Friday, November 13, 2015

13 වැනි සිකුරාදා සහ ආරාමිකයෝ (Friday the 13th and the Knights Templar)



මගේ තාත්තා  ජීවතුන් අතර සිටින සමයේ බොහෝ විට නොවරද්දා කරන "චාරිත්‍රයක්" තිබුනා. එනම් අදාළ දවස මාසයේ 13වැනි සිකුරාදාවක් නම් දුරකථන ඇමතුමක් ලබා දී " Beware of Jason! " යැයි පැවසීමයි.  තාත්තාට යම් ආකාරයකින් මෙය අමතක වුනොත් මම ඔහුට මේ බව පවසමින් දුරකථන ඇමතුමක් දීමත අමතක කරන්නේ නැහැ . අප දෙදෙනාම හොරර් මාදිලියේ චිත්‍රපට ප්‍රිය කිරීමත්, Friday 13th නම් ප්‍රකට ස්ලෑෂර් ශානරයේ හොරර් චිත්‍රපට මාලාවේ  ප්‍රධාන  භීෂණ චරිතය ජේසන් ලෙස හැඳින්වීමත් ඉහත කවටකමට හේතු වුනා. ඇත්ත වශයෙන්ම 13වැනි සිකුරාදා දිනය බටහිර සංස්කෘතිය තුළ යම් ගුප්ත භීෂණ මුහුණුවරක් ගැනීමට හේතු මොනවාද ? 

මේ ගැන හොයා බැලීමේදී 13වැනි සිකුරාදා දිනය විශේෂ වීමට ප්‍රධානම හේතුව ටෙම්ප්ලර් (Templar)  නොහොත් ආරාමිකයන් නැමැති මධ්‍යකාලීන කතෝලික පූජ්‍ය නිකාය හා බැඳි පවතින පුරාවෘත්තයක් බව පෙනෙනවා (මෙලෙස ටේම්ප්ලර් යන්න ආරාමිකයන් ලෙස සිංහලට පරිවර්තනය කළේ මා නොව මායා රංජන් මහතා බව සඳහන් කරන්න කැමතියි.) . ආරාමිකයන් නිකාය බිහිවන්නේ කුරුස යුද්ධ සමයත් සමඟයි. කිතුණුවන් ශුද්ධ දේශය (Holy Land) ලෙස හැඳින්වූ පලස්තීනයේ වන්දනාවේ යන අය ආරක්ෂා කිරීම තමයි මේ නිකායේ මුල් අරමුණ වුනේ. මොවුන් පැවිද්දන් වුවත් ආයුධ දරන නයිට්වරුන්ද වුනා. යුරෝපයේ වංශවත් කතෝලික පවුල්වලින් තමයි මුල් කාලීන සාමාජිකයන් බිහිවුනේ. ඒ කාලයේ හැටියට අද විශේෂ කොමාන්ඩෝ බලකායක තත්ත්වයක් ආරාමිකයන්ට තිබුනා. ඒ ඔවුන් යුද ශිල්පයේ හා අසුන් හැසිරවීමේ මනා පුහුණුවක් ලැබූවන් වීමයි. අප කුඩා කාලයේ නැරඹූ එක් රොබින් ඔෆ් ෂර්වුඩ් ටෙලි නාටකයේ කොටසකත් ඔවුන් සිටියා ඔබට මතක ඇති ඇතැම්විට. 


හැබැයි පසුකාලීනව ආරාමිකයන් වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ බැංකුකරුවන්‍ ලෙසයි. කුරුස යුද්ධය සඳහා පිටත්වන යුරෝපීය වංශවතුන් එමෙන්ම වන්දනාකරුවන්ගේ වත්කම් තමන් භාරයට ගෙන සුරක්ෂිත කරදීම මේ බැංකු ව්‍යාපාරය මඟින් සිදු‍ කෙරුනා.  එ් අනුව වර්තමාන බැංකු ව්‍යාපාරයේ පෙර ගමන්කරුවන් ලෙසත් ආරාමිකයන් හැඳින්විය හැකියි . කෙසේ වුනත් මේ බැංක ව්‍යාපාරය නිසා විවිධ රටවල බලකොටු,මාළිඟ  ඉදිකරමින් වත්කම් එක්රැස්කරමින් ආරාමිකයන් තව තවත් ධනයෙන් අාඨ්‍ය වුනා. කොටින්ම ලෝකයේ ප්‍රථම බහුජාතික සමාගම බවට ආරාමිකයන් පත්වුනා. වියයුතු පරිදිම මේ ධනයත් බලයත් නිසා ක්‍රිස්තියානි ලෝකයේ ප්‍රබලයන්ගේ ඊර්ෂ්‍යාවට ආරාමිකයන් ලක්වුනා. 

