Tuesday, December 1, 2015

ප්‍රදීප් මැතිව්ගේ පුරාවෘත්තය


මීට අවුරුදු 2කට විතර කලින් මම කියවපු නවකතාවක් යළි මතකයට ආවේ අපේ හිතමිතුරු කොකාගේ බුකි ස්ටේටසයක් නිසා - ඒ පොත තමයි ෂෙහාන් කරුණාතිලක ලියපු Chinaman: The Legend of Pradeep Maththew . 
ෂෙහාන් කරුණාතිලක 

නවකතාවේ පිටු කිහිපයක් කියවාගෙන යන විට එහි ප්‍රධාන චරිතය වන ඩබ්ලිව්.ජී කරුණාසේනගේ මුවඟට ෂෙහාන් මෙහෙම "සේල්ස් පිච්" එකක් නගනවා. 
"ඔබ කවදාවත් ක්‍රිකට් තරඟයක් නරඹා නැතිනම්, බැලුවත් එය ඔබව නිදිකරවනවා නම්, මේ කම්මැලි ක්‍රීඩාව ගැන වදවීම කෙසේවෙතත් නැරඹීමටව තරම්වත් යමෙක් සැලකීමක් දක්වන්නේ මන්ද යැයි ඔබට සිතේ නම් මේ පොත ඔබ සඳහාය" 

ඉහත ඡේදයෙන් කියැවෙන ආකාරයේ චරිතයක් තමයි මමත් - ලංකාව තේරුණු එක් දින අර්ධ අවසාන තරගයක් හැරුණු කොට සාමාන්‍යයෙන් මම ක්‍රිකට් බලන්නේ නැති තරම් - ඊට වඩා ත්‍රිලර් ෆිල්ම් එකක් බලන්න මම කැමතියි. ඒ වුනත් ක්‍රිකට් බෝරිං වුනු මට මේ පොත ඉවරවෙනකල් බිමින් තියන්න හිත් දුන්නේම නැහැ. කතාව එක දිගට ගලා යන ස්වරූපයක් නෑ - වර්තමාන කතාව එක් හුයක ගලා යද්දී තවත් විවිධ ආකාරවලින් සිහිවිම් (Flashbacks) මඟින් වර්තමාන සිදුවීම් වඩාත් පැහැදිලි කරනවා. මට පොත කියවද්දී සිහිවුනේ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටයක ශෛලිය. 

මේ කතා‍වේ ප්‍රධානම චරිතය හා පළමු භාගයේ කතාව කියන්නේ දැඩිව මත් පැනට අබ්බැහිවූ මැදි වියේ පසුවන පළපුරුදු ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වන ඩබ්ලිව් ජී කරුණාසේන. කෙ‍ාළඹට ආසන්නව ජීවත් වන ඔහු අධික බීමත්කම නිසා සිරෝසිස් රෝගයට කෙමෙන් ළං වෙමින් සිටිනවා. ඔහුගේ නිවසේ ඇත්තේ එතරම් හොඳ තත්ත්වයක් නොවේ - සිය පුතු වන ගාෆීල්ඩ් සමඟ සබඳතාවද බිඳ වැටෙමින් පවතිනවා  - මේ පිය පුතු සබඳතාව නවකතාවේ වැදගත් තැනක් ගන්නවා - නවකතාවේ දෙවන භාගය විස්තර කරන්නේ ගාෆීල්ඩ්. 

අඳුරු ජීවිතයක් ගත කරන කරුණාසේනට, ප්‍රදීප් මැතිව් නම් දෙමළ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා ගැන හොයා බලන්නට සිදුවන්නේ අහම්බයකින්, එහෙත් ඊට පෙර සිටම කරුණාසේනගේ මතය වන්නේ ප්‍රදීප් යනු ලෝකයේ දක්ෂතම පන්දු යවන්නා බවයි - ඔහුගේ ප්‍රධානම පන්දු විශේෂය චයිනාමන් යනුවෙන් හැඳින්වෙනවා. 

කොහොම හරි මේ ප්‍රදීප් මැතිව් සෙවීමේ උත්සාහය කරුණාසේනව ලංකා ක්‍රිකට් ඉතිහාසය සෙවීමට පොළඹවනවා . කතාවේ හැටියට ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ ගැනත් ඒවා සහ වෙනත් වාර්ගික හේතූන් මත හා තමන්ගේම වැරදි නිසාත්  ප්‍රදීප් හට 1994 න් පසු   රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ නැහැ - ඔහු ගැන වාර්තා පවා ඉවත් වෙනවා. ඉන්පසු ඔහුත් අතුරුදහන් වෙනවා. එසේ වීමට හේතූන් මොනවාද ? ඔහු දැන් සිටින්නේ කොහේද ? යන්න තමා කරුණාසේන සොයා බලන්නේ. 

ෂෙහාන් බොහෝවිට සැබෑ චරිත පසුබිම් කරගන්නවා - උදාහරණයකට දූෂිත ක්‍රිකට් මණ්ඩල සභාපතිගේ නම පසුගිය කාලෙයේ නමගිය සැබෑ ක්‍රිකට් සභාපතිවරු දෙදෙනෙකුගේ සංකලනයක් - ඔහුගේ හැසිරීමත් එසේමයි. එමෙන්ම ෂෙහාන් ඇතැම් අවස්ථාවල විශ්වාසය තැබිය නොහැකි විස්තර කථකයා (unreliable narrator) වැනි උපක්‍රම භාවිතා කරනවා - එම නිසා ඇතැම් සිදුවීම්වල සැබෑම ස්වරූපය අපි දැනගන්නේ කරුණාසේනට වඩා ඔහුගේ පුතාගේ විස්තරයෙන්. මේ නිසාම නවකතාවට තාත්වික බවකුත් ලැබෙනවා. 

පාඨකයා ඇඳ බැඳ තබන මනරම් බස්වහරකින් රචිත, එමෙන්ම සංකීර්ණ කතාවක් අඩංගු , මනා චරිත විශ්ලේෂණයක් සහිත මේ නවකතාව අන්තර්ජාතික මට්ටමේ   "සිරාම" පොතක් බව මගේ හැඟීමයි. කියවාගෙන යෑමේදී සිංහලට නැගීම  අසීරු ලෙස පෙනුනත් මෑතකදී දිලීප අබේසේකර මහතා මෙය සාර්ථකව සිංහලට පරිවර්තනය කළ බව විවිධ විචාරකයන් පවසනු මා දුටුවා. 


Thursday, November 19, 2015

YHWH සහ ඊශ්‍රායල්වරු - 2 කොටස

අපි පසුගිය කොටසින් බැබිලෝනිය විප්‍රවාසය (Babylonian Exile) තෙක් ඊශ්‍රායල් ජනතාව‍ගේ ඉතිහාසය කතා කළා. ක්‍රිපූ 6 වන සියවස පමණ වන විට ඊශ්‍රායල් ජනතාව තමන් කලින් ඇදහූ අනෙකුත් කානන් දෙවිවරුන් බැහැර කො‍ට තම ජාතික දෙවියන්වහන්සේ වූ YHWH පමණක් ඇදහීම කළ‍ා. මීට අමතරව විප්‍රවාසය නිසා විඳීමට වූ දුක් කම්කටොළු නිසා ඔවුන්ගේ යුදෙව් අනන්‍යතාව වඩාත් ශක්තිමත් වූ බවත් පැවසීමට හැකියි. අද පවතින ආකාරයට යුදා ආගමේ මුල් ස්වරූපය ඇතිවුනේත්, සිනගෝගය මුල් කරගත් වන්දනාව, ඔවුන්ගේ ආගමික ග්‍රන්ථය වන ටෝරාව ලියවුනේත් මේ යුගයේදීයි. එමෙන්ම අද අපි බයිබලයේ "නික්මයාම" (Exodus) ලෙස හඳුන්වන දෙවියන්වහන්සේ හා ඔහුගේ "තෝරාගත් සෙනඟ" මිසරයෙන් කානන් දේශයට ඒම පිළිබඳ කතාව මෙන්ම දෙවියන් හා ඊශ්‍රායල්වරුන් අතර ගිවිසුම ගැන සඳහන් වන "ව්‍යවස්ථා" පොතත් (Deuteronomy) වර්තමාන ස්වරූපයෙන් ලියවෙන්න ගත්තෙත් මේ කාලයේම තමා. එය සියවස් කිහිපයක් තුළ කෙමෙන් අද අපි දකින ස්වරූපයට පත්වුනා. විද්වතුන්ගේ මතය වන්නේ ක්‍රිපූ 6 වන සියවසේ දක්නට ලැබුනු භෞමික දේශපාලනික හා සමාජයීය තත්ත්වයන් ආපසු ක්‍රිපූ 12 වන සියවසට පමණ ප්‍රක්ෂේපණය කිරීමන් මේ නික්මයාමේ කතාව නිර්මාණය වූ බවයි. 

 පර්සියානු හා මෙසිඩෝනියානු/හෙලනික ආධිපත්‍ය යටතේ යුදා දේශය 


පර්සියානු අධිරාජ්‍යයේ යුදා ප්‍රාන්තය 

යුදා  ප්‍රදේශය බැබිලෝනිය අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් ලෙස පාලනය වුනා. ඉන්පසු මහා සයිරස් නම් පර්සියානු රජු බැබිලෝනිය යටත් කරගත් විට එම ප්‍රදේශය පර්සියානු අධිරාජ්‍යයේ පරිපාලන පළාතක් බවට පත්වුනා. එමෙන්ම පිටුවාහල්ව සිටි යුදෙව්වරු විශාල පිරිසකුත් නැවත පැමිණ පදිංචි වුනා. මේ වන විට යුදෙව් අනන්‍යතාව මොවුන් තුළ ප්‍රබලව ගොඩනැගී තිබුනා. ඉන්පසු ක්‍රිපූ 4වන සියවසේදී මහා ඇලෙක්සැන්ඩර් රජුගේ මෙසිඩෝනියානු අධිරාජ්‍යයේ කොටසක් බවට යුදා ප්‍රාන්තය පත්වුනා. 

