Wednesday, November 18, 2015

YHWH හා ඊශ්‍රායල්වරු - 1 කොටස

චාර්ල්ටන් හෙස්ටන් "මෝසස්" ලෙස 



"සෙනසුරාදාට පල්ලියේ "දසපණත" ෆිල්ම් එක පෙන්නනවා. " එසේ කීවේ  ක්‍රිස්තියානි තරුණ සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයෙක් වූරොෂාන් අයියාය . සිසිල් බි ද මිල්ගේ The Ten Commandments නම් දැවැන්ත චිත්‍රපටය ගැන පියාගෙන් විටින් විට අසා තිබුනත් එවකට චිත්‍රපට නැරඹීමට වී.සී.ආර් යන්ත්‍රයක් අප සතුව නොතිබුන බැවින් ලැබුන අවස්ථාව ප්‍රයෝජනය ට ගෙන එම සෙනසුරාදා දින මගේ ප්‍රියතම රොබින් ඔෆ් ෂර්වුඩ් නැවත විකාශනයද අමතක කර දමා නියමිත වෙලාවට පල්ලියේ ප්‍රධාන ශාලාවට සීයාත් කැටුව ගියෙමි. ඒ මීට වසර 25කට පමණ පෙර බැවින් චිත්‍රපටය පෙන්වන ලද්දේ පුළුල් තිරයක් සහිත රූපවාහිනී යන්ත්‍රයක් අධාරයෙන් වීසීආර් යන්ත්‍රයක් උපයෝගි කොටගෙනය. දසපනත හා සම්බන්ධ කතාව ඒ වන විට මා හොදින් දැන සිටියත් යූල් බ්‍රයිනර් පාරාවෝ රජු ලෙසත් චාර්ල්ටන් හෙස්ටන් නීල නෙතැති ඊශ්‍රායල් ජනතාවගේ ගැලවුම්කරු මෝසස් ලෙසත් ප්‍රබල රංගනයක්  ඉදිරිපත් කළ ඒ දැවැන්ත නිර්මාණය අටහැවිරිදි වියේදී මා තුළ ඇති කළේ නොමැකෙන මතකයක්.


යිබලයට අනුව ඊශ්‍රායලය ඇතිවූයේ කෙසේද ? 




කානන් දේශය ( රතු පැහැයෙන් දක්වා ඇත)


බයිබලයට අනුව කානන් දේශයේ ජීවත් වූ ආබ්‍රහම් නම් සංචාරක එඩේරෙක් තමයි මුලින්ම එ්කාදේවවාදයට නැඹුරුවන්නේ. ඔහුගේ බාල පුත්‍රයා වන ජේකබ් දෙවියන්වහන්සේගේ දූතයෙක් හා පොරබැදූ නිසා ඊශ්‍රායල් ලෙස හැඳින්වූ බවද  (ඇත්තෙන්ම විද්වත් මතය මීට වෙනස් - මේ සටහනේ පසුවට බලමු) ඔහු ඊශ්‍රායල් ජනතාවගේ ආදිතමයා වූ බවද බයිබලය පවසනවා. කානන් දේශයේ සාගතයක් ඇතිවීම නිසා ජේකබ්ගේ පුතෙක් වන මිසරයේ රජුගේ උපදේශකයෙක් බවට පත්වන ජෝසෆ්‍ෙගේ ආරාධනය පරිදි ඊශ්‍රායල් ජනතාව මිසරයට සංක්‍රමණය වෙනවා.

පරම්පරා ගණනක් ඇතුළත ඔවුන්ගේ ගහණය වැඩිවීම නිසා බියට පත්වන මිසරයේ පාරාවෝ රජු හා මිසර ප්‍රභූවරු ඊශ්‍රායල් ජනතාව වහල් භාවයට පත් කරනවා - ඔවුන්ගේ කුළුදුල් පුුතුන් මරා දමනවා - ජනගහණ පාලනය සඳහා. අවසානයේ ඔවුන් විඳින දුක දකින දෙවියන්වහන්‍සේ මෝසස් නම් ගැලවුම්කාරයෙක් මඟින් එම ජනතාවට නිදහස ලබාදී සයිනායි අර්ධද්වීපයෙන් ඔබ්බේ ඇති "කිරියෙන් පැණියෙන් ඉතිරෙන" "පොරොන්දු දේශය" වෙත ඔවුන් ගෙන යනවා. කානන් දේශයේ අනකුත් නගර රාජ්‍ය කඩුවෙන් යටත් කරන ඊශ්‍රායල්වරු අවසානයේ තමන්ගේම රාජධානියක් පිහිටුවා ගන්නවා. 