15වන සියවස මුල් භාගය වන විට ප්‍රංශයේ පිලිප් රජු ඇතුළු කතෝලික ප්‍රබලයන් පිරිසක් ආරාමිකයන්ට විරුද්ධව කුමන්ත්‍රණ කල බව පැවසෙනවා. ආරාමිකයන‍්ගෙන් තමන් ගත් ණය අහෝසි කරගැනීම ,ඔවුන්ගේ වත්කම් දේපළ අයත්කර ගැනීම තමයි මොවුන්ගේ මූලික පරමාර්ථය වුනේ . එම නිසා ආරාමිකයන් ක්‍රිස්තුස්වහන්සේට හා දෙවියන්වහන්සේට  අපහාස කරමින් සාතන් නම් කිතුණු ආගමේ යක්ෂයා සමඟ ගිවිසුමක් ඇතිකරගෙන ඇති බවත්, යක්ෂයන්ට යාගහෝම පවත්වන බවත් , සමකාමී සබඳතා පවත්වන බවත් ආදී ඒ කාලයේ හැටියට ප්‍රබල චෝදනා මොවුන් ඉදිරිපත් කළා. 

මේ (‍බොරු) චෝදනා සනාථ කරගැනීම සඳහා ආරාමික නායකයන්ව ඇඟ ලොමු දැහැගන්වන සුළු  උග්‍ර වධ බන්ධන වලට ලක්කරනු ලැබුවා. ආරාමිකයන්ගේ නායක ෂේක් ද මොලේ (Jacques de Molay) හා තවත් නායකයන් පැරිසි‍යේ දී පණපිටින් පුළුස්සා මරා දමනු ලැබුවා. තමන්‍ට ලැබුනු අසාධාරණ දඩුවම නිසා ප්‍රංශ රජ පවුලද යම් දිනක විනාශ වන බවට ෂේක් ද මොලේ පැවසූ බව පුරාවෘත්තවල සඳහන්වෙනවා. මධ්‍යකාලීන පුරාවෘත්තවලට අනුව මෙලෙස ආරාමික නායකයන් මරා දමනු ලැබුවේ මාසයේ 13වැනිදා වූ සිකුරාදා දිනකලු. එම දිනය ගුප්ත භීෂණාත්මක දිනයක් ලෙස හඳුන්වන්නේ ඒ නිසාලු. කොහොම වුනත් ‍මේ දිනය ගැන පුරාවෘත්තය සනාථ කරන සාධක නම් හමුවී නැහැ. 

විසිවන සියවසේ අගභාගයේ සිට 13වැනි සිකුරාදා ප්‍රසිද්ධ වන්නේ නම් ලිපියේ මුල මා සඳහන් කළ භීෂණ චිත්‍රපට මාලාව නිසා. යෞවනයන් සඳහා වූ කඳවුරක උපදේශකයන්ගේ නොසැලිකිලිමත් බව නිසා ගිලී මිය යන විරූපී පිරිමි දරුවෙක් මරණයෙන් නැගිට භීෂණාත්මක වෙස්මුහුණක් දමාගෙන දිගින් දිගට තම මරණයට පළිගන්නා ආකාරය මේ චිත්‍රපට මාලාවෙන් නිරූපිතයි. 


4 comments:

  1. Was it Davinci Code that talked about the Templars in detail??
    Nice article Lakshan.

    ReplyDelete
  2. Very interesting story but 'Friday the 13' wasn't a historical fact, just a fabrication! !!

    ReplyDelete
    Replies
    1. Precisely what I meant //එම දිනය ගුප්ත භීෂණාත්මක දිනයක් ලෙස හඳුන්වන්නේ ඒ නිසාලු. කොහොම වුනත් ‍මේ දිනය ගැන පුරාවෘත්තය සනාථ කරන සාධක නම් හමුවී නැහැ. ///

      Delete