හැස්මෝනියන් රාජධානිය 


හැස්මෝනියන් යුදා රාජධානිය 


ඇලෙක්සැන්ඩර් රජු‍ගේ මරණයෙන් පසුව යුදා ප්‍රාන්තය සිරියාව මුල් කොටගත් සෙලුසිඩ් නම් ග්‍රීක මූලයක් සහිත අධිරාජ්‍යය යටතට පත් වුනා. සෙලුසිඩ්වරු තම බහුදේවවාදී ලිබරල් සංස්කෘතිය ඒකදේවවාදී දැඩි මතධාරී යුදෙව්වන් පිට පටවන්නට තැත්කිරීම නිසා ඔවුන්ට විරුද්ධව මකබි නම් යුදෙව් නායකයන් යටතේ කැරැල්ලක් පැන නැගී ක්‍රිපූ 2වන සියවසේ පමණ යුදා ප්‍රාන්තය කෙටි කලකට ස්වාධීන වෙනවා. එය මකබිවරුන් ආරම්භ කල හැස්මෝනියන් රාජ වංශය යටතේ ස්වාදීන යුදෙව් රාජධානියක් ලෙස අසල්වැසි ප්‍රාන්ත කිහිපයක්ද ඈඳාගෙන කලක් පැවතුනා. 
කෙසේවුවත් ක්‍රිපූ 63 දී රෝමයේ සුප්‍රකට කොන්සල් වූ පොම්පේ විසින් හැස්මෝනියන් රාජධානිය යටත් කරගෙන රෝමයට යටත් රටක් බවට පත් කරගන්නවා. පසුව එය රෝමන් ප්‍රාන්තයක් ලෙස කෙළින්ම රෝම අධිරාජ්‍ය මඟින් පාලනය කරනවා. 

යුදා දේශ‍යේ රෝම පාලනය 


ලා නිල් පැහැයෙන් දැක්වෙන්නේ රෝමානු යුදා ප්‍රාන්තයයි


රෝමන්වරුන්‍ යටතේ යුදා ජනතාව දිවි ගෙව්වේ එතරම්ම සතුටින් නො‍වේ. සංස්කෘතික ,සමාජයීය ,ආගමික වෙනස්කම් මෙයට ප්‍රධාන වශයෙන් හේතුවුනා. මුලදී ප්‍රාන්තය පාලනය වුනෙ හෙරෝද්වරු නම් රජවරුන් යටතේ - ඔවුන්  යුදෙව්වරුන් මහත් භක්තියෙන් සලකන දේවමාළිගාව නැවත ඉදිකළා. එහෙත් පසුව කෙළින්ම රෝමය මඟින් පාලනය වන තත්ත්වයට පත්වුනා. 
කෙසේවුනත් රෝමන් වරුන්ට පැවති විරෝධය පුපුරා යන්නේ ක්‍රිව 66 දී ඇරඹුනු පළමු යුදෙව් රෝම යුද්ධයෙන්. එය ක්‍රිව 73 දක්වා ඇදී යනවා. ටයිටස් අධිරාජ්‍යයාගේ නියෝගය පරිදි ජෙරුසලම හා දේවමාළිගාව විනාශ කිරීමෙන් මේ යුද්ධය අවසන් වන්නේ යුදෙව්වන්ගේ පරාජයෙන්. ජයගන්නා ටයිටස් යුදෙව්වරුන්ගේ පූජනීය ජාතික සංකේතය වන මෙනෝරා නම් පහනද රැගෙන ජයග්‍රාහීව රෝමයට ගමන් කරන ආකාරය "ටයිටස් ආරුක්කුවේ" දැක්‍ වෙනවා. 
යුදව්වන්‍ෙගේ පූජනීය සංකේතය වන මෙනෝරා පහන 
ටයිටස්ගේ ආරුක්කුව 
ටයිටස් ආරුක්කුවේ මෙනෝරාව රෝමන්වරු රැගෙන යන ආකාරය දැක්වෙන කැටයම් 

බාර් ‍කොක්බා කැරැල්ල හා යුදා දේශයේ විනාශය 

කෙසේ වුනත් යුදෙව්වරුන්ට මරු පහර වදින්නේ ක්‍රිව 132-136 අතර පැවති බාර් කොක්බා කැරැල්ලෙන්. එය ඉතාම දරුණු කැරැල්ලක් බවත් රෝමන්වරුන්ට මැඩ පැවැත්වීම අසීරු වූ බවත් පැවසෙනවා.  සයිමන් බාර් කොක්බා නම් යුදෙව් නායකයා මෙසියස්වහන්සේ නොහොත් යුදෙව් ගැලවුම්කරු ලෙස යුදවේ පූජකයන් හැඳින්වූවා. මනාව සැලසුම් කොට ගරිල්ලා සටන් උපක්‍රම උපයෝගි කරගෙන යුදෙව්වන් රෝමන්වරුන්ට දැඩිව පහර දුන්නා.

තත්ත්වය කෙතරම් දරුණු වුනාද කියතොත් එවකට රෝමයේ අධිරාජ්‍යයා වන හේඩ්‍රියන් පුද්ගලිකවම තත්ත්වය නිරීක්ෂණය කිරීමට පැමිණි බව පැවසෙනවා. යුදෙව් ගම්මාන යා කරන සියුම් උමං ක්‍රමයක් ආශ්‍රයෙන් රෝමවරුන්ට හානි පැමිණවීමට යුදෙව්වන් සමත් වුනා. අවසානයේ වසර 2කට පමණ යු‍දා ප්‍රාන්තය නිදහස් කරගැනීමටත් ඔවුන් සමත් වුනා. ඒ කාලය ඇතුළත යුදෙව් මුදල් ඒකක නිකුත් කිරීම ආදිය පවා සිදුවුනා. 

කෙසේ නමුත් මේ තත්ත්වය දිගටම පැවතුනේ නැහැ. රෝම සේනාධිපති ජුලියස් සිවියරස් යටතේ 60 000 ක පමණ බල ඇණියක් එනම් රෝමානු හමුදාවෙන් 1/3ක්  යුදා ප්‍රාන්තයට එවන ලද්දේ තම අභිමානයට වූ කැළල මකා ගැනීමටයි. සිවියරස් බිම් දවන (scorched earth)  හමුදා මෙහෙයුමක් දියත් කළා. දෙපසටම විශාල ජිවිත හානි සිදුවුවත් අවසානයේ රෝමන් හමුදා ජයගත්තා - එවක ඉතිහාසඥයන්ට අනුව යුදෙව් සාමාන්‍ය ජනතාව  පවුල් පිටින් රෝමන් හමුදා මඟින් සමූලඝාතනයට ලක් කර තිබෙනවා. ඇතැමුන් මෙය වාර්ගික සංහාරයක් (genocide) ලෙස හැඳුන්වනවා. මිලියන භාගයක් පමණ යුදෙව්වන් කැරැල්ල හා සංහාරයන් නිසා මිය ගිය බවත් පැවසෙනවා. 

මේ කැරැල්ලෙන් පසු හේඩ්‍රියන් අධිරාජ්‍යයා තද තීරණයක් ගන්නවා යුදෙව්වන්ගේ ජාතිකවාදී හැඟීම් සඳහටම විනාශ කිරීමට. යුදෙව්වන් විශාල පිරිසක් වහලුන් ලෙස හා වෙනත් ආකාරවලින් යුදා දේශයෙන් පිටුවාහල් කරනවා. එමෙන්ම "යුදා " නමද ඉතිහාසයෙන් අතුගා දැමීමට එම භූමිය "සිරියා පලස්තීනය" (Syria Palæstina)  ලෙස නම් කරනවා. "පලස්තීනය" ලෙස අද අප දන්නා නම මුල්වරට භාවිතයට එන්නේ මේ හේඩ්‍රියන්ගේ නියෝගය නිසා. විශාල යුදෙව්වන් පිරිසක් මරා දැමීම හා පිටුවාහල් කිරීම නිසා යුදෙව්වන් තමන්ගේ සංස්කෘතිය හා බැඳුනු ඒ භූමියේ සුළුතරයක් බවට පත්වෙනවා. ඒ වන විටත් විශාල යුදෙව් ඩයස්පෝරාවක් ලොව පුරා සිටියත් ඇතැම් ඉතිහාසඥයන් යුදෙව් ඩයස්පෝරාවේ ආරම්භය ලෙස සලකන්නේ මෙලෙස හේඩ්‍රියන් යුදා දේශය සිතියමෙන් අතුගා දැමීමයි. 

පුරාණ ඊශ්‍රායල් රාජ්‍යය මෙලෙස ක්‍රිව 136 දී පමණ විනාශ වීම යුදෙව්වන් වෙනත් රටවලට සංක්‍රමණය වීමට බලපෑවා. සුළු ආසියාවට ,මිසරයට මෙන්ම යුරෝපයටද ඔවුන් යම් ආකාරවලින් සංක්‍රමණය වුනා. ඔවුන්ගේ ඉතිහාසය හා පලස්තීනය නැවතත් ඊශ්‍රායලය ලෙස වර්තමානයේ අපි දන්නා රාජ්‍යය බවට පත්වූයේ කෙසේද යන්න ඉදිරියේදී වෙනම ලිපි පෙළකින් අපි සාකච්ඡා කරමු. 