ඔන්න ඕකයි බයිබලයේ තියෙන කතාව. බයිබලය ලිවූ පුද්ගලයන් එය ආගමික/දේශපාලනික හැගීම් මත ලීවා විනා ඓතිහාසික වාර්තාවක් කළේ නැහැ. නමුත් කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධීයෙන් විමසිය යුතුයි. 

අද ලෙබනනයේ සිට සයිනායි අර්ධද්වීපය ආරම්භය දක්වා වර්තමාන ඊශ්‍රයල්,ජෝර්දාන්, රටවල් වසා පැතුරුණ කානන් දේශයේ ක්‍රිපු 14 වැනි සියවසේ පමණ විවිධ ගෝත්‍ර ගණනක් ජීවත් වුනා . බොහෝ කානන් වැසියන් නගර රාජ්‍යවල ජීවත් වුනා. මෙවකට  මිසරය සුපිරි බලවතෙක් වුනත් බයිබලයේ සදහන් වන ආකාරයේ "ඊශ්‍රයල් වැසියන්" වහලුන් ලෙස මිසරයේ සිටි කතාවක්  හෝ ඔවුන් එරටින් පිටත් වූ බවක් පැරණි මිසර ලේඛන කිසිවක සොයාගන්නට ලැබිලා නැහැ. මෝසස් නම් විමුක්තිදායකයෙක් ගැනත් එලෙසින්ම කිසිම සාධකයක් නැහැ. කරුණු මෙසේ නම් ඊශ්‍රායල් නම් අනන්‍යතාවක් කානන් දේශයේ ගොඩ නැගුනේ කෙසේ ද ? 


පුරාවිද්‍යාත්මක සාධක අනුව ඊශ්‍රායල් අනන්‍යතාව ගොඩ නැගුනේ කෙ‍සේද ?  

මුලින් බිහිවූ ඊශ්‍රායල් රාජධානිය හා පසුව බිහිවූ යුදා රාජධානිය 


පුරා විද්‍යා කැනීම් අනුව දැනට පිළිගන්නා ආකාරය නම් ක්‍රිපූ 14වන සියවසේ පමණ කානන් දේශයේ උස්බිම්වල , එවකට කානන් දේශයේ නගර රාජ්‍ය සංස්කෘතියෙන් බැහැර ව , එඩේරුන් ලෙස ජීවත් වූ වැසියන් පිරිසක් ගොවිතැන් කිරීමට කෙමෙන් නැඹුරු වෙමින් එකම ජන කෙ‍ාටසක් ලෙස හැසිරෙන්නට පටන් ගත් බවත් ඔවුන් කෙමෙන් කානන් උස්බිම්වල මේ වෙනම සංස්කෘතියක් සහිත ගම්මාන සියගණනක දිවි ගෙවූ බවත්. එයට නිශ්චිත හේතූන් අද දක්වා සොයා ගෙන නැහැ.මේ කෙමෙන් වර්ධනය වූ සංස්කෘතිය හා කානන් දේශයේ අනෙකුත් සංස්කෘතීන් අතර එක් පැහැදිලි වෙනසක් පෙන්වන පරිදි උෟරන්ගේ අැට කැබලි මේ උස්බිම් ගම්මානවල හමුවී නැහැ.  මොවුන් සියලු දෙනාම කානන් වැසියන් - ඊජිප්තුවෙන් පැමිණි අය නම් නොවේ සහ මොවුන් බයිබලයේ සඳහන් පරිදි කානන් දේශය ආක්‍රමණය කරන්නන් නොවේ - කෙමෙන් වෙනස් අනන්‍යතාවක් ඇති කරගත් ස්වදේශිකයන්මයි.මේ ලිහිල් සබඳතා සහිත ග්‍රොත්‍ර කෙමෙන් කුඩා රාජ්‍යයන් දෙකක් බවට පත්වන්නේ ක්‍රි පූ 10 වැනි සියවසේ පමණයි. උතුරින් පිහිටි වඩා ප්‍රබල රාජ්‍ය ඊශ්‍රායල් ලෙසත් දකුණින් පිහිටි පසුකාලීනව ඇතිවූ රාජ්‍යය ජුදා දේශය ලෙසද හැඳින්වෙනවා 

