාහිව සමරන්නේ නැහැ ජයග්‍රහණය. සම්මත විදිහට සෙනෙට් එකට යවන උද්දාමයෙන් ලියන පණිවුඩය ලියන්නේ නැහැ ඔහු.

    මෙතන මාර දෙයක් තියෙනවා. ඔය භුමියේ ඉන්නකම් යුදෙව්වන් තරම් රණකාමි ජාතියක් තවත් නැහැ. ඒ නිසාම හැමදාම කලේ උන්ව ඔතනින් එළවා දාන එක. පොයුපේ 586, පොයු 70, පොයු 135 තුන් පාරක් එලවනවා. එළවා දැමු ගමන් යුදෙව්වන්ගේ හයිය නැති වෙලා මාර දුබල වෙනවා. ආයිත් ඔතනට ආපු ගමන් උන්ට ගහන්න ලෝකෙටම බැහැ.

    ReplyDelete
  3. ජුදා දේශයට කඩා පනින රෝමානු හමුදාව ආගමික පාසල් වල හුන් දරුවන් ටෝරා ලියු විශාල පත්‍ර වල (මිනිහෙක් විතර උස පත්‍ර) ඔතලා ගිනි තිබ්බලු. ටෝරා අධ්‍යනය සපුරා තහනම් කලාලු

    ReplyDelete
  4. මම කියවල තියන විදිහට සුජීව මේ මිලියන භාගයක් යුදෙව්වො මැරුවයි කියන එක අතිශයෝක්තියක් - කොහොමත් ඔය කාලේ ඉතිහාසඥයෝ අතිශයෝක්තියට බරයිනේ
    [මෙතන මාර දෙයක් තියෙනවා. ඔය භුමියේ ඉන්නකම් යුදෙව්වන් තරම් රණකාමි ජාතියක් තවත් නැහැ. ඒ නිසාම හැමදාම කලේ උන්ව ඔතනින් එළවා දාන එක. පොයුපේ 586, පොයු 70, පොයු 135 තුන් පාරක් එලවනවා. එළවා දැමු ගමන් යුදෙව්වන්ගේ හයිය නැති වෙලා මාර දුබ‍ෙල වෙනවා. ආයිත් ඔතනට ආපු ගමන් උන්ට ගහන්න ලෝකෙටම බැහැ.]මෛ්කට හේතුව සයිකොලොජිකල් - යුදෙව්වන්ගේ පරම්පරා ගාණකට මේ දේශය ඔවුන්ගේ පාරම්පරික උරුමය බවට කාවද්දලා තියෙන්නේ - හිතන්න බැබිලෝනියානු විප්‍රවාසයෙන් ඒක දේවවාදයත් පොරොන්දු දේශය ගැන සංකල්පයත් හැදෙනවා - ඉන් පස්සේ ඔවුන් සෑම ආත්‍රමණිකයෙක් සමඟම සටන් කරනවා - ඊට සමානයි නට්සි සංහාරවලින් පසු යුදෙව්වන් මුහුණ දෙන තත්ත්වයත් -

    ReplyDelete