Wednesday, November 18, 2015

YHWH හා ඊශ්‍රායල්වරු - 1 කොටස

චාර්ල්ටන් හෙස්ටන් "මෝසස්" ලෙස 



"සෙනසුරාදාට පල්ලියේ "දසපණත" ෆිල්ම් එක පෙන්නනවා. " එසේ කීවේ  ක්‍රිස්තියානි තරුණ සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයෙක් වූරොෂාන් අයියාය . සිසිල් බි ද මිල්ගේ The Ten Commandments නම් දැවැන්ත චිත්‍රපටය ගැන පියාගෙන් විටින් විට අසා තිබුනත් එවකට චිත්‍රපට නැරඹීමට වී.සී.ආර් යන්ත්‍රයක් අප සතුව නොතිබුන බැවින් ලැබුන අවස්ථාව ප්‍රයෝජනය ට ගෙන එම සෙනසුරාදා දින මගේ ප්‍රියතම රොබින් ඔෆ් ෂර්වුඩ් නැවත විකාශනයද අමතක කර දමා නියමිත වෙලාවට පල්ලියේ ප්‍රධාන ශාලාවට සීයාත් කැටුව ගියෙමි. ඒ මීට වසර 25කට පමණ පෙර බැවින් චිත්‍රපටය පෙන්වන ලද්දේ පුළුල් තිරයක් සහිත රූපවාහිනී යන්ත්‍රයක් අධාරයෙන් වීසීආර් යන්ත්‍රයක් උපයෝගි කොටගෙනය. දසපනත හා සම්බන්ධ කතාව ඒ වන විට මා හොදින් දැන සිටියත් යූල් බ්‍රයිනර් පාරාවෝ රජු ලෙසත් චාර්ල්ටන් හෙස්ටන් නීල නෙතැති ඊශ්‍රායල් ජනතාවගේ ගැලවුම්කරු මෝසස් ලෙසත් ප්‍රබල රංගනයක්  ඉදිරිපත් කළ ඒ දැවැන්ත නිර්මාණය අටහැවිරිදි වියේදී මා තුළ ඇති කළේ නොමැකෙන මතකයක්.


යිබලයට අනුව ඊශ්‍රායලය ඇතිවූයේ කෙසේද ? 




කානන් දේශය ( රතු පැහැයෙන් දක්වා ඇත)


බයිබලයට අනුව කානන් දේශයේ ජීවත් වූ ආබ්‍රහම් නම් සංචාරක එඩේරෙක් තමයි මුලින්ම එ්කාදේවවාදයට නැඹුරුවන්නේ. ඔහුගේ බාල පුත්‍රයා වන ජේකබ් දෙවියන්වහන්සේගේ දූතයෙක් හා පොරබැදූ නිසා ඊශ්‍රායල් ලෙස හැඳින්වූ බවද  (ඇත්තෙන්ම විද්වත් මතය මීට වෙනස් - මේ සටහනේ පසුවට බලමු) ඔහු ඊශ්‍රායල් ජනතාවගේ ආදිතමයා වූ බවද බයිබලය පවසනවා. කානන් දේශයේ සාගතයක් ඇතිවීම නිසා ජේකබ්ගේ පුතෙක් වන මිසරයේ රජුගේ උපදේශකයෙක් බවට පත්වන ජෝසෆ්‍ෙගේ ආරාධනය පරිදි ඊශ්‍රායල් ජනතාව මිසරයට සංක්‍රමණය වෙනවා.

පරම්පරා ගණනක් ඇතුළත ඔවුන්ගේ ගහණය වැඩිවීම නිසා බියට පත්වන මිසරයේ පාරාවෝ රජු හා මිසර ප්‍රභූවරු ඊශ්‍රායල් ජනතාව වහල් භාවයට පත් කරනවා - ඔවුන්ගේ කුළුදුල් පුුතුන් මරා දමනවා - ජනගහණ පාලනය සඳහා. අවසානයේ ඔවුන් විඳින දුක දකින දෙවියන්වහන්‍සේ මෝසස් නම් ගැලවුම්කාරයෙක් මඟින් එම ජනතාවට නිදහස ලබාදී සයිනායි අර්ධද්වීපයෙන් ඔබ්බේ ඇති "කිරියෙන් පැණියෙන් ඉතිරෙන" "පොරොන්දු දේශය" වෙත ඔවුන් ගෙන යනවා. කානන් දේශයේ අනකුත් නගර රාජ්‍ය කඩුවෙන් යටත් කරන ඊශ්‍රායල්වරු අවසානයේ තමන්ගේම රාජධානියක් පිහිටුවා ගන්නවා. 

ඔන්න ඕකයි බයිබලයේ තියෙන කතාව. බයිබලය ලිවූ පුද්ගලයන් එය ආගමික/දේශපාලනික හැගීම් මත ලීවා විනා ඓතිහාසික වාර්තාවක් කළේ නැහැ. නමුත් කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධීයෙන් විමසිය යුතුයි. 

අද ලෙබනනයේ සිට සයිනායි අර්ධද්වීපය ආරම්භය දක්වා වර්තමාන ඊශ්‍රයල්,ජෝර්දාන්, රටවල් වසා පැතුරුණ කානන් දේශයේ ක්‍රිපු 14 වැනි සියවසේ පමණ විවිධ ගෝත්‍ර ගණනක් ජීවත් වුනා . බොහෝ කානන් වැසියන් නගර රාජ්‍යවල ජීවත් වුනා. මෙවකට  මිසරය සුපිරි බලවතෙක් වුනත් බයිබලයේ සදහන් වන ආකාරයේ "ඊශ්‍රයල් වැසියන්" වහලුන් ලෙස මිසරයේ සිටි කතාවක්  හෝ ඔවුන් එරටින් පිටත් වූ බවක් පැරණි මිසර ලේඛන කිසිවක සොයාගන්නට ලැබිලා නැහැ. මෝසස් නම් විමුක්තිදායකයෙක් ගැනත් එලෙසින්ම කිසිම සාධකයක් නැහැ. කරුණු මෙසේ නම් ඊශ්‍රායල් නම් අනන්‍යතාවක් කානන් දේශයේ ගොඩ නැගුනේ කෙසේ ද ? 


පුරාවිද්‍යාත්මක සාධක අනුව ඊශ්‍රායල් අනන්‍යතාව ගොඩ නැගුනේ කෙ‍සේද ?  

මුලින් බිහිවූ ඊශ්‍රායල් රාජධානිය හා පසුව බිහිවූ යුදා රාජධානිය 


පුරා විද්‍යා කැනීම් අනුව දැනට පිළිගන්නා ආකාරය නම් ක්‍රිපූ 14වන සියවසේ පමණ කානන් දේශයේ උස්බිම්වල , එවකට කානන් දේශයේ නගර රාජ්‍ය සංස්කෘතියෙන් බැහැර ව , එඩේරුන් ලෙස ජීවත් වූ වැසියන් පිරිසක් ගොවිතැන් කිරීමට කෙමෙන් නැඹුරු වෙමින් එකම ජන කෙ‍ාටසක් ලෙස හැසිරෙන්නට පටන් ගත් බවත් ඔවුන් කෙමෙන් කානන් උස්බිම්වල මේ වෙනම සංස්කෘතියක් සහිත ගම්මාන සියගණනක දිවි ගෙවූ බවත්. එයට නිශ්චිත හේතූන් අද දක්වා සොයා ගෙන නැහැ.මේ කෙමෙන් වර්ධනය වූ සංස්කෘතිය හා කානන් දේශයේ අනෙකුත් සංස්කෘතීන් අතර එක් පැහැදිලි වෙනසක් පෙන්වන පරිදි උෟරන්ගේ අැට කැබලි මේ උස්බිම් ගම්මානවල හමුවී නැහැ.  මොවුන් සියලු දෙනාම කානන් වැසියන් - ඊජිප්තුවෙන් පැමිණි අය නම් නොවේ සහ මොවුන් බයිබලයේ සඳහන් පරිදි කානන් දේශය ආක්‍රමණය කරන්නන් නොවේ - කෙමෙන් වෙනස් අනන්‍යතාවක් ඇති කරගත් ස්වදේශිකයන්මයි.මේ ලිහිල් සබඳතා සහිත ග්‍රොත්‍ර කෙමෙන් කුඩා රාජ්‍යයන් දෙකක් බවට පත්වන්නේ ක්‍රි පූ 10 වැනි සියවසේ පමණයි. උතුරින් පිහිටි වඩා ප්‍රබල රාජ්‍ය ඊශ්‍රායල් ලෙසත් දකුණින් පිහිටි පසුකාලීනව ඇතිවූ රාජ්‍යය ජුදා දේශය ලෙසද හැඳින්වෙනවා 

බයිබලය නම් පවසන්නේ මුල් කාලීනව ඊශ්‍රායල් නමින් පැවතුණු තනි රාජ්‍යය පසුව මෙලෙස සිවිල් යුද්ධ නිසා රටවල් දෙකකට බෙදුනු බවයි - නමුත් මේ මතය අද එතරම් පිළිගැනීමට ලක්වන්නේ නැහැ - බයිබලයෙන් පිටත "ඊශ්‍රායල්" ගැන මුල්ම සඳහන අපට හමුවන්නේ ක්‍රිපූ 1200 ගණන්වලට අයත් ඊජිප්තු ශිලා ලේඛනයක් වන මර්නෙප්තා හි. කානන් දේශයේ එවකට තිබූ ජාතීන් මිසරය විසින් යටත් කරගැනීම ගැන විස්තර කෙරෙන එහි "ඊශ්‍රායල ජනතාව" ගැනත් සඳහන් වෙන බව පැවසෙනවා. 
හැබැයි බයිබලයේ සඳහන් වන පරිදි ධනයෙන් බලයෙන් ආඨ්‍ය වූ සොලමන්ගේ රාජධානිය වගේ ගාම්භීර රටක් ගැන නම් කිසිම සාධකයක් නැහැ- ‍කොටින්ම ජෙරුසලම පවා ගම්මානයක මට්ටමටයි තිබී ඇත්තේ. 


කවුද මේ YHWH ? 