බයිබලය නම් පවසන්නේ මුල් කාලීනව ඊශ්‍රායල් නමින් පැවතුණු තනි රාජ්‍යය පසුව මෙලෙස සිවිල් යුද්ධ නිසා රටවල් දෙකකට බෙදුනු බවයි - නමුත් මේ මතය අද එතරම් පිළිගැනීමට ලක්වන්නේ නැහැ - බයිබලයෙන් පිටත "ඊශ්‍රායල්" ගැන මුල්ම සඳහන අපට හමුවන්නේ ක්‍රිපූ 1200 ගණන්වලට අයත් ඊජිප්තු ශිලා ලේඛනයක් වන මර්නෙප්තා හි. කානන් දේශයේ එවකට තිබූ ජාතීන් මිසරය විසින් යටත් කරගැනීම ගැන විස්තර කෙරෙන එහි "ඊශ්‍රායල ජනතාව" ගැනත් සඳහන් වෙන බව පැවසෙනවා. 
හැබැයි බයිබලයේ සඳහන් වන පරිදි ධනයෙන් බලයෙන් ආඨ්‍ය වූ සොලමන්ගේ රාජධානිය වගේ ගාම්භීර රටක් ගැන නම් කිසිම සාධකයක් නැහැ- ‍කොටින්ම ජෙරුසලම පවා ගම්මානයක මට්ටමටයි තිබී ඇත්තේ. 


කවුද මේ YHWH ? 



ඊශ්‍රායලය ගැන කියවෙද්දී ඒක දේව වන්දනාවත් (monotheism)  අපට අමතක කරන්න බැහැ - අද එ්බ්‍රාහමික ආගම් ලෙස හැඳින්වෙන කිතුණු ,ඉස්ලාම් හා යුදෙව් යන ආගම් සියල්ලේ මූලය ඊශ්‍රායලයේ ඒක දේව වන්දනාවයි. එහෙත් ඊශ්‍රායලය යනු සැමදාව ඒක දේව වන්දනාව පැවතුණු රටක්ද ? 


පිළිතුර  නැත යන්නයි. අනෙකුත් කානන් ගෝත්‍ර මෙන්ම ඊශ්‍රායල්වරුද අවුරුදු පන්සිය ගණනක් පමණ  බහු දේවවාදීන්. ග්‍රීකයන්ගේ සියුස් යම් සේද කානන් වැසියන්ගේ ප්‍රබලම දෙවියන් වූයේ එල් (El). ඇත්තෙන්ම "ඊශ්‍රායල්" නම් නාමය ලැබීමටත් බලපාන්නේ මේ එල් කියන දෙවියායි. කෙමෙන් ඊශ්‍රායලය රාජධානියක් වූ විට කානන් දේශයේ අනෙකුත් ජාතීන් මෙන්ම "ජාතික දෙවියෙක්" ඊශ්‍රායල්වරුන්ද නිර්මාණය කරගත්තා. එම දෙවියා පරිණාමය වූයේ මේ එල් කියන කානන් දේව සභාවේ මූලිකයාගෙන් . මෙලෙස පරිණාමය වුනු එල් ඊශ්‍රායල්වරු හැඳින්වූයේ YHWH ලෙසයි. හීබෘෘ බයිබලයේ දෙවියන්වහන්සේ හඳුන්වන්න අකුරු හතර  יהוה  යන්න ලතින් බසට ආදානය (transliterate) කළ විට මෙලෙස YHWH ලෙස සලකනවා. මෙම වචනයේ මුල්  උච්චාරණය ගැන මේ වන විට වැටහීමක් නැතත් එය බොහෝ විට Yahweh ලෙස විය යුතුයැයි උපකල්පනය කෙරෙනවා - මේ නිසා බයිබලය වචනාර්ථයෙන්ම පිළිපදින ඇතැම් කිතුණු මූලධර්මවාදී නිකායන් භාවිතා කරන Jehovah යන පදය බයිබලය අනුවම නිවැරදි නැහැ. 


බහුදේවවාදය හා ඒකදේවවාදය හා බැබිලෝනියානු විප්‍රවාසය 


මුලදී ඊශ්‍රායල් වැසියන් (හා යුදා වැසියන්) දෙවියන්වහන්සේ මූලික කරගනිමින් ඒ  සමඟ අනෙකුත් දෙවිවරුද ඇදහුවා - එමෙන්ම පුරාවිද්‍යාඥ ආචාර්ය විලියම් ඩිවර් විසින් 1970 දශකයේ කැණීම් වලදී සොයාගත් පරිදි මේ ඊශ්‍රායල් දෙවියන්වහන්සේට සහායිකාවක් නැතිනම් බිරිඳක් ද සිට තිබෙනවා. ඒ අෂේරා නම් දේවතාවියයි. ඊශ්‍රායල් වැසියන් අශේරාද වැඳුම් පිඳුම් කර තිබෙනවා. හැබැයි ඒකදේවවාදය ප්‍රභූ හා පූජක පැළැන්තිය අතර සීමා සහිතව පැවති බවත් පැවසෙනවා.  මේ තත්ත්වය වෙනස් වී ඒකදේවවාදය ප්‍රධාන ධාරාවට පැමිණෙන්නේ කෙ‍සේද ? 