ඊශ්‍රායලය ගැන කියවෙද්දී ඒක දේව වන්දනාවත් (monotheism)  අපට අමතක කරන්න බැහැ - අද එ්බ්‍රාහමික ආගම් ලෙස හැඳින්වෙන කිතුණු ,ඉස්ලාම් හා යුදෙව් යන ආගම් සියල්ලේ මූලය ඊශ්‍රායලයේ ඒක දේව වන්දනාවයි. එහෙත් ඊශ්‍රායලය යනු සැමදාව ඒක දේව වන්දනාව පැවතුණු රටක්ද ? 


පිළිතුර  නැත යන්නයි. අනෙකුත් කානන් ගෝත්‍ර මෙන්ම ඊශ්‍රායල්වරුද අවුරුදු පන්සිය ගණනක් පමණ  බහු දේවවාදීන්. ග්‍රීකයන්ගේ සියුස් යම් සේද කානන් වැසියන්ගේ ප්‍රබලම දෙවියන් වූයේ එල් (El). ඇත්තෙන්ම "ඊශ්‍රායල්" නම් නාමය ලැබීමටත් බලපාන්නේ මේ එල් කියන දෙවියායි. කෙමෙන් ඊශ්‍රායලය රාජධානියක් වූ විට කානන් දේශයේ අනෙකුත් ජාතීන් මෙන්ම "ජාතික දෙවියෙක්" ඊශ්‍රායල්වරුන්ද නිර්මාණය කරගත්තා. එම දෙවියා පරිණාමය වූයේ මේ එල් කියන කානන් දේව සභාවේ මූලිකයාගෙන් . මෙලෙස පරිණාමය වුනු එල් ඊශ්‍රායල්වරු හැඳින්වූයේ YHWH ලෙසයි. හීබෘෘ බයිබලයේ දෙවියන්වහන්සේ හඳුන්වන්න අකුරු හතර  יהוה  යන්න ලතින් බසට ආදානය (transliterate) කළ විට මෙලෙස YHWH ලෙස සලකනවා. මෙම වචනයේ මුල්  උච්චාරණය ගැන මේ වන විට වැටහීමක් නැතත් එය බොහෝ විට Yahweh ලෙස විය යුතුයැයි උපකල්පනය කෙරෙනවා - මේ නිසා බයිබලය වචනාර්ථයෙන්ම පිළිපදින ඇතැම් කිතුණු මූලධර්මවාදී නිකායන් භාවිතා කරන Jehovah යන පදය බයිබලය අනුවම නිවැරදි නැහැ. 


බහුදේවවාදය හා ඒකදේවවාදය හා බැබිලෝනියානු විප්‍රවාසය 


මුලදී ඊශ්‍රායල් වැසියන් (හා යුදා වැසියන්) දෙවියන්වහන්සේ මූලික කරගනිමින් ඒ  සමඟ අනෙකුත් දෙවිවරුද ඇදහුවා - එමෙන්ම පුරාවිද්‍යාඥ ආචාර්ය විලියම් ඩිවර් විසින් 1970 දශකයේ කැණීම් වලදී සොයාගත් පරිදි මේ ඊශ්‍රායල් දෙවියන්වහන්සේට සහායිකාවක් නැතිනම් බිරිඳක් ද සිට තිබෙනවා. ඒ අෂේරා නම් දේවතාවියයි. ඊශ්‍රායල් වැසියන් අශේරාද වැඳුම් පිඳුම් කර තිබෙනවා. හැබැයි ඒකදේවවාදය ප්‍රභූ හා පූජක පැළැන්තිය අතර සීමා සහිතව පැවති බවත් පැවසෙනවා.  මේ තත්ත්වය වෙනස් වී ඒකදේවවාදය ප්‍රධාන ධාරාවට පැමිණෙන්නේ කෙ‍සේද ? 

ක්‍රිපූ 6 වන සියවස වන විට උතුරින් පිහිටි ඊශ්‍රායල් රාජ්‍ය ඇසිරියානු ආක්‍රමණ නිසා විනාශ වී තිබුනා. දකුණේ යුදා රාජධානිය ඇතැම් අවස්ථාවල ඇසිරියානු යටත් රාජ්‍යයක් ලෙසත් පැවතුනා. ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ  "නික්මයාම" වැනි බයිබලයේ මුල් පරිච්ඡේද ලියවෙන්නේ ඊශ්‍රායල් රාජධානියේ විනාශයෙන් පසු යුදා  රාජධානියේ හෝසයියා රජු යටතේ බවයි.  එවකට ප්‍රභූ හා පූජක පැළැන්තිවල පිළිගැනීමට ලක්වූ (එහෙත් සාමාන්‍ය ජනතාව අනුගමනය නොකළ)  ඒක දේවවාදය සාධාරණීකරණය කිරීමේ හා උතුරු රාජධානිය වෙත තම බලය පැතිරවීමේ ආගමික/ දේශපාලනික බලාපොරොත්තු නිසා මෙලෙස මිසරයෙන් දෙවියන්වහන්සේ ඊශ්‍රායල්වරුන් ගලවා ගෙන "පොරොන්දු දේශය" ක් වෙත ය‍ාමේ කතාව නිර්මාණය කරන්නට ඇති බවට මතයක් තිබෙනවා.

කෙසේ වුනත් ඒකදේවවාදය ප්‍රධාන ධරාවට පැමිණෙන්නේ බැබිලෝනියේ නෙබුචඩ්නෙසර් රජු යුදා දේශය ආක්‍රමණය කර ජෙරුසලම විනාශ කොට යුදා දේශයේ ජනතාව බැබිලෝනියාවට (එනම් වර්තමාන ඉරාකයට) පිටුවාහල් කරාට පසුවයි. මේ අැතිවූ බලවත් විනාශයත් සමඟ ඊශ්‍රායල්වරුන්ගේ ආගමේද බලවත් වෙනස්කම් ඇතිවුනා. එනම්  YHWH පමණක්ම අදහන වර්තමාන යුදා ආගමේ මුල් ස්වරූපයට කෙමෙන් ඊශ්‍රායල්වරුන්ගේ ඇදහිල්ල පත්වුනා. එයට හේතුව අනෙකුත් දෙවිවරු ඇදහීම නිසා තමන්ට විනාශය අත්වුනා වගේ මතයක් විය යුතුයි.  

අපි ඊළඟ කොටසේදී බැබිලෝනියානු විප්‍රවාසයෙන් පසු දැන් ඒකදේවවාදි යුදා ආගමක් අදහන ඊශ්‍රායල ජනතාවට සිදුවූයේ කුමක්දැයි සොයා බලමු. 

Friday, November 13, 2015

13 වැනි සිකුරාදා සහ ආරාමිකයෝ (Friday the 13th and the Knights Templar)



මගේ තාත්තා  ජීවතුන් අතර සිටින සමයේ බොහෝ විට නොවරද්දා කරන "චාරිත්‍රයක්" තිබුනා. එනම් අදාළ දවස මාසයේ 13වැනි සිකුරාදාවක් නම් දුරකථන ඇමතුමක් ලබා දී " Beware of Jason! " යැයි පැවසීමයි.  තාත්තාට යම් ආකාරයකින් මෙය අමතක වුනොත් මම ඔහුට මේ බව පවසමින් දුරකථන ඇමතුමක් දීමත අමතක කරන්නේ නැහැ . අප දෙදෙනාම හොරර් මාදිලියේ චිත්‍රපට ප්‍රිය කිරීමත්, Friday 13th නම් ප්‍රකට ස්ලෑෂර් ශානරයේ හොරර් චිත්‍රපට මාලාවේ  ප්‍රධාන  භීෂණ චරිතය ජේසන් ලෙස හැඳින්වීමත් ඉහත කවටකමට හේතු වුනා. ඇත්ත වශයෙන්ම 13වැනි සිකුරාදා දිනය බටහිර සංස්කෘතිය තුළ යම් ගුප්ත භීෂණ මුහුණුවරක් ගැනීමට හේතු මොනවාද ? 

මේ ගැන හොයා බැලීමේදී 13වැනි සිකුරාදා දිනය විශේෂ වීමට ප්‍රධානම හේතුව ටෙම්ප්ලර් (Templar)  නොහොත් ආරාමිකයන් නැමැති මධ්‍යකාලීන කතෝලික පූජ්‍ය නිකාය හා බැඳි පවතින පුරාවෘත්තයක් බව පෙනෙනවා (මෙලෙස ටේම්ප්ලර් යන්න ආරාමිකයන් ලෙස සිංහලට පරිවර්තනය කළේ මා නොව මායා රංජන් මහතා බව සඳහන් කරන්න කැමතියි.) . ආරාමිකයන් නිකාය බිහිවන්නේ කුරුස යුද්ධ සමයත් සමඟයි. කිතුණුවන් ශුද්ධ දේශය (Holy Land) ලෙස හැඳින්වූ පලස්තීනයේ වන්දනාවේ යන අය ආරක්ෂා කිරීම තමයි මේ නිකායේ මුල් අරමුණ වුනේ. මොවුන් පැවිද්දන් වුවත් ආයුධ දරන නයිට්වරුන්ද වුනා. යුරෝපයේ වංශවත් කතෝලික පවුල්වලින් තමයි මුල් කාලීන සාමාජිකයන් බිහිවුනේ. ඒ කාලයේ හැටියට අද විශේෂ කොමාන්ඩෝ බලකායක තත්ත්වයක් ආරාමිකයන්ට තිබුනා. ඒ ඔවුන් යුද ශිල්පයේ හා අසුන් හැසිරවීමේ මනා පුහුණුවක් ලැබූවන් වීමයි. අප කුඩා කාලයේ නැරඹූ එක් රොබින් ඔෆ් ෂර්වුඩ් ටෙලි නාටකයේ කොටසකත් ඔවුන් සිටියා ඔබට මතක ඇති ඇතැම්විට. 


හැබැයි පසුකාලීනව ආරාමිකයන් වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ බැංකුකරුවන්‍ ලෙසයි. කුරුස යුද්ධය සඳහා පිටත්වන යුරෝපීය වංශවතුන් එමෙන්ම වන්දනාකරුවන්ගේ වත්කම් තමන් භාරයට ගෙන සුරක්ෂිත කරදීම මේ බැංකු ව්‍යාපාරය මඟින් සිදු‍ කෙරුනා.  එ් අනුව වර්තමාන බැංකු ව්‍යාපාරයේ පෙර ගමන්කරුවන් ලෙසත් ආරාමිකයන් හැඳින්විය හැකියි . කෙසේ වුනත් මේ බැංක ව්‍යාපාරය නිසා විවිධ රටවල බලකොටු,මාළිඟ  ඉදිකරමින් වත්කම් එක්රැස්කරමින් ආරාමිකයන් තව තවත් ධනයෙන් අාඨ්‍ය වුනා. කොටින්ම ලෝකයේ ප්‍රථම බහුජාතික සමාගම බවට ආරාමිකයන් පත්වුනා. වියයුතු පරිදිම මේ ධනයත් බලයත් නිසා ක්‍රිස්තියානි ලෝකයේ ප්‍රබලයන්ගේ ඊර්ෂ්‍යාවට ආරාමිකයන් ලක්වුනා. 

15වන සියවස මුල් භාගය වන විට ප්‍රංශයේ පිලිප් රජු ඇතුළු කතෝලික ප්‍රබලයන් පිරිසක් ආරාමිකයන්ට විරුද්ධව කුමන්ත්‍රණ කල බව පැවසෙනවා. ආරාමිකයන‍්ගෙන් තමන් ගත් ණය අහෝසි කරගැනීම ,ඔවුන්ගේ වත්කම් දේපළ අයත්කර ගැනීම තමයි මොවුන්ගේ මූලික පරමාර්ථය වුනේ . එම නිසා ආරාමිකයන් ක්‍රිස්තුස්වහන්සේට හා දෙවියන්වහන්සේට  අපහාස කරමින් සාතන් නම් කිතුණු ආගමේ යක්ෂයා සමඟ ගිවිසුමක් ඇතිකරගෙන ඇති බවත්, යක්ෂයන්ට යාගහෝම පවත්වන බවත් , සමකාමී සබඳතා පවත්වන බවත් ආදී ඒ කාලයේ හැටියට ප්‍රබල චෝදනා මොවුන් ඉදිරිපත් කළා. 

මේ (‍බොරු) චෝදනා සනාථ කරගැනීම සඳහා ආරාමික නායකයන්ව ඇඟ ලොමු දැහැගන්වන සුළු  උග්‍ර වධ බන්ධන වලට ලක්කරනු ලැබුවා. ආරාමිකයන්ගේ නායක ෂේක් ද මොලේ (Jacques de Molay) හා තවත් නායකයන් පැරිසි‍යේ දී පණපිටින් පුළුස්සා මරා දමනු ලැබුවා. තමන්‍ට ලැබුනු අසාධාරණ දඩුවම නිසා ප්‍රංශ රජ පවුලද යම් දිනක විනාශ වන බවට ෂේක් ද මොලේ පැවසූ බව පුරාවෘත්තවල සඳහන්වෙනවා. මධ්‍යකාලීන පුරාවෘත්තවලට අනුව මෙලෙස ආරාමික නායකයන් මරා දමනු ලැබුවේ මාසයේ 13වැනිදා වූ සිකුරාදා දිනකලු. එම දිනය ගුප්ත භීෂණාත්මක දිනයක් ලෙස හඳුන්වන්නේ ඒ නිසාලු. කොහොම වුනත් ‍මේ දිනය ගැන පුරාවෘත්තය සනාථ කරන සාධක නම් හමුවී නැහැ. 

විසිවන සියවසේ අගභාගයේ සිට 13වැනි සිකුරාදා ප්‍රසිද්ධ වන්නේ නම් ලිපියේ මුල මා සඳහන් කළ භීෂණ චිත්‍රපට මාලාව නිසා. යෞවනයන් සඳහා වූ කඳවුරක උපදේශකයන්ගේ නොසැලිකිලිමත් බව නිසා ගිලී මිය යන විරූපී පිරිමි දරුවෙක් මරණයෙන් නැගිට භීෂණාත්මක වෙස්මුහුණක් දමාගෙන දිගින් දිගට තම මරණයට පළිගන්නා ආකාරය මේ චිත්‍රපට මාලාවෙන් නිරූපිතයි. 


Wednesday, November 11, 2015

නොනිවෙන රෝහින්ගියා ගැටළුව


මේ වන විට බුරුමය නැවතත් ලෝක ජනමාධ්‍යවල අවධානය දිනාගැනීමට සමත් ව තිබෙනවා. ඒ දශක ගණනකට පසු එරට පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය නිසාවෙන්. විපක්ෂ නායිකා හා නෝබල් ත්‍යාගලාභී අවුං සාං සුකී මහත්මිගේ පක්ෂය පැහැදිලි ජයක් ලැබනු ඇතැයි මේ වන විට අනාවැකි පලවෙමින් තිබෙනවා. රටේ ජනතාවගෙන් 80% ක් පමණ උනන්දුවෙන් සහභාගි වූ මේ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වූ ජන කොටසක් ද බුරුමයේ සිටියා.  මානව  අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරයේ ප්‍රතිමූර්තිකයක් බඳු අවුං සාං සුකී මහත්මිය පවා මේ අසරණ වූ ජනතාව ගැන වචනයකුදු කතා කළේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ලොව වඩාත්ම පීඩාවට පත් ජන කොටස ලෙස හඳුන්වන රෝහින්ගියා  ජනකොටසයි ඒ  . ඇත්තෙන්ම කවුද මේ රෝහින්ගියා වරු ? ඔවුන්ට සැබවින්ම බුරුමයේ ඓතිහාසික පසුබිමක් තිබේද ? මේ ගැටළු වර්තමානයේ ඔවුන් මුහුණ දෙන ප්‍රශ්නවල පදනම වෙනවා.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් බුරුමය යටත් කරගත් පසු ලෝකයේ ප්‍රධාන පෙලේ සහල් අපනයනය කරන රටක් බවට පත්වූවා. බුරුමයේ රැඛීන් ප්‍රාන්තයේ නගර තමයි සහල් නැව්ගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන තැනක් ගත්තේ. මේ සඳහා අවශ්‍ය ශ්‍රමය සපයා ගැනීම බ්‍රිතාන්‍යන්ට ගැටලුවක් වූ නිසා අසල් වැසි බ්‍රිතාන්‍ය ඉන්දියාවේ මුස්ලිම් බෙංගාල පෙදෙසින් ලාභ ශ්‍රමය සඳහා කම්කරුවන් දහස් ගණනින් ගෙන්වා ගත්තා. ඒ 19 වන සියවසේ මැද භාගයේ පමණ. බ්‍රිතාන්‍යයන් තම රට යටත් කරගැනීම ගැන දැඩි කෝපයකින් සිටි බෞද්ධ බුරුම වැසියන් තම නව හාම්පුතුන්ගේ අනුබලයෙන් මෙලෙස විදේශීය ජන කොටසක්, වෙනත් ආගමක් අදහන වෙනස් සංස්කෘතියක් සහිත පිරිසක් තම රැකියා උදුරාගෙන ලාභ ශ්‍රමයට තම රටට පැමිණිම ගැන දැඩි විරෝධයක් දැක්වූවා. එම නිසා අද බුරුමයේ බෞද්ධ ජනතාව රෝහින්ගියා ලෙස හඳුන්වන මේ බෙංගාල සංක්‍රමණිකයන්ගෙන් පැවැතෙන්නන්ට දක්වන විරෝධය සියවස් දෙකක් පමණ පැරණියි. ( මෙයට සාපෙක්ෂව මුඩුබිම් පනත මඟින් උඩරට සිංහලයන්ගෙන් බලෙන් පවරා ගන්නා ලද ඉඩම්වල කෝපි හා තේ වගා කිරීමට පැමිණි දකුණු ඉන්දීය සංක්‍රමණික කම්කරුවන් ගැන උඩරට සිංහල ජනතාව මෙතරම් විශාල විරෝධයක් දැක්වූයේ නැති බව සඳහන් කිරීම වටී) . ප්‍රශ්නය උග්‍රවන්නේ බුරුමය නිදහස ලැබීමෙන් පසු මේ සංක්‍රමණික ප්‍රජාවේ මූලිකත්වයෙන් බුරුමයේ රැඛින් පෙදෙසේ බෙදුම්වාදී අරගලයක්ද ක්‍රියාත්මක වීම නිසයි. 

මේ කරුණු නිසි නිදහසින් පසු මේ බෙංගාල සංක්‍රමනික වැසියන් සිය රටේ පුරවැසියන් ලෙස හැඳින්වීමට බුරුම වැසියන් කැමති වූ‍යේ නැහැ. ඒ ඇතිවුනු අරගලය අද දක්වාම පවතිනවා. මෙයට වසර 2කට පමණ පෙර ප්‍රශ්නය තවත් උග්‍රවූයේ බුරුම තරුණියක රෝහින්ගියාවරුන් විසින් දූෂණය කරන ලදැයි චෝදනාවකට පසු ඇවිලී ගිය වාර්ගික සංහාරය නිසා. බුරුමයේ බෞද්ධ භික්ෂුවක්යැයි තෙමේම හඳුන්වා ගන්නා අශින් විරාතු නම් පුද්ගලයා හා ඔහුගේ වර්ගවාදී සංවිධානය මේ ගැටුම්වලදී නිතර කියවුනු නම්. හරියටම 1983 කළු ජූලියේදි ඇල්ලේ ගුණවංස ගැන ඇතිවුනු කතාබහ වගේ. 