ක්‍රිපූ 6 වන සියවස වන විට උතුරින් පිහිටි ඊශ්‍රායල් රාජ්‍ය ඇසිරියානු ආක්‍රමණ නිසා විනාශ වී තිබුනා. දකුණේ යුදා රාජධානිය ඇතැම් අවස්ථාවල ඇසිරියානු යටත් රාජ්‍යයක් ලෙසත් පැවතුනා. ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ  "නික්මයාම" වැනි බයිබලයේ මුල් පරිච්ඡේද ලියවෙන්නේ ඊශ්‍රායල් රාජධානියේ විනාශයෙන් පසු යුදා  රාජධානියේ හෝසයියා රජු යටතේ බවයි.  එවකට ප්‍රභූ හා පූජක පැළැන්තිවල පිළිගැනීමට ලක්වූ (එහෙත් සාමාන්‍ය ජනතාව අනුගමනය නොකළ)  ඒක දේවවාදය සාධාරණීකරණය කිරීමේ හා උතුරු රාජධානිය වෙත තම බලය පැතිරවීමේ ආගමික/ දේශපාලනික බලාපොරොත්තු නිසා මෙලෙස මිසරයෙන් දෙවියන්වහන්සේ ඊශ්‍රායල්වරුන් ගලවා ගෙන "පොරොන්දු දේශය" ක් වෙත ය‍ාමේ කතාව නිර්මාණය කරන්නට ඇති බවට මතයක් තිබෙනවා.

කෙසේ වුනත් ඒකදේවවාදය ප්‍රධාන ධරාවට පැමිණෙන්නේ බැබිලෝනියේ නෙබුචඩ්නෙසර් රජු යුදා දේශය ආක්‍රමණය කර ජෙරුසලම විනාශ කොට යුදා දේශයේ ජනතාව බැබිලෝනියාවට (එනම් වර්තමාන ඉරාකයට) පිටුවාහල් කරාට පසුවයි. මේ අැතිවූ බලවත් විනාශයත් සමඟ ඊශ්‍රායල්වරුන්ගේ ආගමේද බලවත් වෙනස්කම් ඇතිවුනා. එනම්  YHWH පමණක්ම අදහන වර්තමාන යුදා ආගමේ මුල් ස්වරූපයට කෙමෙන් ඊශ්‍රායල්වරුන්ගේ ඇදහිල්ල පත්වුනා. එයට හේතුව අනෙකුත් දෙවිවරු ඇදහීම නිසා තමන්ට විනාශය අත්වුනා වගේ මතයක් විය යුතුයි.  

අපි ඊළඟ කොටසේදී බැබිලෝනියානු විප්‍රවාසයෙන් පසු දැන් ඒකදේවවාදි යුදා ආගමක් අදහන ඊශ්‍රායල ජනතාවට සිදුවූයේ කුමක්දැයි සොයා බලමු. 

9 comments:

  1. The Source by James A. Michener,

    ReplyDelete
    Replies
    1. I have not read it - that El may be YHWH is something I found out when i researched in to the topic

      Delete
    2. https://en.wikipedia.org/wiki/The_Source_(novel)

      An entertaining way to learn the subject and then graduate to scholarly books.

      Delete
  2. කාරනා කීපයක්.

    1. ජෙරුසෙලම ජෙරිකෝ ආදිය ගම ලෙස සලකන්න බැහැ. අද නගර වලට සමාන නොවුනත් බොහෝ ලක්ෂණ මත ලෝකයේ පැරණිම නගර දෙක ලෙස ඔය දෙක සමහරු සලකනවා. මුලින්ම ගොවිබිම් හා පදිංචි ස්ථාන වෙන් කරලා පදිංචි ස්ථාන වටා පවුරක් හදන සංකල්පය ඔවුන්ගේ. ජෙරිකෝ පවුර වසර 9000 ට පරණයි. ලෝකයේ මුල්ම තට්ටු ගොඩනැගිල්ල ලෙස සැලකෙන් ජෙරිකෝ ටවර් එක අවු 11000 විතර පරණයි. ජෙරුසෙලම ඒ හා සමගාමී ව දියුණු වූ නගරයක්.