කෙසේ වුවත් ‍මේ ගැටුම්වලින් පසු අද රෝහින්ගියා ජනතාව සරණාගත කඳවුරුවල ඉතාම අවම පහසුකම් සහිතව ජීවත් වනවා. ඔවුන්ට කිසිදු අයිතිවාසිකමක් නැහැ. තවද ‍මේ ඇතැම් රෝහින්ගියා වැසියන් තම දරුමල්ලන් ද සමඟ බෝට්ටු මඟින් අසල්වැසි රටවලට පලායාමේ ඉතාම අවදානම් සහගත ක්‍රියාමාර්ගයද ගන්නවා. මේ ජනතාවගේ ගැටලුවට මට පෙනෙන ආකාරයට ඇති එකම විසඳුම නැවතත් ඔවුන් බංගලා දේශයේ පදිංචි කරවීමයි - මන්ද ඓතිහාසික හේතූන් මත ඔවුනට කිසිදු ආකාරයක සහනයක් ලබාදීමට බහුතර බුරුම ජනතාව දැඩිව විරුද්ධ වන නිසා. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී හෝ රෝහින්ගියා ජනතාවට ඉක්මන් සහනයක් ලබා දීම වැදගත්.

Monday, November 9, 2015

අතුරුදහන් කරවූවෙකුගේ ශෝකාලාපය - Missing (1982)

රාජ්‍යය මඟින් පුරවැසියන් අතුරුදහන් කිරීම ලංකාවේ අපට නම් නුහුරු අත්දැකීමක් නොවේ - 1988-1989 සමයේද පසුගිය යුද්ධ සමයේද එවැනි අතුරුදහන් කිරීම් ගැන නිරන්තරව අසන්නට ලැබුනා. ප්‍රදීප් එක්ණැළිගොඩ ඇතළු දෙමළ හා සිංහල පුරවැසියන් සිය ගණනක් තවමත් අතුරුදහන්වූවන්ගේ ලැයිස්තුවල සිටිනවා. එවැනි සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූවක් තමයි කොස්ටාස් ග්වේරස් අධ්‍යක්ෂණය කළ Missing චිත්‍රපටය.

1973 සැප්තැම්බර් 11 දින දකුණු ඇමරිකාවේ චිලී රටේ  ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත්වූ සැල්වදෝර් අයියන්දේගේ වාමාංශික රජය, ඇමරිකානු ආධාර ලැබූ හමුදා කුමන්ත්‍රණයක් මඟින් පෙරළා දමනු ලැබුවා. පසුකාලීනව හෙළිවුනේ එවක ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් හා රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් මේ කුමන්ත්‍රණයට සහයෝගය දැක්වූ බවයි.

මේ හමුදා කුමන්ත්‍රණය සිදුවෙමින් පවතින වකවානුවේ චිලී රටට තම බිරිඳත් සමඟ කෙටි සංචාරයකට පැමිණෙන ඇමරිකානු නිදහස් මාධ්‍යෙව්දියෙක් වන චාල්ස් හෝමන් (ජෝන් ෂියා)  රට තුළ සිදුකරන සංචාරයකදී   මෙම හමුදා කුමන්ත්‍රණය සඳහා ඇමරිකානු හමුදා නිලධාරීන් හා තානාපති නිලධාරීන්ගේ සහයෝගය ලැබෙන බව අහම්බයෙන් වුවත් නිරීක්ෂණය කරන්නට ලැබෙනවා. ඉන්පසු ඔහු එම පිරිස් සමඟ කතා කිරීමෙන් තවත් තොරතුරු තම සටහන් පොතට ගන්නවා. ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක් සමඟම සන්තියාගෝ නුවර තම බිරිඳ වෙත පැමිණෙන චාල්ස් තවත් දින කිහිපයකට පසු අතුරුදහන් වෙනවා. ඔහුගේ අසල්වැසියන් පවසන්නේ හමුදා භට කණ්ඩායමකගේ අත්අඩංගුවට පත්වන ඔහු හමුදාව විසින් සන්තියාගෝවේ දේශපාලනික සිරකරුවන් රඳවා තැබුනු ක්‍රීඩාංගනය වෙත ගෙන යනු ලැබූ බවයි .

මෙලෙස චාල්ස් හෝමන් අතුරුදන් කෙරුනේ ඇයි? ඔහුට සිදුවූයේ කුමක්ද? මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට ඇමරිකාවේ සිට චාල්ස්ගේ දක්ෂිණාංශික මතධාරී දේශප්‍රේමි ව්‍යාපාරික පියා වන එඩ් හෝමන් (ජැක් ලෙමන්) චීලී දේශයට පැමිණෙනවා. චාල්ස්ගේ බිරිඳ වන බෙත් (සිසී ස්පැසෙක්)  , චාල්ස්ගේ අතුරුදහන් විම පිටුපස ඇමරිකානු නිලධාරීන්ගේ අනුබලය ලබන චිලී හමුදා අධීකාරීන් සිටිය හැකි බව පැවසුවත් එඩ් හෝමන් තම දක්ෂිණාංශික දේශපාලන දෘෂ්ඨිය තුළ සිටිමින් මේ කතා සියල්ල තම පුතාත් ලේලිත් ප්‍රිය කරන වාමාංශික දේශපාලනයේ හුදු පැරනොයිඩ් විකාර බව නැවත නැවතත් පවසනවා. එහෙත් කෙමෙන් තම පුතාගේ ඉරණම ගැන වඩාත් ගැඹුරින් හොයන පියාට අවසානයේ තම මතවාදයන් උඩුයටිකුරු කරන සත්‍ය හමුවෙනවා.
Vangelis ගේ අනුවේදනීය සංගීතයෙන් තවත් ඔපවත් වන Missing චිත්‍රපටය රාජ්‍ය අනුබලයෙන් අතුරුදහන් වන්නන්ගේ ඉරණම ගැන අපව සිතීමට පොළඹවන සිනමා නිර්මාණයක් . 

Wednesday, November 4, 2015

රන් කරඩුව විනිවිදීම (Finding the Subtext of Ran Karaduwa )






පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන් විසින් රචිත “රන් කරඩුව“ කෘතියට මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමි වුනා. ඒ සමගම මේ ගැන විවිධ විචාර ද පළවු බව අප දුටුවා. මේ අතරින්  ඇතැමුන් සඳහන් කළේ මේ නවකතාව ඉන්ද්‍රජාලික යථාර්තය ගොනු කරගත් යුරෝපීය හා දකුණු ඇමරිකානු ලේඛකයන්ගේ කෘතිවල බාල අනුකරණයක් බවයි. තවත් බොහෝ දෙනෙක් කෘතියට ප්‍රශංසා කර තිබුනා. සාමාන්‍යෙයන් ඉන්ද්‍රජාලික යථාර්තය රැගත් කතා අප්‍රිය කරන මීට කලින් කිසිම දිනක එවැනි පොත් කියවා නොමැති  මම එක දිනක් තුළ මේ පොත කියවා අවසන් කළා. කතාව ඒ තරම්ම රසවත්. 

හුදු ඉන්ද්‍රජාල යථාර්තය රීතියට බර නවකතාවකට වඩා මෙය අල්පෝක්තික (allegorical ) කතාවක් බව මගේ හැඟිීමයි. මේ සඳහා උදාහරණයකට 17වැනි සියවසේ ජෝන් බන්යන් නම් පියුරිටන් රචකයා ලියූ පිල්ග්‍රිම්ස් ප්‍රෝගස් නම් කෘතිය මතක් කරන්න පුලුවන්. එහි කිතුණුවෙකු විවිධ පරීක්ෂා ආදියට මුහුණ දෙමින් ස්වර්ගයේ සාදාකාලික ජීවනය සදහා යන ගමන ක්‍රිස්තියන් නම් වන්දනාකාරයෙක්ගේ ගමනක් ලෙස ව්‍යාංගයෙන් විස්තර කරනවා. එලෙසින්ම මේ රන් කරඩුව නවකතාවෙත් විස්තර වන්නේ තමන් අනුගමනය ධර්මය (බුදු දහම) මගින්වත් තම අතීතයේ සිදුවීම් නිසා තම  සිත තුළ ඇතිවී ඇති ව්‍යාකූල ස්වභාවය සමනය කරගත නොහැකි භික්ෂූවක් දඹදිව වන්දනාවේ යන ගමනක් තුළින් ව්‍යාංගයෙන් බුදු දහම තුළ සත්‍ය සොයා යෑමේ ප්‍රයත්නයක්. 

මේ නවකතාවේ කතා නායකයා “එකෝමත් එක රටක“ සිටින බෞද්ධ භික්ෂූවක් - හැබැයි කතාව ගලායාමේදී ඔහු ලාංකිකයෙක් බව හැඟෙනවා. මේ භික්ෂුව (දඹදිව) වන්දනා ගමනක යෙදෙනවා. ගමනේදි භික්ෂූවගේ ගමන් පහසුව සලසන්නේ ගුප්ත ස්වභාවයක් ගන්නා ගුප්ත නම් ඉන්දියානු කරත්තකරුවෙක්. නවකතාවේ ප්‍රධාන තේමාව වන රන් කරඩුව භික්ෂුව අතට පත්වන්නේ කොන්ඩඥ්ඤ රහතන්වහන්සේ අතිනි. 

මේ රන් කරඩුවෙන් අදහස් වන්නේ කුමක් ද ? මට හැගෙන ආකාරයට රන් කරඩුව යනු වර්තමානයේ අප දකින බුද්ධ ධර්මයයි. එහි ඇතුළත කරඩුවේ ඇති රන්පත් සිද්ධාර්ථ ගෞතමයන් මුලින්ම දේශනා කළ පිරිසිදු බුදු දහමයි. සිදුහත් තවුසා විවිධ තමන් ගෙන තණ මිටියත් පස්වග තවුසන්ගේ තණ මිටිත් මිශ්‍ර කරනවා - ඒ අතරම වියලුනු තණපත් ඉවත් කරනවා - මම හිතන්නේ මින් අදහස් වන්නේ මුල් බුදු දහමට සිද්ධාර්ථ ගෞතමයන් වගේම පස්වග තවුසන්ගේ අදහසුත් එකතු වුනා - ඒ අතරම අර බුදුගොස් සෑය අසල භික්ෂූන් පිරිසක් සිදුහත් තවුසා ඉවත දැමූ තණපත් මත හිඳගෙන අටුවා පුච්චා ඒවා නළ‍ේල් ගාගනිමින් බමුණන් පාමුල වැඩ සිටීම තුළින් පෙන්නුම් කරන්නේ පසුකාලීන බුද්ධ ධර්මයට අර සිදුහත් තවුසා ඉවත් කළ බමුනු මතද එකතු වුනා කියන එක වෙන්න පුළුවන්. 

ඊළඟට මේ නවකතාව තුළ විවාදාත්මක තර්කයක් ගෙන එනවා - මම හිතන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බව තරණයටත් වඩා විවාදාත්මක තර්කයක් - දේවදත්ත ගේ මිතුරු අජාසත්ත රජු‍ගේ අනුග්‍රහයෙන් සිදුවන පළමු ධර්ම සංගායනාව අපේ කතා නායක භික්ෂූවට පෙනෙනවා - නමුත් එයට සහභාගි වීමට යන විට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමි පවා එම ධර්ම සංගායනාවට සහභාගි වී නැති බව දකිනවා . ධර්ම භාණ්ඩාගාරික පවා සහභාගි නොවූ ධර්ම සංගායනාව බුදුන්ගේ මූලික ධර්මයට "කැටයම්" එකතු කිරීමක් හෝ වෙනස් කිරීමක් කළ බව මේ සිදුවීමෙන් ව්‍යාංගයෙන් පවසන්නේ ? ඊළඟට මේ පළමු ධර්ම සංගායනාවට නොයන ලෙස අපේ කතානායක භික්ෂූවට උපදෙස් දෙන පූරණ භික්ෂූව තමයි කතාවේ අවසානයේදී එම භික්ෂුවටත් නර්මදා මෙහෙණින්වහන්සේටත් සංසාර සයුරෙන් එතෙර වීමට මාර්ගය පෙන්වා දෙන්නේ ( එනම් කතාවේ හැටියට ගඟ තරණය කරන ඔරුව පදවන්නේ) 
එසේ නම් සසරින් එතෙර වීමට මාර්ගය පෙන්වන  සැබෑ බුදු දහම පළමු ධර්ම සංගායනාවෙන් පසු කෙමෙන් වෙනස් වූ බවක් මින් අදහස් කෙරේද ? 

කතානායක භීක්ෂූව මහණ වීමට පොළඹවන්නේ ඔහු කුඩා කල මුහුණ දෙන කණගාටුදායක අත්දැකීමක් - නමුත් මහණ වූ පසුවත් ඒ අත්දැකීමේ බලපෑමෙන් මිදෙන්න ඔහුට හැකිවන්නේ නෑ - ඔහුගේ ජීවිතයම අවුල් වන්නේ එම අත්දැකීම ඔහුට විටින් විට සිහිවීම නිසා - ඒ නිසා ඇතිවන අතෘප්තිකර බව නිසා.   -  ගුප්ත කරත්තකරුවා තම බිරින්දන් අන් පුරුෂයන් ලබා සිය ආශාවන් සංසිඳවා ගන්නා අයුරු උදාසීනව බලනවා - එයට හේතුව තෘප්තිමත් බව ලැබීමත් සමඟ බැඳීම්වලින් ආශාවන් වලින් ඔහු නිදහස් බවක් ලැබීම බව හැඟවෙනවා - සිදුහත් කුමරාද තම ආශාවන් තෘප්ත කොට නිමා කරගත් පසු ජීවිතයේ විඳිම පිළිබඳ සත්‍ය දැකීම තුළින් බැඳීම් නැතිකරගැනීම කෙරෙහි යොමු වූ බවත් නවකතාව තුළින් හඟවනවා. රාහුල කුමාරයා පිළිබඳ උදාහරණය තුළින් තම පියා දැකීමේ අසීමිත ආසාවෙන් පෙලුනු ඒ පොඩිත්තා බුදුන් දැකීමත් සමඟ තෘප්තිමත් වීම නිසා රහත් ව බැඳීම්වලින් නිදහස් වීමට මාර්ගය පෑදුනු බවත් කියවෙනවා. එම නිසා කතානායක භික්ෂූවද තම දිවියේ අතෘප්තිකර බවට හේතුවූ දෙයට අවසානයේ මුහුණ දෙනවා - එම නිසා මහණ වීමට ප්‍රථම ජීවිතයේ ඇති අතෘප්තිකර සවභාවයන් තෘප්තියෙන් නිමා විය යුතු බවත් එවිට සාර්ථකව මහණ දම් පුරා බැඳීම්වලින් නිදහස් විය හැකි බවත් කතාව තුළින් කියවෙනවා. 

මේ හේතූන් නිසා මගේ කියවීම අනුව මෑත කාලීනව පළවූ ඉතාම විවාදාත්මක මෙන්ම සිතීමට බල කෙරෙන ප්‍රබල නවකතාවක් ලෙස "රන් කරඩුව" හැඳින්විය හැකියි. 

Thursday, October 22, 2015

කුලී හේවායෝ (The Mercenaries)


ලෝක ඉතිහාසය තුළ විවිධ අවස්තාවල හමුදාමය ක්‍රියාමාර්ගයන් සඳහා කුලී හේවායන් යොදවා ගත් අවස්ථා ගැන අපට අසන්නට ලැබේ.  ග්‍රීක කුලී හේවායෝ පර්සියානුවන්ට සහාය දුන්හ. ම්ලේච්ඡ ගොත් , ගෝල් ආදි ගෝත්‍රවලට අයත් භටයන් කලෙක රෝමයේ ආරක්ෂාව භාර ගත්හ. ඇමරිකානු නිදහස් සටන සමයේ බ්‍රිතාන්‍යයන් ජර්මානු කුලී හේවායන් යෙදවූහ . ෂර්ලොක් හෝම්ස් ගේ නිර්මාතෘ සර් ආතර් කොනන් ඩොයිල් විසින් මධ්‍යකාලීන එංගලන්තයේ කුලී හේවා කණ්ඩායමක් ගැන රචිත White Company කලෙක ඉතා ජනප්‍රිය ග්‍රන්ථයක් විය. 


කෙසේ වුවද විසිවන සියවසේ කුලී හේවායන් ගැන අසන්නට ලැබෙන්නේ 1960 දශකයේදී කොංගෝ සමූහාණ්ඩුවෙන් කටන්ගා ප්‍රාන්තය වෙන් වීමත් සමඟය. කටන්ගා යනු කොංගෝවේ වඩාත්ම ඛනිජ සම්පත්වලින් පොහොසත් ප්‍රාන්තය විය. 1960 දි කොංගෝව බෙල්ජියමෙන් නිදහස ලැබුවද එහි ප්‍රධාන නායකයන් වන ජෝසෆ් කසවබු, පැට්රිස් ලුමුම්බා හා බෙදුම්වාදී කටන්ගාහි අගමැති මොයී ෂොම්බේ අතර බල අරගලයක් ඇතිවිනි. මෙහිදී බෙල්ජියානු ඛනිජ සමාගම්වල හා එම රජයේ  සහාය හිමිවුනේ කටන්ගා රාජ්‍යටයි.  එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහිදී කටන්ගාව නැවතත් කොංගෝ රාජ්‍යයට ඈදීම පිළිගෙන ඒ සඳහා සාම සාධක හමුදාවක්ද පිටත් කළේය. මේ අතර කොංගෝ මහජන හමුදාව කටන්ගාව ආක්‍රමණය කළහ. මොයී ෂොම්බේ කටන්ගා හමුදාවට යුහුව සුදු ජාතික කූලී හේවායන් බඳවා ගත්තේය - මින් වඩාත් ප්‍රකට වූයේ පසුකාලීනව නමක් දිනාගත් අයර්ලන්ත ජාතික “පිස්සු“ මයික් හෝ ( ඉහත ඡායාරූපයේ දකුණු පසින්) , බොබ් ඩෙනාඩ්, ෂෝං “බ්ලැක් ජැක්“ ස්ක්‍රෑම් ආදි කුලී හේවායන් ගිනි අවි බවුතීස්මය ලැබුවේ කටන්ගාවෙනි. මේ සිදුවීම් ඇසුරින් දකුණු අප්‍රිකානු ලේඛක විල්බර් ස්මිත් “ Dark of the Sun“ නම් (පසුව චිත්‍රපටයටද නැගුනු ) තම ජනප්‍රිය නවකතාව පළ කළේය. 