    2. මිසරය යටතේ වහල් කම් කල කතාවත් එක්ක මිසරය අසියිරාව සහ හිටයිට් රාජධානිය දෙසට පැතිරීමේ සම්බන්ධයක් ඇති . පොයුපේ 1500-1000 කාලේ කානාන් පෙදෙස තිබ්බේ මිසරය යටතේ. ඒ කාලේ අල්ලාගෙන ආපු පිරිසක් එකදෙවවාදයත් අරගෙන ආපහු ගියාද දන්නේ නැහැ.

    3. බයිබලයේ/ටෝරාවේ එන සොදොම් හා ගොමෝරා වගේ සිද්ධි ගැන සාධක ලැබෙනවා. පැරණි ඇතැම් රජවරුන්ගේ කතා ගැන සාධක තියෙනවා

    4. දස පනත ඇතුළු යුදෙව් මූල රාශියක් බැබිලෝනියානු ඇසිරියානු ආගම් එක්ක සම්බන්ධයි හෙවත් ඔතෙන්ටික් නැහැ. ඒ සන්දියේම යෙහොවාගේ තරහකාරයා අදහපු සෙට් එකක් තමයි අද සාතන් ලෙස වරදවා ගන්න පීකොක් ඒන්ජල් අදහන යසිදී වරු.

    ReplyDelete
    Replies
    1. 1. ගැන යම් පමණකට එකඟ වෙනවා - මට ඇත්තෙන්ම කියන්නට අවශ්‍ය වූයේ අර බයිබලයේ සොලමන් රජතුමා ගැන කියන අතිශයෝක්තීන් වල වැරදි බවයි

      2. මම මේ ගැන කියෙව්වා - ක්‍රිපූ 14වන සියවසේ පමණ කානන් දේශයේ නගර රාජ්‍ය තිබුනේ මිසරය යටතේ තමා - ඒ නිසාම තමයි මර්නෙප්තා හි “ඊශ්‍රායල් ජකතාව“ ට සබුක්කුව දීම ගැන කියවෙන්නේ - හැබැයි ඊශ්‍රායල් ඒක දේවවාදය ගොඩනැගෙන්නේ ඔය යුගයේ නොවේ - කොටින්ම මුල් ඊශ්‍රායල් සමාජයේ බහුදේවවාදය තමයි නෝම් එක - පසුකාලීනව - ඒ කියන්නෙ උතුරේ ඊශ්‍රායල් රාජ්‍යය ඇසිරියන්වරු විනාශ කළාට පසුව තමයි කානන් වල සියුස් වන එල් දෙවියන්ගේ හා බාල් වැනි දෙවිවරුන්ගේ යහපත් ලක්ෂණ කැටි කරගත් ජාතික දෙවියන් වන යාවේව එක්ස්ක්ලූසිව්ලි අදහන්න ගන්නේ - ඒ නිසා මිසරයෙන් ආවා වෙන්න බැහැ
      3 . බයිබලයේ ඇතැම් කතා සත්‍ය වෙන්න ඇති - දාවිත් හිටිය කියන්නත් සාධක තියෙනවා - හැබැයි දේශපාලන/ආගමික කරුණු මත සැබෑ කතා වෙනස් කළා වෙන්න පුළුවන්

      4 . යෙහෝවත් කානන් දෙවිවර්නගේ ව්‍යුත්පන්න - බැබිලෝනියන් උන්ට වඩා පැරණි ඇති - හැබැයි යෙහෝව පරිණාමය වෙන්නෙ එල් කියන දෙවියගෙන් - ඒවා ඔතන්ටික් නැති බව මම කියල තියනවා මෙතන - දසපණත කතාව හැදෙන්නේ බැබිලෝනියානු විප්‍රවාසයට තරමක් පෙර කාලේ ඒක දේවවාදය සාධාරණිකරණය කරන්න හා ජුදා දේශයට දැන් දුර්වල වී ඇති උතුරින් පිහිටි ඊශ්‍රායලය වෙත් බලය පැතුරවීමට කියලයි මම අහල තියෙන්නේ - යෙහෝවට සතුරෙක් හිටිය කියල ආරංචියක් නෑ මුල් කාලයේ - බැබිලෝනියෙන් පිටත්වෙලත් ආවට පස්සෙ නම් යක්ෂයො ගැන බයිබලයේ සඳහන් වෙනවා - පීකොක් ඒන්ජල් යෙහොවගේ තරහකාරයෙක් ද කියන්න සාධක හමුවුනේ නෑ .

      Delete
  3. විශේෂයෙන්ම දැනගන්න ආසාවෙන් හිටි කාරණයක්
    දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      ලිවීමට කැමති වුවත් වෙලාවයි හරස් වන්නේ

      Delete