කටන්ගා අර්බුදයෙන් පසු නැවතත් කුලී හේවායන් කරලියට එන්නේ බයෆ්‍රා බෙදුම්වාදි අරගලයෙනි. නයිජීරියාවේ ඉබෝ ගෝත්‍රිකයන් වෙසෙන බයාෆ්‍රා ප්‍රාන්තය 1970 දශකයේදි එරටින් වෙන වීමට තැත්කළේය - ප්‍රබල බටහිර රටවල් නයිජීරියානු රජයට ආධාර කළද එම රටවල කතෝලික පල්ලිය හා ජනතාව බයෆ්‍රා නිදහස් සටනට ආශිර්වාද කළහ. ටැෆී විලියම්ස්, රොල්ෆ් ස්ටෙයිනර් වැනි කුලී හේවායන් බයෆ්‍රා හමුදාවට ආධාර කළ අතර ගුවන් හමුදාව පාර්ශ්වයෙන් ආධාර කළේ ස්වීඩන් ජාතික කාර්ල් වොන් රෝසන් සිටුවරයාය - ඒ නම් මුදලට නොවේ - පසුව ජනප්‍රිය වූ බ්‍රිතාන්‍ය ලේඛක ෆ්‍රෙඩ්රික් ෆෝසයිත් එවකට බීබීසී වාර්තාකරුවෙක් විය - බයාෆ්‍රා යුද්ධයේ තම අත්දැකීම් ඇසුරින් ඔහු තම Dogs of War නම් ප්‍රකට නවකතාව ලිව්වේය 

21 වන සියවසේ කුලී හේවායන් භාවිතය ඉන් පෙර කාලයට වඩා වෙනස් මුහුණුවරක් ගෙන ඇත. අද පුද්ගලික ආරක්ෂක සමාගම් ඩොලර් බිලියන ගණනින් උපයන ව්‍යාපාරයකි - පෙන්ටගනය 21 වන සියවසේ ඇමරිකාව මැදිහත් වූ යුද්ධවලදි මේ ආරක්ෂක සමාගම්වල භටයන් යොදා ගෙන ඇත -දැනුදු යොදා ගනිති - මින් වඩාත් ප්‍රකට ඒවා අතර (දැනට  Academi ලෙස හඳුන්වන) Blackwater   පුද්ගලික ආරක්ෂක සමාගම මතකයට නැගේ - ඉරාකයේ බිහිසුණු සිදුවීම්වලට එම සමාගමේ භටයන් සම්බන්ධ විය. ඇතැම් විට ඇමරිකානු තානාපති කාර්යාලවලට ආරක්ෂාව ලබා දීමටද මෙවැනි සමාගම් යොදා ගැනේ - ඇමරිකානු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් හට මේ සමාගම්වලින් තම සේවා දිගටම පවත්වාගෙන යාමට දොළ පිදේනි ලැබෙන අවස්ථාද ඇත . 

අපේ රටේද කුලී හේවායන් යොදාගත් අවස්ථාවක් 1980 දශකයේ වාර්තා විය. එනම් බ්‍රිතාන්‍ය SAS කමාන්ඩෝ බලකායේ හිටපු භටයන්ගෙන් සැදුම් ලත් Keeny Meeny Services නම් කුලී හේවා සමාගම අපේ විශේෂ කාර්ය බලකාය පිහිටුවීමේදි මුල්ම භටයන් පුහුණු කිරීමට යොදා ගත් අවස්ථාවයි 

Monday, October 19, 2015

Dr Strangelove නොහොත් මානවයාගේ මෝඩකම් ගැන ස්ටැන්ලි කුබ්රික්ගේ කියවීම

ස්ටැන්ලි කුබ්රික් Dr Strangelove or How I Learned to Stop Worrying and  Love the Bomb නම් ප්‍රහසන චිත්‍රපටය නිර්මාණය කරන්නේ 1964 දී සීතල යුද්ධය තීව්‍ර අවදියකදීය - ප්‍රකට බ්‍රිතාන්‍ය ප්‍රහසන නළු පීටර් සෙලර්ස් ද්විත්ව චරිතයක් රගපාන එහි ඇකඩමි සම්මාන ලාභී ජෝජ් සී ස්කොට් පැරනොයියාවෙන් උමතු වූ ඇමරිකානු ජෙනරල්වරයෙකුගේ චරිතය රගපායි. 


කතාවේ සාරය මෙපරිදිය - කොමියුනිස්ට් විරෝධී පැරනොයියාව නිසා උමතු බවට පත්ව ඇති බව හැගෙන ජෙනරල් ජැක් රිපර් (වික්ටෝරියානු ලන්ඩනයේ අභිරහස් මිනීමරුවකුගේ නමිනි) තම අණසක යටතේ පවතින න්‍යෂ්ඨික බෝම්බ රැගත් ගුවන්යානා කිහිපයක් රුසියාවට පහර දීම සදහා යවයි - ලෝක විනාශයක් කරා මානව වර්ගයා රැගෙන යන මේ තත්ත්වය සමනය කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා , ඔහුගේ උපදේශකයන් , රුසියානු තානාපති හා රුසියානු නායකයා මෙන්ම ජනාධිපතිවරයාට න්‍යෂ්ඨික කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දෙන හිටපු නට්සි විද්‍යාඥ ස්ට්‍රේන්ජ්ලව්  හා ජෙනරල් ජැක් රිපර්ගේ දෙවැන්නා වන බ්‍රිතාන්‍ය ගගන කපිතාන් වරයා ගන්නා වෙහෙස චිත්‍රපටයේ ඉතිරි කොටසින් දැක්වේ . 

කෙතරම් තාක්ෂණික ක්‍රියාමාර්ග අනුගමනය කළද ජාතීන් අතර ඇතිවන අනිසි බිය නිසා  එම තාක්ෂණික උපක්‍රම අවසානයේ මානව වර්ගයාගේ විනාශය ගෙන දෙන  උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරන බව චිත්‍රපටය තුළින් මූලිකවම දෙන පණිවිඩයයි. 

Tuesday, October 13, 2015

ජේම්ස් බල්ගර් පොඩිත්තාගේ කතාව

සේයා දැරිය ගැන රට කම්පාවට පත්ව ඇති මොහොතක මීට වසර 22 කට එංගලන්තයේ සිදුවූ බිහිසුණු මිනීමැරුමක් මතකයට නැගේ - ඝාතනයට ලක්වුයේ අවුරුදු 3ක පොඩිත්තෙකි 


එහෙත් ඝාතකයෝ වැඩිහිටියන් නොවේ  - අවුරුදු 10ක ළමුන් දෙදෙනෙකි 


තම මවත් සමඟ වෙළඳ සැලකට පැමිණෙන ජේම්ස් මව මිලදී ගැනීම් කරන තෙක් අවට දුව පැන ඇවිදියි . 

මේ අතර තමන් හට ගොදුරක් ලැබෙන තෙක් බලා සිටින කුඩා "දඩයක්කරුවන්" දෙදෙනා වහාම ක්‍රියාත්මක වී ජේම්ස් පොඩිත්තාව අතින් අල්වාගෙන වෙළඳසැලෙන් ඉවතට ගෙන යති 

ඔවුන්ගේ "ක්‍රීඩාව" අවසන් වන්නේ ජේම්ස් පොඩිත්තාව දස වදදී මරා දැමීමෙනි 

සී සි ටී වී කැමරාවලට පින්සිදුවන්නට මිනීමැරුම සිදු කෙරූ දස හැවිරිදි ළමුන් දෙදෙනා අත්අඩංගුවට ගත හැකි වුවද ඔවුන් එම අමානුශික ක්‍රියාවට යොමුවූ හේතූන් මොනවාද යන්න අදටත් විවාදාත්මකය 

කන්පූර් සංහාරය







වර්ෂය 1857 –

නැගෙනහිර ඉන්දියානු සමාගම මඟින් පාලනය වූ ඉන්දියාවේ ප්‍රදේශ රැසක බ්‍රිතාන්‍ය පුහුණුව ලැබූ ස්වදේශීය හමුදා භටයන් නොහොත් සිපෝයි වරු බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි ගසති

කැරැල්ල පවතින කන්පූර් ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය හමුදා ඛණ්ඩයක් ,ඔවුන්ගේ බිරින්දෑවරු හා කුඩා දරුවන් සති ගණනක් කැරලිකරුවන් විසින් වටලනු ලදුව කොටුවී සිටිති .

තවදුරටත් රැඳිය නොහැකි තැන අසල ගංගාව ඔස්සේ බෝට්ටු මඟින් පලා යාමට තැත්කරන බ්‍රිතාන්‍ය නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල අය කැරලිකරුවන් විසින් ඝාතනය කෙරේ . ඝාතනයෙන් පසු ඉතිරිවන ළමුන් හා කාන්තාවන් 150 ක් පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස කන්පූර් කොටුව තුළ පිහිටි බිග්භර් නම් නිවස්නයේ රඳවනු ලැබේ

නිවස්නයේ පාලිකාව වන්නේ කන්පූර් කැරලිකරුවන්ගේ නායකයා වන නානා රාඕගේ  අනියම් බිරිඳයි. නිවාසයේ සනීපාරක්ෂාව නැතිකම, අධික තදබදය නිසා කාන්තාවන් හා ළමුන් කිහිප දෙ‍නෙක් මිය යති.

මේ අතර බ්‍රිතාන්‍ය හමුදාව කැරලිකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් කෙමෙන් කන්පූර් කොටුව වෙත ළඟා වෙති. ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා මරා දමන ලෙස නානා රාඕ නියෝග කරයි - සිපෝය් භටයෝ නියෝගය ප්‍රතික්ෂේප කරති. 

කෝපයට පත්වන නානා රාඕගේ  අනියම් බිරිඳ නගරයෙන් මස් කඩකාරයන් ගෙන්වා ඔවුන් ලවා මස් කපන පිහි යොදා ගෙන සියලුම කාන්තාවන් හා ළමුන් අමානුශික ලෙස මරා දමයි .

මෙම තිරිසන් ක්‍රියාවෙන් පසු ද ළමුන් දෙදෙනෙක් හා කාන්තාවක් ඉතිරි වුවද ඔවුන්වද මරා සියලු මළ සිරුරු හා කැබලි නිවසෙන් පිට තිබෙන වියලුනු ළිඳකට දමනු ලැබේ. නිවස්නය රුධියෙන් තෙමී යයි .


අද මේ කන්පූර් සංහාරය සිදුවූ නිවස අසල ප්‍රදේශය උද්‍යානයකි - එය නම් කර ඇත්තේ මේ අමානුශික ඝාතනයන් සිදු කෙරූ නානා රාඕගේ නමින් Nana Rao Park නමිනි.